|

රාජ්‍ය සේවයේ කිරිපල්ල අත නොගා පත්වීම් කළොත් ලෙඩක්..- චන්ද්‍රසිරි සෙනෙවිරත්න

linkedin sharing button
whatsapp sharing button
messenger sharing button
ජනාධිපති අනුර කුමාර දිසානායක, තනතුරු සඳහා තෝරා පත් කළ සමහර නිලධාරින් පිළිබඳ බොහෝ චෝදනා හෙළිවෙමින් පවති.

ඩී.බී. විජේතුංග සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් දෙදෙනා හැර මෙතෙක් රට පාලනය සඳහා ඍජුව ජනතාව 51%ක වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගත් සියලු විධායක ජනාධිපති වරුන්ට මෙන් කැමති කෙනෙක් කැමති තනතුරකට පත් කිරීමේ අභිමතය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලැඛෙන්නේ නැත. 50% ක් නො ලැබුණද ජනාධිපති දිසානායකට අත දිග හැර වැඩ කිරීමේ ජන බලය පැවරී ඇත.

ජනාධිපති දිසානායක රාජ්‍ය පරිපාලන ලේකම් ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පිළිබඳව ජෝෂප් ස්ටාර්ලින් කළ කර්කශ විවේචනය කිසිවෙකු අපේක්ෂා නො කළ තත්වයකි. එකී විවේචනයෙන් දින කිහිපයකට පසුව එකී නිලධාරියා එකී නිලයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා විය. එසේම සම්පත් තුයියකොන්තා මෙන්ම, රවි සෙනෙවිරත්න ගැනද සමාජ මාධ්‍යයෙහි පළවන තොරතුරු යහපත් නොවේ.

රාජ්‍ය පරිපාලන ලේකම් 

ආරක්ෂක ලේකම් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා තෝරා ගත්තේ සිය සහෝදර ගෝඨාභය රාජපක්ෂ වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන් ඉවත්ව රට හැර ගිය පුද්ලයෙකි. මහින්ද තෝරා ගත් අග්‍රාමාත්‍ය ලේකම් ලලිත් වීරතුංග මේ වනවිට රාජ්‍ය මුදල් පරිහරණය ගැන වැරදිකරු වී සිර දඬුවම් ලබා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නුසුදුස්සෙකු කළ ආර්ථීක ඝාතක පී.බී.ජයසුන්දර, රාජපක්ෂලා විසින් තවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් සුද්ධ පවිත්‍ර කොට රාජ්‍ය සේවයට යළි කැඳවීය. ගෝඨාභයත් 2019දී ජනාධිපති ලේකම් ලෙස නම් කළේත් අර ආර්ථීක ඝාතකයාමය.

ලලිත් වීරතුංග | පී.බී.ජයසුන්දර

 

මේ අතීත කතා සමග ගලපන කල්හී, ජනාධිපති දිසානායක යනු වෙනස් තේරීමකි. ඔහුට පැවරුණ ජාතික වගකීම හොරකම දූෂණය රටෙන් අතු දමා ආර්ථීකය ශක්තිමත් කිරීමය. ජෝෂප් ස්ටාර්ලින් කළ විවේචනයට පසුව රාජ්‍ය පරිපාලන ලේකම් ස්වේච්ඡාවෙන් ඉවත් වීමත් රටේ ජයග්‍රහණයකි. ඒ පත්වීම් පිළිබඳ ජනාධිපති දිසානායකට ඇඟිල්ල දිගු වීම වැළැක්විය නො හැකිය.

ආසන්න වසර 30ක  රාජ්‍ය සේවයේ තත්වය ඛෙහෙවින් කණගාටුදායකය. ආරක්ෂක ලේකම්වරු දෙදෙනා හැර පත් කළ සියලු දෙනා තොරා ගනු ලැබුවේ රාජ්‍ය සේවයෙනි. ජනාධිපති ලේකම් ලෙස කුමානායක පත් කිරීම ගැන රාජ්‍ය සේවකයන් තුළ මතු වූ අසතුට රහසක් නොවේ. එකී බලපෑම නිසා දෝ අමාත්‍යාංශ ලේකම්වරු තෝරා ගැනීමේදී රාජ්‍ය සේවයේ ප්‍රවීන ජ්‍යෙෂ්ඨයන් තොරා ගත් බවට කිසිදු සැකයක් නැත. අවාසනාව වන්නේ අවලාද නැගුණ එක් අයෙකු දැනටම ඉවත්ව ගොස්ය.

රටේ කඩා වැටීම සම්බන්ධව රාජ්‍ය සේවයට පැවරෙන වගකීම අසීමිතය. භාණ්ඩාගාර මුදලින් එක් සතයක් හෝ රාජ්‍ය සේවයේ හතර දෙනෙකුගේ සමූහ ලිඛිත කැමැත්තෙන් තොරව වියදම් කළ නො හැකිය. සුනාමි සහන මුදල් සිල්රෙදි භාණ්ඩාගාර බිල්පත් වංචා ගැන රාජ්‍ය සේවය ඍජුව වගකිව යුතුවේ.

xft43534

ජනාධිපති දිසානායක පත් කළ, අමාත්‍යාංශ ලේකම් වරයෙකු පිළිබඳ විගණන විමසුම් අනුව හෙතෙම පළාත් සභාවක ප්‍රධාන ලේකම්ව සිටියේය. එකී තනතුරට හිමි කොළඹ නගරයේ පිහිටි නිල නිවෙසේ පදිංචියට නො පැමිණ කොළඹින් ඈතක පිහිටි සිය නිවසේ සිට නිල රියෙන් සේවයට පැමිණියේය. ඔහු නිවාස කුලියද රජයෙන් ලබා ගත් බව කියැවේ. නිල නිවෙසට එනවාද නැද්ද යන අභිමතය ලේකම් සතු වුවද, ඔහු නිල නිවසේ නතර විනි නම් රජයෙන් ලබා ගත් ගෙවල් කුලිය මෙන්ම දිනපතා යාම් ඊම් පිණිස වැය කළ ඉන්ධන ප්‍රමාණයද රජයට ඉතිරිය. හෙතෙම සද්භාවි නිලධාරියෙකු වී නම් නිල නිවෙස ප්‍රතික්ෂේප කිරීමේ තීරණය මත ගෙවල් කුලිය ලබා නො ගත යුතුව තිබිණ. එසේ වී වම් රජය ඔහු වෙනුවෙන් දරන්නේ ඉන්ධන වියදම පමණකි. මේ තත්වය සිදු වී ඇත්නම් ලේකම් වරයා යනු අමාත්‍යාංශය භාර ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන හෙයින් එවැන්නෙකුට එක් දිනක් හෝ අමාත්‍යාංශ ලේකම් ධුරයක් දැරීමට සුදුස්සෙක් නොවේ. නව පාලනය යටතේ මේ නම යළිත් නිර්දේශ වීමෙන් අදහස් වන්නේ රාජ්‍ය සේවය වංචනිකයන් ආරක්ෂා කරන බවය.

රටේ ජනතාව අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති ලෙස තෝරා පත් කළේ මේ නිලධාරි වාදය තුරන් කිරීමටය. තැපල් ඡන්ද දවසේ රාජ්‍ය සේවයෙන් 85%ක් තමන් සතු බව අනුර කුමාර කීය. ඔවුන් අනුරට වැඩ කළේ, රනිල් වික්‍රමසිංහ වැඩි කළ වැටුප් ප්‍රමාණයන්ද ප්‍රතික්ෂේප කරමිනි. අමාත්‍යාංශ ලේකම් තනතුරු සඳහා පත් කළ නිලධාරින් ආරංචියක් ඇසූ සැනින් ස්වේච්ඡාවෙන් අස් වී යන තරමට තත්වය බරපතල නම් ජනාධිපති දිසානායක ඊළඟට පත් කරන්නේ කවුද? මේ තත්වයට අනුර කුමාර දිසානායක කිසිසේත් වගකිව යුතු නැත. ඉහතින් විස්තර කළ ආකාරයට 2005 වසරේ මහින්ද රාජපක්ෂ ඇති කළ රටාව හේතුවෙන් පසුව ආසන්න වසර 19ක කාලයක් රාජ්‍ය සේවය අත්පත් කරගෙන සිටියේ අන්ත දූෂිත නිලධාරින් විසිනි. ජනාධිපති දිසානායකට ලැබී ඇත්තේ රාජ්‍ය සේවයක් නොවේ. රාජ්‍ය සමුපකාර සමිතියකි.

2014 ජනාධිපති මැතිවරණ රාජකාරි සඳහා තෝරා ගත් නිලධාරින් ලවා මහින්ද ජයග්‍රහණය කරවීමට සැකසූ  බී සැලැස්ම දිස්ත්‍රීක් මට්ටමෙන් මැතිවරණ රාජකාරිවලට රිංගවා ප්‍රතිපලය විකෘති කිරීමට එවකට රාජ්‍ය පරිපාලනයේ ඉහළ නිලධාරියෙකු දිස්ත්‍රීක් ලේකම් වරුන් මෙහෙයවීමට උත්සාහ කළේය. රටේ වාසනාවට සමහර දිස්ත්‍රීක්  තේරිම් භාර නිලධාරින් එකී බලපෑමට යට වුණේ නැත. මහින්ද යළි ජනාධිපති කරවීමේ ඒ සැලැස්ම හෙවත් ඉහළම කොටස 2015 ජනවාරි 7 දින රාත්‍රීයේ අරලියගහ මන්දිරයේදී ක්‍රියාත්මක කිරීමට නීතිපති විජේතිලක සහ හමුදාපති දයා රත්නායක සහාය නො දුන් බව රහසක් නොවේ.

මහින්ද වෙනුවෙන් මේ සැලැසුම් භාරව සිටි ඉහළ නිලධාරින් ජනවාරි 8 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ ටයි පටි මාරු කළහ. එයින් එක් නිලධාරියෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළම තනතුරට ජනාධිපති සිරිසේන විසින් තෝරා ගැනීමෙන් පසුව මහින්දට කඩේ ගිය නිලධාරින් යහපාලන ආණ්ඩුවේ බොහෝ අමාත්‍යාංශ ලේකම් තනතුරු වලට පත් කෙරිණ. ඒ පිරිසෙන් සමහරු 2019න් පසුව විශ්‍රාම ගත් අතර, 2022 ජනාධිපති වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩලයට යළි කැඳවනු ලැබීය. ඔවුන් විසින් සිය ගෝල බාලයන් සිය ගණනක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ගත්හ. වර්තමානයේ සිදු වන්නේද ඒ ක්‍රියාවලියමය.  

 

2015දී  එක් දිස්ත්‍රීක්කයක එක් ප්‍රාදේශීය ලේකම් වරියකට ලැබුණ ස්ථාන මාරුව ක්‍රියාත්මක නො වීම ගැන ඇයගේ කාර්ය මණ්ඩල බහුතරය සිටියේ අසතුටිනි. ඒ ස්ථාන මාරුව නතර කළේ ඇයගේ ආසන්න ඉහළ නිලධාරියාගේ කරුණාව නිසා ය. මේ සිදධිය ගැන උනන්දු වූ රාජ්‍ය සේවයෙන් පිටස්තරයෙක්, වංචනික ගමන් වියදම් ලබා ගත් බව තහවුරු වි දෙවරක් එකී මුදල් ආපසු රජයට ගෙවීමට සිදුවූ ඇය මෙසේ ආරක්ෂා වන්නේ කෙසේදැයි එකී දිස්ත්‍රීක් ලේකම් ගෙන් විමසීය.

 

”රාජ්‍ය සේවයේ ඔය වාගේ විගණන විමසුම් (ඔඩිට් ක්වරී) නැති කෙනෙක් හොයන එක නො මළ ගෙදරකින්  අබ මිටක් හොයනවා වාගේ.” යන්න ඒ ප්‍රධානියාගේ සරල සරල පිළිතුර විය. මේ කියන දිස්ත්‍රීක් ලේකම් වරයා කෙටි කලකින් රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් විය.  ඒ සඳහා ඔහුට තිබුණ ප්‍රධාන සුදුසුකම අමාත්‍ය වජිර අබේවර්ධනත් අර නිලධාරියාත් දෙදෙනාම ගාල්ලේ වීමය. රාජ්‍ය සේවය තුළ දූෂණය වංචාව ආරක්ෂා වෙන්නේ එහෙමය. ඉතිහාසයේ මුල් වරට මහනුවර දිස්ත්‍රීක් ලේකම් තනතුර 6 මසක් ඉක්ම යන තෙක් නිත්‍ය නිලධාරියෙකු පත් කිරීමට අසමත් වුණේ මේ කාලයේය.  

වසර දෙ දහස් දොළහේදී දඹුල්ලේ පන්සලක් අනවසර පදිංචියක් ලෙස සලකා ඉවත් කිරිමට නිකුත් කළ අධිකරණ නියෝගයකට එරෙහිව රිට් ආඥා පෙත්සමක් විභාග කළ මහනුවර මහාධිකරණය, වසර 47ක් පැරණි එකී විහාරස්ථානය ඉවත් කිරීම නීති විරෝධි බව තීරණය කළේය. පන්සල් දෙකක ආරවුලක් නිසා පළාතේ කැබිනට් ඇමති වරයාගේ උපදෙස් අනුව එක් පන්සලක් නඩු පවරා ඉවත් කිරීමේ නියෝගය ලබා ගත් ප්‍රාදේශීය ලේකම් වරිය එකී සේවා ස්ථානයේ 12 වසරක් එක දිගට සේවය කර තිබිණ. තම වාසියට ප්‍රාදේශීය දේශපාලනඥයන් කියන ඕනැම දෙයක් කරන රාජ්‍ය නිලධාරින් පිළිබඳ කතාන්තරයේ අගමුල දෙකම මේ වාගේය.

තම නිර්දේශය මත පින් පඩියක් ලබා නො දීම ගැන මාතලේ මන්ත්‍රී නිමල් කරුණාතිලක(1956-1960) මාතලේ දිසාපති රත්නම් ගෙන් ප්‍රශ්න කළේය.  ලිපි ගොනුව පරීක්ෂා කළ දිසාපති කීවේ වසමේ ගම්මුලෑදෑනියාගේ වාර්තාව අනුව එකී පින් පඩි ඉල්ලීම ඉටු කළ නො හැකි  බවය. තම නිර්දේශය ප්‍රතික්ෂේප කිරීම ගැන ප්‍රශ්න කළ අවස්ථාවේ මන්ත්‍රී වරයාට දිසාපති දුන් පිළිතුර කුමක්ද? ”රජයේ මුදල් භාවිතය නිවැරදිව කිරීමට බැඳි සිටින මා වඩාත් විශ්වාස කරන්නේ මගේ නිලධාරින් මිස ඔබේ නිර්දේශය නොවේ.”  නවසිය පනස් හය හැට යුගයේම අමාත්‍ය සී.ඒ.එස්. මරික්කාර් ගුවන් විදුලියට නිතර කළ අනවශ්‍ය බල කිරීම් ගැන එහි ප්‍රධානින් වරක් රාජ්‍ය සේවා කොමිෂමට පැමිණිලි කළේය. ප්‍රතිපලය රාජ්‍ය සේවා කොමිෂම කැබිනට් ලේකම් හරහා එකී අමාත්‍යවරයාට අවවාද කරවීමය. මේ සෝල්බර් ව්‍යවස්ථාව ක්‍රියාත්මකව පැවති කාලයේ රාජ්‍ය සේවයයි.

ආයතන සංග්‍රහ රෙගුලාසි අනුව රාජ්‍ය සේවා සාමාජිකයෙකුට එක් සේවා ස්ථානයක සේවය කළ හැක්කේ වසර තුනක කාලයක් පමණකි. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති බොහෝ විධිවිධාන 1972 ජන රජ ව්‍යවස්ථාවෙන් යටපත් කළ නිසා රාජ්‍ය සේවය එහෙයියන් වීමෙන් අවාසනාවට මුළු රටම මුහුණ දී සිටියි. හොරකම් දූෂණ මැඩ රට ගොඩ නැගීමට ජනාධිපති දිසානායකට අවශ්‍ය නම් කළ හැක්කේ රාජ්‍ය සේවය සුද්ධ කිරීමෙන් පමණකි. පාර්ලිමේන්තුවට එන දෙ සිය විසිපහ තේරීමේ හැකියාව නව පාලකයාට නැත. ප්‍රබල විපක්ෂයක් අපේක්ෂා කරන මධ්‍යස්ථ මතධාරින් පාසලේ දරුවන් ඇතුල් කිරීමේ මුවාවෙන් ඩෙස්ක් පුටු ලක්ෂ ගණනට විකුණා පොහොසත්වන විදුහල්පති මාෆියාව ගැනද වද වෙති. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇත්තේ ඖෂධ බිස්නස් පමණක් නොවේ. පුද්ගලික වෛද්‍ය සේවය හරහා රජයේ රෝහලක ඇඳක් ලබා ගැනීමේ හැකියාවත් රහසක් නොවේ. මහා මාර්ගයේ ඉරි කපා වැරදි තැන්වල නවතා අසුවන රියදුරන් පගාවට  බේරා හරින පොලිසිය ලවා මාර්ග අනතුරු අවම කිරීම විහිළුවකි. නොවැම්බර් මහ මැතිවරණයට පෙර මේ අවංකව මේ තත්වය වෙනස් කරන බව රටට තහවුරු කරයි ජනාධිපති දිසානායක සමත් ය.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *