| |

නවවන ජනපතිට සුබ පැතුම්! – ඉකොනොමැට්ටා

මේ වන විට ජනාධිපතිවරණයේ අවසන් නිල ප්රතිඵල නිකුත් වී අවසන්. රටේ ව්යවස්ථා නීතිය අනුව එම ධුරයට තේරී පත්ව සිටින්නේ අනුර කුමාර දිසානායකයි. රටේ ප්රජාතන්ත්රවාදී සම්ප්රදායේ ශක්තිය ලොවට පෙන්වමින් තවත් වරක් ඉතා සුමට බල හුවමාරුවක් සිදු වෙමින් පවතිනවා.
අනුර කුමාර දිසානායක මෙම ජනාධිපතිවරණ තරඟය ජය ගන්නේ ඉතා අසීරු හා තියුණු සටනකින් පසුවයි. මෙහිදී ඔහුගේ කඳවුර විසින් යොදාගත් උපාය මාර්ග කිසිදු අයුරකින් ලංකාවේ දේශපාලන පක්ෂ විසින් සම්ප්රදායිකව මැතිවරණ වලදී යොදා ගත් උපාය මාර්ග වලට සම කළ නොහැකියි. ඔවුන් ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී නොවූ ඔවුන්ගේ අතීත භාවිතාව තුළ සාර්ථකව භාවිතා කළ ඇතැම් සාර්ථක උපාය මාර්ග ප්රජාතන්ත්රවාදී දේශපාලනයට රැගෙන එමින් සහ නූතන තාක්ෂණයේ උදවු ලබා ගනිමින් ඉතා ප්රතිඵලදායක මහජන සන්නිවේදනයක් සිදු කළා.
කෙසේ වුවද, අනුර කුමාරගේ ජයග්රහණයට හේතු වූ ප්රධාන සාධකයක් වූයේ ප්රතිවිරුද්ධ කඳවුර තුළ වූ බල සංයුතියේ ස්වභාවයයි. මීට පෙර ලංකාවේ පැවති සෑම ජනාධිපතිවරණයකදීම දැකිය හැකි වූ පැහැදිලි ද්වි-ධ්රැව විභේදනය මෙවර එලෙසින්ම සිදු වුනේ නැහැ. මාලිමා කඳවුර ඇතුළු තවත් බොහෝ දෙනෙකු විශ්වාස කළේ මෙවරද පෙර මෙන්ම එම ද්වි-ධ්රැව විභේදනය සිදු වනු ඇති බවයි.
අනුර කුමාර විසින්ම සඳහන් කළ පරිදි ඔහුගේ දැඩි විශ්වාසය වූයේ ඔවුන්ගේ ඡන්ද ප්රතිශතය ඉතා අඩු මට්ටමකට නොවැටේනම් එය 50% මට්ටම ඉක්මවීම පිළිබඳ කිසිදු සැකයක් නැති බවයි. මෙය සමාජවාදී පක්ෂ වල සාමාජිකයින් කාලයක් පුහුණු වී සිටින චින්තනයේ ස්වභාවය නිසා ඔවුන් ලෝකය තේරුම් ගන්නා ආකාරය වෙන්න පුළුවන්.
මහ පොළොවේ පවතින තත්ත්වය දැකීම ඇස් කණ තිබෙන ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක්. අසීරු කාර්යය වන්නේ මහ පොළොවේ පවතින තත්ත්වයෙන් දැකීමෙන් පසුව ඒ මත පදනම්ව එයින් ඔබ්බට දේවල් දැකීමයි. එසේ දැකිය හැකි වූ ඇතැම් අයට මෙවර ජනාධිපතිවරණ තරඟයේ ස්වභාවය නිවැරදිව හඳුනා ගත හැකි වුණා.
අනුර කුමාර මුල් වටයේ ජයග්රාහකයෙකු වීම මෙන්ම 50% සීමාව නොඉක්මවීමද බොහෝ දුරට ගණිතමය යථාර්තයන් ලෙස ලියැවී තිබුණු දේවල්. එම තත්ත්වය තුළ ජනාධිපතිවරණ ප්රතිඵලය කෙරෙහි බලපෑ හැකි තීරණාත්මක සාධකය වී තිබුණේ රනිල් වික්රමසිංහ විසින් ලබා ගන්නා ඡන්ද ප්රතිශතයයි. මේ හේතුව නිසා අප මුල සිටම ඒ පිළිබඳව විමසිලිමත්ව සිටියා. මැතිවරණ ප්රතිඵලය කෙරෙහි රනිල් වික්රමසිංහ විසින් ලබා ගත් ඡන්ද ප්රමාණය බලපා ඇති ආකාරය දැන් ඕනෑම කෙනෙකුට දැකගත හැකියි. ප්රතිඵලය මහ පොළොවට වැටුණු පසු කාටත් පැහැදිලිව පේනවා.
මෙතෙක් ලංකාවේ ජනාධිපතිවරණ තරඟයක් ජයගත් සෑම අපේක්ෂකයෙකු විසින්ම 50% සීමාව ඉක්මවීමට සමත්ව තිබෙනවා. මෙහි වාසිය වනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්රතිපත්ති ප්රකාශනයට 50%ක ජනතා අනුමැතියක් හිමිව ඇති සේ සැලකිය හැකි වීමයි. මෙහි නෛතික හා සදාචාරත්මක සිද්ධාන්තය වන්නේ අදාළ ප්රතිපත්ති ප්රකාශනය ජනමත විචාරණයකට ඉදිරිපත් කර ඒ සඳහා 50%ක අනුමැතිය ලබා ගත් සේ සැලකිය හැකි වීමයි. අනුර කුමාර දිසානායක ජනාධිපති සේ තේරී පත් වන්නේ මෙම වාසිය නොමැතිවයි.
කෙසේ වුවත්, බොහෝ කරුණු හා අදාළව ප්රධාන අපේක්ෂකයින් තිදෙනාගේම ප්රතිපත්ති වල ඒකමිතියක් තිබීම අපට දැකිය හැකි තත්ත්වයක්. උදාහරණයක් වශයෙන්, ප්රතිවාදීන් කවර විවේචන සිදු කළත්, මාලිමා කඳවුරේ වගකිව යුතු අය මැතිවරණ සමයේදී පැහැදිලිව සඳහන් කළේ දැනට ක්රියාත්මක ආර්ථික ස්ථායීකරන වැඩපිළිවෙළ සාර්ථකව දිගටම ක්රියාත්මක කිරීම වෙනුවෙන් ඔවුන්ද පෙනී සිටින බවයි.
මාලිමා අපේක්ෂකයෙකු ජනාධිපති සේ පත් වීම හා අදාළව බොහෝ අයට තිබුණු එක් කණස්සල්ලක් වූයේ ඔවුන්ගේ කණ්ඩායමට ප්රමාණවත් පළපුරුද්දක් නොමැති බවයි. මෙය බොරුවක් නොවුනත් විශාල ප්රශ්නයක් නෙමෙයි. එක් අතකින් මාලිමා (ජවිපෙ) මන්ත්රීවරුන් කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා ආදියෙහි කටයුතු කර තිබෙනවා. අනෙක් අතින් ඕනෑම කෙනෙකුට යම් දෙයක් අලුතෙන් කරද්දී යම් හැදෑරීමක් කරන්න වෙනවා. ඒ සඳහා අවශ්ය වන්නේ කැපවීමයි.
අනෙක් ප්රධාන ප්රශ්නය රටේ ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය නොකිරීම නිසා නැවත වරක් සියල්ලන්ටම විඳවන්නට සිදු වේද යන්නයි. රටේ ආර්ථික ස්ථායීත්වය සදහා අවශ්ය වන්නේ හොඳ වැඩ පිළිවෙලක්. එය ක්රියාත්මක කරන නායකත්වය වෙනස් වූ පමණින් ආර්ථිකයක් අස්ථායී වන්නේ නැහැ. විශේෂයෙන්ම මාලිමාව හා අදාළව ගත් විට ඔවුන් වරද්දා ගන්නා තෙක් බලා සිටිනා පිරිසක් සිටිනා බැවින් ඔවුන් අඩු වශයෙන් යම් කාලයක් යන තුරු ඇල් වතුරත් නිවා බොන ස්ථාවරයක සිටිනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි.
නව ජනපති අනුරට මුහුණ දෙන්නට සිදුවන ප්රධානම අභියෝගය ලෙස මා හඳුනා ගන්නේ ආර්ථික කළමණාකරණය නොව දේශපාලන කළමනාකරණයයි. ඔහුව තෝරා පත් කරගෙන සිටින පිරිස විවිධ අපේක්ෂා ඇති ඉතාම විෂමජාතීය පිරිසක්. මාලිමා කඳවුරේ ප්රධාන ඉල්ලීම වුයේ “අප කෙරෙහි විශ්වාසය තබන්න” යන්නයි.
දැන් 42%ක පිරිසක් විසින් ඉල්ලා සිටි අයුරින්ම මාලිමා කණ්ඩායම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. රටේ ජනපතිගේ ඉලක්කය විය යුත්තේ එම 42%ක පිරිසගේ විශ්වාසය නොබිඳිමින්, යම් හේතුවක් නිසා තමන් කෙරෙහි විශ්වාසය නොතැබූ 58%ක කණ්ඩායමේද විශ්වාසය දිනා ගැනීම සදහා කටයුතු කිරීමයි. අනුර ඇතුළු කණ්ඩායම සතු දේශපාලන පළපුරුද්ද මේ සඳහා උදවුවක් විය හැකි නමුත් මෙය අභියෝගාත්මක කටයුත්තක්. ඊට සාපේක්ෂව බැලූ විට ආර්ථිකය කළමනාකරණය කර ගැනීම වඩා පහසු තාක්ෂනික වැඩක්.
නව ජනපතිට අපේ සුබ පැතුම්!
නවවන ජනපතිට සුබ පැතුම්!
economatta.blogspot.com
නවවන ජනපතිට සුබ පැතුම්!
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *