|

IMF එකඟතා වෙනස් කිරීමට උත්සාහ දැරීම ආර්ථිකයේ මීළඟ බිඳ වැටීමට අත වැනීමක් විය හැකියි -කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

සරදියල් ක්‍රමයකට බදු වැඩි කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකියි

IMF ඉලක්ක නැවත සාකච්ඡා කිරීමකින් වෙනස් කිරීමේ පසුබිමක් නෑ

අපේ ආර්ථිකය පවතින්නේ ඕනෑම සුළු කුණාටුවකින් බිඳවැටිය හැකි තත්ත්වයක

මැතිවරණයක් ආසන්නයේ ජනතාවාදී අදහස් යැයි පවසමින් බොහොමයක් පොරොන්දු කරලියට නැඟෙයි. ඒ අතර ප්‍රමුඛ අදහසකි IMF එකඟතාවන් වෙනස් කළ යුතු බව හා ඒ සඳහා නැවත සාකච්ඡා අරඹන බව. මේ සඳහා ඇති හැකියාව සහ ප්‍රායෝගිකව එවැනි ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට ඇති පසුබිම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ සමඟ කළ සංවාදයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම් වෙනස් කළහැකි පසුබිම කෙබඳු ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එක්ව ක්‍රියාකරන ගෝලීය ආයතනයක්. පොදුවේ අවශ්‍යතා කිහිපයක් සපුරාලන ඕනෑම රටකට මෙම ආයතනය සමඟ එක්වීම සඳහා ඉල්ලුම් කළ හැකිය. එම අවශ්‍යතාවන් මූලික වශයෙන් අදාළ රටෙහි ආර්ථිකය පිළිබඳ තොරතුරු සැපයීම හා ‘දායකත්ව පංගුව’ ලෙස හැඳින්වෙන මුදලක් ගෙවීම යන මූලික කරුණු ඇතුළත්වේ. රට පොහොසත් වන තරමට, එය ගෙවිය යුතු දායකත්ව පංගුව ද විශාලවීම මෙහි ඇති විශේෂත්වයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික අභිප්‍රාය වෙන්නේ. සාමාජික රටවල තාවකාලිකව ඇතිවී ඇති ගෙවුම් ශේෂ හිඟය (රටේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට ප්‍රමාණවත් ඉතිරියක් නොමැති තත්ත්වය) හෝ අසමතුලිතතා තුලනය කරගැනීමට අවශ්‍ය කෙටිකාලීන ණය සැපයීම අරමුදලේ ප්‍රධාන කර්යයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් සාමාජිකයන්ට අවශ්‍ය උපදෙස් හා සහයෝගය දැක්වීම, විනිමය ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රමානුකූල විනිමය වැඩපිළි‍ෙවළක් සැකසීම, හා තරගකාරී ලෙස විනිමය අවප්‍රමාණය ඉවත්කිරීම සඳහා සහාය වීම මෙයින් සිදුකරයි. අප රට සමඟ ඇතිකරගෙන ඇති එකඟතා ගිවිසුමේ පදනම එයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවැසි බවට අප රටේ අදාළ නිලධාරීන් ඉල්ලීම් කිරීමෙන් අනතුරුව ආර්ථිකය ස්ථායිකරණය කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡා. ඇරඹුණා. ඒ සාකච්ඡා සඳහා මූල්‍ය අරමුදලේ නිලධාරීන් සම්බන්ධ වෙන්නේ මෙරට ආර්ථිකය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුවයි. ඒ අනුව ණය තිරසරභාවය‍, ආර්ථික පුරෝකථන වැනි කාරණා පිළිබඳ අවබෝධයකින් යුතුව මාස හයක් පමණ කාලයක් ඇදෙන මෙම සාකච්ඡා අතරතුර මෙරට ආර්ථිකය යළි ස්ථායි කිරීමට නම් සැපිරිය යුතු ආර්ථික ඉලක්ක පිළිබඳ එකඟතාවක් ඇතිවුණා. එසේ එකඟතාවන් ඇතිකරගන්නේ ඒ ඉලක්ක සැපිරීමෙන් තොරව ආර්ථිකය යහපත් මාවතකට අවතීර්ණ කළ නොහැකි නිසයි.

උදාහරණ විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයේ ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15.3% තබාගත යුතුයි පැවසිය හැකියි. ප්‍රාථමික අතිරිත්තය 2.3% තබාගත යුතුයි අවධාරණය කළ හැකියි. මෙවැනි ඉලක්කයන් ලබාදෙන්නේ දේශීය නියෝජිතයින්ගේ කරුණු දැක්වීම් පිළිබඳව අවධානය යොමුකිරීමෙන් අනතුරුවයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබාදී ඇති ඉලක්ක නැවත සාකච්ඡා කිරීමකින් වෙනස් කිරීමේ පසුබිමක් නෑ. කෙසේ වෙතත් මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සකස් කරන ලද ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස රජයේ ආදායම් වැඩිකර ගැනීම සඳහා වක්‍රබදු අයකරගන්නවාද? ධන බද්දක් පනවනවාද? ආදී වශයෙන් අදාළ ඉලක්ක කරායාම සඳහා තෝරාගන්නා මාර්ගය වෙනස් කිරීමේ හැකියාවක් පවතිනවා.

එවන් මඟකට අවතීර්ණ වීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග කවරේද?

මූලිකම ගැටලුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවන් වෙනස් කිරීම සඳහා හෝ නවතම ආකාරයේ එකඟතාවන් වෙනුවෙන් සාකච්ඡා ආරම්භ කිරීමේදී මූල්‍ය අරමුදල සමඟ දැනට කෙරීගෙනයන ක්‍රියාවලිය ඇණහිටිනවා. ඒ ඇනහිටීම මාස හයක වැනි කාලයකට දිගුවිය හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ වීම බොහෝදුරට මහමැතිවරණයට අවශ්‍ය ඡන්ද පදනම අරමුණු කොට කඩිනම් කළ හැකියි. නමුත් සාකච්ඡා ආරම්භ වීමෙන් අපි ලෝකයවෙත දෙන පණිවුඩය සුභවාදී විය නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළේ අපගේ රජයේ නිලධාරීන් නැවතත් සාකච්ඡාවකට සහභාගි විය යුත්තේත් ඔවුන්මයි. පළමු අවස්ථාවේ පිළිගත් කරණා දෙවැනි අවස්ථාවක එසේ නොවේ යයි පැවසීමට ඔවුන්ට සිදුවෙනවා. ඒ තත්ත්වයෙන් හෑල්ලුවෙන්නේ ඒ නිලධාරීන් නොවේ රටක් විදිහට අප සතු විශ්වාසනීය බව මෙන්ම ස්ථීරබව පිළිබඳවත් කියැවෙනවා.

ආර්ථික අර්බුදයට පෙර ණය ආපසු ⁣ගෙවීම වැනි කාරණාවලදී ශ්‍රී ලංකාව විශ්වසනීය මූල්‍ය විනයක් ඇති රටක් ලෙසයි ගෝලීය පිළිගැනීම වුණේ. නමුත් මෙවැනි සිදුවීම් නිසා ලෝක බැංකුව‍, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වුණත් අප හා ගනුදෙනු කිරීමේදී ⁣ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගන්නා සබඳතා පිළිබඳ සලකා බලන තත්ත්වයක් ඇතිවිය හැකියි.⁣ එපමණක් නොවෙයි මෙවැනි තත්ත්වයක් නිසා දෙස් විදෙස් ණය හිමියන් මෙන්ම මූල්‍ය වෙළෙඳපොළ හා සම්බන්ධ ක්‍රියාකාරීන් සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ මූල්‍යකටයුතු සීමා කළහැකියි. එබඳු තත්ත්වයක් නිසා ආර්ථිකය යළි සැකසීම ප්‍රමාද වියහැකියි. එසේ නැතහොත් මූල්‍ය වෙළෙඳපොළ නැවතත් අස්ථාවර වීමටවුව හැකියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා නැවත සාකච්ඡා කරමින් වෙනස් කිරීමට ගත් අන්තර්ජාතික උදාහරණ කවරේද?

මේ සඳහා හොඳම උදාහරණය හමුවෙන්නෙ ග්‍රීසියෙන්. එහි ආර්ථිකය 2009 දී අර්බුදයට ගියා. ඒ තත්ත්වය සමනය කරගැනීමට ග්‍රීසියේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවට එක්වෙනවා. අනතුරුව ආර්ථිකය නිවැරදි දිශානතියට ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇතිකර ගන්නවා. ඒ අනුව කටයුතු කිරීම ආර්ථික අතින් අසීරු වකවානුවක් බවට පත්වුණා. මේ නිසාම බලය අපේක්ෂාවෙන් සිටි එරට පක්ෂයIMF රෙගුලාසි වෙනස් කිරීමට පියවර ගන්නා බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදෙනවා. අවසානයේ මේ රෙගුලාසි වෙනස් ග්‍රීක රජයත් IMF නියෝජිතයිනුත් සකච්ඡා අරඹනවා. නමුත් අවසානයේ මේ දෙපිරිස එකඟතාවක් නැතිවම සාකච්ඡා මේසයෙන් නැඟීසිටිනවා. ආජන්ටිනාව‍, ඉක්වදෝරය වැනි රටවල් මේ ආකාරයෙන්ම ආර්ථිකය බිඳවැටුණු රටවල් නමුත් තවමත් ඔවුන්ට පෙරතිබූ ආර්ථික සමෘද්ධිය අහිම්වෙලා. 2008 වසරේදී ග්‍රීසියේ දළ දේශීය නිෂ්පාදිත අගය ඩොලර් බිලියන350 කි. 2016 දී එය අ‍ෙමරිකානු ඩොලර් බිලියන188ක් බවට පත්වී තිබේ. 2024දී ග්‍රීසියේ දළ දේශී නිෂ්පාදිතය අ‍ෙමරිකානු ඩොලර් බිලියන 238ක් බවට පත් වුණා. 2018 දී එරට පැවති ආර්ථික තත්ත්වයට ළඟාවීය හැක්කේ 2031 දී පමණ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කර තිබේ.

ආර්ථික සංශෝධනයකදී සැලකිලිමත් විය යුතු අවශේෂ කාරණා කවරේද?

ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැඟීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම් වෙනස් කිරීමේ හදිසියට වඩා තිබිය යුත්තේ ඒ ගිවිසුම් හමුවේ ඇතිකරගත් එකඟතාවන් පූර්ණ කිරීමට කටයුතු කිරීමයි. ඒ සඳහා ජනතාව මෙන්ම පාලකයින් පවතින තත්ත්වය අවබෝධය ඉතාමත් වැදගත්. සරදියල් ක්‍රමයකට පොහොසතුන්ගෙන් ලබාගෙන හෝ බදුවැඩි කිරීමෙන් මීට විසඳුමක් සොයාගත නොහැකියි. මේ ආර්ථිකයේ බර සැමට එකසේ දරාගතයුතු වෙනවා.

විශේෂයෙන්ම මේ වනවිට ගෝලීය දේශපාලනයේ සුළං රැලි නැඟෙන නඟින බසින රිද්මය අපගේ රටවල්වල ආර්ථිකයට බලපෑම් කරන ආකාරය පිළිබඳ විමසිලිමත්වීම ඉතා වැදගත්. රටක් හැටියට අපේ ආර්ථිකය පවතින්නේ ඕනෑම සුළු කුණාටුවකින් බිඳවැටිය හැකි තත්වයක. මේවනවිට යුක්ක්‍රේන් රුසියා යුද්ධය ඇවිලෙමින් තිබෙන්නේ. මැදපෙරදිග යුද්ධයක් ඇතිවීමේ ලකුණු තිබෙනවා. එක්සත් රාජධානියේ මෙන්ම බටහිර රටවල් බොහොමයක සමාජය බිඳවැටීමට ලක්වෙලා. දකුණු ආසියාවේ දේශපාලන ආර්ථික බිදවැටීමක් තිබෙනවා. එක් වරක් ආර්ථිකය බිඳවැටුණු රටක් දැන් නිසි මාවතකට වැටී තිබුණත් මැතිවරණ වාසි වෙනුවෙන් නැවත වතාවක් මේ තත්ත්වය පොරොන්දු දේශපාලනයේ ලන්සුවක් බවට පත්කිරීම නිසා අතිභයංකර තත්ත්වයක් නිර්මාණය වියහැකියි. අපගනුලබන වැරදි තීරණයක් නිසා නැවත වතාවක් රට අර්බුදයට යා හැකියි.

මෙරට ආර්ථික ගැටලු විසඳුම් දියහැක්කේ කවර ආකාරයේ ප්‍රවේශයකින්ද?

ආර්ථිකය බිඳවැටීමට හේතුවූ ඓතිහාසික මෙන්ම ආසන්නතම කරුණු මැනවින් විග්ග්‍රහ කරගතහැකි නායකයෙකුට පමණයි පවතින ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන්නේ. නැවතත් සුභසාධන වාදී ආර්ථික රටාවකට අනුගතවේනම් කිසිසේතුම පිළිතුරක් සොයාගත නොහැකියි. ඉන් අත්වෙන්නේ අනිටු විපාකයි. තවදුරටත් බලය ලබාගැනීමට අපේක්ෂා කරන්නේ elite capture (පාලනවප්‍රභූ ග්‍රහනයට නතුවීම) ප්‍රභූ පන්තියට පහසු ආකාරයේ සහන සැලසන අතර දුප්පතුන් සැනසීමට සහනාධාර ලබාදෙන සැලසුමක්නම් ඉන් කිසිදු යහපතක් අත්විය නොහැකියි. මෙතෙක් සිදු වුණේ මැතිවරණයේදී ඒ ඒ පක්ෂ පරයමින් සහන ලබාදීමට ඡන්ද පොරොන්දු ලබාදීමයි. එක් පක්ෂයක් පන්දහසක් වැඩිකරන බව පවසනවිට තවත් පක්ෂයක් 10000ක් දෙන්න පොරොන්දු වුණා. කිසිදු කාර්යක්ෂම ක්‍රමවේදයකින් තොරව ලක්ෂයකට රැකියා දීමට පොරොන්දුවී මැතිවරණ ව්‍යාපාරයට සහාය දුන් පිරිස් තෝරා රජයේ රැකියා ලබාදුන්නා. මේ නිසා සුදුසු කම් නැතිව රැකියා ලබාගැනීමට මෙන්ම රජය සියල්ල නොමිලේ ලබාදිය යුතුය යන ආකල්පයෙන් යුතු දීන මානසිකත්වයක් ඇති සමාජයක් ගොඩනැඟුණා. මහන්සි වී වැඩකරන අතළොස්සක ජනතාවගෙන් ලබාගන්නා බදුමුදල් හෝ සංවර්ධන කටයුතු සඳහා ගත් විදෙස් ණය මේ පිරිස නඩත්තු කිරීමට යෙදවීමයි මෙතෙක් කළක් සිදුවුණේ.

දේශපාලකයින් මෙන්ම ජනතාවත් අප පැමිණි මාවතේ ඇති නොගැළපීම හඳුනාගත යුතුයි. සියල්ල සහනදායිව ලබාගැනීමට අපේක්ෂා නොකර නිකන් දීම මෙන්ම නිකන් දෙන දේවල් ගැනීම ලැජ්ජාවට කරුණක් බව විස්වාසකරන ඒ වෙනුවෙන් පෙනී සිටින සමාජයත් ගොඩනැඟීමයි වැදගත් වෙන්නේ.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකරගත හැක්කේ ස්ථාවර දේශපාලනික පසුබිමක් ඇති පසුබිමකයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බදු වැඩි කිරීම, නාස්තිය අවම කිරීම වැනි කාරණා වෙතින් ඔබ්බට ගොස් පුළුල් සමාජ, දේශපාලන, ආර්ථික ප්‍රතිසංස්කරණ මේ සඳහා ඇතිකළ යුතුයි. දැනට නමට පමණක් පිහිටුවා ඇති ආයතන සඳහා නියම බලතල හිමිකරදීමත් වැදගත් උදාහරණයක් ලෙස අල්ලස් විරෝධී පනත, අල්ලස් කොමිසම වැනි ආයතන නියම ආකාර‍ෙයන්ම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය යි. කෙටිකාලීන විසඳුම් සේම ආර්ථිකය ස්ථාවරව ගොඩනැඟීම සඳහා දිගුකාලීන පියවර තැබීම අත්‍යවශ්‍යයි.

 

බුද්ධිකා බ්‍රාහ්මණගේ

ඡායාරූපය-සුදත් මලවීර

MH – Lake House & Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *