|

රජයේ බදු ප්‍රතිපත්ති සහ වියදම් කළමනාකරණය

රාජ්‍ය ආදායමෙන් සියයට 80කට පමණ දායකත්වය සපයන්නේ බදු ආදායමයි

රාජ්‍ය වියදම් අඩු කිරීම ප්‍රවේශමෙන් කළමනාකරණය කරගත යුතුය

රාජ්‍ය මූල්‍ය දුර්වලතා අවම කිරීමට ගන්නා ලද පළමු ක්‍රියාමාර්ගය ලෙස බදු අනුපාත වැඩි කිරීමට රජය කටයුතු කළේ ඇයි?

රාජ්‍ය ආදායමේ අඩුවීම, ආර්ථික අර්බුදය සඳහා තුඩු දුන් මූලික හේතුවලින් එකකි. පසුගිය දශක තුනක කාලය තුළ රාජ්‍ය ආදායම අඩුවීමේ ප්‍රවණතාවයක් දක්වන ලද අතර, 2019 වසර අවසානයේ දී හඳුන්වා දෙන ලද කාලානුරූපී නොවන බදු අඩු කිරීම, රටෙහි ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීම සහ ඉන් අනතුරුව ඇති වූ ස්වෛරීත්ව ණය ආපසු ගෙවීම පැහැර හැරීම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

2021 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම සියයට 8.3ක් දක්වා අඩු වූ අතර, රාජ්‍ය වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක මට්ටමක පැවතිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 11.7ක් වූ අය වැය හිගය මූල්‍යනය සඳහා උද්ධමනකාරක මුදල් මූල්‍යනය (මුදල් මුද්‍රණය) කිරීමට සිදු විය.

ආදායම හා ධනය හානියට පැමිණවීම සම්බන්ධයෙන් වඩාත් විනාශකාරී හා සියල්ලන්ටම එක ලෙස බලපාන බලපෑමක් ඇති කරනු ලබන්නේ උද්ධමනයයි. 2022 වසරේ උද්ධමනය සියයට 70ක ඉහළම අගයකට ළඟා වූ අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් සම්බන්ධයෙන් දැඩි බලපෑමක් එමඟින් එල්ල කරන ලදී.

රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය, සමස්ත සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අංගයක් වූ අතර, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ප්‍රයත්නයට ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන දායකත්වයක් ලබා දෙනු ලබන 2025 වසරේ දී ලබාගැනීමට අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.3ක ප්‍රාථමික අය වැය අතිරික්තය අඩංගු වන ණය තිරසාරකරණ රාමුව ද මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනට ඇතුළත් වේ. රාජ්‍ය ආදායම 20 -21 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3 සිට 2025 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.1 දක්වා වැඩි කිරීම මෙම ප්‍රාථමික ශේෂ ඉලක්කය ළඟා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වේ.

 

බදුවලට අමතරව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අනෙකුත් ක්‍රම තිබේ ද?

ඛනිජ තෙල් හා ඛනිජ ද්‍රව්‍ය වැනි ස්වාභාවික සම්පත් බහුලව නොමැති ශ්‍රී ලංකාව වැනි රටවල, රාජ්‍ය ආදායම සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන්නේ බදු ආදායමයි. අතීතයේ සිට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් සියයට 80කට පමණ දායකත්වය සපයන්නේ බදු ආදායමයි. අපනයන, සංචාරක කර්මාන්තය සහ වෙනත් විදේශීය ලැබීම් රජයේ ආදායමට එකතු වන බවට දුර්මතයක් පවතියි. මෙය සත්‍යයක් නොවේ. එම ආදායම් පෞද්ගලික ව්‍යවසායයන් විසින් එකතු කර ගන්නා අතර, රජය වෙත ලැබෙනුයේ එම ව්‍යාපාරවල ලාභය මත අයකර ගනු ලබන සංස්ථාපිත ආදායම් බද්ද පමණකි. රජය සතු ව්‍යවසායයන්වල ලාභාංශ සහ අයබදු රජය විසින් එකතු කර ගනු ලැබුව ද, මෙම ව්‍යවසායයන් විසින් දරන ලද පාඩු හේතුවෙන් ඒවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ශේෂයන්ට ශුද්ධ බරක්ව පැවතිණි. දඩ, ගාස්තු හා කුලී විසින් දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකාවේ ආදායමෙන් සුළු කොටසකට පමණි. එබැවින්. රාජ්‍ය ආදායමට සුවිශාලතම දායකත්වය දක්වන්නේ බදු මඟිනි.

බදු වැඩි කිරීමට පෙර ආදායම ඉහළ නැංවීම සඳහා ගනු ලබන පළමු පියවර, “බදු මුදල් නිසි පරිදි නොලැබී යාම (tax leakages)” පිළිබඳ කටයුතු කිරීම සඳහා බදු අනුකූලතාවය හා බදු පරිපාලනය ශක්තිමත් කිරීම නොවූයේ ඇයි?

බදු පරිපාලනය හා බදු අනුකූලතාවය ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග, ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයක් සිදු කරන නමුත්, එහි ප්‍රතිඵල ලැබීමට සැලකිය යුතු කාලයක් ගත වේ. මෙයට හේතුව නම්, එවැනි ක්‍රියාමාර්ග සඳහා, ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රතිඵල ලැබීමට වැඩි කාලසීමාවක් ගනු ලබන පරිපාලනමය, තාක්ෂණික සහ ක්‍රියාවලිය හා සම්බන්ධ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අවශ්‍ය වීමයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, බදු අනුපාත වැඩි කිරීමට සමගාමීව බදු පරිපාලනමය ක්‍රියාමාර්ග ගන්නා ලද නමුත්, කෙටි කාලීනව ආදායම වැඩිවීමට මූලික වශයෙන් හේතුවන ලද්දේ බදු අනුපාත වැඩි කිරීමයි. ඉහත 1 වැනි කරුණෙහි දක්වා ඇති පරිදි කඩිනමින් ආදායම වැඩි කිරීමේ දැඩි අවශ්‍යතාවය හඳුනා ගනිමින්, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස බදු අනුපාත වැඩි කිරීමට අවශ්‍ය විය.

බදු පරිපාලනය ශක්තිමත් කිරීම හා බදු අනුකූලතාවය වැඩි කිරීම කෙටිකාලීනව ආදායම් වැඩි කිරීම සඳහා වන සැලකිය යුතු ක්‍රියාමාර්ගයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හඳුනා නොගන්නා බව සඳහන් කිරීම ද වැදගත් වේ. (2025 වසරේ දී එකතු කළ අගය මත බදු පරිපාලනය ශක්තිමත් කිරීම මඟින් ලබා ගැනීමට අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.3ක වැනි) සැලකිය යුතු බදු පරිපාලන ක්‍රියාමාර්ග මඟින් අතිරේක ආදායම් ලැබීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සැලකිල්ලට ගන්නා නමුදු, විශේෂයෙන්ම ණය තිරසර විශ්ලේෂණ රාමුව සඳහා ප්‍රාථමික අය වැය ශේෂයේ දායකත්වය සැලකීමේ දී සැලකිය යුතු බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඒ සඳහා ආදේශ කළ නොහැකිය.

රාජ්‍ය වියදමෙන් බහුතරය, පොලී ගෙවීම, වැටුප් ගෙවීම හා අත්‍යවශ්‍ය සුභසාධක කටයුතු යන අනිවාර්ය ගෙවීම්වලින් සමන්විත වන බැවින් ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහය මත සැලකිය යුතු පීඩනයක් එල්ල වී තිබේ. මෙම ගෙවීම් පිළිබඳ වගකීම් ඉටු කිරීම සඳහා ආදායම් ලැබීම් ළඟා කර ගැනීමට බදු මුදල් නිසි පරිදි නොලැබීම යාම පිළිබඳව කටයුතු කිරීම මඟින් පමණක් හැකි වනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකියාවක් නොමැත. මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික හා සුවිශේෂී ආදායම් ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම අවශ්‍ය වේ.

රජය විසින් බදු ඉහළ දැමීම වෙනුවට රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා පියවර ගනිමින් සිටීද?

රාජ්‍ය වියදම් අඩු කිරීම ප්‍රවේශමෙන් කළමනාකරණය කර ගත යුතුය. රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීම හා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇති කිරීමේ ක්‍රියාවලියට සහාය දීම පිණිස රාජ්‍ය වියදම් සැලකිය යුතු මට්ටමින් සීමා කිරීම සඳහා 2022 වසරේ ආරම්භයේ සිට මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛ ගණනාවක් නිකුත් කර ඇත. නව බඳවාගැනීම්, අතිකාල ගෙවීම්, ඉන්ධන පරිභෝජනය හා වාහන භාවිතය, උත්සව සඳහා වියදම්, විදේශ ගමන් ආදිය සඳහා වැඩි වශයෙන් සීමා පවත්වා ගැනීම මීට ඇතුළත්ය. මෙම ප්‍රතිපත්තීන් මේ දක්වා ක්‍රියාත්මකය. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය (ITMIS) සම්පූර්ණයෙන් ව්‍යාප්ත කිරීම වැනි වියදම් පාලනය කිරීම සඳහා වන ඩිජිටල් ක්‍රමවේදයන් වැඩි වශයෙන් භාවිතා කිරීම මූලික ක්‍රියාමාර්ගයකි. රජයේ ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන පද්ධතිය හරහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීමට දැනට ගනු ලබන ක්‍රියාමාර්ගයන් ද මධ්‍යකාලීනව පිරිවැය කළමනාකරණය සඳහා දායක වනු ඇත. ඉදිරියේ දී ක්‍රියාත්මක කරනු ලබන අනන්‍යවූ ඩිජිටල් හැඳුනුම්පත (SL-UDI) ආධාරයෙන් සමස්ත රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීම මඟින් රාජ්‍ය වියදම්වලින් සැලකියයුතු මට්ටමේ ඉතිරියක් වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ආදායම් බදු අනුපාතය සියයට 36ක් තරම් ඉහළ අගයක් ගන්නේ ඇයි?

සියලුම පුද්ගලයින් විසින් සියයට 36ක ආදායම් බද්දක් නොගෙවන බව තේරුම් ගත යුතුය. සියයට 36ක බදු අනුපාතය අදාළ වන්නේ ඉහළම ආන්තික ආදායමට පමණි. මසකට රු.200,000ක් උපයන පුද්ගලයකු බදු ලෙස රු.10,500ක් ගෙවන අතර එහි සඵල (effective) බදු අනුපාතිකය සියයට 5.3කි. එමෙන්ම මසකට රු.450,000ක් උපයන අයකු සියයට 19.7ක සඵල බදු අනුපාතයක් ගෙවයි. මසකට රුපියල් මිලියනයක ආදායමක් ලැබුව ද සඵල බදු අනුපාතය සියයට 28.7ක් වන අතර එය සාමාන්‍ය මහජන මතය වන සියයට සියයට 36ට වඩා අඩු අගයකි. ශ්‍රී ලංකාවේ ඉහළම බදු අනුපාතය වන සියයට 36, කලාපයේ සම මට්ටමේ පවතින රටවල්වලට සාපේක්ෂව ඉහළ මට්ටමක නොපවතී. උදාහරණයක් ලෙස තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය යන රටවලට සියයට 35ක ඉහළ පුද්ගල බදු අනුපාතයක් පවතී.

ශ්‍රී ලංකාවේ බදු නිදහස් සීමාව මාසිකව රු.100,000ක් වැනි පහළ අගයක් ගන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ බදු රහිත සීමාව මාසිකව රු.100,000ක් ලෙස සකස් කිරීම හේතුවෙන් ආදායම් බද්දට යටත් වන්නේ ඉහළම ආදායම් ලබන්නන්ගෙන් සියයට 20ක් පමණි. 2022 වසරේ දේශීය ආදායම් පනතට සිදු කරන ලද සංශෝධන පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මෙය පැහැදිලි ලෙස තහවුරු විය. ශ්‍රී ලංකාවේ ආදායම් ව්‍යූහය මේ ආකාරයෙන් අසමමිතික වී ඇති බවට සාක්ෂියක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ණය කාඩ්පත් සංඛ්‍යාව මිලියන 2ට අඩුවීම සහ එය සමස්ත ජනගහනයෙන් සියයට 10ට වඩා අඩු ප්‍රමාණයක් වීමය.

ආදායම් උපයන්නන් බදු ගෙවිය යුතු සීමාවට ඇතුළු වූ වහාම, ඔවුන් සඳහා අදාළ වන සඵල ආන්තික බදු අනුපාතිකයේ සියයට 6ක් වන අතර එය ඉතා අඩු අගයකි. එබැවින් මසකට රු.125,000ක් උපයන පුද්ගලයකු බදු ලෙස ගෙවන්නේ මසකට රු.1,500ක් හෝ ඔවුන්ගේ සමස්ත ආදායමෙන් සියයට 1.2ක ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික ආදායම් බදු ව්‍යූහයට කළ හැකි ප්‍රතිසංස්කරණ මොනවාද?

පවතින ආදායම් ව්‍යූහයන් සහ අප රට හා සම මට්ටමේ පවතින රටවල් සමඟ සැසඳීම්වලට අදාළව ඉහළම බදු අනුපාතිකය සහ බදු රහිත කාණ්ඩය සාධාරනීකරණය කළ හැකි අගයන්වල පවතින අතර, බදු කාණ්ඩ රු.500,000 බැගින් තරමක අඩු අගයක පවතී. ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය ආරම්භයේදීම මෙවන් ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අවශ්‍යතාවය වූයේ ණය තිරසරභාවය නැවත ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම් උපයන්නන් සියයට 20හි දායකත්වය විදහා දැක්වීමේ අවශ්‍යතාවය මතය. කෙසේ වුවද, 2024 වසරේ දී ආදායම් ඉලක්ක සපුරාගැනීම ආරම්භ වී ඇති බැවින්, ආදායම් ඉලක්කවලට හානියක් නොවන අයුරින් බදු කාණ්ඩ සමාලෝචනය කිරීමට හැකි වනු ඇත.

ඒ අනුව, රජය විසින් එක් එක් බදු කාණ්ඩය රු.500,000 සිට රු. 720,000ක් දක්වා පුළුල් කිරීමට යෝජනා කර ඇත. මේ මගින් බදු ඉහළ දැමීම මඟින් වවඩාත් පීඩාවට පත් ජනතාවට සැලකිය යුතු නමුත් ඉලක්කගත සහනයක් ලබා දෙනු ඇත. උදාහරණයක් ලෙස, මසකට රු.300,000ක් උපයන පුද්ගලයකු හට දැනට පවතින මට්ටමට සාපේක්ෂව සියයට 25ක බදු සහනයක් ලැබෙනු ඇත. කෙසේ වෙතත්, ඉහළ ආදායම් මට්ටම්වල දී සහනය පහළ අගයක් ගනු ලබයි. එනම් මසකට රු.750,000ක් උපයන පුද්ගලයකු වර්තමාන මට්ටමට සාපේක්ෂව සියයට 8ක පමණ ඉතා සුළු සහනයක් ලබනු ඇත. මෙ යෝජනාව ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය ආදායමට වන බලපෑම 2025 වසරට අදාළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.08ක් පමණ ඉතා සීමිත අගයක් වන අතර මෙය කළමනාකරණය කිරීමට අදාළ ක්‍රියාමාර්ග දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඇත.

සෞඛ්‍ය, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය අංශ සඳහා රජය එකතු කළ අගය මත බද්ද පනවන්නේද?

සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, පොදු ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා කිහිපයක් සඳහා රජය එකතු කළ අගය මත බද්ධ පනවන්නේ නැත. එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කළ අයිතමවල සම්පූර්ණ ලැයිස්තුව එකතු කළ අගය මත බදු පනතේ දක්වා ඇත. මෙය අයිතම කිහිපයක පමණක් ඉතා සීමිත නිදහස් කිරීම් සහිත පුළුල් එකතු කළ අගය මත බදු ආවරණයක් පවත්වාගෙන යන සාර්ථක ආර්ථිකයන්හි ක්‍රමවේදයට සමාන වේ.

පෙට්‍රල් සහ ඩීසල් වැනි භාණ්ඩ සාමාන්‍ය උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බැවින් රජය ඒවාට එකතු කළ අගය මත බදු පනවන්නේ ඇයි?

ඉන්ධන නිෂ්පාදන බොහෝ කලක සිට එකතු කළ අගය මත බදුවලින් නිදහස් කර ඇත. කෙසේ වුවද, ඒවා ඉතා ඉහළ ආදායම් අයිතම වන අතර, එම නිෂ්පාදන අතීතයේ දී එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීම හේතුවෙන් විශාල ආදායමක් අහිමි විය. 2024 වසරේ ජනවාරි මස සිට එකතු කළ අගය මත බදු අනුපාතය සකස් කර නිදහස් කිරීම් ඉවත් කරන ලද අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකය 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවති 195.1 දර්ශක මට්ටමේ සිට 2024 වසරේ අගෝස්තු මස වන විට 191.1 දක්වා පහත වැටුණි. වර්ධනය වූ රාජ්‍ය මූල්‍ය තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ හිතකර සාර්ව ආර්ථික වර්ධනයන් හේතුවෙන් එකතු කළ අගය මතබදු පනවා තිබියදීත් ප්‍රධාන ඉන්ධනවල සිල්ලර මිලෙහි පහත වැටීමක් දක්නට ලැබුණි. එබැවින්, එකතු කළ අගය මත බදු පදනම පුළුල් කිරීම ඉහළ උද්ධමනයකට තුඩු දෙනු ඇතැයි යන බිය මුළුමනින්ම පදනම් විරහිත විය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ

ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයකින් සකසන ලද ලිපියකි.

MH – Lake House & Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *