| |

IMF කොන්දේසි නැවත සාකච්ඡා කළ යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග .

Yukthiya Srilanka යු ටියුබ් නාලිකාවේ පළ කළ වීඩියෝව ලිපියක් ලෙස කියවීම සඳහා .....

“කුප්පිය” – සමානයින් ගේ කතිකාවේ පළමු සංවාදයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වන විට බොහෝ දෙනා ගේ සාකච්ඡාවට, වාද විවාදයට බඳුන් වී තිබෙන  අයි එම් එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ය. වඩාත් පැහැදිලිව කියන්නේ නම්;  එහි කොන්දේසි සහ ඒ කොන්දේසි ඉටු කිරීමට අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සහ ඒවා නැවත සාකච්ඡා කළ යුතු ද? අපට ඉටු කළ නොහැකි දේ එහි තිබේ ද? අපට හානිකර දේ එහි තිබේ ද? එසේ නැතහොත් එහි අඩංගු වන්නේ අප විසින් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු කොන්දේසි ද යන කාරණයයි.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළඹී ඇත්තේ දිගු සාකච්ඡාවකින් අනතුරුව ය. එහි දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය භාරය වූයේ, ආණ්ඩුවට ප්‍රශ්න ඉදිරිපත් කරමින් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරමින් අදාළ ප්‍රශ්නවලට ආණ්ඩුවේ පිළිතුරු මොනවා ද යන්න පිළිබඳ රජයේ එනම්, නිලධාරි තන්ත්‍රය, පාර්ලිමේන්තුව, විපක්ෂය, යන සියලු දෙනා සමඟ සාකච්ඡා කරමින්, යම් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.එහිදී ඔවුන් ඒ සඳහා අපගේ යම් වගකීමට බැඳීමක් බලාපොරොත්තු වේ. අපි ඒවා අයි එම් එෆ් කොන්දේසි යනුවෙන් හඳුන්වමු. එහෙත් මේ කොන්දේසි අප මත බලයෙන් පටවා නැති බව අප පළමුව තේරුම් ගත යුතුය.

පැහැදිලි අදහසක් නැත

මේ කොන්දේසි වෙනස් කළ යුතු බව කියන පිරිස වුව, ඒවාහි අඩංගු හානිකර කොන්දේසි කවරේද? වෙනස් කළ යුත්තේ කුමන කොන්දේසි ද? යන්න පිළිබඳ පැහැදිලි  කරන්නේ නැත. ඇතැම් විට එකම කණ්ඩායමේ දේශපාලනඥයන්  පවා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කරන බව පෙනේ. එසේම, එකම දේශපාලනඥයා විවිධ අවස්ථාව විවිධ අදහස් දක්වන බව පෙනේ. මෙකී ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් වශයෙන් පෙනෙන්නේ, මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් හෝ එහි කටයුතු පිළිබඳ ඇති අනවබෝධය හෝ මිථ්‍යා අදහස් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු අපට හානිකර සහ තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස ඇතැමුන් සිතති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගොඩනගනු ලබන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වන්නටත් පෙර, යුද්ධ නොකර ලෝක සාමය පවත්වා ගැනීම සඳහා, විවිධාකාර ආයතන පිළිබඳ ඇතිවූ ලෝක සංවාදයේ ප්‍රතිඵලයක් වශයෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු එම සංවාදයේ පලයකි. එහිම කොටසක් ලෙස එහි ආර්ථික පාර්ශ්වයේ කටයුතු සඳහා සංවිධාන කිහිපයක් ද ගොඩනැගුණි. එසේ ගොඩනැගුණු සංවිධාන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ප්‍රධාන වේ. එහිදී රටවල් මුහුණ දෙන විදේශ විනිමය අර්බුද ගෙවුම් ශේෂ අර්බුද වැනි දේට මැදිහත්ව ඒ සඳහා විසඳුම් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විශේෂ වගකීමක් පැවරිණ. ලෝක බැංකුවට පැවරුණු වගකීම වූයේ, දුප්පත් රටවල සංවර්ධනය සඳහා අභ්‍යන්තර ආයෝජන  සඳහා මූල්‍ය ආධාර ලබා දීම වැනි කාර්යයන් ය. ලොව  බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මෙකී සංවිධානවල සාමාජිකත්වය දරයි. මේ සංවිධානවලින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට අපට අයිතියක් ඒ අනුව තිබේ. එය අප රටේ සාමාජික අයිතියකි. එලෙස සහයෝගය ලබා දීමේ දී අපට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්නට ඉඩ දෙන්නේ නම් එය එම සංවිධානවල වරදක් වේ. එසේ හෙයින් ඔවුන් තම වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලබන්නේ, අදාළ රටේ ආර්ථිකය නැංවීම සඳහා උපදෙස් ලබා දීමක්, ගිවිසුම්ගත වීමක් සමඟය. එම වැඩසටහන යනු ඇත්ත වශයෙන් ම රජය සහ එම සංවිධානය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම ය. එම ගිවිසුම් යටතේ ඔවුහු සමහර වගකීම් අපට පවරනු ලබති. එසේම ඔවුහු ද යම් වගකීම් ප්‍රමාණයක් ඉටු කරනු ලබති. නිදසුනක් වශයෙන්, අප රටේ ණය ප්‍රතිව්‍යුහගත කර දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශාල කාර්යභාරයක් ඉෂ්ට කළේය. සම්න්ධීකරණයන් බොහොමයක් කළේය. එහෙත් අවසන් වශයෙන්, එකඟතාවයකට එළඹීමට සිදුව ඇත්තේ අප රටට, ණය දුන් රටවල් සහ ආයතනවලට, බැඳුම්කරුවන් වැනි පිරිසටය.

කොන්දේසි මොනවද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප රටට ලබා දී ඇති කොන්දේසි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහිදී වැදගත් වේ. එම කොන්දේසි වන්නේ ,

  • රජයේ වියදම් කළමනාකරණය කර ගැනීම.
  • වංචා දූෂණ පිටුදැකීම සඳහා නීති රීති හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම.
  • රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම සහ ආදායම් පාදක ආර්ථික ස්ථායිකරණයක් සඳහා ක්‍රියාත්මක වීම; එනම්, මෙරට ආර්ථිකය ස්ථායි විය යුත්තේ ආදායම් මත එනම් ආදායම් වැඩි කර ගැනීම මගිනි.
  • රජයේ අය වැය තුළ ප්‍රාථමික ගිණුමේ3% අතිරික්තයක් පවත්වා ගෙන යාම.
  • දේශපාලඥයන්ගේ බලපෑමෙන් මහ බැංකුව නිදහස් කර ස්වාධීන කර එයට යම් යම් වගකීම් පැවරීම, මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම, අනවශ්‍ය ලෙස ණය ගැනීම නතර කිරීම.
  • උද්ධමනය පාලනය ප්‍රධාන කාර්යයක් ලෙස මහ බැංකුවට පැවරීම.
  • වසර 2032 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 95% ට අඩු මට්ටමකට රටේ ණය බර ගෙන ඒම.
  • එම කාලය වන විට රටේ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% කට වඩා අඩු කිරීම.
  • රජයේ දිළිඳු සහන සඳහා වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.65% දක්වා ඉහළ දැමීම. එය මෙතෙක් පැවැතියේ 2% ටත් වඩා අඩු මට්ටමකය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සපයා ඇති කොන්දේසි එබඳුය. මේ කොන්දේසි හොඳින් විමසා බැලූ කල අපට පෙනෙන්නේ, මේවා බොහොමයක් රජයක් ලෙස ජනතාවක් ලෙස අප ක්‍රියාත්මක කළ යුතු දේ බවය. ඇත්ත වශයෙන් ම අපේ රාජ්‍යය පසුගිය කාලය තුළ ඉතාමත් ම වගකීම් විරහිත ලෙස කටයුතු කර ඇති බව මේ කරන අධ්‍යයන සහ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට යාමේ දී පැහැදිලි වේ.

මහජන මුදල් කාබාසිනියා කළ  හැටි

නිදසුනක් ලෙස රජයේ වියදම් පාලනය පිළිබඳ ප්‍රශ්නය ගත හොත් රජය මේ දක්වා වැඩකට නොමැති ආයතන කිසිදු කටයුත්තක් නොකරන ආයතන නඩත්තු කරමින් පඩි-නඩි ගෙවමින්, පවත්වා ගෙන ගොස් ඇති බව පෙනේ. අධ්‍යක්ෂ මණ්ඩල පත්කර, කාර්ය මණ්ඩල පත්කර වියදම් කළත් කිසිදු කාර්යයක් නොකරන ආයතන 19ක් පමණ මෙරට තිබේ. රාජ්‍ය වැටුප් කොමිෂන් සභාව එවැන්නකි. කලකට ඉහත මෙම ආයතනය පිහිටුවා ඇත්තේ රජයේ සේවයේ වැටුප් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා වුව, පසුගිය සමය වන විට එම ආයතනයෙන් කෙරුණු කිසිදු කටයුත්තක් නැත. නමුත් සේවක පිරිසක් නඩත්තු කළේය. මෙවැනි ආයතන වසා දැමීමට සහ එම කාර්ය මණ්ඩල වෙනත් ආයතනවලට පැවරීමට සිදු වනු ඇත එසේම, සිමෙන්ති සංස්ථාව ද එවැන්නකි, කලකට පෙර සිමෙන්ති කර්මාන්ත ශාලා තුනක් මෙරට තිබුණි. කන්කසන්තුරේ කම්හල යුද්ධය හේතුවෙන් වැසී ගියේය. අනෙක් කම්හල් දෙක පෞද්ගලීකරණයට ලක් විය.

පෞද්ගලිකකරණය කළ කම්හල්වල නිෂ්පාදන කටයුතු තරගකාරී ලෙස සිදුවේ. නව සිමෙන්ති කම්හල් රටේ ඉදිවී තිබේ. පෙර සිදුවූ ආකාරයට බදු සහන ලබා දීම් ආදියෙන් තොරව  ලෝක වෙළෙඳ පළත් සමඟ තරගකාරී ලෙස සිමෙන්ති නිෂ්පාදනය සිදුවේ. එසේම එම ආයතන රජයට බදු ගෙවමින් සිටී. මේ සියල්ල අතර කිසිදු හේතුවකින් තොරව සිමෙන්ති සංස්ථාව ද පවත්වා ගෙන යමින් තිබී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ තුළ මෙවැනි දේ වෙනස් කරන්නට අපට සිදුවන බැවින් එය වැදගත් වේ. මෙරට මහජන මුදල් මේ ආකාරයට විනාශ කිරීම කිසිදු තේරුමක් ඇති කාර්යයක් නොවේ. ඒ බව අප හොඳින් තේරුම් ගත යුතුය.

ඒ අතර තචත් සමහර රජයේ ආයතන පාඩු ලබමින් පවත්වා ගෙන ගියේය. ඒ ආයතන ලාබ දායි කිරීමට හෝ රජයෙන් අනිවාර්යයෙන් කළ යුතු නොවන වානිජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හෝ කළ යුතුව ඇත. එසේම වියදම් කළමනාකරණයේදී සමහර අංශවලට රජයේ ආයතනවල සේවා සැපයීම් වැනි දේවල දී අනවශ්‍ය සහ වැරදි ආකාරයට සහනාධාර දීම් සිදු වී තිබේ. උදාහරණයක් වශයෙන් විදුලි බලය ලබා දීමේ දී අඩු ආදායම් ලාභීන්ට සහන මිලට විදුලිය ලබා දිය යුතු අතර වැඩි ආදායම් ලාභීන් ගෙන් සියලු මුදල් අය කළ යුතු බව බොහෝ අය තවමත් කියති. එනම්, විදුලි ගාස්තු ක්‍රමය  තුළ සහනාධාරයක් පවත්වා ගෙන යා යුතු බවය.

ධනවතුන්ටත් සහනාධාර දිය යුතු ද ?

නමුත් මූල්‍ය අරමුදලේ අදහස වන්නේ එසේ කිරීම වැරදි සහගත බව සහ වියදම් ලැබෙන ක්‍රමයට එය සකස් කළ යුතු බවය. නමුත් ජනප්‍රිය මතය අඩු ආදායම් ලාභීන්ට අඩු මුදලට විදුලිය සැපයිය යුතුය යන්නය. එම මතයේ ඇති වරද වන්නේ, අඩු ආදායම් ලාභීන්ට මුල් ඒකක තිහට හෝ හැටට, අඩු ගාස්තු ක්‍රමයක් අය කළ විට එම ගාස්තු ක්‍රමය සියලු ගෘහස්ත පාරිභෝගිකන්ට ක්‍රියාත්මක කළ යුතුය. නැතහොත්, එය විකෘකියක් බවට පත්වේ. එසේ කළ විට වන්නේ, තම සුඛෝපභෝගී ජීවන රටාවට වායුසමන යන්ත්‍ර වැනි දේ භාවිත කර ඉහළ වියදමක් කරන අයට ද එම සහනාධාරය හිමි වීමය. මූලික ඒකක හැටට ඒ අයටත් වැය වන්නේ අඩු ආදායම් ලාභීන්ට අය කෙරෙන මුදල මය. එහි අදහස, අනවශ්‍ය පිරිසකටත් එම සහනාධාරය හිමි වනු ඇති බවය. එසේ නොමැතිව හැටට අඩු පිරිසට එක් ගාස්තු ක්‍රමයකුත් හැටට වැඩි අයට තවත් ගාස්තු ක්‍රමයකුත් අය කරන්නට ගිය හොත් එතැන ඇතිවන්නේ ද විකෘතියකි.

නිදසුනක් වශයෙන් හැටට අඩු පාරිභෝගිකයාට රුපියල් දහයක් සහ හැටට වැඩි පාරිභෝගිකයාට රුපියල් විස්සක් ලෙස මිල නියම කළ හැකි හොත් කෙනෙක් එක් මාසයක පනස් නමයක් හෝ හැටක් රුපියල් හයසීයක ගාස්තුවක් ගෙවන්නේ නම්, ඊළඟ මාසයේ ඒකක හැට එකක් භාවිත කළ හොත් ගාස්තුව රුපියල් එක් දහස් දෙසිය හැටක් බවට පත්වේ. මා මේ කියන්නේ ස්ථාවර ගාස්තුව අදාළ කර නොගෙනය. ඒ අනුව ඒ අවස්ථාවේ එක් ඒකකයක් රුපියල් හයසිය ගණනකින් පමණ වැඩිවේ එබැවින් එවැනි ගාස්තු ක්‍රමයක් පවත්වාගෙන යාමට ද නොහැකිය. මූල්‍ය අරමුදල මූලධර්මයක් ලෙස ආයතනවලට ගාස්තු මගින් වැරදි ලෙස සහනාධාර නො දිය යුතු බව පවසන්නේ එහෙයිනි. එසේම මූල්‍ය අරමුදල පවසන්නේ සහනාධාර ඍජුව අඩු ආදායම් ලාභීන්ට දිය යුතු බව ය. තවත් අයුරකින් කියන්නේ නම් භූමි තෙල් වැනි දේ සඳහා අඩු මිලක් නියම කර කර්මාන්ත සඳහා ධීවරයන්ට සහන දුන් විට සාමාන්‍ය පරිභෝජන තත්ත්වය වන්නේ, එම ඉන්ධනවලින් 70% ම පරිභෝජනය කරන්නේ මෙරට ඉහළ ම ආදායම් ලබන 20% හෝ 30% පිරිසය. එවිට එම සහනාධාරය සත්‍ය වශයෙන් හිමි වන්නේ පොදු ජනයාට නොව, ඉහළ පන්තියට ය. මෙහිදී ද විකෘති තත්ත්වයක් ඇති වන බැවින් එසේ නොකර දුප්පතුන්ට ඍජු මූල්‍ය ආධාර සැපයීම නිර්දේශ කර තිබේ. අනෙක් පිරිසට මිල ක්‍රමය යටතේ තවමත් යම් සහනාධාර අඩු ආදායම් ලාභීන්ට විදුලිය සඳහා තිබේ. නිදසුනක් වශයෙන් විදුලි ගාස්තුව වැඩියෙන් ම පැවති සමයේත් විදුලි ඒකක 60ක් පරිභෝජනය කරන අයකුට ලැබුණේ රුපියල් දෙදහසක පමණ විදුලි බිලකි. නමුත් අස්වැසුම යටතේ රුපියල් පහළොස් දහසක් දිළිඳු පවුල්වලට ලැබේ. ඊට තරමක් වැඩි ආදායමක් ලබන අයට රුපියල් අටදහස් පන්සීයක් ලැබේ. ඒ අනුව එක් ආකාරයකින් වියදම් ඉහළ ගිය නමුත්, ඔවුන් අතටම එම මුදල් ලැබේ.

සේවකයින් දොට්ට දමනවා ද ? බදු ය කරනවා ද ?

අනෙක් කරුණ වන්නේ ආදායම් වැඩි කර ගැනීමය. එහිදී මූල්‍ය අරමුදල යෝජනා කරන්නේ, ආදායම් පාදක ආර්ථික ස්ථායීකරණයකට යා යුතුය යන්න ය. ඉන් අදහස් වන්නේ වියදම් පාලනය නො කළ යුතුය යන්න ම නොවේ. වියදම් පාලනය කළ යුතු වුවත්, රටේ ආර්ථිකය ස්ථායී කළ යුතු වන්නේ, ආදායම් වැඩි කර ගැනීම මගිනි. ඉන් කියැවෙන්නේ බදු සහ වෙනත් ආදායම් මගින් ආර්ථික ස්ථායිකරණය ලබා ගත යුතු බවයි. මේ තත්ත්වය උදා කර ඇත්තේ රජය විසින් බව අප වටහා ගත යුතුය. මා එසේ කියන්නේ, ආදායම් පාදක ආර්ථික ස්ථායිකරණයේ අනෙක් අංගය වන්නේ, වියදම් පාදක ස්ථායිකරණයක් ද තිබිය හැකි බවය. එනම්, රජයේ වියදම් කපා හැරීමයි.

මෙරට රාජ්‍ය සේවය ලොව ජනගහනයට සාපේක්ෂව විශාලතම රාජ්‍ය සේවයකි. මෙරට ජනගහනයෙන් දහසකට  දෙසිය පනහක් සිටින නමුත් සිටිය යුත්තේ දහතුන් දෙනෙක් බවයි දේශමාන්‍ය කරු ජයසූරිය මහතා පසුගිය දිනෙක ප්‍රසිද්ධ වේදිකාවක සඳහන් කළේ. ග්‍රීසියේ කළේ රාජ්‍ය සේවකයන් ඉවත් කිරීම, රාජ්‍ය සේවකයන් ගේ වැටුප් ( සමහර විට අඩකින් ) අඩු කිරීම. එලෙස වියදම් පාදකව ආර්ථිකය ස්ථායීකරණයට ගත් උත්සාහ ද තිබේ. එය ඉතාම නරක තත්වයක දී ගන්නා පියවරකි. නමුත් මෙරට රජය අනුගමනය කළ පියවර වූයේ වියදම් අඩු නොකර රාජ්‍ය සේවය කප්පාදු නොකර, සේවක පඩිනඩි අඩු නොකර සියල්ල ඒ ලෙස පවත්වා ගනිමින්, ආදායම් වැඩි කර ගැනීමයි. ඒ අනුව සැලකිය යුතු බදු ආදායමක් එක් කර ගැනීමට රජය ක්‍රියා කර තිබේ.

මෙයට නොයෙකුත් විවේචන පවතින නමුත් අප මතක තබා ගත යුතු වන්නේ, අපේ රටේ බදු තවමත් ලෝකයේ වෙනත් රටවලට වඩා ඉතාම අඩු බවය. විශේෂයෙන් ම ඉහළ මට්ටමේ සමාජ සුබසාධන සහිත නෝර්වේ ස්විඩන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල සාමාන්‍යයෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 40% පමණ බදු ආදායමක් තිබේ. අප රටෙ බදු ඉහළ නැංවූ පසුවත් පවතින්නේ 13% මට්ටමේ ය. එය 15% මට්ටමට ගෙන යාම අවශ්‍යය. එසේම, ඇතැම් පිරිස් බදු දැලට හසු නොවන තත්ත්වයක් ද තිබේ. එය විසඳා ගත යුතු ගැටලුවකි. එය විසඳීමට කල් ගතවන ප්‍රශ්නයකි. එය විසඳා ගනිමින් පවතින බදු බර අඩු කිරීමට හැකියාව තිබේ. එය ක්‍රියාත්මක කළ යුතු නමුත් මේ මොහොතේ,අපේ ආදායම් වැඩි කර ගැනීම අවශ්‍ය වන්නේ, ඒ ආදායම් වැඩි කර ගැනීම නැවතත් ජනතාවට ප්‍රතිලාභ වශයෙන් ලබා දීමේ හැකියාව ඇති බැවිනි. ජනතාව ගේ සුබසාධනයට සහ වෙනත් දේ ට එම මුදල් වැය කළ හැකිය.

මුදල් උපයාගත් විට ලැබෙන සහන

ආසන්න දිනෙක ජනාධිපතිතුමා පැවසුවේ වැටුප් වැඩි කිරීමට දැන් අප අතේ මුදල් ඇති බවයි. ඒ කතාවේ ඇත්තක් තිබේ. මන්ද, මේ වසරේ පළමු මාස හය ගත් විට අප රටේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය බිලියන 543කි. අපේ ආදායම බිලියන 1850 පමණ වියදම ඇත්තේ බිලියන 1300 ක් පමණ ප්‍රමාණයකි. ඒ ඉතිරි මුදල නැවත ආයෝජන සඳහා යොදා ගැනීමට හැකියාව තිබේ. එය සිදු වන්නේ චක්‍රාකාරවය. එක් පසෙකින් රජය බදු ආදායම් උපයන අතර අනෙක් පසින් එයින් ආර්ථිකය වර්ධනය කිරීම මගින් සුබසාධනය ඇතුළු අනෙකුත් කටයුතු වර්ධනය කිරීම මගින් නැවතත් එම මුදල් මහජනතාව අතට යැවීමේ හැකියාව පවතී. එයක් නොකළ යුතුද යන ප්‍රශ්නය ඇති නමුත්, අනෙක් අතින් මෙරට ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ බදු අඩු කර ආදායම අහිමි කර ගැනීමය. එ් හේතුව නිසා අවශ්‍ය දේ සඳහා වියදම් කිරීමට මුදල් නොමැතිව සියලු දේ කඩා වැටුණි.

ඊළඟ වැදගත් සහ ප්‍රධාන කාරණය වන්නේ, ප්‍රාථමික ගිණුමේ 2.3% ක අතිරික්තයක් තබා ගෙන යාම. අප රටේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතී ඇත්තේ වසර හතරක් හෝ පහක් වැනි අවස්ථාවලය. එනම් 1954-55, 1977, 2017 සහ 2018 සහ පසුගිය වසර 2023 අතිරික්තයක් ලබා ගැනීමට හැකි විය. එය අපේ ඉලක්කය ඉක්මවා යාමකි. මන්ද, මූල්‍ය අරමුදල බලාපොරොත්තු වූයේ 1%ක පමණ හිගයක් වුවත් 0.6% ක අතිරික්තයක් ලබාගැනීමට හැකියාව ලැබුණි. ඇතැමුන් මෙය කොන්දේසියක් වශයෙන්  කියන්නේ නම් මෙය පවත්වා ගෙන නොයෑම ඉතාම බරපතළ අර්බුදවලට හේතු වනු ඇත. අපට හැමදාම ණය වන්නට සිදු වූයේ මෙය නොකිරීම නිසාය. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් යනු යම් අවුරුද්දක් තුළ කරන රජයේ වියදම් පියවා ගැනීමට තරම් ආදායමක් ලබා ගැනීමය. එහි දී අයවැය ලේඛනයේ ඇති ණය සහ ණය සේවාකරණ වියදම් ඉවත් කෙරේ හේතුව ණය යනු පසුගිය වසරවල කළ වියදම්වලට කරන ගෙවීමක් බැවිනි. එහෙත් අදාළ වසරේ අය සහ වැය තුලනය කර ගත් විට තව දුරටත් ණය ගැනීමට හෝ මුදල් අච්චු ගැසීමට අපට අවශ්‍ය වන්නේ නැත. එනම් උද්ධමනකාරී පියවර ගැනීමට අපට සිදු වන්නේ නැත. රටේ ආර්ථිකය වඩ වඩා ස්ථාවර වේ. ඉන් කුමකට හෝ අප විරුද්ධ ද යන්න අපට ප්‍රශ්න කළ හැකිය.

මේවා කරන්න බැරි ඇයි  ?

දූෂණය පිටු දැකීම සඳහා රජයේ විවෘතභාවය සඳහා, ගත යුතු පියවර පිළිබඳ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොයෙකුත් කොන්දේසි පනවා ඇත. රජය ඉන් කොටසක් ඉටු කර ඇත. දූෂණ විරෝධී නව පනතක් සම්මත කර ඇත. විදෙස් රටවල ඇති නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් ආපසු ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ගේ නායකත්වයෙන් සහ දූෂණ වංචා කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මගින් පනතක් සකස් කර තිබේ. දැන් ඉතිරිව ඇත්තේ එය සම්මත කර ක්‍රියාත්මක කිරීමය. යම් නීති සකස් කරන විට ක්‍රියාත්මක කරන විට යම් කාලයක් ගතවේ. නමුත් දැන් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතී. අපට ප්‍රශ්නය ඇත්තේ මේවාට අප විරුද්ධ විය යුතුද කියාය.

අනෙක් කොන්දේසි යනුවෙන් හඳුන්වන ණය සම්බන්ධයෙන් ගත් කල පසුගිය සමයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 130% තරමට වැඩි වී තිබුණු නමුත් මේ වන විට එය 113% වැනි මට්ටමකට පැමිණ තිබේ. මූල්‍ය අරමුදල පවසන්නේ මෙය 95% දක්වා අඩු කර ගන්න කියාය. අප චෝදනා කරන්නේ පසු ගිය ආණ්ඩු රට ණය කළා කියා නම්, මේ ණය අඩු කර ගැනීමට කීම අපට කොන්දේසියක් හෝ අහිතකර හෝ වන්නට හේතුවක් නැති බව අප තේරුම් ගත යුතුය. විදේශ ණය  ගෙවීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% කට සීමා කළ යුතුය යන්න ද අප සකසා ගත යුතුය. එසේ නැතිනම් අපට තවත් අපහසුතාවට ලක් වන්නට සිදුවේ. එමෙන්ම අස්වැසුම වැනි සමාජ සුබසාධන වැඩි කරන්නට ඉල්ලා ඇති අතර ඒ අනුව කටයුතු කර ඇත. දිළිඳු ජනතාව පීඩා විඳින විට ඔවුන්ට සහන ලබා දී ඔවුන් ජීවත් කරවීම සහ ඔවුනට යම් ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීමට උපකාර කිරීම අවශ්‍ය දේ ය.

මේ ආකාරයෙන් බැලූ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අපට අහිතකර කොන්දේසි  බව කියන්නට හේතු තිබේ ද යන ප්‍රශ්නය තිබේ. ඇතැමුන් කියන්නේ බදු වැඩියි වැනි දේය. නමුත් බදු මගින් ලබා ගත් ආදායම නිසා, රට ස්ථායි වීමෙන් දැන්, බඩු මිල අඩු වීමට පටන් ගෙන ඇත. රුපියල ශක්තිමත් වන්නට පටන්ගෙන ඇත. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට හැකියාව ලැබී ඇත. ඒ වැටුප් වැඩි කිරීම නිසා බදුවලට යන වියදමට වඩා වැඩි ආදායමක්  වැඩි ප්‍රතිලාභයක් ඔවුන්ට ලැබෙන තත්ත්වයක් දැන් තියෙනවා. විශේෂයෙන් මෙහි ඇති ප්‍රධාන කොන්දේසිය වන ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙන යාම , ණය ගැනීම සීමා කිරීම, ණය ගෙවීමේ සීමා, වැනි දේට අත වත් නො තැබිය යුතුය.

සමහරුන්ට අවශ්‍ය බදු අඩු කර ගැනීම වුවත්,  බදු දැල පුළුල් කිරීම ආදිය මගින් එය ක්‍රමානුකූලව කළ හැකි වේ. නමුත් යම් බදු ආදායමක් පවත්වා ගෙන ගිය විට  එය නැවතත්, නොයෙකුත් ප්‍රතිලාභ වශයෙන් අපට ලැබේ. මේ වන විට රජයේ වැටුප් වැඩි කරන්නට හැකි වී ඇති අතර ඒ වැටුප් වැඩි කිරීම්වලින් බදුවලට යන මුදලට වඩා වැඩි මුදලක් ප්‍රතිලාභ වශයෙන් ලැබෙන තත්ත්වයක් තිබේ. එසේම, රටේ ආර්ථිකය වඩාත් ශක්තිමත් කර ගත් විට එනම් ආර්ථික වර්ධනය වැඩි වන්නට පටන් ගත් විට බදු ආදායම ඒ ආකාරයෙන් ද වැඩිවේ. එවිට බදු අනුපාත අඩු කිරීමේ හැකියාව ලැබේ. ඒ ආකාරයෙන් ගත් කල රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා කර ගත් එකඟතා ( කොන්දේසි නොවේ.) ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. ඉදිරියේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් මේ කොන්දේසි ක්‍රියාත්මක කළ යුතු බව අප තේරුම් ගත යුතුය. ඒ සඳහා ජන මතයක් හැදීම ද අවශ්‍යය. ඒ මහ ජනයා අතර මේ පිළිබඳ විවිධ වැරදි මත පවතින බැවිනි.

සී ජේ අමරතුංග .

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *