| |

යළිත් ආර්ථිකයට කම්පනයක් ඇති නොවිය යුතුයි – ආර්ථික විශ්ලේ­ෂක, ශ්‍රී ලංකා කෘෂි­කා­ර්මික ප්‍රති­පත්ති සභාවේ සාමා­ජික, චිත්‍රාල් ජය­වර්ණ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළදී විවිධ පාර්ශ්වයන් අදහස් දක්වන ලද අතර මෙහිදී අඩු වැඩි වශයෙන් විෂය පිළිබඳ ප්‍රාමාණික උගතුන් පෙන්වා දෙන කරුණු සලකා බැලීමේ දී සමහර පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. නමුත් තවත් පාර්ශ්වයක් පෙන්වා දෙන්නේ ලංකාවේ ආර්ථිකය යහපත් නොවන බවත් මෙය තාවකාලික තත්ත්වයක් මත ගොඩනැඟුණු ලද්දක් වන බවයි. නැවත ලංකාව විදේශීය ණය ගෙවීම් ආරම්භ වීමත් සමඟ ලංකාවේ ආර්ථිකය නැවත වතාවක් අවිනිශ්චිත තත්ත්වයට පත්වන බවත් ඔවුන් පෙන්වා දෙයි. කෙසේ නමුත් මෙවැනි පසුබිමක IMF ආයතනය ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබාදෙන ලද විස්තීර්ණ ණය පහසුකම යටතේ ලබා දුන් මාස 48ක සහන ණය ක්‍රමයේ තුන්වන වාරිකය අමෙරිකන් ඩොලර් මිලියන 336ක මුදල ලබාදීමට පසුගියදා තීරණය කළ අතර එය ඉතා නුදුරේදීම ලංකාවට ලැබෙනු ඇත. මෙය ඉදිරියේදී විවිධ අංශයන් සඳහා ලබා දෙන ලද වැදගත් සහතිකයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම ණය වාරිකයන්හි තෙවන වාරිකය ලැබීම කරුණු කිහිපයක් යටතේ වැදගත් වන අතර, මේ තුළින් IMF ආයතනය නිගමනය කරන්නේ ලංකාවේ ආර්ථිකය නැවත නිසි ගමන් මගට අවතීර්ණ වී ගමන් කරන බවයි. ඒ අනුව එම සහතිකය මඟින් ඉදිරියේ දී ලංකාවට විදේශ ආයෝජනයන් කෙරෙහි විශ්වාසය ගොඩනැඟීමට සාධකයක් වනු ඇත. අනෙක් කාරණය වන්නේ මේ වන විටත් සමථයකට පත් නොවී ඇති පැරිස් සමාජයේ රටවල් අතර ණය සම්බන්ධයෙන් වූ එකඟතාවයන් සඳහා ද මෙය බලපානු ලබන බවයි. ඒ අනුව ඉදිරියේ දී ද්වීපාර්ශ්වීය ණය හිමියන් සමඟ අවසන් එකඟතාවකට යා හැකි වීම විශාල ජයග්‍රහණයකි.

ළඟා කරගෙන ඇති ප්‍රගතිය

IMF එකෙන් ලබා දෙන ලද විවිධ ඉලක්කගත වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත්වන බව පෙනී යයි. 2024 වර්ෂයේ පළමු කාර්තුවේදී ලංකාවේ ආර්ථික වර්ධනය 5.3% ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එමෙන්ම කෘෂිකාර්මික අංශය 1.1% කින්ද, කාර්මික අංශය 11.8% කින්ද, සේවා අංශය 2.6% කින්ද වර්ධනය වීම කැපී පෙනෙන ලක්ෂණයකි. මෙයට පෙර 80%ක් ඉක්මවා තිබූ ලංකාවේ උද්ධමනය 3.1% ක මට්ටමක පැවතීමත් විදේශ සංචිතයන් අමෙරිකානු ඩොලර් බිලියන 5.5 කින්ද ඉතා ඉහළ මට්ටමකම පැවතීමත් වැදගත් සාධකයකි. අනෙක් අතට රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් රුපියල් 300ක 310ක මට්ටමක ස්ථාවරව පවත්වා ගැනීමත් මූල්‍ය වෙළඳපොළ ස්ථායීව පවත්වා ගැනීමට හැකිවීමත් ආර්ථිකය ශක්තිමත් යන සාධකය පෙන්නුම් කරයි. පසුගිය දිනක මහ බැංකුව ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 295,000 බැඳුම්කරයන් සඳහා අධික ඉල්ලුමක් පැවැති බව වාර්තාවේ. ඒ අනුව පෙනී යන්නේ ක්‍රමයෙන් ආයෝජන ආකර්ෂණය ඇතිවෙමින් පවතින බවයි. මූල්‍ය වෙළෙඳපොළ තුළ පොලී අනුපාතිකයන් සියයට දහයක් දහතුනත් දක්වා පරාසයක පැවතීම මෙන්ම කඩා වැටී ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණ ව්‍යාපාරයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පොලී අනුපාතිකයන් 10% අඩු මට්ටමකට ගෙන ඒමට හැකි වුවහොත් ඉදිරි ආර්ථික සංවර්ධනයේ දී එය වැදගත් සාධකයක් වනු ඇත.

IMF කොන්දේසි ඉටුකිරීම

විස්තීර්ණ ණය පහසුකම ලබාදීමේ දී ලංකා ආණ්ඩුව වෙත IMF මඟින් ලබාදී තිබූ කොන්දේසි හා එකඟතාවන් බොහොමයක් ඉටුවීම IMF ආයතනයේ පැසසුමට ලක් කර තිබූ අතර, එම බොහෝ ප්‍රතිසංස්කරණයන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා රුකුලක් වූ බව නොරහසකි. බදු ඉහළ දැමීම තුළින් බොහෝ පිරිස් පීඩාවට පත් වූ අතර අනෙක් අතට රාජ්‍ය ආදායම් ඉලක්කයන් සපුරා ගැනීමට හැකියාව ලැබී තිබේ. 2024 පළමු කාර්තුවේ බදු ආදායම සියයට හයකින් වැඩි වී ඇති බව ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වාර්තාවන් පෙන්වා දෙයි. නමුත් රාජ්‍ය වියදම් පාලනය තවදුරටත් සිදුවිය යුතු බව පෙන්වා දිය යුතුය. රාජ්‍ය වියදම් සීමා කළ හැකි අංශයන් සොයා බැලිය යුතු වන අතර රාජ්‍ය අංශයේ ඵලදායිතාව නැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල පැහැදිලි බවක් නොපෙනේ. එම නිසා තවදුරටත් රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කළ යුතු බව පෙන්වා දිය යුතුය.

කෙසේ වෙතත් IMF වෙතින් ලබා දී තිබූ කොන්දේසිවලින් තවත් 25% ක් ඉටු නොකළ කොන්දේසි වශයෙන් පවතී. විශේෂයෙන් IMF වාර්තාවන් පෙන්වා දෙන්නේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායකයන් (SOE’s) ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවයි. රජය ඒ සඳහා අවශ්‍ය පනත් සම්මත කිරීමට සූදානම් වී සිටී. රජයට බරක් වූ ඵලදායිතාවෙන් අඩු ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීම වරදක් ලෙස දැකිය නොහැකිය. එමෙන්ම නව ලෝකය මේ වන විට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් පවතී. එවැනි ප්‍රතිසංස්කරණයන් වෙත අවධානය යොමු කිරීමද ඉතා වැදගත් වේ.

නීතිමය රාමුව පුළුල් කිරීම

IMF යෝජනාවන් අනුව 2023 වර්ෂයේදී අංක 16 දරන මහා බැංකු පනත සම්මත විය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් ලෙස දැන් ස්ථාපනය කර තිබේ. ඒ සඳහා සමාගම් බැංකු විශේෂ විධිවිධාන පනතක් සම්මත වීමද සිදුවී තිබේ. අනෙක් අතට නව දූෂණ විරෝධි නීති සම්පාදන හා දූෂණ විරෝධී පනත සම්මත වීම මඟින් වංචාවන් හා දූෂණයන් වළක්වාලීම සඳහා ගත් වැදගත් පියවරකි. කෙසේ නමුත් මෙම පනත් කෙටුම්පත් සම්මත වුවද තවම ප්‍රායෝගික තලයේ වැඩපිළිවෙලළක් ක්‍රියාත්මක වීම දැකිය නොහැකි වීම විශාල අඩුවකි. දේශීය හා විදේශීය ණය කළමනාකරණය සඳහා මුදල් අමාත්‍යාංශය තුළ ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතක් පසුගියදා සම්මත විය. ඒ අනුව ඉදිරියේදී ලංකාව ලබාගන්නා ණය කළමනාකරණය සිදුවන්නේ මෙම ආයතනය මඟිනි. එම නිසා ලබාගන්නා විදේශීය හෝ දේශීය ණය නිසි ක්‍රමවේදයක් අනුව භාවිත වනු ඇත. රාජ්‍ය මුදල් පරිහරණය කළමනාකරණය සඳහා වූ නීතිමය රාමුව ඉදිරියේදී ක්‍රමයෙන් ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණහොත් ඵලදායී ලෙස රට සංවර්ධනය සඳහා මගක් ඇතිවන බව පෙනේ.

IMF කියන්නේ කුමක් ද?

මෙම තුන්වන ණය වාරිකය ලබා දෙමින් IMF අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහන් කරන්නේ ලංකාවට ලබා දීමේ නිර්දේශයන් අනුව ගමන් කිරීම නිසා ප්‍රතිසංස්කරණයන්වල ප්‍රගතියක් ළඟා කර ගෙන ඇති බවයි. එසේම ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පටන්ගෙන ඇති බවත්, අඩු උද්දමනයත් ආණ්ඩුවේ ආදායමත් එකතු කිරීම ශක්තිමත් වී ඇති බවත්, විදේශ සංචිතයන්වල අඛණ්ඩ වර්ධනය යහපත් ලක්ෂණයක් වන බවයි. නමුත් වැදගත් දුර්වලතාවයන් හා අවිනිශ්චිතභාවයන් ඒ යටතේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය නිම නොවීමත්, ඉදිරියේ දී පවතින මැතිවරණයන් නිසා සිදු විය හැකි අවිනිශ්චිතභාවයත් බලපාන බවයි. ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමත් එය ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම වැදගත් වන බවයි.

තවදුරටත් ඔවුන් සඳහන් කරන්නේ, මූල්‍යමය ස්ථිරභාවය ශක්තිමත් කිරීම සඳහා අමතර ආදායම් ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි. තවදුරටත් බදු පරිපාලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමත්, බදු නිදහස් කිරීම් සීමා කිරීමත්, ඒවා වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමේ අවශ්‍යතාවයන් වැඩිකිරීමෙන් ඒ බව පෙන්වා දී තිබේ.

ණය කළමනාකරණ රාමුව

මෙහි දී ඔවුන් ලංකාවේ සමාජ ආරක්ෂක ජාලය ශක්තිමත් විය යුතු බව පෙන්වා දෙයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් සම්මතවීම ණය කළමනාකරණ රාමුව ශක්තිමක් විය යුතු බව සඳහන් කරයි. එමෙන්ම රජය සතු ව්‍යාපාරයන් (SOE’s) ප්‍රතිසංස්කරණය කළ යුතු බව පෙන්වා දෙයි. ඉදිරියේ දී බැංකු පනත් සංශෝධනය මෙන්ම වාණිජ හා රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනීකරණය ශක්තිමත් කිරීම අවධානයට ලක් වී තිබූ අතර රාජ්‍ය බැංකු අධීක්ෂණය හා පාලනය වැඩි දියුණු කිරීම සඳහා කැපවිය යුතු බව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සමස්ථයක් ලෙස මෙයින් පෙනී යන්නේ තවදුරටත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීම සඳහා බලධාරීන්ගේ කැපවීම වැදගත් වන බවයි. සිදුවිය යුතු ප්‍රතිසංස්කරණයන්වල දැඩි අවශ්‍යතාවන් පවතින බවය. එයින් ලංකාවට ස්ථිරසාර සංවර්ධනය කරා ගමන් කළ හැකි බව පෙනී යයි.

චිත්‍රාල් ජය­වර්ණආර්ථික  විශ්ලේ­ෂක 
ශ්‍රී ලංකා කෘෂි­කා­ර්මික 
ප්‍රති­පත්ති සභාවේ සාමා­ජික

චිත්‍රාල් ජය­වර්ණ
ආර්ථික විශ්ලේ­ෂක
ශ්‍රී ලංකා කෘෂි­කා­ර්මික
ප්‍රති­පත්ති සභාවේ සාමා­ජික

තවදුරටත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙමින් නියම මාර්ගයට අවතීර්ණ වෙමින් පැවතියත් ආර්ථිකයට කිසියම් හෝ දැඩි කම්පනයක් ඇති වුවහොත් සිදුවිය හැකි හානිද සුළුපටු නොවේ. මක්නිසාද යත් ලංකාවේ ආර්ථිකය ඉතා කුඩා ආර්ථිකයක්, ඒ අනුව සිදුවිය හැකි කම්පනය හා ඒ වන බැවිනි. ප්‍රමාණය අනුව සිදුවිය හැකි හානියද ප්‍රබලය. එම නිසා කම්පනයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් ආර්ථික ව්‍යුහාත්මක වෙනස්කම් මේ අවස්ථාවේදීම සිදුකර ගැනීම ඉතා වැදගත් වේ. ඒ අනුව නව නිෂ්පාදනයන් සොයා යාමත්, නව වෙළඳපොළවල් සොයා ගැනීම මෙන්ම නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකි පරිදි ආයෝජනයන් උනන්දු කරලීම ඉතා වැදගත් වේ. සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමද සංචාරකයන්ට විනෝදාස්වාදය ලබාගත හැකි නව අංශයන්ද හඳුන්වාදීම තුළින් සංචාරක කර්මාන්තය පුළුල් විය යුතුය. ලංකාවට ආර්ථිකව විශාල දායකත්වයක් සපයනු ලබන සාධාරණ කර්මාන්තය පිළිබඳ අලුතින් සිතිය යුතු කාලය එළැඹ තිබේ. පනත් කෙටුම්පත්වල තිබෙන අඩුපාඩුකම් සකස් කර ගනිමින් ආයෝජකයන්ට හිතකර පරිසරයක් ගොඩනැඟීම ද කඩිනම් කළ යුතුය.

ඉදිරි අවුරුදු කිහිපය තුළදී විදේශීය ඉතුරුම් ඇ.ඩො. බිලියන 15ක මට්ටමකට ගෙන ඒමත් විදේශීය ආයෝජන අමෙරිකන් ඩොලර් බිලියන 10ක ඉලක්කයක් කරා ගමන් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායික සැලැස්ම සකස් කිරීම ඉදිරියේදී පවතින රජයක කාර්යභාරය වනු ඇත.

MH – Lake House & Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *