කජු කන්න ගිය වියදමක් ගැන පසුගිය දවස් වල යම් කතාබහක් ඇති වී තිබුණා. කජු කන්න යන වියදම් පියවන එක කජු කන තරම් ලේසි නැහැ.
පසුගිය 2023 වර්ෂයේදී කජු සංස්ථාවේ පාඩුව හරියටම රුපියල් 5,020,580.05ක්. ඒ කියන්නේ මිලියන පහක් නැත්නම් ලක්ෂ පණහක් වගේ. රජයේ සමස්ත වියදම එක්ක බලද්දී කජු ඇටද කොස් ඇටද කියලා අහන්න පුළුවන් තරමේ ලොකු පාඩුවක් නෙමෙයි.
කෙසේ වුවත්, කජු සංස්ථාවේ පරණ අවුරුදු වල පාඩු සියල්ල එකතු කළාම එය රුපියල් මිලියන 156 ඉක්මවනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 15කට වඩා වැඩි සමුච්ඡිත පාඩුවක්.
මේ විදිහට ගිණුම් ප්රකාශ වල දැකිය හැකි පාඩුව කියා කියන්නේ මේ වගේ ආයතන වල මුළු පාඩුව නෙමෙයි. එම මුළු පාඩුවෙන් විශාල කොටසක් තියෙන්නේ වෙනත් තැනක හැංගිලා. ඒ නිසාම, මේ ආයතන වල ගිණුම් ප්රකාශන අනුව ලාබ ලබන ගොඩක් අවුරුදු වලදී වුනත් ඇත්තටම වෙන්නේ පාඩුව වෙනත් තැනක සැඟවී තිබීමයි.
රුපියල් මිලියන 157කට ආසන්න කජු සංස්ථාවේ සමුච්ඡිත අලාබයෙන් පසුවත්, එහි ප්රාග්ධනය ලෙස රුපියල් මිලියන 447ක් පමණ ඉතිරි වී තිබෙනවා. ඒ කියන්නේ පොදු අරමුදල් වලින් රුපියල් මිලියන 604කට වඩා වැඩි මුදලක් කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙනවා.
දැන් මේ විදිහට කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙන්නේ බදු මුදල් වලින් වැය නොකර ඉතිරි කරගත් අරමුදල් නෙමෙයිනේ. ලංකාවේ රජය ඒ විදිහට සල්ලි ඉතිරි කර තිබෙන්නේ අවුරුදු පහ හයකදී පමණයි. අනෙක් හැම අවුරුද්දකදීම වුනේ ප්රාථමික අයවැය හිඟයක් පවත්වා ගනිමින් එය පියවීම සඳහා ණය වීම. ඒ කියන්නේ කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 රජය විසින් ණයට ගත්ත සල්ලි කියා කියන්න පුළුවන්. (පසු සටහන: මෙයින් මිලියන 17ක් වාහන වල වටිනාකම වැඩි වීම නිසා නිවැරදිම ගණන මිලියන 587ක්.)
ඔය විදිහට ණයට ගත්ත රුපියල් මිලියන 604 සඳහා වාර්ෂිකව 10%ක පොලියක් ගෙවුවා කියා අපි හිතමු. ලංකාවේ රජය විසින් ඒ විදිහට පොලී ගෙවලා තියෙන්නෙත් ණය අරගෙනනේ. ඔය වැඩේ අවුරුදු 30ක් එක දිගට කළොත් කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 කීයක් වෙලාද? ගණන් හදලා බැලුවොත් රුපියල් මිලියන 10,539ක් වෙලා!
දැන් ඔය පාඩුව කජු සංස්ථාවේ ගිණුම් වල නැහැ. එහි තිබෙන්නේ රුපියල් මිලියන 157ක පාඩුවක් පමණයි. නමුත් කජු සංස්ථාව වෙනුවෙන් යට කළ මුදල සහ ඒ වෙනුවෙන් ගෙවූ පොලිය එකතු කළොත් ඊට සාපේක්ෂව විශාල මුදලක් පාඩු වෙලා තිබෙනවා. ඒ මුදල තිබෙන්නේ ශ්රී ලංකා රජයේ ණය ගොඩේ. ඔය විදිහට තමයි ශ්රී ලංකා රජයට වත්කම් නැතුව ණය එකතු වෙන්නේ.
මාළු කන්න ගිහින් තියෙන වියදම බැලුවොත් කජු කන්න ගිය වියදමටත් වඩා ගොඩක් වැඩියි. 2023 වර්ෂය අවසානයේදී ධීවර සංස්ථාවේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 1,702ක්. මේ ගිණුම් වල තිබෙන අලාබය. ධීවර සංස්ථාව වෙනුවෙන් රජය යට කර තිබෙන මුදල රුපියල් බිලියන 1,520කටත් වඩා වැඩියි. ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවන පොලී වියදම ධීවර සංස්ථාවේ ගිණුම් වල නැහැ.
කජු සංස්ථාව වගේ සාපේක්ෂව කුඩා ආයතනයක් පාඩු ලැබුවත් ඒ පාඩු පියවීම සඳහා රජයේ අයවැයෙන් නැවත නැවත මුදල් වෙන් කරන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා, කජු සංස්ථාව පවත්වාගෙන යාම සඳහා වෙනත් පාර්ශ්ව වලට ණය වෙන්න අවශ්ය නැහැ.
කජු සංස්ථාවේ කතාව ඔය වගේ වුනත්, ශ්රීලන්කන් ගුවන් සේවය හෝ ලංවිම වගේ විශාල ආයතන ලොකු පාඩු ලබද්දී ඒ පාඩු වල තරමට රජයේ අයවැයෙන් මුදල් වෙන් කරන්න අමාරුයි. මේ ආයතන වලට පාඩු ලබමින් දුවන්නත් බැහැ. දුවන්නනම් කොහෙන් හෝ අරමුදල් ලැබිය යුතුයි. ඒ නිසා මේ ආයතන වලට වෙනත් තෙවන පාර්ශ්ව වලට ණය වෙන්න සිදු වෙනවා.
මේ විදිහට තෙවන පාර්ශ්ව වලට ණය වූ විට අදාළ ආයතන වලට එම ණය වෙනුවෙන් පොලිය ගෙවන්නත් වෙනවා. ඒ පොලී වියදම් මූල්ය පිරිවැය ලෙස අදාළ ආයතනයේ ගිණුම් වල සටහන් වෙනවා. නමුත් හරියටම බැලුවොත් මේ විදිහට ගිණුම් වල සටහන් වෙන්නේත් මූල්ය පිරිවැය වලින් කොටසක් පමණයි. ඒ එම ආයතනය විසින්ම සෘජුව ණයට ගත්ත අරමුදල් කොටසේ මූල්ය පිරිවැය. රජය විසින් ණයට ගෙන ප්රාග්ධනය සේ යෙදවූ අරමුදල් වල මූල්ය පිරිවැය මේ ආයතන වල ගිණුම් වල සටහන් වෙන්නේ නැහැ. ඒවා සටහන් වෙන්නේ මධ්යම රජයේ ගිණුම් වලයි.
සමහර වෙලාවට ලංවිම, තෙල් සංස්ථාව වැනි ආයතනයක් කිසියම් අවුරුද්දකදී ලාබ ලබන්න පුළුවන්. නමුත් ගිණුම් වල ලාබයක් පේන්න තිබුණු පමණින් එය ඇත්ත ලාබයක් වෙන්නේ නැහැ. ඇත්ත ලාබයක් කියා කියන්න පුළුවන් වෙන්නේ මෙවැනි ආයතනයක් වෙනුවෙන් රජය විසින් වැය කර තිබෙන මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලී ලෙස ගෙවිය යුතු මුදල රජයට ලබා දීමෙන් පසුවද ඉතිරියක් වන තරමේ ලාබයක් ගිණුම් වල පෙනේනම් පමණයි.
economatta.blogspot.com
කජු කන්න ගිය ඇත්ත වියදම කීයද?
sri lanka economy