| |

MF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ

මෙරට ආර්ථිකයත් දේශපාලනයත් පිළිබඳ මේ දිනවල වෙනදාට වඩා වැඩියෙන් අසන්නට ලැබේ. එසේම, දේශපාලන පොරොන්දු, ප්‍රකාශ පිළිබඳත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානයෙන් පසු වන බවත් වාර්තා වේ. මෙවන් පසුබිමක් යටතේ වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ කළ කතාබහ මෙසේ දක්වමු .

– රාජ්‍ය නිලධාරින් සහ සාමාන්‍ය පුරවැසියනුත් ආර්ථික අර්බුදයටවගකියන්න ඕන
– පවුල් සහ පුද්ගල සම්බන්ධතා මත රාජකාරි තීරණ ගන්න අවස්ථා තිබෙනවා
– යහපත් සමාජයක් ගොඩනැඟීමේ වගකීම දේශපාලන නියෝජිතයින් සතුයි

අපේ රටේ ආර්ථිකයට මොකද වුණේ ?

ශ්‍රී ලංකා ආර්ථිකය දිගු කලක පටන් විශාල ගැටලුවක පැටලී තිබුණා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ දිගු කලක පටන් ඍණ, එහෙම නැත්නම් අවාසිසහගත ශේෂයක් පැවතුණේ. ඒ අතර දිගින් දිගටම රාජ්‍ය අය වැය හිඟයකුත් තිබුණා. ඉතින් මෙතෙක් පැවැති සියලුම රජයන් අඩු වැඩි වශයෙන් කළේ දේශීය සහ විදේශීය ණය මත යැපීමයි. මේ නිසාම ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය (credit rating) දිගින් දිගටම අවාසි සහගත පැත්තට තමයි ගමන් කරමින් තිබුණේ.

මෑතකදී ඇතිවූ කොවිඩ් වසංගතයත් සමඟ විදේශීය ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ලැබුණු විදේශ විනිමය ආදායම් විශාල ලෙස පහත වැටුණා. මේ සමඟ ශ්‍රී ලංකා රජයට ණය පැහැර හැරීමට සිදු වුණා. ඊට සමගාමීව තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල හිඟයක් නිර්මාණය වුණා.

IMF ගිවිසුම වෙනස් කිරීමට යෑම අවදානම්ද? නැවත රට පැරණි අගාධයටම වැටෙයිද?

ඉහත සඳහන් කළ තත්ත්වය යටතේ, ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ඉතාමත් අවාසිසහගත තත්ත්වයට පත් වුණා වගේම ශ්‍රී ලංකාව මූල්‍ය විනය අතින් ඉතා පහත් රටක් වශයෙනුත් බාහිර ලෝකයට පෙනෙන්න පටන් ගත්තා. IMF සහාය ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය ගැන වගේම මූල්‍ය ස්ථාවරත්වය ගැනත් යම් තුලනාත්මක මතයක් අනෙක් රටවල් අතර ඇති වුණා කියල මම විශ්වාස කරනවා. මූල්‍ය අර්බුදයකට මුහුණ දීම සඳහා එවැන්නක් අත්‍යවශ්‍යයි. ඒනිසා, IMF සමඟ ඇතිවූ ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා කියලා මම විශ්වාස කරනවා.

කොහොම වුණත් IMF ගිවිසුමේ කොන්දේසි අනුව යමින් ක්‍රියාත්මක කළ ඇතැම් ක්‍රියාමාර්ගවල අඩුපාඩු දකින්න පුළුවන්. සරල උදාහරණයක් විදියට ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේත් බදු අයකිරීමේ ක්‍රියාවලියේත් විශාල ගැටලු පැවතියත් ඒ පිළිබඳ ප්‍රමාණාත්මක මැදිහත් වීමක් නොකර විශාල ලෙස ක්ෂණිකව පුද්ගල ආදායම් බදු හා එකතුකළ අගය මත වන බදු වැඩි කිරීම, විදුලි ගාස්තු අති විශාල ලෙස වැඩි කිරීම වගේ දේවල් කරන්න තිබුණු හොඳම දේවල් නොවිය හැකියි. එහෙත් ආර්ථික තීරණ ගැනීමේදී ඕනෑවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය දෙයක් විදියටයි මම දකින්නේ. ඊට හේතු වන්නේ මෙවැනි ආර්ථික තීරණ ගනු ලබන්නේ ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක වීම සහ ඇතිවන ප්‍රතිඵලය ගැන ඉතාමත් නිවැරදිව පුරෝකථනය කළ නොහැකි වීමයි.

ඒ නිසා IMF ගිවිසුම අනුව ගත් ක්‍රියාමාර්ග, එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සාමාජීය විචල්‍යයන් කෙරෙහි දැනට ඇති කර තිබෙන බලපෑම සහ නව ආර්ථික ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන මුල් ගිවිසුමේ ඇති කොන්දේසි සමාලෝචනය කිරීමේ වරදක් මා දකින්නේ නැහැ. මම හිතන්නේ IMF එක එවැනි තත්ත්වයකට සූදානම්. මීට පෙර ද යුක්රේනය, ග්‍රීසිය, ආජන්ටිනාව ඇතුළු රටවල් ගණනාවක් එලෙස IMF එකත් සමඟ නැවත සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියකට ගොස් ඇති බව මම කියවා තිබෙනවා.

නාස්තිය, දූෂණය, අක්‍රමිකතා ගැනත් IMF කතා කරනවා. ඒ ගැන ඔබේ අදහස?

නාස්තිය, දූෂණය සහ අක්‍රමිකතා බොහෝ සෙයින් සිදුවී සහ සිදු වෙමින් තිබෙන බව මට හැඟී යනවා. මම මුලිනුත් රාජ්‍ය මූල්‍ය විනයක් නැහැ කිව්වේ ඒකයි. IMF ගිවිසුමේත් දුෂණ සහ අක්‍රමිකතා අවම කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබෙන්නේ මේ නිසයි.

ලෙහෙසියෙන් ලැබුණු, නමුත් බොහෝ සෙයින් අවාසිසහගත විදේශීය ණය සහ ඒ මඟින් ක්‍රියාත්මක වුණු මහා පරිමාණ ව්‍යාපෘති නිසා ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යාජ පිබිදීමක් ඇති වුණා. එමඟින් ජනතාව රටට දරා ගත නොහැකි පරිභෝජන රටාවකට යොමු වුණා. මේ විදියට නිර්මාණය කළ ව්‍යාජ ආර්ථික වර්ධනය පසුපස බොහෝ අක්‍රමිකතා ඇති වී තිබෙන බව පෙනෙන්නට තියෙනවා. එම විදේශීය ණය ආයෝජන මඟින් නිසි ප්‍රතිලාභ නොලැබීමම ඊට හොඳ සාක්ෂියක්.

දේශපාලකයන් පමණ ද මේ ආර්ථික අර්බුදයට වගකියන්න ඕනෑ?

ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික පරිහානියට දේශපාලකයින් වගේම රාජ්‍ය නිලධාරින් සහ සාමාන්‍ය පුරවැසියනුත් වගකියන්න ඕන. බොහෝ ශ්‍රී ලාංකිකයින්ට සුදුසු ජනතා නියෝජිතයන් පත්කර ගැනීම ගැන හෝ එමඟින් දීර්ඝ කාලීනව ලබාගත හැකි ප්‍රතිලාභ ගැන හොඳ අවබෝධයක් නැති බව මගේ අදහසයි. උගත්-නූගත් දෙපාර්ශ්වයම අතර මේ ගැටලුව පවතින බව මගේ විශ්වාසයයි.

ඒවගේම ඇතැම් රාජ්‍ය නිලධාරිනුත් නිසි වගවීමකින් තොරව කටයුතු කරන බව ඒ ඒ ආයතනවල කාර්යය සාධනය දිහා බැලුවම පෙනෙනවා. පවුල් සහ පුද්ගල සම්බන්ධතා මත රාජකාරි තීරණ ගන්න අවස්ථා බොහෝ සෙයින් තිබෙනවා. බොහෝ සාමාන්‍ය පුරවැසියනුත් තමන්ගේ අවකාශය තුළ අවස්ථාවාදී ලෙස අවංකභාවයෙන් තොරව කටයුතු කරනවා. මේ නිසා මේ සියලු පාර්ශ්ව අඩු වැඩි වශයෙන් මේ ආර්ථික පරිහානියට වගකිව යුතුයි. කෙසේ වුණත් දූෂණයෙන්, වංචාවෙන් තොර යහපත් සමාජයක් ගොඩනැඟීමේ මූලික වගකීම සහ ඊට නායකත්වය දීමේ කාර්යය දේශපාලන නියෝජිතයින් සතුයි.

මෙරට ව්‍යවසායකයන් බිහිකර ගැනීමේ වැඩපිළිවෙළක් පෙනෙන්නට තියෙනවාද?

දේශීය ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා තිබෙන වැඩපිළිවෙළ ගැන සතුටු වෙන්න අමාරුයි. දේශීය ව්‍යාපාර දිරි ගැන්වීම වගේම දේශීය ව්‍යාපාර ගොඩනැඟීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. විදුලි ගාස්තු, විනිමය අනුපාත, පොලී අනුපාත වගේ සාර්ව ආර්ථික විචල්‍යයන් නිරන්තරයෙන් අනපේක්ෂිත ලෙස වෙනස් වන බව පෙනෙනවා. ඒ වගේම ව්‍යාපාර ආරම්භ කිරීම, පවත්වාගෙන යෑම සහ වසා දැමීම යන කාර්යයන් සම්බන්ධයෙන් වන රෙගුලාසි අතිශය සංකීර්ණයි. රාජ්‍ය ආයතන සහ ඇතැම් නිලධාරින් ප්‍රමාණවත් තරම් පහසුකම් සලසන්නෙත් නැහැ. එවැනි පරිසරයක දේශීය ව්‍යාපාර දිරිමත් කිරීම කළ නොහැකියි. දේශීය ව්‍යවසායකයින් ගොඩනැඟීම වගේම විදේශීය ව්‍යවසායකයින් රට තුළට ගෙන ආ යුතු වෙනවා.

අපට ණය සහන කාලයේදී රටක් විදියට ගත හැකි උචිතම පියවර?

ණය සහන කාලය තුළ, ණය ගෙවීම සඳහා විදේශ විනිමය භාවිත වීම අඩු නිසා, විදේශීය සංචිත සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සුදුසුයි. මේ කාලය තුළ ශ්‍රී ලංකාවේ ශුද්ධ විදේශීය විනිමය ඉපයීම් වැඩි දියුණු කර ගත යුතුයි. උදාහරණයක් ලෙස දේශීය කර්මාන්තවලින් සැපයිය හැකි භාණ්ඩ හා සේවා ආනයනය ක්‍රමෝපායික වශයෙන් සීමා කරමින් වගේම අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමත් ඉතා වැදගත්. මෙහිදී සංචාරක කර්මාන්තය කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ හරහා ණය සහන අවසාන වීමට පෙර අපේ ගෙවුම් ශේෂය සහ රාජ්‍ය අය වැය මත ඇති අධික පීඩනය මුළුමනින්ම සමනය කරගත යුතුයි.

වෙනත් රටවලින් ගත හැකි ආදර්ශ?

ශ්‍රී ලංකාවේ තිබෙන මූලික ගැටලුව එහි ආර්ථික සහ සාමාජීය ව්‍යුහය පදනම් වෙලා තිබෙන මූලධර්ම කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව වෙනත් රටවලින් ගත හැකි ආදර්ශ බොහොමයක් තියනවා. ඒ අතුරෙන් සිංගප්පූරුව උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. සිංගප්පූරුවේ ශීඝ්‍ර සංවර්ධනය පිටුපස ප්‍රධාන මූලධර්ම තුනක් තිබෙනවා. එනම් කුසලතා පදනම (meritocracy), අවංකකම (honesty) සහ ප්‍රායෝගිකත්වය (pragmatism). ශ්‍රී ලංකාවේ සෑම ප්‍රයත්නයක්ම මෙවැනි මූලධර්ම මත පදනම්ව ගත හැකිනම් ඉතා පහසුවෙන් සහ කෙටි කලකින් ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන මාවතකට යොමු කරන්න පුළුවන්.

ආදායම් බෙදී යෑමේ විෂමතාව ගැනත් කලක සිට කතා කරනවා. මේ ගැන ඔබේ අදහස?

ලෝක බැංකුව විසින් පළ කරනු ලබන දත්තවලට අනුව, පසුගිය අවුරුදු විස්සක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ ආදායම් බෙදීයෑමේ විෂමතාවයේ ලොකු වෙනසක් වෙලා නැති බව තමයි පෙනෙන්නේ.

ආදායම් බෙදීයෑමේ විෂමතාවට හේතු ගොඩක් තිබෙනවා. රටක් සංවර්ධනය කරා ගමන් කරන විට මේ හේතු බොහොමයක් නැති වී යනවා. එනිසා රට මනා සැලසුමක් යටතේ සංවර්ධන මාවතකට කඩිනමින් යොමු කර එහි අතුරු ප්‍රතිඵලයක් විදියට ආදායම් බෙදීයෑමේ විෂමතාව අවම වීම තමයි වඩා සාධනීය කියලා මම හිතනවා. මක්නිසාද යත් රජය විසින් අනවශ්‍ය ලෙස බදු සහ සහනාධාර මඟින් ආර්ථිකයට බලපෑම් කිරීම දීර්ඝ කාලීනව ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

ඉදිරි අය වැයවලදී අප අනිවාර්යයෙන් සලකා බැලිය යුතු කරුණු?

මම දකින විදියට අය වැය කියන්නේ දිගු කාලීන සැලැස්මක් නොවෙයි. එය ඉදිරි වර්ෂය සඳහා රජය ආදායම් වියදම් පරිපාලනය කරගන්න ආකාරය දැක්වෙන කෙටිකාලීන සැලැස්මක්. එහි තරමක් දුරට සංවර්ධනය අරමුණු කර ගත් ක්‍රියාමාර්ග තිබුණත් වසරින් වසරට අයවැයෙහි දිශානතිය වෙනස් වෙනවා. එවැනි එකිනෙකට සම්බන්ධයක් නොමැති අය වැය තුළින් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ.

එනිසා පළමුව මම මුලින්ම සඳහන් කළ ප්‍රධාන ගැටලුවලට විසඳුම් ලැබෙන ආකාරයේ දිගුකාලීන ජාතික ආර්ථික සැලසුමක් (උදාහරණයක් ලෙස පස් අවුරුදු සැලැස්මක්) පිළියෙල කළ යුතුයි. එවිට වාර්ෂිකව පිළියෙල කරන අය වැය පුළුල් සහ දිගුකාලීන දැක්මකින් යුතුව පිළියෙල කරන්න පුළුවන්.

මෙරට ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී විද්වතුන්ගේ දායකත්වය ලබා ගැනෙනවාද? විස්තර කරමුද?

මම කලිනුත් සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ යම් යම් ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් තිබුණත් ඒවා එකෙනෙකට හොඳින් සම්බන්ධ වී නැහැ. ඉතින් එවැනි ප්‍රතිපත්ති කවුරුන් විසින් සම්පාදනය කළත් සාධනීය ප්‍රතිඵල ගන්න අමාරුයි. අනෙක් අතට, එක් එක් ක්ෂේත්‍රය සඳහා ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමේදී එම ක්ෂේත්‍රයට අදාළ විද්වතුන්ගේ සහාය ගැනීම තමයි වැදගත්. එවැන්නක් සිදු නොවුණු අවස්ථා මෑත ඉතිහාසයේ අපි ඕනෑ තරම් දැක තිබෙනවා. එක් ක්ෂේත්‍රයක විද්වතෙක් බොහෝවිට වෙනත් ක්ෂේත්‍රයකදී විද්වතෙක් විදියට සලකන්න බැහැ.

ඒ අනුව බලන විට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සුදුසු විද්වතුන්ගේ සහයෝගය ගැනීම අවම මට්ටමක පවතිනවා කියලා තමයි මට හිතෙන්නේ. නිසි දැක්මක් සහිත දේශපාලන නායකත්වයක් නොමැති වීම හේතුකරගෙන, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දායකත්වය සැපයීමට විද්වතුන්ද මැලි වන තත්ත්වයක් මට පෙනෙනවා.

ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ

නුවන් මහේෂ් ජයවික්‍රම

MH – Lake House & Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *