| |

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර

රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රටට වුවමනා කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාගේ ආර්ථික, දේශපාලන ක්‍රියා පිළිවෙත කෙසේ විය යුතු ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. ජී. කෝලිත නිශ්ශංක බණ්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

අර්බුදය යම් මට්ටමකට හෝ ගලවා ගැනීමට හැකි වුණු බව පිළිගත යුතුයි

රටවැසියා තළාපෙළා බදු ලබා ගත යුතු නෑ

විදෙස් ණය සහ ආධාරවලින් සපුරා මිදෙන්න අසීරුයි

ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට ඉකුත් සමයේ රට මුහුණ දුන්නා. එම අර්බුදකාරී තත්ත්වය මුළුමනින්ම සමනය නොවූ මුත් ජාතික ආර්ථිකය යම් දිශානතියකට යොමු කිරීමට රජයට හැකි වුණා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

දැඩි ආර්ථික බංකොලොත්භාවයකට සහ ණය උගුලක පැටලී සිටි මොහොතක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගත්තේ බරපතළ අභියෝගයක් පැවැති පරිසරයකයි. එහිදී රටේ පැවැති තත්ත්වය යම් ආකාරයකට හෝ සමනය කිරීමට පැවැති රජයට හැකියාව ලැබුණ බව කවුරුත් පිළිගන්නා කරුණක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් අපිට ලබාදුන් උපදෙස් හා මඟ පෙන්වීම මත හා රටේ පැවැති ස්වයං මූල්‍ය විනයත් මත රට යම් තරමකට ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් මාලාව, කොන්දේසි රජය මඟින් සෑහීමට පත්විය හැකි මට්ටමකින් අනුගමනය කළ නිසා පැවැති අර්බුදය යම් මට්ටමකට ගලවා ගැනීමට හැකි වුණු බව අපි පිළිගත යුතුයි.

රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීමට දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අය වැය පරතරය තදබල ලෙස බලපෑවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැඩි කිරීම, ඍජු බදු මෙන්ම වක්‍ර බදු වැඩි කිරීම ද සිදු කළා. රටේ පැවැති අසමතුලිතතාව යම් ප්‍රමාණයකට හෝ තුලනය වුණේ අයි.එම්.එෆ්. කොන්දේසි අනුගමනය සඳහා රජය දැක්වූ උනන්දුව හා මැදිහත්වීම නිසයි.

අයි. එම්. එෆ්. ආයතනය අනවශ්‍ය ලෙස රටේ ප්‍රතිපත්තිමය කාරණාවලට ඇඟිලි ගසන බවට සමහරු චෝදනා කරනවා. මේ ගැන දේශපාලන කරළියේ සහ වර්තමානයේ මැතිවරණ වේදිකාවල කතා කරනවා. ඡන්ද සටන තුළ එම කාරණය ඉස්මතු කිරීම කොයිතරම් දුරට සාධාරණද?

ඇත්තටම එය පදනම් විරහිතයි. දැන් තිබෙන තත්ත්වයට රට ගොඩගැනීමට සහ ලෝක සිතියම තුළ අපේ රටට ලැබුණු බංකොලොත් රටක්ය යන ප්‍රතිරූපය වෙනස් කිරීමට හැකි වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දුන් සහාය නිසයි. ඒ මොහොතේ එම සහාය නොලැබෙන්නට අපි මීටත් වඩා දරුණු ආගාධයකට වැටෙන්නට තිබුණා. ඒ නිසා මේ සම්බන්ධයෙන් බුද්ධිමත්ව සහ තාර්කිකව සිතා බැලීමට ජනතාව පෙළඹවිය යුතුයි.

ඉදිරි මැතිවරණයේ දී පත්වන ජනාධිපතිවරයා සිය ආර්ථික ප්‍රතිපත්තිය අයි. එම්. එෆ්. සංවිධානයට සමපාතවන ලෙස පෙළගැස්විය යුතු බව ද ඔබ කියන්නේ ?

අයි. එම්. එෆ්. කොන්දේසිවලින් රටට හිත කර ඒවා අපි ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. රට බරපතළ ආර්ථික පරිහාණියකට ලක් වුණේ රටේ පැවැති සෑම රජයක්ම පාහේ නිසි ජාතික ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරනවා වෙනුවට හුදු දේශපාලනමය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමත්, නිසි පරික්ෂාවකින් තොරව දියත් කළ සුබසාධන සහ සංවර්ධන වැඩසටහන් නිසයි. රට ණය බරින් හෙම්බත් වුණා. ලබාගත් දේශීය, විදේශීය ණය සහ ආධාර ආර්ථිකය ශක්තිමත් කරන තැනට නිසි පිරිදි ආයෝජනය කළේ නෑ. පසු විපරම් කළේ නෑ. නිසි පිරිවැය සහ ප්‍රතිලාභ විශ්ලේෂණයන් කළේ නෑ. විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්න සහ චෝදනා තිබෙනවා.

අපි වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට විදෙස් ණය සහ ආධාරවලින් සපුරා මිදෙන්න අමාරුයි. දේශීය ආර්ථිකය ස්ථාවර වන තුරු අපේ අවශ්‍යතා සහ ආර්ථික කටයුතු සඳහා ජාත්‍යන්තර සහාය අපිට අවශ්‍යයි. සංවර්ධිත සහ බලවත් රටවල්වලටත් එවැනි ඉතිහාසයක් තිබෙනවා.

අපිට අනන්‍ය වූ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ කෙසේ විය යුතුද ?

එය බොහොම පැහැදිලියි. මෙතෙක් පැවැති ආර්ථික වැඩපිළිවෙළ තුළ තිබුණේම යැපුම් මානසිකත්වයක්. යැපෙන ආර්ථික ක්‍රියාවලිය තුළ වියදම් ඉහළ ගියා. අපනයනය සහ විදේශ විනිමය උත්පාදන ක්‍රියාවලින් නිසි පරිදි පණ ගැන්වීමක් සිදු නොවුණු නිසා ආදායම ඉතා පහළට වැටුණා. ආර්ථිකය සවිබල ගැන්වීමට හැකි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, නිපුණ සහ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදෙස් රැකියා වෙ‍ළෙඳපොළ විවෘත කිරිම, දේශීය නිෂ්පාදන ඉහළ නැංවීම, අපනයනය පුළුල් කිරීම සහ විවිධාංගීකරණය කිරීම, ව්‍යාවසායකත්ව සංවර්ධනය, කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට අවධානය ප්‍රමාණවත් වුණේ නෑ. විදෙස් ණය භාවිතයට ගත්තේ පරිභෝජනය සහ සුබසාධනයට මිස ආර්ථිකය ශක්තිමත් කිරීමට නොවන බව පැහැදිළියි.

අභිනව පාලන තන්ත්‍රයක් විසින් ග්‍රාමිය ආර්ථික අභියෝගය ජය ගැනීමට කුමක් කළ යුතුද ?

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමට, විශේෂයෙන් කෘෂි අංශය මූලික කරගත් ග්‍රාමීය ආර්ථිකයක් නිර්මාණය කිරීමට අනුගමනය කරන උපක්‍රම කෙරෙහි පළමුවෙන් අවධානය යොමු කළ යුතුයි. ඒ, මක් නිසා ද අපේ ග්‍රමීය ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ ග්‍රාමීය කෘෂි ආර්ථිකයයි. සාම්ප්‍රදායික ශ්‍රම සූක්ෂම තාක්ෂණය වෙනුවට නවීන ප්‍රාග්ධන සූක්ෂම තාක්ෂණය ආදේශ කිරීම, දියුණු බීජ භාවිතය, අනවශ්‍ය ලෙස යොදන කෘෂි රසායන අවම කිරීම, හරිත වගා ක්‍රම, කෘෂි අංශය මත පදනම් වූ ව්‍යාපාර, අපනයන අභිමුක නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ ක්‍රමවේද, සාම්ප්‍රදායික අපනයන වෙනුවට නව්‍යතාවයෙන් යුතු අපනයන, සෑම බිම් අඟලක ම වගා කිරීම පිළිබඳව අවධානය වැඩියෙන් යොමුවිය යුතු කාලය එළඹ තිබෙනවා. කෘෂි අංශය මුහුණ දෙන සත්ත්ව හානිවලට ස්ථීරසාර විසඳුම් රටට අව්‍යශයි.

ඔබ ඉන් අදහස් කරන්නේ කුමක්ද ?

වර්තමානයේ ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම ග්‍රාමීය කෘෂි අංශය තුළ දැකිය හැකි වන්නේ කාලීන සේවා නියුක්ති තත්ත්වයක්. ගොවීන්ට තම ශ්‍රමය වසර පුරාම සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. මේ නිසා ග්‍රාමීයව අතිරික්ත ශ්‍රමයක් පවතිනවා. මෙම අතිරික්ත ශ්‍රමය ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දායක කර ගැනීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ යුතුයි. මේ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ එය ග්‍රාමීය ජනයා අතර ප්‍රචලිත කිරීම කඩිනම් කළ යුතුයි.

ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාවලියක් ලෙස ඔබ අදහස් කළේ කුමක් ද ?

අපේ රට සංවර්ධනය කිරීමට නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර අංශය දියුණු කිරීම අවශ්‍යම සාධකයක්. එහිදී ස්වයංරැකියා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමත්, පවතින ව්‍යාපාර තවදුරටත් දියුණු කර ගැනීමටත් අවශ්‍ය දායකත්වය රජය සහ රාජ්‍ය ආයතන හරහා ලබාදිය යුතුයි. මේ සඳහා රාජ්‍ය සේවකයින්ගේ කාර්යභාරය අති විශාලයි. ජනතාව උනන්දු කිරීම, දැනුම්වත් කිරීම, පුහුණු කිරීම, අවශ්‍ය මූල්‍ය සහ වෙනත් පහසුකම් සැපයීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ සඳහා රටවැසියන්ගේ දැවැන්ත ආකල්පමය වෙනසක් සිදු කිරීම අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ශ්‍රම බළකායෙන් රටට ලැබෙන දායකත්වය ගැන සෑහීමට පත් විය හැකිද?

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව සමස්ත ශ්‍රම බළකාය සඳහා දායකත්වය සපයන පිරිස ප්‍රතිශතයක් ලෙස ගත්විට අපට සතුටට පත්විය නොහැකි මට්ටමකයි පවතින්නේ. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ තරුණයින් අතර විරැකියාව ඉහළ අගයක් ගන්නවා. එසේම ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පිරිස් අතර විරැකියා මට්ටමද ඉහළ අගයක් ගන්නවා. වෙනත් අයගෙන් යැපෙමින් ජීවත්වන ප්‍රතිශතය විශාලයි.

රටට සම්පතක් වූ ශ්‍රම බළකාය රට හැර යන බවට ඇතැමුන් චෝදනා කරනවා නේද ?

එය ඒ ආකාරයෙන්ම විග්‍රහ කිරීම බුද්ධිගෝචර නෑ. එය රටකට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක්. අපි එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමයි කළ යුත්තේ. ඒ සඳහා ප්‍රාථමික නොවන පුහුණු සහ ඉහළ වෘත්තීමය මට්ටමේ ශ්‍රමිකයන් බිහි කළ යුතුයි. මේ කාර්යයේදී නියාමන ආයතනය වශයෙන් පවතින තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවටත්, එම ආයතනයෙන් නියාමනය වන රජයේ සහ පෞද්ගලික වෘත්තීය පුහුණුව සපයන ආයතන සඳහා පැවරෙන වගකීම අති විශාලයි. විදෙස් රැකියා වෙළෙඳපොළ වඩාත් තරගකාරියි. අපේ තරුණයින් ඒ සඳහා සූදානම් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල වත්මන් තත්ත්වය කොහොමද ඔබ දකින්නේ ?

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් විය යුතුයි. ව්‍යාපාර සඳහා රජයෙන් ලැබෙන සහාය පිළිබඳ විශ්වාසය ඉතා වැදගත්. අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාර අඛණ්ඩව පවත්වා ගැනීම මෙන්ම ඒවා වැඩිදියුණු කර ගැනීමත් විශාල අභියෝගයක්ව පවතිනවා. එහි අදහස වන්නේ ව්‍යාපාර ආරම්භ කළත් ඒවා සාර්ථක කර ගැනිම දුෂ්කර බවයි. මූල්‍ය පහසුකම් සැපයීම්, යටිතල පහසුකම් සැපයීම, ආකල්ප සංවර්ධන වැඩසටහන් සිදු කිරීම, වෘත්තීය පුහුණුව ප්‍රචලිත කිරීම, මිල ගණන් නියාමනය සහ වෙළෙඳපොළ සැපයීම, ගබඩා පහසුකම් සහ ශීතාගාර පහසුකම් ඇති කිරීම, නීති රීති සහ බදු ප්‍රතිපත්ති ලිහිල් කිරීම තුළින් ව්‍යාපාරික හිතකර පරිසරයක් බිහි කළ යුතුයි.

රටට අවශ්‍ය බදු ප්‍රතිපත්තිය විවාදාපන්නයි. මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද ?

බදු අය නොකර රටක් පවත්වා ගෙන යෑම අසීරු කරුණක්. බදු කියන්නේ රජයේ ආදායම් උත්පාදන මාර්ගයක්. එය රට වැසියා තළා පෙළා ලබා ගත යුතු නෑ. බදු ක්‍රමය සරල වීමත්, සාධාරණ සහ විනිවිදභාවයෙන් පැවතීමත් බදු ගෙවීම් කෙරෙහි රට වැසියන්, ව්‍යාපාරිකයින් ඒ වෙත යොමු කර ගැනීමට පහසුවක් වෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩි ආදායම් විභවයක් ඇති පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා ගත යුතු වෙනවා. රජයට බදු ගෙවිය යුතු පිරිස් එය පැහැර හැරීම හෝ එම පාර්ශ්වයන්ගෙන් බදු අය නොකිරීම ජාතික ආර්ථිකයට තද බල ලෙස බලපානවා. බදු අය කිරීමේ විනිවිදභාවය ඉතා වැදගත් කාරණයක්.

කවරකු ජනපති වුවද ගැති නොවූ විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. මෙහිලා ඔබේ දැක්ම පැහැදිලි කරන්න. ?

රටක් වශයෙන් අපි සිටින තැන අපි දැන් දන්නවා. සිටින තැනින් නැඟිටීමට නම් අපිට සෑම රටකම සහාය අවශ්‍යයි. එය ඉන්දියාවට, චීනයට හෝ අමෙරිකාවට ගැති වූ රටක්ය යන ලේබලයට වඩා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු පාර්ශ්වයන්ගේ සහාය ලබාගැනීමට උත්සාහ කිරීමයි. එක රටක් ළං කරගෙන තවත් රටක් මඟ හැරියොත් එය අපේ ජාත්‍යන්තර සබඳතාවලට අවාසිදායක වෙනවා. විශේෂයෙන් ආසියාතික කලාපීය සබඳතා ශක්තිමත් කර ගෙන යන ගමන වඩාත් සුබදායී බව අපේ හැඟීමයි.

ජාතික ආර්ථිකය නැංවීමට ඔබ ඉදිරිපත් කරන තවත් යෝජනා මොනවාද ?

සියලුම පාර්ශ්ව රාමුවකට කොටු නොවූ නව උත්පාදන සිදු කරන තත්ත්වයට දිරිමත් කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන වැඩිදුරටත් පර්යේෂණ සඳහා උනන්දු කරවන්න ඕනෑ. එසේම අදාළ පර්යේෂණවලින් ඉදිරිපත් කරනු ලබන නිගමන සහ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යන්ත්‍රණය තවදුරටත් දියුණු කළ යුතුය. දේශීයත්වය සහ අපේකම පිළිබඳ ජනතාව තුළ ජාතික හැඟීමක් යළි ඇති කිරීමත් ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා.

සකුන්තලා ජයසිංහ

MH – Lake House & Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *