|

සොරකම්කරන ලද මුදල් ප්‍රමාණය නැවත රටට ගෙන ඒමෙන් ආර්ථිකය වර්ධනය කළ හැකිද?

Can the stolen money be brought back to the country to grow the economy?

ජේෂ්ඨ මාධ්‍යවේදී සී. ජේ. අමරතුංග මහතා විසින් පසුගිය මාර්තු මාසයේ ලියන ලද “විකල්පයක් නැත” කෘතිය ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ අර්බුදයන්ට හේතු සහ එයට විසඳුම් සඳහා ගත හැකි ක්‍රියාමාර්ගත් එහිදී මතුවන විවිධ ගැටලු සහ සමහර මිථ්‍යා සංකල්ප වැනි දෑ පිළිබඳව කෙරුණු සාකච්ඡාවක් ඇසුරින් සකසන ලද ලිපියකි.

රටේ ඇති වූ ආර්ථික අර්බුදය පසුව දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වී හිටපු ජනාධිපතිවරයාට සහ ඒ ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වීමට සිදුවුණා. ඉන්පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකීම බාරගත් අතර ඔහුත් සමග සම්බන්ධ වූ පිරිසක් ඔහුට සහාය දැක්වීම පිණිස එක්වුණා. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස විසින් මේ වන විට රටෙහි යම් ප්‍රමාණයක ස්ථායීකරණයක් ඇතිකර තිබෙනවා.

මේ වන විට රටෙහි යම්කිසි ප්‍රමාණයක ස්ථායිකරණයක් ඇතිකර තිබෙන බව බොහෝ දෙනා පිළිගන්න කාරණයක්. මේ ගමන ගැන ආරම්භයේදීම රනිල් වික්‍රමසිංහ කියපු එක කාරණයක් තමයි වැල් පාලමක ගමනක් තමයි යන්න තියෙන්නේ. ඒ වැල් පාලමේ ගමන ඉතාම අනතුරුදායකයි. වැටුණොත් විනාසය කරා යනවා. එගොඩ උනොත් විතරයි අපිට යම්කිසි සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා.

ඒකෙදි ඒ වැල් පාලම කියන සංකල්පය ඉදිරිපත් කළේ, බර්ටෝල් බ්‍රෙස්ට්ගේ හුණුවටයේ කතාවේ ගෘෂාගේ චරිතය රජකුමාරුවාත් අරගෙන වැල් පාලමෙන් යන ගමන අවදානම් ගමනක්ය කීම සඳහායි. එහිදී අපිට ගෲෂා කියපු ගීතයත් මෙහිදී වැදගත්. එහිදී කිව්වේ අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ කියලා. සමහරු ඒක කෙලින්ම පිළිගන්න කැමති නොවුනත් ඇත්ත වශයෙන් පහුගිය කාලේ සියලු දෙනාටම තේරුණු දෙයක් තමයි “මේ මාර්ගය තමයි අපිට යන්න තියෙන මාර්ගය” කියල. නමුත් ඇතැමුන් ඒ පිළිබඳ නොයෙකුත් විවේචන ඉදිරිපත් කළා. මහාචාර්ය විදුර තෙන්නකෝන් මහත්තයා ලියපු ලිපියක කියපු දෙයක් තමයි “බොහෝ දෙනා දන්නවා අපිට යන්න තියෙන මාර්ගය මේක තමයි කියලා නමුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ ඉතාම සුළු පිරිසයි” කියලා.

ඒක තමයි මේ වසර ආරම්භයේදී තිබුණු තත්ත්වය නමුත් මේ වන විට තත්ත්වය තරමක් වෙනස් වෙලා තියෙන බව පේනවා සෑහෙන පිරිසක් මේ ක්‍රියාමාර්ගය ආරක්ෂා කරන්න ඉදිරියට ඇවිල්ලා තියෙනවා.

ඒක සමාජයේ බහුතරයද සුළුතරයද කියලා තාමත් කියන්න බැහැ. කෙසේ නමුත් අප තේරුම් ගත යුතු කාරණය වන්නේ මේ ගමන අප යා යුතුයි කියලා. එහි අඩුපාඩු තියෙනවනම් එය සකස් කර ගැනීම වෙනම දෙයක්. නමුත් ඒ ගැන මිත්‍යාවන් හිතාගෙන වෙනත් දේවල් කරන්න පුළුවන් කියලා හිතාගෙන අපි කටයුතු නොකළ යුතුයි.

එහිදී කෙනෙකුට නොයෙකුත් සංකල්ප තියෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ මැතිවරණ සමයේ ඇතැම් මැතිවරණ ප්‍රකාශයන් අධ්‍යයනයකළොත් ඒවා තුළ ඉතා උසස් සමාජයක් සඳහා අවශ්‍ය සංකල්ප තියෙනවා. ඒ පිළිබඳව නොයෙකුත් ඉදිරිපත් කිරීම් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා යා යුතු ගමන කෙසේද යන්න වෙනම කතා කළ යුතු දෙයක්.

මෙහිදී මම කරුණක් එකතු කරන්න කැමතියි. ලෝකයේ සමාජවාදය කියන සංකල්පය බරපතළ විදියට මතුවුණු සමාජයක් තමයි ප්‍රංශ සමාජය. එහිදී සමාජවාදය පිළිබඳ විවිධ දාර්ශනිකයන් විවිධ අදහස් ඉදිරිපත්කළ අතර ඒවා සමාජය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටද කටයුතු කරනු ලැබුවා.
සැමට සමාන සමාජයක් ක්‍රියාත්මක කිරීම යනාදී අරමුණු ඉටුකර ගැනීම සඳහා විවිධාකාරයෙන් කටයුතුකළ ද ඒවා අසාර්ථක වුණා.

ඒ අසාර්ථක වීම නිසා පසුව කාල්මාක්ස් තමාගේ සමාජවාදය පිළිබඳව සංකල්පය ප්‍රංශ සමාජවාදයෙන් ලබාගත් අතර, ආර්ථික විද්‍යාව එංගලන්තයෙන් සහ දර්ශන වාදය ජර්මනියෙන් ලබා ගත්තා. කාල් මාක්ස් ඉදිරිපත් කරපු අදහස තමයි මේක ඇවිල්ලා මනෝරාජ්‍යයක් කියලා. අපිත් තේරුම් ගත යුතු වන්නේ අපගේ අරමුණ උතුම් වුවත් බොහෝවිට ඒවා මනෝරාජික විය හැකි බවයි.

වසර කිහිපයකට කලින් අපි පිරිසක් එකතු වෙලා අලුත් කතාබහ නමින් කණ්ඩායමක් ඇතිකර ගත්තා. පසුව අපි තවත් පිරිස් එකතු කරගෙන “අපට සිහිනයක් තිබේ (We have a dream)” යන තේමාව යටතේ අපි එකට වැඩ කළා.

එසේ වැඩ කිරීමේදී රට පුරාම සිටි පාර්ශ්වයන්ගෙන් විවිධ අදහස් අප වෙත ලැබුණා. අපි තීරණය කළා ඒ අදහස් එකට එකතු කරලා මේ විදිහට පොතක් හැටියට එළිදක්වන්න. ඒ පොත තමයි පසුගිය මාර්තු මාසයේ එළිදැක්වුණු විකල්පයක් නැත කෘතිය.

පසුගිය ආර්ථික අර්බුදය ඇතිවීමට බලපෑ ප්‍රධාන කරුණු හැටියට ඒ පොත තුළ අන්තර්ගතවන කරුණු පහත දක්වන්න පුළුවන්.

01. ඵලදායි නොවන ව්‍යාපෘති සඳහා පොලියට ණය ගැනීම.
02. රාජ්‍ය යන්ත්‍රණයට මැදිහත් වූ ඉහළ දේශපාලනඥයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ වංචා දූෂණ.
03. ආර්ථික වර්ධනය සඳහා විධිමත් සැලසුමක් නොතිබීම.
04. රාජ්‍ය සේවය අසීමිත ලෙස පුළුල් කිරීම.
05. රාජ්‍ය සේවය පාඩු ලබමින් දිගටම පවත්වාගෙන යාම.
06. බදු කපා හරිමින් රජයේ ආදායම අහිමි කර ගැනීම.
07. කොරෝනා වසංගතය සහ ඒ පාලනයේදී අවිචාරවත් ලෙස ක්‍රියා කිරීම.
08. ගොවිතැන වහා කාබනිකකරණය කිරීමේ උත්සාහයේ විපාක.
09. රජයේ වියදම් පියවා ගැනීම සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය සහ එමගින් රුපියලේ හුවමාරු අගය පහළ වැටීම.
10. රුපියලේ අගය කෘතිම ලෙස ඇටවීම සඳහා ඩොලර් සංචිත නාස්ති කිරීම.

ඉහත කරුණු අපි එහිදී සාකච්ඡාවට ලක්කළා. නමුත් මෙහිදී අප තේරුම් ගත යුතු කාරණය වන්නේ ඉහත කාරණා හරහා ආර්ථික අර්බුදය උත්සන්න වුණත් ආර්ථික අර්බුදය ඇතිවීමට මූලයන් ඉහත ගැටලු අභිබවා ගිය එකක් බවයි.

රටේ ආදායමට වඩා වියදම ඉහළ යාම, පාලනයකින් තොරව රාජ්‍ය මුදල් වියදම් කිරීම, රජයට ආදායම ලබාගත යුතු මාර්ග පිළිබඳව සලකා නොබැලීම යනාදී කරුණු හරහා ප්‍රාථමික ගිණුමේ ශේෂය සෑම විටම හිඟ ශේෂයක් පවත්වගෙන ගියා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආනයන අපනයනවලද ගැටලු තිබුණා. ඉහත කාරණා නිසා සිදුවූයේ ඒ තිබූ ගැටලු වැඩි කිරීමක් තමයි.

ආර්ථික අර්බුදය ඇතිවීමට බලපෑ හේතු හැටියට ඇතැමුන් ඉදිරිපත් කරන වැරදි අදහස් ගැන සලකා බැලුවහොත් නාස්තිය දූෂණය හොරකම යනාදිය ගෙනහැර දක්වනවා. මේ හරහා ඇතැමුන් කියන්නට උත්සාහකරන්නේ රටෙහි සිදුවූ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ කිසියම් පිරිසක් විසින් සොරකම් කර සඟවා ගැනීම නිසා රටෙහි ආර්ථික අර්බුදයට මූලික හේතුව වූ බවයි.

නමුත් ඇත්ත ප්‍රශ්නය නම් සොරකම් දූෂණය මැද ආර්ථිකයේ විශාල වර්ධනයක් සිදු නොවීමයි. ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන්ගෙන් කොමිස් මුදල් ඉල්ලීම, විවිධ කොන්දේසි දැමීම, ආයෝජකයන්ට අවශ්‍ය සේවාවන් නිසි ලෙස නොසැපයීම යනාදිය නිසා ආයෝජකයින් ශ්‍රී ලංකාවට නොපැමිණීම යනාදිය හා දූෂණය වංචාව නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට තිබූ ඉඩකඩ ඇහිරී තිබුණා.

මෙහිදී සැලකිය යුතු ප්‍රධාන අපරාධය නම් ආර්ථිකය වර්ධනයට කළ හානිය මිස සොරකම් කර මුදල් ප්‍රමාණය නොවෙයි. එම සොරකම් කරන ලද මුදල් ප්‍රමාණය ගෙන ඒමෙන් රට නැවත ගොඩනැගිය හැකි යැයි කියන අදහසත්, ඒ නිසාම සම්පූර්ණ මිත්‍යාවක් හැටියට සලකන්න පුළුවන්. එම මිත්‍යාවට අපි ගොදුරු නොවිය යුතුයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *