| |

රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම් – ඉකොනොමැට්ටා

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අලුතෙන් ඇමති මණ්ඩලයක් හා අමාත්යාංශ ලේකම්වරුන් පත් කර තිබෙනවා. ඇමති මණ්ඩලය පත් කිරීම හා අදාළව ඔහුට විශාල තේරීමක් කිරීමේ අවකාශයක් තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායකගේ හිස් වූ මන්ත්රී ධුරය සඳහා පත් කෙරුණු මන්ත්රීවරයාද ඇතුළුව පාර්ලිමේන්තුව තුළ ඔහුගේ කණ්ඩායම නියෝජනය කළේ තිදෙනෙක් පමණයි.
දැන් මේ මන්ත්රීවරුන් තිදෙනා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවති අමාත්යාංශ වල පාලනය භාරගෙන තිබෙනවා. ඒ තිදෙනාගෙන් අයෙක් වන හරිනි අමරසූරිය අගමැති සේ පත් වී තිබෙනවා. මහ මැතිවරණය අවසන්ව අලුතෙන් ආණ්ඩුවක් පත් වන තුරු ශ්රී ලංකා රජයේ ඉහළම ස්ථරය වන්නේ මේ හතර දෙනාගේ කණ්ඩායමයි. ඔවුන්ට සුබ පැතුම්!
මේ තත්ත්වය අනපේක්ෂිත තත්ත්වයක් නෙමෙයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ පත් වීමෙන් අනතුරුව ජනාධිපති හා අගමැති ඇතුළු හතර දෙනෙකු විසින් අමාත්යංශ ලේකම්වරුන් මගින් රජය පවත්වා ගෙන යන බව කලින්ම කියා තිබුණු දෙයක්. එම අවස්ථාවේදී එය වැරදි ලෙස අර්ථකථනය කළ තැන්ද දැකිය හැකි වුනත්, මෙය ශ්රී ලංකා රජයේ අඛණ්ඩත්වය පවත්වා ගත හැකිව තිබුණු සාමාන්ය ආකාරයයි.
ශ්රී ලංකා රජය කියන්නේ ජනාධිපති, අගමැති හා අමාත්ය මණ්ඩලය නෙමෙයි. ඔවුන් විධායකයේ ඉහළම ස්ථරය වුවද ප්රායෝගිකව ඇත්තටම රට පාලනය කරන්නේ අමාත්යංශ ලේකම් වරුන් විසිනුයි. එයින් ඉහළ තලයේදී බොහෝ දුරට සිදු වන්නේ රාජ්ය ප්රතිපත්තීන්හි දිශානතිය තීරණය කිරීම හා මහජන සන්නිවේදනයයි. ඇත්තටම රාජ්ය පාලනය සිදු වන්නේ අමාත්යංශ ලේකම් වරුන් අතින් වුවත් එහි වගකීම ගන්නේත්, ගෞරවය ලබන්නේත්, දෝෂාරෝපණ ලබන්නේත් අමාත්යවරයායි.
මේ අනුව, අවසාන වශයෙන් රාජ්ය පාලනය කරන්නේ අමාත්ය වරුන් මිස අමාත්යංශ ලේකම් වරුන් නොවන බව කිව හැකි අතර එය තාක්ෂනිකව නිවැරදියි. එහෙත් මහජනතාව විසින් හදිසියේ තෝරා පත් කර එවනු ලැබ අමාත්ය වරයෙකු වන අයෙකුට ඒ සඳහා පළපුරුද්දක් නැහැ. ඒ නිසා ඔවුන්ට “වැඩ පුහුණු වන්නට” සිදු වන්නේ අමාත්යංශ ලේකම් වරුන්ගේ උදවුවෙනුයි.
රාජ්ය පාලනයෙහි යෙදුනු දේශපාලන පක්ෂ විසින් සාමාන්යයෙන් කෙනෙකු අමාත්ය ධුරයකට පත් කර තිබෙන්නේ මුලින් නියෝජ්ය අමාත්ය තනතුරක් ලබා දී පුහුණු වන්නට ඉඩ හැරීමෙන් පසුවයි. එසේ පුහුණු වී පසුව අමාත්ය වරයෙකු සේ වාර ගණනක් කටයුතු කර ඇති අයෙකුට ආරම්භයේ සිටම අමාත්යංශ ලේකම්වරයෙකුට උපදෙස් හෝ නියෝග දීමට මෙන්ම අලුතෙන් පුද්ගලයෙකු අමාත්යංශ ලේකම් සේ පත් කරගෙන ඔහු හරහා අමාත්යාංශය පාලනය කරන්න වුනත් පුළුවන්.
මෙවර රාජ්ය පාලනය භාර ගෙන තිබෙන්නේ සාපේක්ෂව අලුත්ම කණ්ඩායමක්. ඔවුන්ට ප්රධාන දේශපාලන පක්ෂ සතු වූ පළපුරුද්දේ වාසිය නැහැ. ඒ නිසා, අඩු වශයෙන් යම් කලයක් යන තුරු අමාත්යාංශ ලේකම් වරුන් මත යැපෙන්නට සිදු වෙනවා. (ඇතැම් විට අමාත්යාංශ වල කටයුතු අධීක්ෂණය කිරීම සඳහාත්, “වැඩ පුහුණු වීම” සඳහාත් නිල නොවන මට්ටමින් “සෙවනැලි ඇමතිවරුන්” පත් කිරීමක් දැනටමත් සිදු වී හෝ සිදු කිරීමට සැලසුම් වී තිබෙනවා විය හැකියි.)
මේ වන විට අලුතෙන් පත් කර තිබෙන අමාත්යංශ ලේකම් වරුන් කිහිප දෙනෙකු හැරුණු විට වැඩි පිරිසක් එම තනතුරු වල කලින් සිටි අයමයි. ආරක්ෂක අමාත්යංශයේ ලේකම් වැනි තනතුරු සඳහා තමන්ට විශ්වාසදායක අයෙකු පත් කර ගැනීම තේරුම් ගත හැකි හා තාර්කික දෙයක්. අනෙකුත් බොහෝ අමාත්යංශ ලේකම් තනතුරු වල කිසිදු වෙනසක් සිදු කර නැහැ. එයින් අදහස් වන්නේ රජයේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදු වනවා යන්නයි.
රටේ ආර්ථිකය දැනට පවතින තත්ත්වය තුළ වැදගත්ම තනතුරු දෙකක් වන්නේ මහ බැංකු අධිපති ධුරය හා මුදල් අමාත්යාංශ ලේකම් ධුරයයි. මෙයින් මහ බැංකු අධිපති ධුරය ආණ්ඩු මාරු වෙද්දී වෙනස් වන්නක් නොවෙයි. අලුත් මහ බැංකු පණත ක්රියාත්මක වන්නට පෙරද පැවතියේ මේ තත්ත්වයයි. ආණ්ඩු මාරු වීමෙන් පසුව අලුත් මහ බැංකු අධිපති වරයෙකු පත් කරනු ලැබූයේ හිටපු අධිපති වරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි.
කෙසේ වුවද, මෑත කාලයේදී මේ සම්ප්රදාය බිඳී ගියා. පළමුව, අධිපති කබ්රාල් විසින්ද ඉන් පසුව අධිපති කුමාරස්වාමි විසින්ද තමන්ගේ ධුර කාල අවසන් වීමට පෙර සිදු වූ ආණ්ඩු මාරු වලින් පසුව අළුත් ආණ්ඩුවට කැමති අධිපතිවරයෙකු පත් කිරීමට ඉඩ සලසමින් ධුරයෙන් ඉල්ලා අස් වුනා. එය වැරදි ආදර්ශයක්. තමන්ගේ පත් වීම දේශපාලන පත්වීමක් නොව වෘත්තීය පත්වීමක් බැව් සලකන්නේනම්, නෛතික ප්රතිපාදන අනුව ධුර කාලය ඉතිරිව තිබේනම්, ආණ්ඩු මාරු වෙද්දී එසේ ඉල්ලා අස්විය යුතු නැහැ. කෙසේ වුවත්, මේ අවස්ථා වලදී තිරයෙන් පසුපස සිදු වූ දේ අප දන්නේ නැහැ.
ආණ්ඩුව මාරු වූ පමණින් නන්දලාල් වීරසිංහ කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු නැහැ. එසේ කරන්නේනම් එය හිතාමතාම මහ බැංකු ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක්. විශේෂ හේතු නැත්නම්, ආණ්ඩුවට ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ හැකියාවක්ද නැහැ. එහෙත් “ක්රම සහ විධි” වලින් එසේ කිරීම නොකළ හැක්කක් නෙමෙයි. ආණ්ඩුව එසේ කරන්නට උත්සාහ කර ඇති බවක් කිසිසේත්ම පෙනෙන්නේ නැහැ.
මීට සාපේක්ෂව මුදල් අමාත්යංශ ධුරය සඳහා අලුතෙන් අයෙකු පත් කිරීම ආණ්ඩුවක් වෙනස් වෙද්දී සාමාන්යයෙන් සිදු වන දෙයක්. මේ අවස්ථාවේදී එවැන්නක්ද සිදු වීද නැහැ. හිටපු ලේකම් මහින්ද සිරිවර්ධනවම නැවත එම ධුරයෙහි හිඳුවා තිබෙනවා.
දැනට සාර්ථකව ක්රියාත්මක වන ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ හා අදාළව විශාල කාර්යභාරයක් ඉටු කළේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්යංශ ලේකම් මහින්ද සිරිවර්ධනයි. මෙම තනතුරු වෙනස් නොකිරීම මගින් පෙනෙන්නේ ආර්ථිකය අවදානමේ වැටෙන ආකාරයේ ලොකු අවදානමක් නොගන්නට අලුත් ආණ්ඩුව අඩු වශයෙන් ආරම්භයේදී හෝ පරිස්සම් වී ඇති බවයි.
දැනට මුදල් අමාත්යාංශ ධුරය භාරගෙන තිබෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්මයි. මා හිතන පරිදි දැනට රජයේ ඉහළ ස්ථරයේ සිටින සිවුදෙනා අතරින් ඒ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේද ඔහුයි. රටේ ආර්ථිකය හා අදාළව මුදල් අමාත්යංශ ලේකම් සමඟ සන්නිවේදනයක් කළ හැකි තරමේ හැකියාවක් ඔහු සතුව තිබෙනවා. එවැනි හැකියාවක් නොතිබුණු අයද මීට පෙර මෙම ධුරය දරා තිබෙනවා. කෙසේ වුවත්, ඔහුට ජනාධිපති සේ කටයුතු කරන අතර මුදල් ඇමති ධුරයේ කටයුතු වෙනුවෙන් වෙන් කිරීම සඳහා කොපමණ කාලයක් යෙදවිය හැකි වේද යන්නත් ගැටලුවක්.
අලුත් ආණ්ඩුව විසින් කළ යුතු ප්රමුඛ කාර්යයක් වන්නේ ඉදිරි වසර සඳහා අයවැය සකස් කිරීමයි. එය සම්මත කරගැනීම සිදු වනු ඇත්තේ මහ මැතිවරණයෙන් පසුව වුවත් ඊට පෙර කළ යුතු කාර්යයයන් දැන් සිටම කරන්නට සිදු වෙනවා. මේ දේවල් කළ යුත්තේ මුදල් ඇමතිවරයා සහ මුදල් අමාත්යංශ ලේකම් වරයා එකතුවයි.
මෙහිදී මුදල් ඇමතිවරයාගේ කාර්ය භාරය වන්නේ ආණ්ඩුවේ ප්රතිපත්ති හා ප්රමුඛතා නිවැරදිව අමාත්යංශ ලේකම් වෙත සන්නිවේදනය කර ඒවා ක්රියාත්මක කළ හැකි ආකාරය විමසා බැලීමයි. මහජන මතය තිබෙන්නේ අනෙක් සියල්ලකටම උඩින්.
එසේ වුවද, මහජන මතය කුමක් වුවත්, ඉක්මවිය නොහැකි තාක්ෂනික සීමාවන් කිසිසේත්ම ඉක්මවිය නොහැකියි. අමාත්යාංශ ලේකම් වරයෙකුගේ වගකීම වන්නේ තාක්ෂණික සීමාවන්ට යටත්ව, ආණ්ඩුවක ප්රතිපත්ති ක්රියාත්මක කිරීම සඳහා හැකි තරමින් පහසුකම් සැලසීමයි. සාමාන්යයෙන් ආණ්ඩුවකට අමාත්යාංශ ලේකම් වරයෙකු ඉවත් කරන්නට සිදු වන්නේ ආණ්ඩුවේ ප්රතිපත්ති ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය එම සහයෝගය නොලැබෙන විටයි.
ඇතැම් විට හිටපු අමාත්යංශ ලේකම් වරුන්ම නැවත පත් කිරීම අලුත් ආණ්ඩුව විසින් “වැඩ අල්ලා ගන්නා තුරු” සිදු කරන දෙයක් වෙන්න පුළුවන්. එය එසේනම්, මහ මැතිවරණයෙන් පසුව සම්පූර්ණ අමාත්ය මණ්ඩලයක් පත් කර යම් පුහුණුවක් ලබා ගැනීමෙන් අනතුරුව තමන්ට අවශ්ය පුද්ගලයින් අමාත්යංශ ලේකම් තනතුරු වලට පත් කරගන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, ආණ්ඩුවට අවශ්ය කාර්යයයන් දැනට සිටිනා නිලධාරීන් හරහාම සිදු වේනම් එවැනි අවශ්යතාවයක් නොපෙනී යා හැකියි.
මගේ පෞද්ගලික අදහස වනුයේ මැතිවරණයට පෙරම ඉදිරි වසර සඳහා අයවැය සකස් කිරීමේ කාර්යය තුළ මුදල් ඇමති ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්යංශ ලේකම් වරයා අතර හොඳ සම්බන්ධයක් ගොඩ නැගෙනු ඇති බවයි.
හිටපු ලේකම් වරුන්ම එම ධුරයින්හි හිඳුවීම මහ මැතිවරණය අවසන් වන තුරු ගෙන ඇති “කරපිංචා” ප්රවේශයක්ද? මේ ප්රශ්නයට පිළිතුරු සොයා ගැනීමට තවමත් කල් වැඩියි.
අමාත්යංශ ලේකම් තනතුරු සේ හැඳින්වුවත් මේ සියලුම තනතුරු එක සේ සමාන නැහැ. ඇතැම් තනතුරු සඳහා ආදේශක සොයා ගැනීම සාපේක්ෂව පහසු වැඩක්. එහෙත්, මුදල් අමාත්යංශ ලේකම් වැනි තනතුරක් සඳහා එසේ පහසුවෙන් ආදේශකයක් සොයා ගැනීමේ හැකියාවක් නැහැ. සාමාන්යයෙන් මෙවැනි කාර්යයක් සාර්ථක ලෙස සිදු කළ හැක්කේ දශක ගණනාවක ප්රායෝගික පළපුරුද්දක් ඇති අයෙකුට පමණයි. මෙතෙක් මේ තනතුර දරා ඇති සියල්ලන්ම පාහේ එවැනි අයයි.
කෙසේ වුවත්, ආණ්ඩුවකට සිය අභිමතය පරිදි කවර හෝ ආදේශකයක් සොයා ගැනීමට බැරිකමක් නැහැ. පසුගිය දශක කිහිපය ඇතුළත මහ බැංකු අධිපති ධුරය කිහිප වරක්ම මේ පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබෙනවා. එම පරීක්ෂාවන්හි ප්රතිඵල පිළිබඳව මා සමාලෝචන කරන්න යන්නේ නැහැ.
අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අලුතෙන් පත් වූ ආණ්ඩුවට වහාම අත ගසන්නට සිදු වන ප්රමුඛ කාර්යයයන් අතරින් එකක් පමණයි. ස්ථායීකරණ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාමද මහ මැතිවරණය තෙක් හෝ කල් පසු කිරීම අසීරු දෙයක්. ජනාධිපතිවරණ සතිය තුළ වුවද හිටපු ජනාධිපතිවරයා මෙම වැඩ පිළිවෙළෙහි ඉලක්ක පසුවට කල් දැම්මේ නැහැ. ඒ නිසා, දැනට ක්රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩ පිළිවෙළ අලුත් ආණ්ඩුවේ දේශපාලන ප්රතිපත්ති සමඟ ගලපා ගැනීම කල් නොගෙන, ඉතා ඉක්මණින් කළ යුතුව ඇති දෙයක්. අයවැය ඇස්තමේන්තු සකස් කරන්නට සිදු වන්නේද මේ කාර්යයට සමාන්තරවයි.
රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම්
economatta.blogspot.com
රජයේ අඛණ්ඩත්වය, දිශානතිය හා අලුත් ලේකම් පත්වීම්
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *