| |

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200  ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500  ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500  ⚫️ ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700

මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට පත් වීම පළමු මාසය ගත වෙන්නටත් පෙර දැනට අරගෙන තිබෙන ණය කන්දරාවයි.

දේශීය වෙළඳපොළෙන් ඔවුන්ට මෙතරම් ණය ගැනීමට සිදු වී තිබෙන්නේ ඇයි? ප්‍රධාන හේතුව රාජ්‍ය අංශයේ වැටුප් වේ. ලක්ෂ 13කට අධික රාජ්‍ය සේවකයන් හට වැටුප් ගෙවීම සඳහා සහ 770,000කට අධික රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජයේ ආදායමෙන් 60%ක් 2024දී වැය වේ.

දැන් රාජ්‍ය ව්‍යවසායන්ට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දීම අවමය.

මේ අතර, ඇතැම් මධ්‍යම පන්තිකයන්ගේ වෛරයට හේතු වී තිබෙන අවදානමට මුහුණ දෙන ජනයාට ලබා දෙන අස්වැසුම, වැඩිහිටි දීමනා, වකුගඩු රෝග දීමනා වැනි සමාජ ආරක්ෂණ වියදම් රාජ්‍ය වියදමෙන් 1%ටත් අඩුය. එනම් 0.65%කි.

රාජ්‍ය මූල්‍ය පනත අනුව හිතුමතේ මුදල් අච්චු ගැසීමට බැරි නිසා දැන් රජයට සිදු වන්නේ තව තවත් ණය ලබාගැනීමටයි. භාණ්ඩාගාර බිල්පත් අලෙවිය මගින් කරන්නේ එයයි.

2024 වසරේ ණය ආපසු ගෙවීම සඳහා රජය කරන වියදම රාජ්‍ය ආදායමෙන් 100%ක් පමණ වේ.

ඉහත දැක්වූ කරුණු අනුව, රාජ්‍ය ආදායමෙන් 160%ක් පමණ ණය ආපසු ගෙවීම හා රාජ්‍ය සේවයේ වැටුප්, විශ්‍රාම වැටුප් හා අස්වැසුම ආදියට වැය වේ.

ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් නඩත්තුව, රාජ්‍ය පරිපාලනය වැනි සෙසු වියදම් ද ගත් විට රාජ්‍ය සේවයේ වියදම ආදායම මෙන් 170%ක් පමණ වේ.

ණය නොගෙන රජය පවත්වාගෙන යා නොහැකි බව ඔබට තේරෙනවාද?

ණය ගැනීම අඩු කිරීමට නම් කළ හැක්කේ එකම එක දෙයකි. එනම්, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමයි. රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කළ හැකි දෙය වන්නේ බදු වැඩි කිරීමයි.

බදුත් වැඩි නොකර, ණයත් නොගෙන රට පවත්වාගෙන යන්නට නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ සිටි කාලයේ මෙන් ඉන්ද්‍රජාලිකයකු විය යුතුය. එහෙත්, දැන් ඔහු යථාර්ථයට මුහුණ දිය යුතු ජනාධිපතිය.

අජිත් පැරකුම් ජයසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *