| |

2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කර තිබෙන වගුවෙහි පෙන්වා දී තිබෙන්නේ 2024 පළමු මාස හයේ විදේශ අංශයේ ප්රගතිය. පෙර (2023) වසරේ පළමු මාස හය සමඟ සැසඳීමක්ද එහි තිබෙනවා. අප මෙම සැසඳීම කරන්නේ විදේශ අංශය ඉතාම දුර්වලව පැවති 2021 හෝ 2022 වැනි වසරක් සමඟ නොවන බවද මතක තබා ගත යුතුයි.
වසරේ පළමු මාස හය තුළ ඩොලර් මිලියන 1,104ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 74%ක වර්ධනයක්. 1956 වසරෙන් පසුව 2023 දක්වා කාලය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූයේ 1965 හා 1977 දෙවසර තුළ පමණක් බවද අප මෙහිදී මතක් කර ගත යුතුයි.
මෙම වසර තුළ රුපියලේ අගය අධිප්රමාණය වූයේ ණය ගත් නිසා හෝ ණය නොගෙවා සිටි නිසා නොවන බව ඉහත වගුව දෙස බැලූ විට පැහැදිලි විය යුතුයි. රජය විසින් නිවැරදි රාජ්යමූල්ය ප්රතිපත්තියකුත්, මහ බැංකුව විසින් නිවැරදි මුදල් ප්රතිපත්තියකුත් පවත්වා ගත් විට විදේශ අංශය “ඉබේටම” වර්ධනය වෙනවා.
මෙහිදී “ඉබේටම” යන්නෙන් අදහස් වන්නේ දේශීය හා විදේශීය සමාගම් හා පුද්ගලයින් විශාල පිරිසක් තනි තනිව පවතින තත්ත්වයට ප්රතිචාර දැක්වීම තුළ මෙය සිදු වන බවයි. සැලසුම් සහගත රාජ්ය මැදිහත්වීම් මගින් විදේශ අංශය වඩාත් ශක්තිමත් කර ගැනීම කළ නොහැක්කක් නොවෙතත්, ප්රායෝගිකව බොහෝ අවස්ථා වලදී එවැනි සැලසුම් නිශේධනාත්මකව බලපෑමේ අවදානම දැකිය හැකියි.
වසරේ පළමු මාස හය තුළ, පෙර වසරේ පළමු මාස හයට සාපේක්ෂව, භාණ්ඩ අපනයන ආදායම් 4.6%කිනුත්, සේවා අපනයන ආදායම් 36.2%කිනුත්, ප්රාථමික ආදායම් 17.8%කිනුත්, ද්වීතියික ආදායම් 10.8%කිනුත් වර්ධනය වී ඇති අතර සමස්තයක් ලෙස ජංගම ගිණුමේ ලැබීම් ඩොලර් මිලියන 1,501කින් වර්ධනය වී තිබෙනවා.
මීට අනූරූප ලෙස භාණ්ඩ ආනයන වියදම්, සේවා ආනයන වියදම් මෙන්ම ප්රාථමික වියදම්ද ඉහළ ගොස් තිබෙනවා. සේවා ආනයන වියදම් 53%කින් පමණ ඉහළ ගොස් ඇති අතර එයට හේතුව ශ්රී ලාංකිකයින් විශාල ලෙස විදේශගත වීමයි. ද්වීතියික වියදම් වල පමණක් අඩු වීමක් දැකිය හැකියි. මෙයින් පෙනෙන්නේ රටේ ආර්ථිකය නැවත යහපත් අතට හැරෙද්දී ශ්රී ලංකාවේ වෙසෙන විදේශිකයින් තමන්ගේ අරමුදල් රටින් පිටතට ප්රේෂණය කිරීම විශාල ලෙස සීමා වී ඇති බවයි. මේ අනුව ජංගම ගිණුමේ ගෙවීම් කොටස ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 1,032කින් පමණයි.
වසරේ පළමු මාස හයේ ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 1,104ක් වුවත්, එම කාලය තුළ නිල සංචිත ඊට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව මූල්ය ගිණුමේ ගෙවීම් වලට වඩා වැඩියෙන් එම ගිණුමටද අරමුදල් ලැබීමයි. මෙම තත්ත්වයන් සමඟ අපට ඉදිරි (2025) වසරේ පළමු මාස හය පිළිබඳ යම් විනිශ්චයකට පැමිණිය හැකියි.
වාහන ආනයනය ආරම්භ වීමෙන් පසුව ආනයන වියදම් ඉහළ යාමක් සිදු වෙනවා. එමෙන්ම ණය ප්රතිව්යුහගත කිරීම් අවසන් වූ පසු ණය වාරික හා පොලී ආපසු ගෙවීමටද සිදු වෙනවා. නමුත් මෙම වසරේ ජංගම ගිණුම් ශේෂය දෙස බැලූ විට පෙනී යන්නේ මෙම වසරේ තත්ත්වය එලෙසම පැවතියද එය ප්රශ්නයක් නොවන බවයි. එමෙන්ම පසුගිය දෙවසර තුළ සිදු වූ වර්ධනය අනුව, විශේෂ සැලසුමක් නැතත්, ඉදිරි වසර තුළ විදේශ අංශයේ ලැබීම් වල සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කළ හැකියි.
සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී නිල සංචිත ප්රමාණය ඩොලර් මිලියන 5,992 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාසය තුළ වැඩිවීම ඩොලර් මිලියන 33ක් පමණයි. මීට හේතුව මහ බැංකුව විසින් ලොකු මැදිහත් කිරීමක් නොකිරීමද, එසේ නැත්නම් මිල දී ගත් විදේශ විණිමය කිසියම් ණයක් ගෙවීම වෙනුවෙන් යෙදවීමද යන්න පැහැදිලි නැහැ. එය බොහෝ විට මේ සතිය අවසානයේදී දැනගන්න ලැබෙයි.
May be an image of text
ඉකොනොමැට්ටා
Personal blog

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *