|

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද? – සුනිල් කන්නන්ගර (කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති)

presidential election 2024 sunil kanangara

මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන් පසුගියදා ලැබුණු සුභ පැතුමකින් කියවුණේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපෙන් උදුරාගත් සියල්ල ආපසු ලබා ගන්නා දිනය මේ මාසයේ එළඹෙන බවකි. ඒ සඳහා ජනාධිපතිවරණයේ එක් පක්ෂයකට ඡන්දය දෙන ලෙසටත් ඔහු ඉල්ලා තිබිණ.

මේ සුභ පැතුම එවා තිබුණේ මගේ ඡන්දය සුභ පතන්නා කැමති අපේක්ෂකයාට ලබා ගැනීමේ අරමුණෙනි. එහෙත් මේ පණිවුඩයේ කියවෙන අවුරුදු හැත්තෑ හය නිදහසින් පසු යුගය නිසා මගේ අතීතයට පිවිසී මේ කාල පරිච්ඡේදය තුළ මගෙන් හෙම යමක් කවුරුන් හෝ උදුරාගෙන ඇතිදැයි සිතා බැලීමට මට සිත් විය.

බස්නාහිර පළාතේ නැගෙනහිර කෙලවරේ මහා වනාන්තරයට යාබද කුඩා ගමක මම උපත ලැබුවේ නිදහසින් වසර එකොලහකට පසුව ය. මා උපදින වකවානුවේ අපේ ගමට වාහනයක් යාමට මාර්ගයක් වත් තිබුණේ නැත. ගමේ ජීවත් වූ ගැමියන් සිය ජීවනෝපාය සඳහා අසල මහ වනයෙන් ලබාගත් වේවැල් වලින් සැකසූ සාමාන්‍ය හා කොප්පරා කූඩ මිටි, සිය කුඩා ඉඩම්වල තිබූ රබර් ගස්වල කිරිවලින් සැකසූ වියලි රබර් රොටි ද ගමේ නිෂ්පාදනය කළ කිතුල් පැණි හකුරු කරුංකා පුවක් හා වෙනත් වන නිෂ්පාදන ද හිස මත තබාගෙන අලෙවි කිරීම සඳහා කිලෝමීටර් දොලහක් ආසන්නතම නගරයට පැමිණියේ පා ගමනිනි. අපේ ගමේ හෝ අල්ලපු ගම්වල කවරෙකු හෝ අසනීප වුවහොත් රෝහලකට ගෙන ගියේ පුටුවක වාඩිකරවා ගෙන ඒ පුටුව දිග පොල්ලක එල්ලාගෙන දෙදෙනෙකු දෙපසින් කර තබාගෙන ඔසවා ගෙන ය. මා පාසැලේ අටවන පන්තියේ සිටියදීත් ඒ අන්දමින් අපේ ගම්වල රෝගීන් ඔසවා ගෙන යනු දැක ඇත්තෙමි.

අපේ ගමේ උතුරු දිගින් වූ නව රබර් වගා ජනපදයට ඉදිකළ මාර්ගය නිසා ගමට කිලෝමීටර් දෙකක් දුරට පොදු ප්‍රවාහන සේවා පහසුකම ලැබුණි. ජනපද වාසීන්ට බෙහෙත් ලබාදීමට පැමිණි රජයේ ඇපෝතිකරි වෛද්‍යවරයා ගමේ අයට ද නොමිලේ ප්‍රතිකාර කළේය. එයින් අපේ ගමට බටහිර වෛද්‍ය ප්‍රතිකාර සේවය හුරු කෙරිණ. ඒ වකවානුවේ රාත්‍රියට ආලෝකය ලබාගත්තේ භූමිතෙල් කුප්පියෙනි. තොවිල් පවිල් මගුල් තුලා මල ගෙවල් වැනි විශේෂ කටයුතු වලදී රාත්‍රි ආලෝකය සපයා ගත්තේ ෂූ ෂූ හඬ නඟමින් එළිය දෙන පෙට්‍රෝමැක්ස් ලාම්පුවෙනි. ඒ කාලයේ විදුලි බලය යනු නාගරික පහසුකමක් මිස ගමේ හෝ ඒ අවට කිසිම ගමකට තිබුණු පහසුකමක් නොවේ.

මා උපදින විට අපේ ගමට පාසලක් වත් තිබුණේ නැත. ආසන්නතම පාසැල් දෙක වූයේ අල්ලපු ගම් දෙකේ ය. එකකට අප නිවසේ කිලෝමීටර් හතරක් පහක් අඩි පාරවල් ඔස්සේ කඳු නැග බැස ඒදඬු මතින් ඇලදොල තරණය කරමින් යායුතුව තිබිණි. අනිකට ඊටත් වඩා දුර යායුතු වූවා පමණක් නොව ගඟට බැස ගඟ හරහා ද යායුතු විය. මට මගේ ජීවිතයේ රජයෙන් ලැබුණු පලමු ප්‍රතිලාභය වුණේ මට ගෙදරට පෙනෙන දුරින් පාසැලක් ලබාදීම ය. පොල් අතු මඩුවක ආරම්භ කළ ඒ පාසැල උළු සෙවිලි කල සිමෙන්ති දැමූ ශක්තිමත් පාසැල් ගොඩනැගිල්ලක් හා ගුරු නිවාසයක් සහිත පාසැලක් බවට පත් කෙරුණේ අප එහි ඉගෙන ගනිද්දී ය. ඒ පාසලේ අධ්‍යපනය ලැබූ මම සාමාන්‍ය පෙළ සඳහා අල්ලපු ගමේ තිබුණු පාසැලට ඇතුල් වුණෙමි. ඒ වන විට මට වසර 12ක් පමණ වූ නිසා පාගමනින් ඒ දඬු මතින් කඳු නැඟ පල්ලම් බැස කිලෝමීටර් හතර පහක් ගමන් කිරීමේ ශක්තිය අපට තිබුණු බැවින් එය ගැටලුවක් නොවිණි.

මේ පාසලේ ගුරුවරු අපට හොඳ අධ්‍යපනයක් ලබා දුන්හ. දුෂ්කර පාසලක් බැවින් එහි බොහෝ කොට එහි සේවයේ නිරතව සිටියේ නාගරික ප්‍රදෙශවලින් දේශපාලන පලි ගැනීම්වලට ස්ථාන මාරුකළ ගුරුවරුන්ය. ඔවුන් අනේක විධ අපහසුතා මැද ගමේ ජීවත්වෙමින් අපිට මැනවින් අධ්‍යාපනය දුන්නෝ ය. වැඩි වැටුප් දීමනා ඉල්ලා සටන් නොවැදුණු ඔවුහු අපේ සිත් තුළ කා කෙරෙහිවත් වෛරයක් ඇතිකළේ ද නැත. අපිට ආගන්තුකව තිබුණු නාගරික සමාජයේ ජීවත්වුණු විශ්ව විද්‍යල අධ්‍යපනය ලැබූ ගුරුවරු ද ඒ අතර සිටියහ. නමුත් ඔවුන්ගේ දේශපාලනයට සිසුන් වූ අප සම්බන්ධ කර ගත්තේ නැත. ඒ වටිනා ගුරුවරුන් අපිට ග්‍රාමීය ලෝකයෙන් එපිට නගරය ආශ්‍රිත පාසල් ක්‍රියාකාරකම් වූ ක්‍රීඩාව කලාව සාහිත්‍යය සමාජ ක්‍රියාකාරකම් වැනි දේ කියා දෙමින් අපගේ දෙවැනි මව්වරු පියවරු බවට පත්වූහ.

පනහ දශකයේ අග භාගය වන විට අල්ලපු බොරලුගොඩ ගමේ පාසලේ පලමු සාමාන්‍ය පෙළ සමත් මුල්ම සිසුවා ලෙස වාර්තා තබා සිටි මගේ ලොකු මාමා ඒ වනවිටත් රාජ්‍ය සේවයේ ලිපිකරු නිලධාරියෙකුව සිටියේ ය. එබැවින් ඔහු අපොස සාපෙළ සමත්වුණු මා “කොළඹ “ට රැගෙන විත් උසස්පෙළ අධ්‍යපනය සඳහා පන්නිපිටියේ ධර්මපාල විදුහලට ඇතුලත් කළේ ය. ලොකු මාමා ගේ නිවසේ සිට දියුණු පහසුකම් සහිත ධර්මපාල විදුහලේ උසස් පෙළ ඉගෙනගත් මට ධර්මපාලයේ ගුරුවරුන් කොතරම් හොඳට අධ්‍යපනය දුන්නේ ද කිවහොත් කිසිදු උපකාරක පංතියකට නොගොස් උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයට ඇතුලත් වීමට හැකි විය. 1983දී මා උපාධිධාරියෙකු වූයේ අපේ ගමේ පාසලෙන් අධ්‍යපනය ලැබූවන්ගෙන් පළමු උපාධිධාරියා ලෙස ය.

ගමෙන් කොළඹ විත් උසස්පෙළ හැදැරූ මා 1979දී විශ්ව විද්‍යලයට ඇතුල් වන විට මා හා සමකාලීනව අපේ ගම සහ අවට ගම් දෙකෙන් ඒ ප්‍රදේශයේම උසස්පෙළ හැදෑරූ පස් දෙනෙකු විශ්ව විද්‍යලවලට ඇතුළු වූයෙන් මා පන්නිපිටියේ දී ලැබූ අධ්‍යපනයට නොදෙවෙනි අධ්‍යපනයක් ගම් ප්‍රදේශයේ අයටද ලැබුණු බව සනාථ වේ. මා තියුණු තරඟ විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් සමත්ව 1985 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළුවන විට හැට දෙනෙක් ගෙන් යුතු ඒ කණ්ඩායමේ මගේ අල්ලපු ගමේ මිත්‍රයෙකු ද සිටීමෙන් නොදියුණු ගම්වල උපන් අපට ලැබුණු අවස්‍ථාවන් පිළිබඳව සිතා ගත හැකිය.

ශ්‍රී ලංකා පරිපාලන සේවාවට ඇතුළු වූ මා වසර විස්සක සේවා කාලයකින් පසුව රාජ්‍ය සේවාවේ ඉහළ තනතුරක් වූ පරිපාලන දිස්ත්‍රිකයක් භාර දිසාපති තනතුරකට පත්වීම් ලැබ රටේ දිස්ත්‍රික්ක තුනක්ම භාරව වසර දහ තුනක් කටයුතු කර රටේ අග නගරය පිහිටි කොළඹ දිස්ත්‍රික්කය භාර දිසාපතිවරයා ලෙස මගේ රාජ්‍ය සේවයේ වසර තිස්පහ නිම කළෙමි.

මා සමඟ පරිපාලන සේවයට ඇතුළුවී සිටි අතිමහත් බහුතරය මා මෙන්ම ඈත ගම්වල උපත ලැබූ සාමාන්‍ය පන්තියේ අය වූහ. මා හා සමකාලීනව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ අධ්‍යපනය ලැබූ දිවයිනේ විවිධ ග්‍රාමීය ප්‍රදේශවල උපන් සගයින් පහලොස් දෙනෙක් මම කොළඹ දිසාපතිවරයා ලෙස සේවය කරද්දී රටේ අමාත්‍යංශ භාර ලේකම් වරු ලෙස ක්‍රියා කළහ. තව ද රටේ ප්‍රධාන දෙපාර්තමේන්තු කීපයකම එවක ප්‍රධානීන් වූයේ ද අප හා සමකාලීනව එකම සරසවියේ අධ්‍යාපනය ලැබූවන්‍ ය. ඒ සියල්ලෝම නිදහසින් පසු උපන් මා වැනිම ගැමි දරුවන්‍ ය. මා ද ඇතුළු මේ සියල්ලන්ටම නිදහසින් පසු රටෙන් ලැබුණු සහාය නොවන්නට අපට ගමෙන් එළියට එන්නටවත් ඉඩක් නොතිබුණි. ඒ නිසා මගෙන් හෝ සමකාලීන දන්නා කිසිවෙකුගෙන් රට හෝ පාලකයන් කිසිවක් උදුරාගෙන නැති බවත් ඒ වෙනුවට අපව ගොඩ නැගීමට රටේ ජනතාව මහත් සේ උපකාර කර ඇති බවත් පැහැදිලි විය.

නිදහසින් පසු මෙරට බිහිවූ පරපුරේ අපේ දෙමව්පියන් අති මහත් බහුතරය ග්‍රාමීය සුළු ගොවි පන්තියට අයත් අයවූහ. ඔවුන්ගේ හත්මුතු පරම්පරාවම ගොවීහු වූහ. අපේ තාත්තා අයත්වන්නේ අපේ පරපුරේ මුල් මී මුත්තාගේ පස්වෙනි පරපුරට ය. ඒ පරම්පරා පහම ගොවිතැනින් ජීවත් වූ ගැමියන්‍ ය. අපේ පියාට සිය දරුවන් ගොවි පන්තියෙන් ඉහළට යවන්නට උපකාරී වූයේ නිදහසෙන් පසු දියුණු වූ නිදහස් අධ්‍යාපනයයි.

නිදහසෙන් පසු මෙරට පාලනය කළ මුල් වසර හතලිහේ සියලු ආණ්ඩුවල ප්‍රමුඛම උත්සාහය වූයේ රට සහලින් ස්වයංපෝෂිත කිරීම හා පාසල් අධ්‍යපනය රට පුරා ව්‍යප්ත කිරීම ය. ඒ සඳහා නිදහසට පෙර සිටම ලත් දේශපාලනික ඉඩකඩ ප්‍රයෝජනයට ගෙන ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කර තිබුණි. නිදහස් අධ්‍යපන ප්‍රතිපත්ති සම්මත කර තිබුණි. නිදහසින් පසු රටේ ප්‍රථම බහු කාර්ය සංවර්ධන ව්‍යාපාරය ලෙස ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර අධිරාජ්‍යවාදීන්ගේ වාණිජ වැවිලි කෘෂිකර්මය නිසා ඉඩම් අහිමිව සිටි ග්‍රාමීය පවුල් දහස් ගණනකට වී වගාවට හා පදිංචියට ගොඩ මඩ ඉඩම් හා ජලය ලබාදී රට අහරින් ස්වයංපෝෂණය කිරීම ව්‍යාප්ත කළේය. ඊට සමාන්තරව ගොවි ජනපදවල දරුවන්ට හොඳ අධ්‍යපනයක් ලබා දීමට පාසල් පද්ධතියක් සෞඛ්‍ය පහසුකම් සඳහා රෝහල් ඇතුලු සෞඛ්‍ය පහසුකම් ජාලයක් ස්ථාපිත කළහ.

මේ ඉඩම්ලාභී ධෛර්යවන්ත ගොවියෝ අක්කරයක අස්වැන්න බුසල් 15සිට 120දක්වා වර්ධනය කර රට සහලින් ස්වයංපෝෂිත කළ අතර රජය සැපයූ පාසල් ජාලය ප්‍රයෝජනයට ගෙන ස්වකීය ඊළඟ පරපුර රාජ්‍ය සේවකයින් වෘත්තිකයන් කර්මාන්ත ශිල්පීන් ආදී තමන්ට වඩා ඉහල පංතියට අයත් වෘත්තීන්වලට ඔසවා තැබුවෝ ය. ඒ අතරට මාර්ග පද්ධති දියුණු කෙරුණු අතර විදුලිය පානීය නල ජල පහසුකම් සෑම නිවසකටම ලබාදීම ද ඔය රට කෑවා කියන අවුරුදු හැත්තෑ හයේ පාලනයන්ගෙන් ඉටු විය.

මේ නිදහසින් පසු රට පාලනය කල ආණ්ඩු යටතේ ගොවි ජනපද පමණක් නොව අප ඉපදුණු පැරණි ගම් ඇතුලු රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශ විදුලිය මාර්ග පහසුකම් අධ්‍යාපන, සෞඛ්‍ය පහසුකම් මැනවින් සම්පාදනය වූ අතර එහි ප්‍රතිඵල ලෙස මීට වසර පහලොවකට පෙර වන විට මගේ ගම හරහා පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වීම ඇරඹුණි. ගඟෙන් එතර වීමට පාලම් දමා ඇත. විදුලිය සෑම නිවසකටම දී ඇත. ඒ සියල්ල අතරම ප්‍රමාණවත් ජිවනෝපාය සම්පාදනය සඳහා ආර්ථික බෝගයක් ලෙස තේ වගාව මුලු ගමේම හදුන්වාදී ඇත.ඉන් ගම්වාසීන්ට ස්ථාවර ආර්ථික ශක්තියක් ලැබී ඇත. දුරකතන පහසුකම් අන්තර්ජාල පහසුකම අපේ ගමේ ද අද ඇත. ගමේ කවුරුත් පාහේ ස්ථිර නිවාසවල ජිවත් වෙති. කොටින්ම අද මගේ ගම ලෝකය සමග සැනෙන් ගනුදෙනු කළ හැකි ගමකි. ගමේ පාසල දිස්ත්‍රික්කයේ හොඳම ප්‍රාථමික පාසලකි. අධිවේගී මාර්ග ජාලයක් රට සම්බන්ධ කරමින් ඉදිවී ඇත. බොහෝ නිවාසවල මෝටර් වාහනයක් ඇත.

අතීතයට වඩා පුරවැසියන්ගේ ආර්ථික හැකියාව ඉහළ ය.රට පුරාම මේ වෙනස නිදහසෙන් පසු සිදු වී නැතිදැයි තම තමන් ගේ කුඩා කාලය හා අද ගෙවන ජීවිතය සැසඳීමෙන් සිහි මොළේ ඇති ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.අප කාගෙත් හත්මුතු පරම්පරාවම එකම මට්ටමේ ජීවත් වූ යුග නිම කරමින් අපේ දෙමව්පියෝ සිය දරුවන් රටේ පාලනයට සම්බන්ධ වගකීම් දැරීමට හැකි මට්ටමට උසස් කළහ.දැන් අපි අපේ ඊළඟ පරපුර ලෝකයට දායාද කළ හැකි පරපුරක් බවට පත් කරමින් සිටිමු. මේ මහා වෙනස අප අත්කර ගත්තේ ඔය රට කෑවා කියන වසර හැත්තෑ හයේදී ය.

නමුත් මේ වෙනස තව මීට වඩා ඉක්මනට හා පහසුවෙන් ලබා ගැනීමට අප අසමත් විය.එසේ වූයේ ඇයි? ඊට ප්‍රධාන හේතුව විශේෂයෙන් රටක් ලෙස ජාතික ඒකාබද්ධතාවය ගොඩනඟා ගැනීමට අප අසමත් වූ නිසාය. විවිධ සංස්කෘතීන් සමාන අයිතීන් සහිත එක් ජාතියක් ලෙස ඒකාබද්ධ කිරීමට සමත් රාජ්‍ය පාලන ව්‍යුහ්‍යක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සපයන ඉදිරි දැක්මක් අපට නොවූ නිසා ය. නිදහසින් පසු අප ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යොදා ගත්තේ එක් කණ්ඩායමක් රාජ්‍ය පාලනයේදී කරන දේ වැරදි හා අඩුපාඩු පෙන්වා අනික් කණ්ඩායමට බලය ලබා ගැනීමට හැකි පහසු හා සාර්ථක ක්‍රමයක් ලෙස ය.

බලය ලබා ගැනීමේ හොඳම මග පාලකයාගෙන් සිදුවන අඩු පාඩු වලට එරෙහිව සමාජ වෛරයක් තරහක් ද්වේෂයක් නිර්මාණය කිරීම බව තේරුම්ගෙන විකල්ප කණ්ඩායම් ඒ වෛරය , මනාව ගොඩ නැගූහ. එසේම බලයට පත්වන අය පිළිබඳ අවිශ්වාසය ගොඩ නැංවීමෙන් මේ වෛරය තරහ ඇති කිරීම ඇරඹීම කදිම උපාය මාර්ගයක් බව ද තේරුම් ගත් හ.අවුරුදු හැත්තෑ හයක් රට කෑවා යන්න ඔවුන් ගේ ඉන් එක් උපාය මාර්ගික ප්‍රබන්ධයකි.

මේ තත්වය මත පාලකයින්ට එරෙහි රට තුළ ඇතිවුණු අරගලවලින් හා පසුව දිගු කාලීන බල පැවත්වූ සිවිල් යුධයෙන් සිදුවූ විනාශය රටේ ඉදිරි ගමන ප්‍රමාද වීමට බෙහෙවින් බලපා ඇත. මේ අරගල සිදුවුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට එරෙහිව ය. සමහරු තමන්ගේ දේශපාලන දර්ශනය අනුව සමාජවාදී විප්ලවය අත්හදා බලන්නට සිතා ආයුධ සන්නද්ධ අරගල වලට පිවිසුනහ. තවත් කොටසක් තමන්ට මේ රට තුළ වෙනම රටක් අවශ්‍යයැයි කියමින් එය දිනා ගැනීමට ආයුධ සන්නද්ධව අරගලවලට පිවිසුණි මේ අරගලවල ප්‍රතිඵලය ලෙස රටේ පරම්පරා දෙකකට අයත් අති විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. භෞතික සම්පත් වලට දැවැන්ත හානියක් අත්වීය. මේ සියල්ල පොදුවේ මුලු රටටම සිදුවූ දැවැන්ත පාඩුවක් විය. මේ කිසිම විනාශයක් ඉදිරියේ එකමුතු වී රට පාලනය කිරීමට කවුරුත් කැමති වුණේ නැත. රටේ ජනතාවට අර්බුදයක් එන විට එක්වෙනවාට වඩා අර්බුදය මගහැර ගොස් අර්බුදයට මුහුණ දුන් පාර්ශවයේ අඩුපාඩු පෙන්වා ජනතාව කුලප්පු කර බලය ගැනීම පහසු ය. ජනතාව ද මේ කියන හද්දා බොරු කිසිදු විචාර බුද්ධියකින් තොරව පිළිගෙන රට කරවපු පාර්ශවය පරදා අනික් පාර්ශවයට බලය දීමට පුරුදු වූහ.

සාමාන්‍යයෙන් අපේ ජනතාව ඡන්දය දෙන්නේ කාවත් දිනවන්න නොව ඉන්න එකා පරදන්න ය. ඒ ඉන්න එකා ගැන වෛරය වර්ධනය මෝදු කිරීම හොඳටම කර ඇති නිසා ය. ඉන්න එකා පරදන්න මොකාට හෝ දීම බොහෝ දෙනාගේ සිරිත ය. මෙදා පාර වෛරය ඔපදමා ඇත්තේ අලුත් පාර්ශවයක් විසිනි. ඒ මෙතෙක් රට කළ දෙපැත්තටම එරෙහිව වසර හැත්තෑ හයක් තිස්සේ ජනතාවගෙන් මොනවදෝ උදුරා ගත්තා කියා ය.ඒ හැත්තෑ හය තුළ ගමේ ඉපිද අධ්‍යපනය උසස් අධ්‍යාපනය හමාර කර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව ඉහළට ගොස් ඉහළින්ම වැජඹෙන මගේ මිත්‍රයන් ඔවුන්ගෙන් මොනවදෝ උදුරා ගත්තායැයි වෛරයෙන් තරහින් දැවෙමින් පලි ගැනීමේ අවිය ලෙස ජනතා පරමාධිපත්‍යයේ සංකේතය භාවිතා කිරීමට සැදි පැහැදී සිටිති .අන් අයව ද එසේ කිරීමට පොළඹවමින් සිටිති. ඔය වසර හැත්තෑ හයම කවුරුන්හෝ රට කෑවානම් අද තමන් ඉන්නා තැන ඉන්නේ කොහොමදැයි ඔය කවුරුවත් හිතන්නේ නැත. ඒ අනුව අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද? යන පැනය මගේ සිත තුළින් පිබිද ඒම ද වලකනු නොහැකිම ය.

අපොස සාමාන්‍ය පෙළ සමත්ව කිසියම් වෘත්තීය පාඨමාලාවකින් පසු රජයේ දෙපාර්තමේන්තුවක සාමාන්‍ය පුහුණු කරන්නෙකු (Instrctor) ලෙස තනතුරකට පත් වී රාජ්‍ය සේවයේ පුහුණු ආයතනයක අධ්‍යක්ෂවරයෙකු ලෙසට ද අවසානයේ සේවය කර වසර පහළොවකට පෙර විශ්‍රාම ගිය මට සුභ පැතුම් මුවාවෙන් ඡන්ද හිඟමනේ ගිය මිත්‍රයා සමඟ දින දෙකක් තිස්සේ හුවමාරුවූ අදහස් වලින් මට තේරුණේ මීට වසර විසිපහකට ඉහතදී ඔහු ආයතනයක සේවය කරද්දී වෙන අයෙකු විදේශ සංචාරයකට යැවූ සිද්ධියක තරහ පිරිමසා ගැනීමට මගේ ඒ වයෝවෘධ මිත්‍රයාට අවශ්‍ය වී ඇති බව ය. ඒ සඳහා ඔහු පෙන්වන්නේ ද අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන අපභ්‍රංස කතාවම ය.

බොහෝ දෙනෙකු තම සිත තුළ ඇති තරහ පිරිමසා ගත් පසු තමන්ට ජීවත්වීමට රටක් ඉතිරිව නැති බව තේරුම් ගන්නවා ඇත. සිත තුළ වෛරය ද්වේෂය අසීමාන්තිකව මෝදු වන විට හැඳිවත ද අමතක වනු ඇත. එහෙත් කෝපය සන්සිඳෙන විට ඒ හැඳිවත සොයා ගත නොහැකි වේ නම් කුමකින් කුමක් වේද? මගේ අදහස නම් අවුරුදු හැත්තෑ හයක් පාලකයින් ඔය කියන විදියට රට කෑවා නම් අප බොහෝ දෙනෙක් තවමත් ගමේ හරක් පට්ටියක් බලා ගනිමින් ජිවත් වෙනවා මිස මේ තත්වයට පත්වන්නේ නැති බව ය.

sunil kannangara

සුනිල් කන්නන්ගර
(කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති)

theleader.lk

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *