| |

ණය ප්‍රතිව්යුහගතකරණයෙන් රටට වාසියක් නැද්ද ? – සී ජේ අමරතුංග

yukthiya sri lanka යූ ටියුබ් වීඩියෝව ලිපියක් ලෙස

” කුප්පිය” සමානයන් ගේ කතිකාව දෙවන පියවර වශයෙන් මා අද තෝරා ගන්නේ මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් වන,  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉන් රටට ප්‍රතිලාභයක් ලැබෙනවා ද යන්න ය. දැනට සිදු වෙමින් පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නොයෙක් පිරිස් නොයෙකුත් විවේචන ඉදිරිපත් කරති.

  • ප්‍රමාණවත් ණය කපා හැරීමක් සිදුව නැත.
  • සිදුව ඇත්තේ ණය ගෙවීම කල් දමා ගැනීමක් පමණි.
  • අපට එම ණය නැවත ගෙවීමට සිදුවේ.
  • ණය නැවත ගෙවීම ආරම්භ වු විට රට නැවත අසීරුතාවට ලක්වේ. ආදි වශයෙනි.

මේ තර්ක අනවබෝධය හේතුවෙන් නගන ඒවා බව කිය හැකිය. මේ තත්ත්වය අපට මෙසේ වටහා ගත හැකිය.ඔබ බැංකුවකින් ණයක් ලබා ගෙන ඔබේ ව්‍යාපාරය නිසි ලෙස කර ගත නොහැකි වී ඇතැයි උපකල්පනය කරන්න. එවිට ඔබ කරනු ඇත්තේ, ; ඔබේ ණය ගෙවීම කල් දමා ගැනීමට, ණය පොලිය අඩු කර ගැනීමට, කාලයක් ලබා ගෙන ණය නැවත ගෙවීමට බැංකුව සමඟ සාකච්ඡා කිරීමය. එවිට බැංකුව ඔබට ගෙවීමේ හැකියාව ලැබෙන්නේ කෙසේ ද යන්න සලකා බලා, එයට අනුරූපව ගෙවීම් ක්‍රමයක් සකසා සකසා දෙනු ලැබේ.

කොවිඩ් සමයේ බොහෝ දෙනකුට බැංකු මගින් මේ ආකාරයට සහන ලබා දෙනු ලැබුණි. ණය කල් දැමීමේ දී පොලී එකතු වීම් ද සිදු විය. එසේ නො වූයේ නම් ව්‍යාපාර කඩා වැටී ව්‍යාපාර බංකොලොත් වන්නට තිබුණි.

රටක් වශයෙන් මේ වන විට අප මුහුණ දී ඇති තත්ත්වය ද ඒ හා සමාන ය. මෙහිදී අපට ණය දුන් විවිධ පාර්ශ්ව සිටියේ ය. ජාත්‍යන්තර වශයෙන් ,පැරිස් කලබ් සහ එයට සම්බන්ධ ණය  නිල දෙන්නන් සිටියේ ය. චීනය වෙනම පාර්ශ්වයක් වශයෙන් සිටියේ ය. ඒ දෙපිරිසට ම අයත් නොවන කණ්ඩායම් ද සිටියේ ය.

දේශීය වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සිදු විය. එහි දී සේවක අර්ථසාධක අරමුදලට විශාල බරක් පැටවූ බවට චෝදනා එල්ල වේ. එම චෝදනාවේ ඇත්ත තත්ත්වය මුලින් ම සාකච්ඡා කරමු.

සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ වාසිය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන්  අනුගමනය කළ පිළිවෙත වූයේ කුමක්ද?  එහිදී සිදු කරනු ලැබුවේ 2027 දක්වා 12% පොලී ගෙවීමක් සහ ඉන් පසු 9%ක පොලී ගෙවීමක් සහතික කිරීමය. එය නොසෑහෙන බවට ඇතැමුන් චෝදනා කරති.  ඒ වන විට රටේ පොලී මට්ටම විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බැවිනි. සේවක අර්ථසාධක අරමුදලට වැඩි පොලියක් ගෙවිය යුතුය යන තර්කය නගනු ලැබුවේ එකල එසේ පැවති පොලී මට්ටම් අනුව සලකා බලමිනි. එහෙත් ඇත්ත වශයෙන් ම රටේ ආර්ථිකය ස්ථායී වීමත් සමග මේ වන විට පොලී මට්ටම් පහළ වැටී තිබේ.

සේවක අර්ථසාධක අරමුදලට පොලී ගෙවීමේ දී, කාලයක් තිස්සේ සලකා බැලූ මිනුම්දණ්ඩ වූයේ, රජයේ සුරැකුම් සම්පත් සඳහා ගෙවනු ලබන පොලිය කුමක්ද යන්න ය. මේ වන විට එය 9% වැනි මට්ටමකට පැමිණ තිබේ. එසේ ම උද්ධමනය පාලනය කිරීම හේතුවෙන්, තව දුරටත් මෙය පහළ යන තත්ත්වයක් තිබේ. මේ වන විට උද්ධමනය 1%-2% මට්ටමට පහළ වැටී තිබේ. මහ බැංකුව ඉලක්ක කර ඇති ආකාරයට උද්ධමනය 5% වැනි මට්ටමක පවත්වා ගත හොත් පොලී මට්ටම් 6%-7% වැනි මට්ටමකට පැමිණීමට ඉඩ තිබේ. එසේ වුව හොත්, සේවක අර්ථසාධක අරමුදලට 9%ක පොලියක් ගෙවීම සහතික කර තිබීමෙන් අරමුදලේ සාමාජිකයන්ට සිදුව ඇත්තේ වාසියක් මිස අවාසියක් නොවේ. වෙළෙඳ පොළ මට්ටමෙන් සේවක අර්ථසාධක අරමුදලට පොලී අනුපාත තීරණය වීමට ඉඩ දී තිබුණේ නම්, ඉදිරියේ දී 9% ක පොලියක් බලාපොරොත්තු වන්නට හැකියාව නැත. ලැබෙනු ඇත්තේ ඊට අඩු පොලියකි.

පොලී අනුපාත තීරණය කළ කාලයේ පැවැති වෙළෙඳ පොළ තත්ත්වය සලකා බලමින් මහාචාර්ය විදුර තෙන්නකෝන් ලියූ ලිපියක,  සේවක අර්ථසාධක අරමුදලට කිසිදු අවාසියක් සිදුව නැති බව පෙන්වා දී තිබුණි. සේවක අර්ථසාධක අරමුදලට අවාසියක් සිදු වී ඇති බවට නගන තර්ක ආර්ථික විද්‍යා මූලධර්මවලට පටහැනි බව ද මහාචාර්යවරයා පෙන්වා දී තිබුණි.

රටට ලැබී ඇති සහන

දැනට විදෙස් රටවලින් අපට ලැබී ඇති ප්‍රතිව්‍යුහගතකරණය සලකා බලන විට,

  • අපට 2027 වර්ෂය අවසන් වන තුරු ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබා දී තිබේ. 2022 සිට ගත් කල මෙය වසර පහක සහන කාලයක් ලබා දීමකි.
  • පොලිය අඩු කර තිබේ..
  • ඉතිරි මුදල් ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා දී තිබේ.
  • තවමත් අවසන් කර නැති වුවත් බැඳුම්කර හිමියන් සමග ඇත්තේ, අවම වශයෙන් 28%ක කප්පාදුවකි. රටේ ආර්ථික තත්ත්වය යහපත් වී ණය ගෙවීමේ හැකියාව වර්ධනය වුව හොත් ණය කපා හරින්නේ 15%කින් බව බැඳුම්කර හිමියෝ සඳහන් කරති. ආර්ථික තත්වය අයහපත් වුවහොත් කප්පාදුව 40% දක්වා යාමට හැකියාව තිබේ.
  • බැඳුම්කර ණය ගෙවීමේ කාලය තරමක් දීර්ඝ කර ඇති අතර ණය පොලිය අඩු කර තිබේ.

මේ අනුව පෙනෙන්නේ ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් මෙරටට සහනයක් ලැබී ඇති බවයි. මෙකී තත්ත්වය මතුපිටින් බලා විග්‍රහ කරන ඇතැමුන්, 2028 සිට පොලියත් සමඟ  ණය ආපසු ගෙවිය යුතු බැවින් ප්‍රතිව්‍යුහගතකරණයෙන් රටට වාසියක් සිදු වී නැති බව කියති.  මෙහි දී අප ණය සම්බන්ධව මෙන් ම මුදලේ වටිනාකම සම්බන්ධයෙන් කාල වරණ නීයමය යනුවෙන් හඳුන්වන සංකල්පයක් ඇති බව සිහි තබා ගත යුතුය. කාල වරණ නීතිය යනු කාලයටත් වටිනාකමක් ඇති බවය. නිදසුනක් වශයෙන් අද යම් අයෙක් රුපියල් ලක්ෂයක් බැංකුවක තැන්පත් කර ලබන වසරේ ලැබෙන්නේ ද රුපියල් ලක්ෂයක් පමණක් නම්, කිසිවකු බැංකුවේ මුදල් තැන්පත් කරන්නේ නැත. ඔවුන් ඒ සඳහා වැඩිපුර මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

කාලය අනුව මුදලේ අගය අඩුවීම

එසේම, ඔබට ලබන වසරේ අග කෙනෙකු ගෙන් රුපියල් ලක්ෂයක් ලැබීමට තිබේ නම්, ඊට පෙර ඔබට රුපියල් අනූ දහසක් දීමට ඔහු ඔබට යෝජනා කළ හොත් ඇතැම් විට ඔබ එය බාර ගනු ඇත. හේතුව ලබන වසරේ අග ලැබෙන රුපියල් ලක්ෂය ට වඩා අද ලැබෙන රුපියල් අනූ දහස වටිනාකමින් වැඩි වනු ඇති බැවිනි. කාල වරණ නීතිය යනු එයයි.

අපේ ගම්වල ඇති වෙන්දේසි සීට්ටු ක්‍රමය තවත් එක් උදාහරණයකි. එම සීට්ටු වෙන්දේසි කරන්නාට එහි මුළු වටිනාකම හිමිවේ. ඊළඟ වාරයේ සිට සීට්ටුව වෙන්දේසි කරනු ලැබේ. එවිට එක් එක් තැනැත්තා ලක්ෂයට අඩු මුදලක් සඳහා ඉල්ලුම් කරයි. එනම් ලක්ෂයට අඩු මුදලක් ලබා ගන්නට කැමැත්ත පළ කරයි. ඒ එම තැනැත්තා ට පසුව ගන්නා රුපියල් ලක්ෂයට වඩා ඒ මොහොතේ ලැබෙන අඩු මුදල වටිනාකමින් වැඩි වන බැවිනි. නමුත් අදාළ කාලය තුළ ඔහුට ලක්ෂයක මුදල වරින් වර ගෙවන්නට සිදු වේ. පසු වී සීට්ටුව ලබා ගන්නා අයට වෙන්දේසියෙන් වාසියක් හිමි වන සේ ම වැඩි මුදලක් ලබා ගන්නට ද හැකි වේ.  නමුත් ඒ සඳහා ඔවුන් කාලය ගතකර තිබේ. කාල වරණ නීතිය හඳුනා ගැනීමට එය ද එක් ක්‍රමයකි. එනම්, කාලයත් සමඟ මුදලේ මිල අඩු වැඩි වේ, යන්නය. බැඳුම්කර සම්බන්ධව 11% ඩිස්කවුන්ට් වටිනාකමක් ලෙස සලකා සමස්ත කපා හැරීම 28% ද සමග ගණනය කළ විට මූර්ත වර්තමාන වටිනාකම අනුව 40% අඩුවීමක් ඇති බව පෙන්නුම් කළේ ඒ අනුවය.

කැල් නමැති ආයතනය ඩිස්කවුන්ට් වටිනාකම 12% ලෙස සලකා කළ ගණනය කිරීම් අනුව, වර්තමාන මූල්‍ය වටිනාකමේ 50% අඩු වීමක් තිබේ. ඒ අනුව ගත් කල ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය අපට ඉතාම වාසිදායක තත්ත්වයකි. එසේම, අපට විශාල ණය කපා හැරීමක් ලබා දිය යුතු යැයි අප බලාපොරොත්තු වීම ද සුදුසු නැත. එසේ කේවල් කිරීමේ හැකියාවක් ද අප සතුව නැත. හේතුව, අප ණය ගැතියන් මිස ණය හිමියන් නොවේ. ණය හිමියන් අපට දක්වන්නේ අනුග්‍රහයකි. ණය හිමියන්ට අවශ්‍ය වන්නේ තම ණය මුදලින් කොටසක් හෝ නැවත ලබා ගෙන ඔවුන් ගේ ව්‍යාපාරය පවත්වා ගෙන යාම වන බැවිනි. ණය ලබා දීම ඔවුන් ගේ එක් ව්‍යාපාරික කටයුත්තකි.

ලොවට කියන්නේ අපේ නොහැකියාව ද ?

මේ අයුරින් ගත් කල ණය සඳහා අපට සැලකිය යුතු සහනයක් හිමි වී තිබේ. එසේ නම් මෙය අපට නොසෑහෙන බව හෝ තව සහන ලැබිය යුතු බව හෝ කියන හේතුව කුමක්ද? ඉන් අප වක්‍රව අදහස් කරන්නේ 2027, 2028 හෝ ඉන් පසුව හෝ අපට මේ ණය ගෙවා ගත හැකි තරමට අපේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට නොහැකි බව ලෝකයට කියන්නට සූදානම් වන බවද? එය කවර ආකාර නිවටකමක්ද යන්න පිළිබඳ ද අප සිතිය යුතුය.

සියලු තත්ත්ව යටතේ මෙරට ආර්ථිකය මේ වන විට වර්ධනය වෙමින් පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් බලාපොරොත්තු වූයේ මේ වසරේ 2%ට අඩු වර්ධනයකි. පසුව එය 2.8%ක් බව පැවසුවේය. අලුත්ම තත්ත්වය වන්නේ, මේ වසරේ 4%ක් හෝ ඊට ආසන්න ආර්ථික වර්ධනයක් ලබා ගත හැකි බව ය. ලබන වසරේ එය තවදුරටත් වැඩි කර ගැනීමට අපට හැකියාව තිබිය යුතුය. ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා තව වසර දෙකක් ඉදිරියට තිබේ. එ් වන විට මෙරටට වාර්ෂිකව බිලියන තුනක හෝ හතරක ණය ගෙවීමේ හැකියාව අප ලබා ගත යුතුය. ලෝකයෙන් අපට දී ඇත්තේ ඒ සඳහා අවස්ථාවකි. අපේ ආයෝජන වැඩි කර ගැනීමෙන්, අපේ ආදායම් ආයෝජන කටයුතු සඳහා යොමු කිරීමෙන් නැවත විධිමත් ලෙස ණය ගෙවීම කර ගෙන යාමට අවස්ථාවක් ඔවුන් අපට ලබා දී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අපගේ ම අලුත්  ක්‍රමයක් ඉදිරිපත් කරනවා වැනි දේ ඇතැමුන් කියති. ඉන් අදහස් වන්නේ, මේ ආකාරයෙන් ණය ගෙවීමට අපට නොහැකි වන බවද? බලයට පත්වන්නට සිටින පක්ෂ එසේ කීමෙන් අදහස් කරන්නේ මේ ආර්ථික වර්ධන වේගය ළඟා කර ගැනීමට ඔවුනට නොහැකි බවද? ලෝකයට එසේ පවසා මේ ගනුදෙනුව ගෙන යා හැකිද? එසේ පවසන අයගේ ලියවිලි තුළම පරිසර සංරක්ෂණය, අධ්‍යාපනය වැනි විවිධ දේ සඳහා ප්‍රාග්ධනය රැස් කර ගැනීමට ඔවුන් යෝජනා කරන්නේ බැඳුම්කර නිකුත් කිරීමය. එසේ කිරීමට නම් බැඳුම්කර ලබා දෙන්නන් ගේ විශ්වාසය තහවුරු කරන්නට අපට සිදුවේ. එසේ විශ්වාසය තහවුරු කර ගත හැකි වන්නේ, ඔවුන් සමඟ සාධාරණ ගිවිසුමකට එළඹී අපේ ණය ගෙවීම විධිමත් කර ගැනීමෙනි. එසේම ණය ගැනීම සීමා කිරීමෙන්, සංවර්ධන කටයුතු සඳහා පමණක් ණය ලබා ගැනීමෙන්, ණය ගෙවීමේ මට්ටම අඩු කර ගනිමින් අපේ ඉලක්කවලට ළඟා වීමද මෙහිදී අවශ්‍ය වේ.

වසර හතර පහකින් ගෙවීමට ඇති ණය සඳහා සහන කාලය හැරුණු විට වසර දහයක්, පහළොවක් ලැබී තිබීම, ආදිය මගින් කාල වරණ න්‍යාය අනුව අපට අනියම් ආකාරයට විශාල ණය කැපීමක් හිමි වී තිබේ. එම න්‍යාය අනුව තව වසර දහයකින් පහළොවකින් අප ගෙවන ඩොලර් බිලියනය අද ගෙවන බිලියනය නොවේ. ඇතැම් විට ඒ වන විට එම ඩොලර් බිලියනයේ වටිනාකම අද ඩොලර් මිලියන පන්සීයක් පමණ වන්නට පුළුවන. ඒ අනුව සත්‍ය වශයෙන්ම අපට මේ වන විටත් විශාල සහනයක් ලැබී තිබේ.

නොපෙනෙන අනතුර

ඒ නිසා අප කළ යුත්තේ ලබා දී ඇති සහනය භාවිත කිරීමෙන් සහ එම සහනය මගින් ලබා දී ඇති ඉඩකඩ භාවිත කර ආර්ථිකය වර්ධනය කර ගෙන මේ ණය ගෙවීමේ ක්‍රියාවලියට යාමය. එසේ නොමැතිව එය තව තවත් අදිමින් කල් පසු කිරීමට හෝ නැවත සාකච්ඡා කිරීමට කිසිම අවශ්‍යතාවක් දැනට පෙනෙන්නට නැත. එවැනි ක්‍රියාමාර්ගයකට ගිය හොත් අපට තවත් තර්ජනවලට මුහුණ දීමට සිදු වනු ඇත. ණය ගැනීමට අපට නොහැකි වීම එක් පැත්තකින් සිදු වනු ඇත. අනෙක් අතින් ඇමරිකාවේ නිව්යෝර්ක් අධිකරණයක දැනට පවතින බැඳුම්කර හිමියන් සහ බැංකුවක් විසින් ගොනු කළ නඩුවක තීන්දුව කල් දමා ගෙන ඇත්තේ, මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාමාර්ග  පිළිබඳ දැණුවත් කිරීමෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීමෙනි. මේ වැඩපිළිවෙළින් ඉවත් වීමට අප උත්සාහ කළ හොත් එම නඩුව නැවත ක්‍රියාත්මක වනවා පමණක් නොව, ලොව පුරා තවත් එවැනි නඩුවලට පැටලීමට ශ්‍රී ලංකාවට සිදුවන ඒ තත්ත්වය උදා වුව හොත් ශ්‍රී ලංකාවට නැවත ගොඩ යාමක් නොමැති තත්ත්වයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හෝ වෙනත් කිසිවකුට මෙරට ගොඩ ගැනීමට නොහැකි තත්ත්වයට රට පත්වීමට ඉඩ ඇති බව අප තේරුම් ගත යුතුය. නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාකච්ඡා කරන්නට පෙර අප එම තත්ත්වය තේරුම් ගත යුතුය.

සී. ජේ. අමරතුංග

 

 

 

 

 

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *