|

ඉදිරියෙන් ඉන්නේ කවුද? අනුර ද රනිල් ද සජිත් ද? 2024 ජනාධිපතිවරණ ප්‍රකාශන සංසන්දනයක් – නිශාන්ත කමලදාස

මේ විමසුම ලබා ගන්නා ඡන්ද ගණන ගැන නොවේ. ඉදිරිගාමී කවුද යන්න ගැන ය.

අප මේ සඳහා තෝරා ගන්නේ දැනට සමීක්ෂණ වලින් ඉහළින් ම සිටිනවාය කියන අපේක්ෂකයින් තිදෙනා ය. සජිත් අනුර හා රනිල් ය. ඉඩකඩ අවම නිසා අප තෝරා ගන්නේ ඔවුන්ගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පමණ ය. ඒ හරහා ඉතිරි සියල්ල ගැන ද අපට ඉඟි සපයන නිසා ය. ඊටත් අමතර ව ගිය වර ආර්ථිකය ඇරුණු කොට ගෝඨාභය ජනාධිපති වරද්දා ගත්තේ ද මේ ක්ෂේත්‍රය නිසා ය.

අප මුලින් ම තෝරා ගන්නේ වඩාත් සවිස්තර ජාජබයේ නැත්නම් අනුරගේ ප්‍රකාශය ය. එය 2019 සඳහා ඔවුන් ඉදිරිපත් කළ ප්‍රකාශය සමග සසඳන විට ඉදිරිගාමී ය. ඔවුන් එදා කීවේ කෘෂිකර්මය පදනම හැටියට ගෙන රටේ ආර්ථිකය දියුණු කරන බව ය. ගම අපේ සිහිනය ය. වැව හා දාගැබ එහි සංකේතාත්මක වස්තූන් ය. ඒ නිසා ගොවිතැනට අපේ යම් ආලවන්ත කමක් ඇත. 2019 ප්‍රකාශනයේ කෘෂිකර්මයට එතරම් වැදගත් කමක් දෙන්නට ඇත්තේ ද ඒ නිසා විය හැකි ය. පෙනෙන හැටියට දැන් ඔවුන් පරිණත වී තිබේ. කෘෂිකර්මයේ 27% ක් වැඩ කරතත් උපයන්නේ ජාතික ආර්ථිකයෙන් 8.4% පංගුවක් බව කියමින් ඔවුන් කර ඇති ආරම්භය ම ඒ බව පෙන්නුම් කරන්නේ ය. එවැනි පසුබිමක සිට ප්‍රශ්න විග්‍රහ කරන විට ප්‍රශ්නයට සැබෑ ලෙස මුහුණ දෙන්නට සිදු වේ. ඒ සංඛ්‍යාලේඛන වලට අනුව රටේ ආර්ථිකය ගොඩ නගන්නට කෘෂිකර්මය මත පදනම් ව නොහැකි ය. ඒ නිසා මෙවර ප්‍රකාශයේ එවැනි කතාවක් නැත. ඊට අමතරව කෘෂිකර්මය දියුණු කළ යුත්තේ පරිසරය සුරැකෙන අයුරින් බව ඔවුන් විසින් සැලකිල්ලට ගෙන තිබේ. දැනටමත් වන ගහණය 24% දක්වා අඩු වී ඇති තත්වයක එය සාධනීය ය. ජාජබ 2019 මැතිවරණ ප්‍රකාශයේ කෘෂිකර්මය ගැන සඳහන් සමහර කරුණු ඔවුන්ගේ ම පරිසරය සුරැකීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව වලට එරෙහිව යන ඒවා ය. ඒ ගැන මේ ප්‍රකාශනය සකස් කිරීමේ දී ඔවුන් පරීක්ෂාකාරී වී තිබේ. දත්ත පද්ධති කීපයක් ම යෝජනා කිරීමෙන් පෙනී යන්නේ තොරතුරු මත පදනම් ව තීරණ ගැනීමට ඔවුන් තුළ ඇති කැප වීම යැයි අපට සිතන්නට සිදු වේ. තොරතුරු තිබුණු පමණින් නිවැරදි තීරණ ගැනීම සහතික නොවෙතත් තොරතුරු නැතිව නිවැරදි තීන්දු ගත නොහැකි නිසා එය ද සාධනීය පියවරක් ලෙස සැලකිය හැකි ය.

ප්‍රධාන ම අවුල

කෘෂිකර්මයේ අභාග්‍යයට හේතුව ලෙස ඔවුන් පහත සඳහන් කාරණා හඳුනා ගෙන තිබේ. ඒවා බොහෝ දුරට නිවැරදි ය.

  1. යැපුම් කෘෂිකර්මය
  2. අවම යාන්ත්‍රීකරණය
  3. වැඩි නිෂ්පාදන පිරිවැය
  4. නිෂ්පාදනය සඳහා නිසි මිලක් නොලැබීම
  5. කෘෂි නිෂ්පාදන වල ඉහළ මිල මෙන් ම මිල උච්චාවචනය
  6. දුර්වල ව්‍යාප්ති සේවය
  7. ප්‍රමාණවත් නොවන අගය එකතු කිරීම්
  8. තාරුණ්‍යයෙහි අඩු සහභාගිත්වය

එසේ වුව ද කෘෂිකර්මයේ අභාග්‍යයට මුල් වී ඇති ප්‍රධාන හේතුව පසුබිම් කථනයේ දී ඔවුන්ට මග හැරී ඇත. ඒ කුඩා ඉඩමක හිමිකාරිත්වය පිළිබඳ ගැටළුව ය. වැඩි නිෂ්පාදන පිරිවැය හැරුණු විට ඉහත සඳහන් බහුතරයක් ප්‍රශ්න පිටුපස ඇති මුල් හේතුව එය ය. යැපුම් කෘෂිකර්මයක් බිහි ව තිබෙන්නේ තිබෙන සොච්චම් වපසරියක ඊට වැඩි දෙයක් කිරීම ප්‍රාග්ධන සූක්ෂම වගාවකින් තොර ව අමාරු නිසා ය. අවම යාන්ත්‍රීකරණයක් සිදු ව ඇත්තේ ද ඒ නිසා ය. නිෂ්පාදනවලට නියම මිලක් නොලැබෙන්නේ ද කුඩා ඉඩමක වගාවක නියැලෙන ගොවියෙකුට විශාල නිෂ්පාදකයෙකුට මෙන් bargaining power එකක් නැති නිසා ය. දුර්වල ව්‍යාප්ති සේවයට පවා හේතුව විශාල ගොවීන් සංඛ්‍යාවක් හා සම්බන්ධ වීම අපහසු නිසා ය. ප්‍රමාණවත් අගය එකතු කිරීමක් කළ නොහැක්කේ ද නිෂ්පාදනය සීමා සහිත නිසා ය. තරුණයන්ගේ අඩු සහභාගිත්වය පවා මේ තත්වයේ ම පිළිබිඹුවක් ලෙස ගත හැකි ය.

එය ප්‍රශ්නයක් හැටියට දැක්වීම මග හැර ගිය ද පහත මෙහෙයුම ඔවුන් දක්වා ඇත්තේ එයට පිළියමක් ලෙස විය යුතු ය.

ඉඩම් හිමිකාරිත්වය එලෙසම පවත්වා ගනිමින් කුඩා පරිමාණ වගා ඒකක ගොවි සමාගම්/සමූපකාර යටතේ මනා කෘෂි කළමනාකරණ පිළිවෙත් අනුගමනය කරනු ලබන මධ්‍ය හා විශාල පරිමාණ වගා ඒකක බවට පරිවර්තනය දිරිමත් කෙරේ.

එසේ උත්තරයක් දුන්න ද එය කරන්නේ කෙසේ ද යන්න නම්  පැහැදිලි නැත. රුසියාව හා චීනයේ අත්හදා බැලූ සමූහ ගොවිපල සේයාවක් ඒ තුළ දක්නට ඇත. ලංකාවේ ගොවි සමාගම් ඇති කිරීමට ගත් පියවර නම් අසාර්ථක වූ බව කිව යුතු ය. සැනසීමකට ඇත්තේ දිරිමත් කිරීමෙන් නැවතීම ය.

නිෂ්පාදන යෙදවුම් වල මිල ඉහළ යන්නේ බොහෝ යෙදවුම් ආනයනය කිරීමට සිදු ව ඇති නිසා ය. පොහොර, කෘෂි රසායන, උපකරණ, යන්ත්‍රසූත්‍ර, ඉන්ධන හා ලිහිසි තෙල්, වාහන ඇතුළු බෙහෝ දෑ අප පිටරටින් ගෙන්වන නිසා ය. රුපියල ශක්තිමත් නොකර මේ සඳහා ගන්නා සෑම පියවරක් ම අතිශයින් වියදම් කාරී ය. රුපියල ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්මයට දායක විය හැක්කේ අපනයන භෝග දිරිමත් කිරීම මගිනි. එහෙත් තවමත් ජාතික ජන බලවේගය ඒ සම්බන්ධයෙන් දෙන්නේ ද්විතීයක තැනකි.

කෙනෙකුට එසේ නැතැයි තර්ක කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් ජාජබ ප්‍රකාශනයෙන් හමු වේ.

  1. සංවිධිත ගොවි සංවිධානවල සහ පුද්ගලික අංශයේ දායකත්වයෙන් කෘෂි කර්මාන්ත කලාප ^Agro industrial zones&
  2. අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපිත කිරීම

එහෙත් මේ දෙක ම අතිශයින් ව්‍යාකූල ය. මේ කලාප හෝ සුවිශේෂ ගම්මාන රටේ සෙසු තැන් වලින් වෙනස් වන්නේ කෙසේ දැයි සඳහනක් නැති නිසා ය. ඒ නිසා දැනට ඒවා සැලකිය හැක්කේ ලස්සණ සිහින ලෙස පමණකි.

ආවරණය නොකොට මග හැර ගිය ප්‍රශ්න තුනක් අපට ඔවුන්ගේ ප්‍රකාශනය තුළ හමු වේ.

  • ගොවියන්ට සින්නක්කර ඔප්පු ලබා දෙන උරුමය වැඩ සටහන් දිගට ම කර ගෙන යනවා ද නැත්නම් නවත්වනවා ද යන්න
  • කෘෂිකර්මය දියුණු කිරීමේ උපාය මාර්ගයක් ලෙස විදේශ ආයෝජන (විදේශ ආයෝජන යන වචනය පවා මේ සටහනේ දැක ගන්නට නැත) දිරිගන්වනවා ද නැද්ද යන්න
  • අපනයන භෝග වගා කළ හැකි පරිදි දැනට ගොවීන් මත පනවා තිබෙන සීමා (කුඹුරු ඉඩම් වෙනත් භෝගයක් වැවීම සඳහා භාවිතා කිරීමට පනවා ඇති සීමා වැනි) වලට කුමක් කරන්නේ ද යන්න

මේ තුන ම සම්බන්ධයෙන් රනිල්ගේ හා සජිත්ගේ ප්‍රකාශන ඍජුව හෝ වක්‍රව පෙනී සිටී. උරුමය වැඩ සටහන/ සින්නකර ඔප්පු ප්‍රදානය ඒ ප්‍රකාශන දෙකේ ම සඳහන් ය. ඉතිරි කාරණා දෙක සම්බන්ධයෙන් ද ඔවුන්ගේ ප්‍රතිපත්ති වල කරුණු අඩංගු ය.

ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය කෘෂිකර්ම අංශය සඳහා ඉලක්ක හඳුනාගෙන ඇත. මෙය සාධනීය පියවරක් ලෙස සැලකිය හැකි ය. ඒවා මෙසේ ය.

  • කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබා ගැනීමට
  • ජාතික තේ නිෂ්පාදනය මෙටො මිලියන 400 ඉක්මවීමට
  • පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමට
  • රබර් අස්වැන්න හෙක්ටෙයාරයකට වර්ෂයකට කි ග්‍රෑම් 1300 දක්වා වැඩි කිරිමට
  • හෙක්ටෙයාරකින් මෙටො 6 ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීමට

මේ ඉලක්ක වල ගැටළු නැතිවා නොවේ. පළමු ඉලක්කය ඉඩම් අක්කරයකින් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබා ගැනීම ගැන ය. එතැන සඳහන් වන්නේ ආදායම පමණ ය. ලාභය නොවේ. එහෙත් ගොවියෙකුට වැදගත් වන්නේ ආදායම නොවේ. වියදම් පිය වූ පසු තමන්ගේ පරිභෝජනයට හා ආයෝජනයට ඉතිරි වන ප්‍රමාණය ය. ඊළග ප්‍රශ්නකාරී ඉලක්කය වන්නේ පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීම ය. මෙය ප්‍රශ්නකාරී වන්නේ මෙය මණින්නට ක්‍රමයක් දැනට නැති නිසා ය. සෙසු ඉලක්ක නම් ඒ අර්ථයෙන් මැනිය හැකි දේ ය. ඊළඟ ප්‍රශ්නය මේ ඉලක්ක ළඟා කර ගැනීමට වැඩ පිළිවෙළක් තිබේ ද යන්න ය.

ක්‍රියාමාර්ග 48 ක් ඔස්සේ ජාතික ජන බලවේගය සිය වැඩ පිළිවෙළ ඉදිරිපත් කර තිබේ. ඒ තුළ දිරිමත් කිරීම, අනුග්‍රහය දැක්වීම, මැදිහත් වීම, නියාමනය, තාක්ෂණික හා මුල්‍ය පහසුකම් සැපයීම, සිදු කිරීම වැනි විවිධ පරාසයක කටයුතු ඇතුළත් ය. ඒ එක එකක් ඉදිරිපත් කරමින් ඒ ගැන අපේ ප්‍රශ්න වරහන් තුළ දක්වා ඇත.

  1. රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය සඳහා රාජ්‍ය අනුග්‍රහය (ඒ අනුග්‍රහය සපයන්නේ කුමන ආකාරයෙන් ද යන්න පැහැදිලි නැත)
  2. කෘෂි නිශ්පාදන හා ආහාර බෙදා හැරීම සඳහා අවශ්‍යතාවය අනුව ශීතදාම කළමනාකරණ තාක්ෂණය යොදා ගත හැකි ප්‍රවාහන පද්ධතියක් (එය රජය විසින් කරනු ලබන්නක් යැයි සිතා ගැනීමට සිදු වේ)
  3. ආනයනික බෝග සඳහා සුදුසු ආදේශක බෝග දේශීය ව වගා කිරීම දිරිමත් කිරීම (ඒ කරන්නේ කුමන ආකාරයෙන් ද යන්න පැහැදිලි නැත)
  4. රාජ්‍ය – පුද්ගලික – ජනතා සහභාගිත්ව ව්‍යපෘති ලෙස කෘෂි නිෂ්පාදනය සඳහා ගබඩා හා ශීත ගබඩා, සැකසුම් ඒකක ස්ථාපිත කිරීම (ඒ වෙනුවෙන් රජය කරන්නේ කුමක් ද ගබඩා ඉදිකර දෙනවා ද ණය ආධාර දෙනවා ද යන්න පැහැදිලි නැත)
  5. නිවැරදි තොරතුරු සහිත තත්කාලීන ජාතික තොරතුරු පද්ධතියක් (මෙය කරන්නෙ කවුද දත්ත යාවත්කාලීන කරනු ලබන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. කෘෂි නිෂ්පාදනය වල මිල ගණන් සහිත දත්ත පද්ධතියක් ඇති අතර මේ දත්ත පද්ධතියට ඇතුළත් වනු ඇත්තේ මොනවා ද එය පිහිටුවන්නේ කුමන අරමුණු ඉටු කර ගැනීමට ද යන්න පැහැදීලි නැත)
  6. ගොවි ජනතාව සඳහා විධිමත් කෘෂි-රක්ෂණ ක්‍රමයක් සහ ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් (දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ නිසා ම මේ යෝජනාව පවතින ක්‍රමයෙන් වෙනස් වන්නේ කෙසේ ද යන්න දැක්විය යුතු ව තිබුණි. ඒ සඳහා රජය දක්වන අනුග්‍රහය කුමක් ද යන්න දැක්විය යුතු ව තිබිණි. ඒ නිසා ම මෙය අපැහැදිලි ගොඩට ම වැටේ)
  7. වන සතුන්ගෙන් වන වගා හානි අවම කිරීම උදෙසා විසඳුම් (උදා – නවීන තාක්ෂණික ක්‍රම, විදුලි වැට ප්‍රතිසංස්කරණය සහ නඩත්තුව, රක්ෂිත තුළ සතුන් සඳහා ආහාර හා ජලය සුලබ කිරීම, අලි මංකඩ, අලි කළමනාකරණ ඒකක, ගහණ ඝනත්වය පාලනය (දැනටමත් මේ බොහෝ දේ ක්‍රියාත්මක වේ. ඒවාට වඩා මේ පියවර වෙනස් වන්නේ කෙසේ දැයි පැහැදිලි නැත)
  8. වැව්, ඇල මාර්ග හා ගල්ඔය, රාජාංගනය, මින්නේරිය ආදී මහා වාරිමාර්ග පද්ධතීන් කාලානුරූපව ප්‍රතිසංස්කරණය (හැම රජයක් විසින් ම අනුගමනය කරන්නට යෙදුනකි. ඒවායින් වෙනස් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත)
  9. වැසි ජල සංරක්ෂණය සහ ක්ෂුද්‍ර ජල සම්පාදනය වැනි තාක්ෂණයන් භාවිතය දිරිමත් කිරීමට තාක්ෂණික හා මුල්‍ය පහසුකම් සැපයීම (වැසි ජල සංරක්ෂණය සම්බන්ධයෙන් නම් දැනටමත් ක්‍රියාත්මක වේ. ක්ෂුද්‍ර ජලසම්පාදනය යන්නෙන් අදහස් කළේ කුමක් දැයි පැහැදිලි නැත. ප්‍රජා ජල ව්‍යාපෘතින් හෝ micro irrigation හෝ විය හැකි ය. ඒවා සම්බන්ධයෙන් දිරිමත් කිරීමට කරන අනුග්‍රහය කුමක් ද යන්න පැහැදිලි නැත. දෙවැන්නෙන් අදහස් කළේ micro irrigation නම් එය ප්‍රාග්ධන සූක්ෂම කටයුත්තක් නිසා පැහැදිලි කිරීමක් විශේෂයෙන් අවශ්‍ය ය)
  10. වසර තුනක් තුළ තේ වගාවේ අස්වැන්න ‌දෙගුණ කිරීම සඳහා තාක්ෂණික, මුල්‍ය හා අනෙකුත් පහසුකම් (කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගෙන පැවති ආණ්ඩු ද සමාන ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත. ඒවායින් වෙනස් වන්නේ කෙසේ දැයි පැහැදිලි නැත)
  11. නිෂ්පාදන බලවේග සංවිධානය කිරීම සහ වෙළඳ පොළ බලවේග නියාමනය මගින් කෘෂි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් (සැපයුම හා ඉල්ලුම අනුව ක්‍රියාත්මක වෙන වෙළඳ පොල නියාමනය කරන්නට ගොස් පසු ගිය ආණ්‌ඩු ඇනගත් වාර අනන්ත ය. ඒ නිසා ම ඒ නියාමනය කෙසේ සිදු කරන්නේ ද යන්න පැහැදිලි කළ යුතු ය)
  12. වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මුල්‍ය පහසුකම් හා මග පෙන්වීම (මේ ව්‍යවසායකයින් තෝරා ගනු ලබන්නේ කෙසේ ද? දැනට මත් ව්‍යවසායක හැකියාවන් පෙන්නුම් කර ඇති අයගෙන් ද නැතිනම් දුප්පත් ම ස්ථරයෙන් ද? ඒ තෝරා ගැනීම අනුව ප්‍රතිඵල ඉමහත් ලෙස වෙනස් වෙනු ඇත)
  13. සංවිධිත ගොවි සංවිධානව වල සහ පුද්ගලික අංශයේ දායකත්වයෙන් කෘෂි කර්මාන්ත කලාප  -Agro industrial zones (මෙවැනි කලාප සාර්ථක වන්නේ ඒ සඳහා ආයෝජකයන් ඇද ගැනීමේ හැකියාව මත ය. විශේෂයෙන් ගෝලීය සැපයුම් ජාලයට සම්බන්ධකම් ඇති විදේශ ආයෝජකයින් ඇද ගැනීමට ඇති හැකියාවේ ය. ඒ සඳහා කුමන වැඩ පිළිවෙළක් අනුගමනය කරන්නේ ද යන්න ඒවා තුළ ආයෝජකයන් ලැබෙන වාසි කවරේදැයි යන්න දක්වා නැත)
  14. කෘෂිකර්මාන්තය පදනම් කර ගත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා අවස්ථා පුළුල් කිරීම (ඒ සඳහා කුමක් කරන්නේ ද යන්න පැහැදිලි නැත)
  15. ඉඩම් හිමිකාරිත්වය එලෙසම පවත්වා ගනිමින් කුඩා පරිමාණ වගා ඒකක ගොවි සමාගම්/ සමූපකාර යටතේ මනා කෘෂි කළමනාකරන පිළිවෙත් අනුගමනය කරනු ලබන මධ්‍ය හා විශාල පරිමාණ වගා ඒකක බවට පරිවර්තනය දිරිමත් කෙරේ (එය කරන්නේ කෙසේ ද යන්න පැහදිලි නැත. සමූහ ගොවිපලක සේයාවක් ඒ තුළ දකින්නට ඇත. සැනසීමකට ඇත්තේ දිරිමත් කිරීමෙන් නැවතීම ය)
  16. සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි අපනයන නිෂ්පාදකයන් දිරිමත් කිරීම සඳහා තාක්ෂණික සහ මුල්‍ය පහසුකම් ලබා දීම සහ තානාපති සේවය මැදිහත් වීමෙන් වෙළඳ පොළ අවස්ථා පුළුල් කිරීම (මේ සඳහා අවශ්‍ය වනුයේ ගෝලීය සැපයුම් ජාල සමග සබඳකම් ඇති විදේශ ආයෝජකයන් ය. තානාපතිවරුන් මේ සම්බන්ධයෙන් මෙතෙක් නම් සාර්ථක වී නැත)
  17. කෘෂිකර්මය හා බැඳුණු සංචාරක කර්මාන්තය දිරිමත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් (අවශ්‍ය පහසුකම් යන්නෙන් අදහස් කළේ කුමන ඒවා ද යන්න පැහැදිලි නැත)
  18. ශ්‍රී ලංකා තේ සන්නාමය නැවත දීප්තිමත් කරමින් ඉහළ මිලක් ලැබෙන වෙළඳ පොළ සොයා දීමට රාජ්‍ය මැදිහත් වීම  (පැහැදිලි නැත)
  19. අපනයන කෘෂි ගම්මාන 1000 ක් ස්ථාපිත කිරීම (මෙවැනි විශේෂ ගම්මාන අවශ්‍ය වන්නේ ඇයි? මේ ගම්මාන තෝරා ගනු ලබන්නේ කෙසේ ද? ඒ ගම්මාන වලට ලබා දෙන පහසුකම් මොනවා ද?)
  20. නවීන තාක්ෂණය භාවිතා කර නිවැරදි ඉඩම් පරිහරණය සඳහා කෘෂිකාර්මික දත්ත පද්ධතියක් සහිත ඩිජිටල් භූමි සිතියම් (කෘෂි ඉඩම් කුඩා ගොවියන් විසින් දිගට ම නඩත්තු කරන්නේ නම් ඩිජිටල් කිරීම මගින් අපේක්ෂා කරන්නේ කුමක් ද?)
  21. ඉඩම් ඵලදායීතාව වැඩි කිරීම සඳහා භෝග -සත්ව වගා පද්ධතීන් ලෙස ඒකාබද්ධ ගොවිතැන ප්‍රවර්ධනය (මේ සඳහා මැදිහත් වන්නේ කෙසේ ද?)
  22. ආන්තික සහ ඌන භාවිත ඉඩම් නව තාක්ෂණය භාවිත කරමින් කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා යොදවා ගැනේ (ඒ සඳහා අනුගමනය කරන උපාය මාර්ග මොනවා ද?)
  23. පොල් වගාව ඇතුළු අනෙකුත් වාණිජ භෝග සඳහා භාවිතා කරන සාරවත් ඉඩම් වෙනත් කටයුතු සඳහා භාවිතය සීමා කෙරේ (වී වගාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේත් මේ ප්‍රතිපත්තිය ම දැයි පැහැදිලි නැත. ඉඩමක කුමක් කළ යුත්තේ දැයි තීරණය කළ යුත්තේ ඉඩම් හිමියා මිසක ආණ්ඩුව නොවේ. එවැනි නියෝගයකින් පොල් වගාව දියුණු කළ හැකි දැයි අප නැවතත් කල්පනා කළ යුතු ය)
  24. ගොවීන්ට කෘෂි යන්ත්‍රෝපකරණ සහන පදනම මත ලබා ගැනීමට ගොවිජන සේවා බල ප්‍රදේශ මට්ටමින් කෘෂි යන්ත්‍රෝපකරණ සැපයුම් මධ්‍යස්ථාන (රජයේ අරමුදල් වලින් ද?)
  25. සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම්් ලබා දීම (රජයේ මුල්‍ය අනුග්‍රහයෙන් ද?)
  26. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වලලට අනුව රසායනික – කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර (රජයේ මුල්‍ය අනුග්‍රහයෙන්)
  27. දේශීය ස්වභාවික අමුද්‍රව්‍ය සහ නිෂ්පාදිත අපද්‍රව්‍ය භාවිතා කරමින් පරිසරයට හානි නොවන පරිදි කෘතිම පොහොර, කාබනික පොහොර සහ අනෙකුත් කෘෂි රසායන නිෂ්පාදනය (රජයෙන් ද?)
  28. වාණිජ මට්ටමමින් බීජ හා රෝපන ද්‍රව්‍යයන් වැඩි දියුණු කිරීම, නිෂ්පාදනය කිරීම, සකස් කිරීම සහ අලෙවි කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ දිරිමත් කිරීම (කුමන උපාය මාර්ග අනුගමනයෙන් ද?)
  29. කෘෂි නිෂ්පාදනය සකස් කිරීමට හා ප්‍රවාහනයට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය පහසුකම් (රජයේ මුල්‍ය අනුග්‍රහයෙන්)
  30. ස්ථානීය පොහොර නිර්දේශ (Site Specific Recommendations) පදනම් කර ගනිමින් පොහොර යෙදීමට වගාකරුවන් දිරිමත් කිරීම (ඒ නිර්දේශ සපයනු ලබන්නේ රජයෙන් ද? කුමන ආයතනයකින් ද?)
  31. සහතික කරන ලද කාබනික වගා භූමි ප්‍රමාණය වැඩි කිරීම ක්‍රමිකව ආහාර භෝග නිෂ්පාදන ඒකකයන් “යහපත් කෘෂිකාර්මික පිළිවෙත්” (Good Agricultural Practices& අනුගමනය කරනු ලබන ගොවිපළ බවට පත් කිරීම (කෙසේ ද?)
  32. ගොවීන් විසින් කළමනාකරණය කරනු ලබන සමූපකාර/ගොවි සමාගම් ප්‍රවර්ධනය (මේ අත්හදා බැලීම සාර්ථක වූයේ නැත. හේතුව කුඩා ඉඩම් හිමි කම ය)
  33. තේ, රබර්, පොල් වැනි බහු වාර්ෂික භෝග වගාවන්හි අතුරු භෝග වගාව සහ භෝග විවිධාංගිකරණය සඳහා තාක්ෂණික මුල්‍ය හා අනෙකුත් (ඉල්ලන අයට ද සැමට ම ද?)
  34. නිමි ද්‍රව්‍ය වශයෙන් අපනයනය කිරීම අරමුණු කොට ගනිමින්, අපනයන කෘෂි භෝග ආශ්‍රිත වටිනාකම එකතු කළ නිෂ්පාදනය කර්මාන්ත ආරම්භ කිරීම (ආරම්භ කරන්නෙ රජය ද?)
  35. රබර් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා දැනට කිරි කැපීමට යොදා නොගන්නා රබර් ඉඩම් කිරි කැපීම සඳහා යොමු කරවීම සහ රබර් වගාවන් සඳහා යොදා ගැනෙන වැසි ආවරණ භාවිතය දිරිමත් කිරීම සඳහා මුල්‍ය පහසුකම්
  36. වැඩි දියුණු කළ ප්‍රභේද යොදා ගනිමින් හා ක්ෂුද්‍ර ජල සම්පාදනය යටතේ උක් වගා කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 10 දක්වා පහසු ණය යෝජනා ක්‍රමයක්
  37. දේශගුණික විපර්යාසයන්ට අනුගත භෝග ප්‍රභේද, වගා හා වාරි තාක්ෂණික ක්‍රම සැලසුම් කිරීම ජනනය කිරීම සහ යොදා ගැනීම
  38. කෘෂි පර්යේෂණ, ව්‍යාප්ති සහ දැනුම් කළමනාකරණය
  39. ව්‍යාප්ති කාරකයන් දැනුමින් සහ අවශ්‍ය සම්පත්වලින් සන්නද්ධ කිරීම මගින් ඔවුනට ඵලදායී ව්‍යාප්ති සේවයක් ඉටු කිරීමට අවස්ථාව ලබා දීම
  40. ගොවි පවුල් 350ට පමණ එක් ව්‍යාප්ති නිලධාරියෙකු බැගින් වන කාර්යක්ෂම කෘෂි ව්‍යාප්ති සේවයක්a
  41. සේවා හා නිෂ්පාදනය අංශවල වෘත්තීය පුහුණු කිරීම් මගින් සමෘද්ධි/අස්වැසුම් ලාභීන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ ඇතුළු ග්‍රාමීය ප්‍රජාවගේ දරිද්‍රතාවය අවම කිරීම
  42. කෘෂි ව්‍යාප්ති නිලධාරීන්ට නිෂ්පාදන ඉලක්ක පදනම් කර ගත් දිරි දීමනා
  43. කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපාදන ඉහළ නැංවීම
  44.  කෘෂිකර්මාන්තය සමාජීය පිළිගැනීමක් සහිත ආකර්ෂණීය වෘත්තියයක් බවට පත් කිරීම සඳහා කෘෂිකර්මාන්තයෙහි නියැලෙන්නන්ට විධිමත් වෘත්තීය අධ්‍යාපන අවස්ථා
  45. කෘෂිකර්මය හා සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ හා විශ්ව විද්‍යාල නියෝජනය කරමින් තීරණ ගැනීම සඳහා ජාතික කෘෂිකර්ම සංවර්ධන සභාවක්
  46. කෘෂිකර්මයට අදාළ සියලුම ව්‍යාපෘතීන් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් නියාමනය සහ අධීක්ෂණය
  47.  සම්ප්‍රදායික නොවන ප්‍රදේශයන්හි වගා කළ හැකි පොල් රබර් කුරුඳු වැනි වාණිජ භෝග විධිමත් ව වගා කිරීම සඳහා වගාකරුවන් යොමු කිරීම
  48. කන්තලේ උක් කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සහ උක් වගා බිම් ප්‍රමාණය වැඩි කිරීම

මේ ක්‍රියාමාර්ග විමසීමේ දී රජයේ මැදිහත් වීම කෘෂිකර්මයේ සෑම අඟලක් පුරා ම පැතිර ඇති බවක් පෙනෙයි. මේ සඳහා කෙතරම් පිරිසක් කෙතරම් නව ආයතන ගණනාවක් කෙතරම් මුල්‍ය සම්පත් අවශ්‍ය වේ දැයි තක්සේරුවක් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ නැත. අප දිගින් දිගට ඉල්ලා සිටියේ එවැන්නක් නැති ව ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ මුද්‍රණය කරන කොළයක් තරමටවත් වටිනාකමක් නැති බව ය.

මීට අමතර ව ක්‍රියාකාරකම් ප්‍රමාණයෙන් වැඩි වූ විට මතු වන තවත් අතුරු ඵලයක් තිබේ. එය විස්තර කළ හැක්කේ මෙසේ ය. ගොඩ බදා ගත්තහම ගෙනියන්නට බැරි ය. මග හැලෙනවා ය. ඒ නිසා කරන්නට තිබුනේ පැරටෝ මූලධර්මය අනුගමනය කිරීමට ය. ඒ මූලධර්මය  80-20 මූලධර්මය ලෙස ද හැඳින්වේ. එයින් යෝජනා කරන්නේ 80% ක් ප්‍රතිඵල දෙන 20% ක් වූ තීරණාත්මක කටයුතු වලට අවධානය යොමු කර ඉතිරි ඒවා පසු පසට තල්ලු කරන ලෙස ය.

රනිල් කරන්නට යන්නේ මොනවා ද?

රනිල් පැරටෝ මූලධර්මය අනුගමනය කළා ද නැත්නම් වෙලාවේ හැටියට කෙටියෙන් වැඩේ නිම කළා ද යන්න අප දන්නේ නැත. එහෙත් කෘෂිකර්මය පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්ති තනි පිටුවකට සීමා වී ඇත. කෙනෙකුට අවශ්‍ය නම් ඔහු ඒ සඳහා දෙන්නේ අඩු අවධානයක් බවට චෝදනාවක් පවා නැගිය හැකි ය. එහෙත් ජාජබ නවකතාවක් ලියන විට ඔහු ලියා ඇත්තේ කෙටි කතාවක් බව පමණක් මතක් කිරීමට කැමති ය.

රනිල්ගේ ආරම්භය වෙනස් ය. ඔහු කෘෂිකර්මයට පිවිසෙන්නේ ද ජාජබ මෙන් ම පසුබිම් කථනයකින් පසු ය. එහෙත් වෙනස ඔහු දේශීය පින්තූරය වෙනුවට ගෝලීය පින්තූරය සැලකිල්ලට ගැනීම ය. වැඩි වන ලෝක ජනගහණයත් ඒ නිසා ඇති වන නව ආහාර අවශ්‍යතාවත් අවධාරණය කරන ඔහු ඒ සඳහා රට සූදානම් කිරීමේ වැදගත් කම ගැන කියයි. ජාජබ ආහාර සුරක්ෂිතතාවට මූලික තැන දෙන විට රනිල් කරන්නේ අපනයන කෘෂි ආර්ථිකයක් යෝජනා කිරීම ය.

කාබනික වගාව දිරිමත් කිරීම ගැන රනිල් කතා කරතත් ඔහු එය සීමා කරන්නේ ලෝකයේ පවතින niche market එකට පමණ ය. ඒ හරහා වැඩි ආදායමක් උපයා ගැනීම කෙරෙහි ය.

ඉහත කතා වලින් ඔබ මා රනිල්ගේ අනුගාමිකයෙකු ලෙස නිගමනයකට පැමිණියා නම් දැන් එය වෙනස් කර ගැනීමට මොහොත ය. පොහොර උපාංග නවීන යන්ත්‍රෝපකරණ ගොවියාට සපයනව කියා රනිල් විසින් කියා තිබුණ ද එය කරන්නෙ කුමන පදනමකින් ද කෙසේ ද යන්න පිළිබඳ ව ඔහු නිහඩ ය. අන්තිමේ දී එය ජේආර්ගෙ ඇට අටේ කතාව වගේ වෙන්නත් පුළුවන. ඒ ගැන අමතක අයට මතක් කරන්නට කැමති ය. ජේආර්ගේ ඇට අටේ පොරොන්දුව ගැන ඔහුගෙන් විමසූ කල ඔහු කීවේ ඇට අටක් නොව ඔ්නෑ තරම් ගත හැකි ආර්ථිකයක් ඔහු නිර්මාණය කර ඇති බව ය. වෙනත් විදිහකට කිව්වොත් ඔහු කීවේ ඒවා වෙළඳ පොළෙන් මිලට ගත හැකි බව ය. රනිල් අදහස් කළේ මේ සියල්ල රජයෙන් සපයන බව හෝ සහන මිලකට සපයන බව නම් අප ඇසිය යුත්තේ ඔහු ඒ සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ ද යන්න ය.

ගොවි නිෂ්පාදනය ගොවියාගෙන් කෙළින් ම මිලදී ගන්නා සැපයුම් ජාලයක් නිර්මාණය කරන බව රනිල් ප්‍රකාශ කරන්නේ වුව ද එය කරන්නේ කෙසේ ද කුමන ආයතනයක් විසින් ද දැනටමත් අත පය කඩා තිබෙන වී අලෙවි මණ්ඩලය මගින් ද යන්න පැහැදිලි නැත. එවැන්නක් අවශ්‍ය ය යන්න ද අපට පෙනෙන්නේ නැත.

ශීතාගාර රටපුරා ස්ථාපිත කරන බව රනිල් ද කියයි. පුදුමයකට මෙන් අනුරගේ හා සජිත්ගේ ප්‍රකාශන වල ද මේ කතාව අඩංගු ය. කවුරු කාගෙන් කොපි කර ඇද්දැයි කියන්නට අප දන්නේ නැත. එහෙත් මෙය තවමත් අපට නම් හතර බීරි කතාවකි. මේ ශීතාගාර ස්ථාපිත කරන්නේ කොහේද කුමක් සඳහා ද කවුරුන් විසින් ද සේවා සපයන්නේ මුදලකට ද ඒ කිසිවක් ගැන උත්තර කිසිම කෙනෙකු ළඟ නැත.

ගෙවතු වගා ව්‍යාප්ත කරන බව රනිල්ගේ තනි පිටුවේ සඳහන් වේ. ඒ ආර්ථික අර්බුදය හමුවේ ගෝඨාභය කළ විහිළුව ම ය. ඒ ගැන විස්තර නැති නිසා ඊට වඩා දෙයක් කියන්නට බැරි ය.

රජය සතු ඌන උපයෝජිත ඉඩම් වලින් අක්කර ලක්ෂ තුනක් වාණිජ භෝග නිෂ්පාදනය සඳහා ලබා දෙන බව රනිල්ගේ ප්‍රකාශයේ සඳහන් ය. ඒ යෝජනාව නරක නැත. ඇත්තට ම එය හොඳ ය. (යෝජනාව හොඳ වුනත් කාට ද මොන පදනමකින් ද කියා නැති නිසා ම දේශපාලකයාගෙ අභිමතයට එය සිදු වෙනු ඇද්ද යන සැකය ඇති වීම වැළැක්විය නොහැකි ය.)

උරුමය සින්නක්කර ඔප්පු හිමි ගොවියන්ට සිය වගාවන් තවතවත් දියුණු කර ගැනීම සඳහා උපදෙස් සහ සහය ලබා දෙන බව කීමෙන් ඒ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑමට ඔහුගේ ඇති උනන්දුව ප්‍රකාශ වේ. අපට හැඟෙන හැටියට නම් කෘෂිකර්මය සාර්ථක කිරීමට ගොවීන් සින්නක්කර ඔප්පු පිරිනමන උරුමය වැඩ සටහන නම් ලබා දෙනු ඇත්තේ විශාල දායකත්වයකි. ඒ ඉඩම් හිමිකාරිත්වයේ ගැටළුවට එය වක්‍ර උත්තරයක් වන නිසා ය.

උරුමය ඉඩම් ඵලදායී භෝග වගාවන්ටත් වෙනත් කෘෂි ව්‍යාවසායන් පාදක කාර්යයන් වෙනුවෙන් යෙදවීමත් දිරිමත් කරන බව රනිල්ගේ වැඩ පිළිවෙළ තුළ සඳහන් වේ. (මෙතැන දි ජාජබට වඩා වෙනසක් පෙන්නුම් කර ඇත. ඵලදායී භෝග වගාවන්ට විවෘත කිරීම කියන එක ඇතුළෙ උපාය මාර්ගයක් ප්‍රදර්ශනය වේ). මේ ක්‍රියාමාර්ගයත් වැදගත් එකක් ලෙස අප හඳුනා ගැනීමට කැමති ය.

බෝග ප්‍රවාහනය, අස්වැන්න නාස්ති නොවන ලෙස ගබඩා කිරීම හා අලෙවි කරණය නවීකරණය වැනි පියවර කීපයක් ගැන රනිල්ගේ වැඩ සටහන තුළ සඳහන් වෙතත් ඒ සඳහා රජය විසින් කරනු ලබන්නේ කුමක් ද යන්න ගැන ඔහු නිහඩ ය.

දේශීය ආහාර ප්‍රචලිත කිරීම සඳහා රජය මැදිහත් වීමෙන් වැඩසටහනක් දියත් කරන බව රනිල් සඳහන් කර ඇත. එය සිදු කරන්නේ ශ්‍රී ලංකා භූමිය තුළ ද (ගහ දන්න අයට කොළ කඩා පාන්නක් නොවිය හැකි ද) විදේශයන් හි ද යන්න පැහැදිලි නැත. ඒ සඳහා අනුගමනය කිරීම අපේක්ෂා කරන වැඩ පිළිවෙළ ද පැහැදිලි නැත.

කෘෂිකර්මාන්තය මෙන් ම එදිනෙදා ජල අවශ්‍යතාව සපුරාලීම උදෙසා මල්වතු ඔය, තල්පිටිගල හා වයඹ ඇල ව්‍යපෘති 2030 වන විට නිම කරන බව ද රනිල්ගේ ප්‍රකාශය තුළ තිබේ. ඒවා නිශ්චිත වැඩ ය. ප්‍රතිලාභයක් සහිත වැඩ වීමේ ඉඩකඩ වැඩි යෝජනා ය.

වී ගොවිතැනට අවශ්‍ය පොහොර හෝ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රු 25000 සහනාධාර මුදලක් ඍජුව ම වී ගොවීන්ගේ බැංකු ගිණුම් වලට ලබා දෙන අතර කන්නයෙන් කන්නට සහතික මිලක් නියම කෙරේ (අපනයන භෝග ප්‍රවර්ධනය ගැන කියපු කතා සියල්ල මේක ඇතුළෙ නිශේධනය වෙනවා. රටේ ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි කටයුතු කරන්නේ කෙසේ ද යන්න ගැන කිසි ම සඳහනක් නැත)a

සජිත්ගේ වැඩ

සමගි ජන බලවේගයේ නැත්නම් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් කෘෂිකර්මය සම්බන්ධයෙන් රනිල් ට සමාන සැකෙවින් කියන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව පෙනේ.

සාධනීය යෝජනා ලෙස පහත සඳහන් ක්‍රියාමාර්ග දැක්විය හැකි ය. ඒත් ඒවා බහුතරයක් සම්බන්ධයෙන් ද අපට ඇසීමට ඇත්තේ ජාජබයෙන් ඇසූ ප්‍රශ්න ම ය. ප්‍රමාණවත් පැහැදිලි කිරීම් වලින් තොරව මේවායේ ප්‍රතිඵල ගැන අපට සහතික දිය නොහැකි බව ය.

  • කෘෂි තොරතුරු වෙළඳ පොළ Forward sales contracts ආශ්‍රයෙන් නිෂ්පාදන වලට ඉහළ මිලක්
  • තාක්ෂණික මෙවලම් ඔස්සේ ගොවීන්ට දැනුම
  • කෘෂි අපනයන සදහා බදු දිරි ගැන්වීම්
  • ඉඩම් වල භාවිතය සීමා කරන යල් පැන ගිය නීති ඉවත් කිරීම
  • Drip irrigation, Green house cultivations, use of drones, AI වැනි තාක්ෂණය භාවිතා කිරීමට අනුබලයක් ලෙස බදු දිරිගැන්වීම්
  • වී මෝල් ඒකාධිකාරය බිඳ ලීමට ශක්ති සහල් වැඩ පිළිවෙල
  • ඉඩම් බැංකුවක්
  • සින්නක්කර ඔප්පු

රනිල්ගේ අවසාන පොරොන්දු ව වගේ ම ඡන්ද ම ඉලක්ක කර ගත් පොරොන්දු ගණනාවක් ඒ තුළ තිබේ. රනිල්ගෙන් ඇසූ ප්‍රශ්නය හා ජාජබ ක්‍රියාමාර්ග 48 ක් යෝජනා කරමින් යන වැඩ පිළිවෙළ ගැන ඇසූ ප්‍රශ්නය ම සජිත්ගේ පාර්ශවයෙන් ද අසන්නට ඒ අනුව අප ට සිදු වේ. මේවා සඳහා මුදල් උපයා ගන්නේ කෙසේ ද යන්න ය.

  • ගොවි ණය කපා දැමීම
  • කි ග් 50 ක පොහොර මල්ලක් රු 5000 ට
  • සහතික මිලක්
  • කෘෂි යෙදවුම් සහන මිලකට
  • ශීතාගාර

සජිත්ගේ ප්‍රකාශනයට සාධාරණයක් මා විසින් ඉටු කර නැතැයි ඔබ සිතුවොත් එය අසාධාරණ නැත. එහෙත් ලිපිය දැනට මත් දිගු වී ඇති නිසා මේ සටහන මේ ලෙසට ම නතර කිරීම හොඳ ය.

දිග රූලකින් මැන ලකුණු දෙනවා නම් වැඩි ම ලකුණු ලැබෙන්නේ ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ය. එහෙත් කුමන පදනමකින්‌ හෝ මේ සම්බන්ධයෙන් විනිෂ්චයක් දීමේ අදහසක් මට නැත. එය බාර ඔබට ය. ප්‍රකාශන තුනේ ම ඇති අනවශ්‍ය දෑ අයින් කරමින් දෙක තුන ම එකතු කර හොඳ එකක් හදා ගැනීමට නම් බැරි කමක් නැත. එහෙත් ඒ දීගයට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඔ්නෑ ය. හොයා ගන්නට අමාරු ම ඒ ටික ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *