| |

පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද? – ඉකොනොමැට්ටා

මේ වන වට ජනාධිපතිවරණය පැවැත්වී මාසයක් ගත වී තිබෙනවා. එම මාසයක කාලය තුළ රජය විසින් අලුතෙන් කොපමණ ණය ලබා ගෙන තිබේද?
රජය විසින් ලබා ගන්නා සියලු ණය වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නැතත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබා ගත් ණය පිළිබඳ නිශ්චිත තොරතුරු මහ බැංකු වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවන්. පහත තිබෙන්නේ පසුගිය මාසයක කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය විසින් ලබා ගෙන තිබෙන ණය ප්රමාණයයි.
සැප්තැම්බර් 25 – රුපියල් මිලියන 132,000
ඔක්තෝබර් 2 – රුපියල් මිලියන 156,750
ඔක්තෝබර් 9 – රුපියල් මිලියන 93,500
ඔක්තෝබර් 16 – රුපියල් මිලියන 106,700
එකතුව – රුපියල් මිලියන 488,950
කෙසේ වුවත්, මෙම කාලය තුළ කල් පිරුණු (ආපසු ගෙවිය යුතු) භාණ්ඩාගාර බිල්පත් වෙනුවෙන් මෙම අරමුදල් වලින් වැඩි කොටසක් වැය වී තිබෙනවා. පහත තිබෙන්නේ එසේ ආපසු ගෙවූ ණය ප්රමාණයි.
සැප්තැම්බර් 27 – රුපියල් මිලියන 114,666
ඔක්තෝබර් 4 – රුපියල් මිලියන 135,344
ඔක්තෝබර් 11 – රුපියල් මිලියන 64,766
ඔක්තෝබර් 18 – රුපියල් මිලියන 76,138
එකතුව – රුපියල් මිලියන 390,914
මේ අනුව, භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවූ ප්රමාණයට වඩා රුපියල් මිලියන 98,036ක් වැඩියෙන් අලුත් භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගෙන තිබෙනවා.
මීට අමතරව, ඔක්තෝබර් 11 දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කිරීම මගින් තවත් රුපියල් මිලියන 104,500ක ණය ප්රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව, මාසයක කාලය තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්රමාණය රුපියල් මිලියන 203,536කින් ඉහළ ගොස් තිබිය යුතුයි.
සැප්තැම්බර් 26 දින වන විට ශ්රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ප්රමාණය රුපියල් මිලියන 17,154,456ක්. මේ වන විට මෙම ප්රමාණය රුපියල් මිලියන 17,356,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔක්තෝබර් 23 දින නැවතත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන අතර එහිදී සහ ඉන් අනතුරුව තවත් රුපියල් මිලියන 137,500ක භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගැනීමට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් 25 දින රුපියල් මිලියන 107,017ක භාණ්ඩාගාර බිල්පත් ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව, මේ සතියේ ඉහත ණය ප්රමාණයද ලබාගතහොත් භාණ්ඩාගාර බිල්පත් ණය ප්රමාණය තවත් රුපියල් මිලියන 30,483කින් ඉහළ යා හැකියි.
මේ අයුරින් ආපසු ගෙවිය යුතු ණය ප්රමාණයට වඩා වැඩියෙන් අලුතෙන් ණය ලබා ගැනීමට අවශ්ය වන ප්රධානම හේතුව ආපසු ගෙවද්දී ණය මෙන්ම පොලියද ගෙවිය යුතු වීමයි. භාණ්ඩාගාර බිල්පත් ණය ලබා ගනිද්දී පොලිය මුලින්ම ගෙවන බැවීන් රජයට ඇත්තටම ලැබෙන්නේ ණය ප්රමාණයෙන් පොලිය අඩු වූ විට කොටසයි.
කෙසේ වුවද ඉහත ණය ප්රමාණ පසුගිය මාසය තුළ ආපසු ගෙවා ඇති භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය වල සහ පොලියේ එකතුවටද වඩා වැඩියි. පෙර සැලසුම් කළාට වඩා රජයේ වියදම් වැඩි වී තිබීමට හෝ ආදායම් අඩු වී තිබීමට විශේෂ හේතුවක් නොපෙනෙන බැවින් මෙම අමතර අරමුදල් ප්රමාණය සංචිතයක් සේ තබා ගන්නවා විය හැකියි.
පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද?
economatta.blogspot.com
පසුගිය මාසයේ රජය කොයි තරම් ණය වුනාද?
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *