|

අනුර ගේ ජය හා රනිල් ගේ පරාජය! – වික්ටර් අයිවන්

sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
messenger sharing button
මා ජනාධිපති වරණයේදී පෙනී සිටියේ එම තරඟයෙන් තුන්වැනි ස්ථානය හිමිකරගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි.ඔහු ලැබූ පරාජය තේරුම් ගත හැකිය.

බංකොලොත් තත්වයකට ඇද වැටී තිබුන ලංකාව ඒ අවසනාවන්ත තත්වයෙන් මුදා ගැනීම පිනිස ඔහු කර තිබෙන සුවිශේෂ හා අසම සම කාර්‍ය්භාරයට ලැබිය යුතු වැදගත් කම ගැන මා මීට පෙර කථාකර ඇති බැවින් ඒ ගැන කිසිවක් මා මේ අවස්තාවේදී කථා කරන්නේ නැත. ඒ සමග ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට හා ජාතික ලැයිස්තුවෙන්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීමට ගෙන තිබෙන තීරනයන්ද  ප්‍රසස්ත  බව කිව යුතුය. ඔහු විසින්ම කියා ඇති පරිදි ලංකා දේශපාලන ඉතිහාසයේ ඔහුට හිමි තැන තීරණ කරනු ඇත්තේ අනාගතය විසිනි.

xdfg4
මාගේ ජන්දය දුන්නේ නැතත් ජනාධිපති ධූරයට තේරී පත්වී සිටින අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටද ශුභ පැතීමට මා මෙය අවස්තාවක් කරගනිමි. ඔහුගේ ජයග්‍රහනයට ආවේනික සමහර සීමීතකම් තිබියදීත් ඔහු ලබාගෙන තිබෙන ජයග්‍රහනය ඉතාමත් සුවිශේෂ වේ යැයි කිව හැකිය. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ජයග්‍රහනයට ආවේනික ලොකුම සීමිත කම ලෙස සැලකිය හැක්කේ සීයට 50 කඩ ඉම පසුකිරීමට නොහැකිවීමයි. මනාප ගනන් කරන තැනකට යන්නට පෙර ජයග්‍රාහකයා ලබා ගැනීමට සමත්  වී තිබුනේ ජන්ද සීයට 42.31 කක් පමණය.

මෙතෙක් පැවති ජනාධිපතිවරණ වලින් තේරීපත්වූ ජනාධිපතිවරුන් අතරින් සීයට 50 කඩ ඉම පසු කිරීමට අසමත් වූ පළමු ජනාධිපති වරයා ලෙස සැලකිය හැක්කේ අනුර කුමාර දිසානායකය.

xfyge56
දෙමළ ජනතවගෙන් ප්‍රමාණවත් තරමේ එකඟතාවක් ලබා ගැනීමට අසමත් වීමද එම ජයග්‍රහනයට ආවේනික පෙනෙන්නට තිබෙන තවත් සීමිත කමක් ලෙස සැලකිය හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ජයග්‍රහනය සමග සසදන විට අනුර කුමාරගේ ජයග්‍රහනය කුඩාය. ගෝඨාභය ජන්ද 69 ලක්ෂයක් ලබා ගන්නා විට අනුර කුමාරට ලබා ගත හැකි වූයේ ජන්ද 56 ලක්ෂයකි.

ඔහුගේ ජයග්‍රහනයට එවැනි සීමිත කම් තිබුනද එම ජයග්‍රහනය ඉතා වැදගත් වනවා සේම සුවිශේෂද වන්නේය.. ඔහු නිර්වචනය කෙරෙමින් තිබෙන පළමු නිර්ප්‍රභූ රාජ්‍ය නායකයා ලෙසය. එහෙත් එම නිර්වචනය වැරදිය. දේශපාලන තලයේ පැවති ප්‍රභූ ආධිපත්‍යයේ බිඳ වැටීමක් සිදුවන්නේ 1956 දීය. ඒ ගැන හොඳම විග්‍රහය ලියා තිබෙනුයේ හෝවාඩ් රිගින්ස් (Ceylon:Dilemmas of a New Nation) විසිනි. මාර්ටින් වික්‍රමසිංහ ද ඒ ගැන ” බමුණු කුලයේ බිඳ වැටීම” නමින්  විග්‍රහයක් ලියා තිබේ.

xdt454

56 පෙරළිය නමින් හැඳින් වෙන 1956 සිදුවූ දේශපාලන පරිවර්තන ක්‍රියාදාමය  ප්‍රභූ පංතියේ ආධිපත්‍යයේ ලොකු බිඳ වැටීමක් ඇති කිරීමට හේතුවූ ප්‍රධානම  ඓතිහාසික සන්සිද්දිය  වුවද එම පෙරළියට නායකතවය දුන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණඩාරණායක අයත්වූයේ නිර් ප්‍රභූ පංතියට නොව ප්‍රභූ පංතියටය. නිර්ප්‍රභූ පංතියෙන් රාජ්‍ය නායකත්වයට පත්වන පළමු වැන්නා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති ආර්.ප්‍රේමදාසය. ඒ 1988 දීය. ඉන්පසු 2015 දී ජනාධිපති ධූරයට පත් මෛත්‍රීපාල සිරිසේන නිර් ප්‍රභූපංතියෙන් රාජ්‍යය නායකත්වයට පත් දෙවැන්නා ලෙස සැලකිය හැකිය. එහෙත් නිර්ප්‍රභූ තත්වයක සිට රාජ්‍ය නායකත්වයට පත් එම දෙදෙනාම එම තත්වයට පත් වූයේ ප්‍රභූ තන්ත්‍රයෙන් ලබාගන්නා ලද එකඟතාවයකින් යුතුවය. අනුර කුමාර දිසානායක වෙනස් වන්නේ එහිදීය. ඔහු රාජ්‍යය නායකත්වයට පත්වන්නේ ප්‍රභූතන්ත්‍රයේ ලබාගන්නා එවැනි එකඟ තාවයකින් තොරවය. ඒ අර්ථයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රභූ පංතියෙන් ලබා ගන්නා එකඟතාවයකින් තොරව රාජ්‍යය නායකත්වයට පත් පළමු නිර්ප්‍රභූ නායකයා ලෙස සැලකිය හැකිය. එහෙත් ඔහු නිර් ප්‍රභූ ගනයට අයත් වන්නේ කුලයෙන් නොව පංතියෙනි. කුලය අනුව ගත් විට ඔහු අයත් වන්නේද නිර්ප්‍රභූ ගනයට නොව ප්‍රභූ ගනයටය.

ප්‍රභූත්වය පිළිබඳව ජවිපෙ සමාජ ගත කර තිබෙන අදහස් නිවැරදි නොවනවා සේම අවුල් සහගතය. වැඩ වසම් ප්‍රභූ පංතිය උසස් කුලවතුන්ට පමණක් සීමාවූ සමාජ කණ්ඩායමකින් ගොඩ නැගී තිබුණු විශේෂ සමාජ ස්තරයක් විය. ජන්ම උරුමය අනුව උසස් කුලවතුන්ට මිස ඉන් පිටස්තර කුලවල අයට ඊට එකතු වීමේ හැකියාවක් නැති කම එම සමාජ ස්තරයට  ආවේනික වැදගත් ලක්ෂනයක් විය.

එහෙත්  ධනපති ප්‍රභූ පංතියේ සොභාවය ඊට මුළුමනින් වෙනස්ය. කුලය, වර්ගය, ආගම, ලිංගය යන බේද නොසලකා ධනවත් කමක් ඇති ඕනෑම කෙනෙකුට ධනපති ප්‍රභූ පංතියට එකතු වී මේ හැකියාව පවතී. 19 වැනි සියවසේදී ලංකාවේ ගොඩනැඟී තිබුන දේශිය ප්‍රභූ පංතිය පිලිබඳව මයිකල් රොබට්ස් කර තිබෙන අධ්‍යනයකට අනුව ස්වදේශිය ධනපති ප්‍රභූ පංතියේ ලොකුම හා බලවත්ම කොටස සමන්විත වූයේ උසස්ම කුලය ලෙස සැලකුන ගොවිගම කුලයෙන් නොව කරාව, දුරාව හා සලාගම යන මුහුදු බඩ කුලවලිනි. නිදර්ශනයක් වශයෙන් 1917 සිංහල වතු හිමියන්ගෙන් 62.9% ක්ම අයත්වුයේ ගොවිගම නොවන එම කුල තුනටය. ගොවිගම කුලයට අයත්වූයේ සිංහල වතු හිමියන්ගෙන් 36.1%ක් පමණය.

1818 කැරැල්ල පරාජය කෙරෙන තෙක් වැඩවසම් රදළ වරුන්ට උඩරට සමාජයේ අති විශාල බලයක් හිමිව තිබුනි. එහෙත් 1818 කැරැල්ල පරාජය කිරීමත් සමග බ්‍රිතාන්‍ය පාලකයින් රදළ වැඩ වසම් නායකයින් ට ඔවුන්ගේ සුපුරුදු රදළ නිල ඇඳුම් ඇඳීමේ අයිතියට පමණක් ඉඩදී ඔවුන් බුක්ති විඳි බලතල හා වරප්‍රසාද (මහජනයාගෙන් දැකුම් හා පඬුරු ලබාගැනීමේ අයිතිය හා නඩු අසා දඬුවම් කිරීමට තිබුණු බලය) අහෝසි කලේය. ඒ සමග රදළයින් කිසිදු වැදගත් නිල බලයක් නැති සමාජ කණ්ඩායමක් බවට පත් විය.

එහෙත් වර්ධනය වෙමින් පැවති ධනපති ප්‍රභූ පංතිය තමන් වෙත රදළ මහේෂාක්‍ය පෙනුමක් ආරෝපනය කරගැනීම සඳහා රදළ පවුල් වලින් අවාහ විවාහ කර කරගත්තේය. රදළ වලව් ආකෘතියට නිවාස තනාගෙන ඒවා වලව් ලෙස නම් කොට පවත්වාගෙන යාමද ධනවත් ප්‍රභූ පවුල් අනුගමනය කල ජනප්‍රිය පිළිවෙතක් විය. රදළ නොවන ගොවිගම ධනවතුන් පමණක් නොව ගොවිගම නොවන කුලවලට අයත් ධනවතුන්ටද වලව් ආකෘතියට තනාගත් වලව් වශයෙන් නම් කල නිවාස තිබුණි. ඒ මගින්  ඒවාහී හිමිකරුවන් තමන් වෙත රදළ මහේශාක්‍ය බවක් ආරෝපනය කරගත්තද ඔවුන් ධනවතුන් ලෙස මිස රදළ වලව්කාරයින් ලෙස සැලකිය නොහැකිය.

නිදහසින් පසුව රදළ ස්තරයෙන් රාජ්‍යය නායකත්වට පත්ව ඇත්තේ එක් අයෙක් පමණය. ඒ සිරිමා බණ්ඩාරණායකය. රාජ්‍යය නායකත්වට පත් ධනපති ප්‍රභූ පංතියට අයත් බොහෝ නායකයින්ට වලව් නමින් හැඳින්වෙන නිවාස තිබුණද ඒ කිසිවෙක් සැබෑ රදළ වලව්කාරයින් නොවීය. එස්.ඩබ්ලිවි.ආර්.ඩී. බණ්ඩාරනායක පවා නියම රදළ වලව්කාරයෙකු ලෙස සැලකිය නොහැකිය. ඒ නායකයින් බොහෝ දෙනෙකු ධනපති ප්‍රභූ පංතියට අයත් වුවද ඔවුන් ගේ දේමාපියන් වැඩි දෙනෙකු බ්‍රිතානය යටත් විජිත යුගය තුල විවිරවී තිබූ ආර්ථික ඉඩප්‍රස්තා ප්‍රසස්ත ලෙස ප්‍රයෝජනයට ගෙන ධනවත්වූ සාමාන්‍ය පංතියේ (අව වරප්‍රසාදිත පසුබිමකින් පැමිණි )අය වූහ.

තවදුරටත් අපි ප්‍රභූ, නිර් ප්‍රභූ විවාදයේ හිර නොවී අනුර දිසානායක හිමිකරකත් ජයග්‍රහනයෙන් පසු විය හැකිව තිබෙන දේවල් ගැන සාකච්චා කරන තැනකට යා හැකිය. මා ලංකාව බංකොලොත් භාවයෙන් මුදා ගැනීමේ වැඩ සටහනේ ඉතිරි කොටස ඉදිරියට ගෙනයාමට සිටින හොඳම නායකයා ලෙස දැක්කේ රනිල් වික්‍රමසිංහය. එහෙත් ඒ සඳහා පැවති තරඟයෙන් ඔහු පරාජය වී තිබෙන අතර හොඳට හෝ නරකට දැන් එම වගකීම පැවරී තිබෙනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙතය. දැනට බැලු බැල්මට පෙනෙන්ට තිබෙන්නේ නව ජනාධිපතිවරයාද රනිල් ගේ IMF වැල්පාලමේම ගමන් ගැනීමට තීරණය කර තිබෙන බවය.. එය ස්තීර ප්‍රතිපත්තියක්ද?තාවකාලික ප්‍රතිපත්තියක්ද? යන්න පැහැදිලි නැතත් ඒ ගමනේ යෙදී සිටින තෙක් ඔවුන්ට ආධාර කරනවා මිස අවහිර  කරන ප්‍රතිපත්තියක් රටේ යහපතට හේතුවන්නේ නැත.

xft43534
එවැනි ප්‍රතිපත්තියක් ජනාධිපතිවරයා බලයට පත් කල වමට බර ජනයාගේ සංතෝෂයට හේතු නොවන්නේ නම් මහජන ආකර්ෂනය දිනා ගැනීම සඳහා ජනාධිපතිවරයාට කලහැකි සටන්කාමි ප්‍රතිසංස්කරණ තිබෙන්නේය. තමන්ගේ වියදමින් විශ්‍රාම ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය තරම් ධනය තිබියදී හා විශ්‍රාම ජීවිතය ගත කිරීම සඳහා තමන්ගේම හොඳ නිවාස තිබියදී විශ්‍රාම ගිය ජනාධිපතිවරුන් ඒ සියල්ල මහජන වියදමෙන් ලබාගන්නා අවලස්සන කෑදර ක්‍රමය අහෝසි කලහැකිය. එසේම ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයේ පරිහානිය කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකයක් ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීතියට පටහැනිව රජය සමග  ව්‍යාපාර කිරීමට ලැබී තිබෙන නිදහස අහෝසිකල හැකිය. නිල වාහන ප්‍රතිපතියද ක්‍රමවත් කොට ඉන්ධන වියදම උපරිම තත්වයක තිබෙන වාහන වෙනුවට ඉන්දන වියදම අවම තත්වකට ගෙන ඒමට හේතුවන වාහන ලබා දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල හැකිය. ඒ ප්‍රතිසංස්කරණ මීට පෙර බලයේ සිටි කවර ආණ්ඩුවකටවත් ක්‍රියාත්මක කල නොහැකි ප්‍රතිසංස්කරණ ලෙසද සැලකිය හැකිය.

ඊට අතිරේඛව රජයට බදු එකතු කරන හා රජයට ආදායම් උපයා දෙන රාජ්‍යය ආයතනවල කටයුතු ඩිජිටෙල් කිරීමෙන් ඒ ආයතබවල සිදුවන දූෂණ අවම කොට රජයට ලැබෙන ආදායම් උපරිම කල හැකිය. එවැනි ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් දේශපාලන බේදවලින් තොරව සියළු දෙනාගේ පිලිගැනීමට හේතුවනු ඇති අතර රාජ්‍යයේ ඇතිවී තිබෙන ජාරාජීර්න භාවය, අකාර්‍යක්ෂම තාව තුරන් කොට රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය කාර්‍යක්ෂම කිරීමට හේතු වනු ඇත.

victor ivon(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
mkvictorivan@gmail.com

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)
2024 September 25

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *