|

ජනාධිපතිවරණ සටනේ හැරෙන තැන – ජයවීර සෙනෙවිරත්න

 

ජනාධිපතිවරණ සටනේ හැරවුම් ලක්ෂයක් යයි කිව හැකි වර්ධනයක් පසුගිය දින කිහිපයේ දී දක්නට ලැබිණි. එය ආරමභ වුයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරාධපුර රැලියෙන් බව පෙනෙන්ට තිබේ.

තමන් කරන දේ කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට රනිල් අභියෝග කළේය.

අනුර කුමාර අභියෝගය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන්ගේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රැගෙන ඒම බව යි.

සජිත් ප්‍රේමදාස මහතා ද මෙතෙක් නොකී කතාවක් කීවේ ය. තමන් ජනාධිපති වී සියලු ජනතා ප්‍රශ්න විසඳන බව නියමින් සිටි සජිත් දැන් හදිසියේ කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව යි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මෙතෙක් කතා නොකර සිටි සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස ඒ ගැන පොරොන්දු දෙන්නට පෙළඹුණේ මැතිවරණ සටන පෙර සිතුවාට වඩා තියුණු බව තේරුම් ගත් නිසා විය යුතු ය.

සජිත් ප්‍රේමදාස මහතා අග රදගුරු මැල්කම් රන්ජිත්  කාදිනල් හිමියන්  මුණ ගැසී තවත් පොරොන්දුවක් දුන්නේ ය. එනම්, පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනෙන බවට ය. අනුර කුමාර දිසානායක මහතා ඊට පෙර අග රදගුරු තුමා හමු වී තිබිණි.

වඩාත් වැදගත් වන්නේ එම හමුවීමෙන් පසු කාදිනල් තුමන් කළ  ප්‍රකාශය යි. එතුමා කීවේ සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට හැර වෙනත් පක්ෂයකට ඡන්දය නොදෙන ලෙස යි.

ජනාධිපතිවරණ තරඟ  බිමේ අපේක්ෂකයින් 39 ක් සිටියත් සැබෑ තරගය ඇත්තේ තිදෙනකු අතර බව කවුරුත් දන්නා කාරණයකි. එබැවින් සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට හැර වෙනත් පක්ෂයකට ඡන්දය නොදෙන ලෙස කාදිනල් තුමා කියන විට ඒ කියන්නේ කුමක්ද කියා අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නොවේ.

මෙයින් එක්  දෙයක් පැහැදිලි ය. ජනාධිපති රනිල්ට ඡන්ද නැතැයි ද, ඔහු නියත ලෙස පරිදින බව ද, මෙතෙක් කියමින් සිටි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන දෙක ම දැන් රනිල් ප්‍රබල අභියෝගයක් ලෙස භාරගෙන ඇති බව යි.

මෙම තත්ත්වය ඇතිවීමේ ආසන්න හේතුව රනිල්ගේ අනුරාධපුර රැලිය විය හැකි ය. එසේ වුවත්, ඊට පෙර සිදු වූ පිල් මාරු මගින් ද මෙම අභියෝගය ලැබුණු බව පෙනෙන්නට තිබිණි.

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉවත්ව ගොස් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමින් ය. එම පක්ෂයේ රාජිත සේනාරත්න, ඒ එච් එම්  ෆවුසි ඇතුළු 12 දෙනෙකු මේ වන විට රනිල්ට සහය පළ  කොට ඇත.

සජබ සමග සිටි පක්ෂ අතරින් කුමාර් වෙල්ගම සමග නව ලංකා නිදහස් පක්ෂය සහය දෙන්නේ රනිල්ට ය. රිෂාඩ් බදියුදීන් සජිත්ට සහය දෙන විට ඔහුගේ පක්ෂයේ ඉතිරි මන්ත්‍රීවරු තිදෙනා රනිල්ට සහය පළ  කළහ. රවුෆ් හකීම් සජිත්ට සහය දෙන විට මුස්ලිම් කොන්ග්‍රසය ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන එක ම මන්ත්‍රීවරයා රනිල්ට සහය පළ  කළේ  ය.

සමගි ජන බලවේගයේ තවත් ප්‍රබලයකු වූ චම්පික රණවක මහතා පක්ෂයෙන් ඉවත්ව සිට පසුගිය දා යළි  සජිත්ට සහය පළ  කළේ  ය. නමුත් ඔහු සමග සිටි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී ය. ශිරාල්  ලක්තිලක ඉවත්ව ගියේ ය.

වතුකරයේ ද සජබ සිටි ප්‍රබලයින් කිහිප දෙනෙකු රනිල්ට සහය පළ  කොට ඇත. ඒ රනිල් සමග සිටි පිරිසට අමතරව ය .  පෙනෙන්නට තිබෙන්නේ වතුකරයේ ඡන්ද බෙදී යන බවයි.

උතුරින් දෙමළ  අපේක්ෂකයකු ඉදිරිපත් කොට ඇත. ඩග්ලස් දෙවානන්දා  සහ තවත් අය  රනිල්ට සහය දෙති. නැගෙනහිරින්  පිල්ලෙයාන්ගේ සහය රනිල්ට ය. දෙමළ  ජාතික සන්ධානයේ තීරණයක් තව ම නැත. බොහෝ දුරට පෙනෙන්නට තිබෙන්නේ දෙමළ  ඡන්ද බෙදී යන බවකි.

දකුණේ ඡන්ද ගැන මෙතෙක් තිබු කතාව නම් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර සටනක් පවතින බව යි. බොහෝ දෙනා කියමින් සිටියේ රනිල්ට ඡන්ද නැති බව යි. ඔහු සිටින්නේ තෙවැනි තැන බව යි. නමුත් ඒ වන විට රනිල් තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කොට තිබුණේ  නැත . නමුත් දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. අනුරාධපුර සල්ගාදු පිටියේ රැළියෙන් සහ ඉන් පසු සජිත්ගෙන් සහ අනුරගෙන් පළ වූ ප්‍රතිචාර මගින් පෙන්නුම් කරන්නේ එම තත්ත්වය යි.

අනුරට හදිසියේ අර්ජුන් මහේන්ද්‍රන් මතක් වන්නේ රනිල්ගේ අභියෝගය සුළු කොට තැකිය නොහැකි බව පැහැදිලි වූ නිසා ය. බදු අඩු කිරීමේ මැතිවරණ පොරොන්දු තොගයක් නිකුත් වන්නේ ද ඒ නිසා ම ය.

සජිත් වැටී සිටින්නේ හැමෝට ම හැම දෙයක් ම පොරොන්දු වන තත්ත්වයකට ය. ඔහු නොදෙන පොරොන්දුවක් නැති තරම් ය. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බව දකුණට කියන ගමන් උතුරට කියන්නේ පොලිස් බලතල ඇතුළු 13 සංශෝධනය සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කරන බව යි.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ට දඬුවම් දෙන්නට කාදිනල් හිමිට පොරොන්දු වී රනිල්ට ඡන්දය දෙන්නට එපා කියා නොකියා කියවා ගන්නේ ද තත්ත්වය බරපතළ  වී ඇති නිසා ය.

කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාරයෙන් ද පෙනෙන්නේ දැන් තත්ත්වය එතුමාට සුළු කොට නොතැකිය හැකි තරම් බරපතළ  වී ඇති බව යි.

පසුගිය දින කිහිපය මෙරට ජනාධිපතිවරණ සටනේ හැරවුම් ලක්ෂයක් වූ බව පෙනී යන්නේ දේශපාලඥයින්ගේ මෙම හැසිරීම් තුළිණි .

මෙයින් පෙන්නුම් කරන්නේ ඉදිරි මාසයක කාලය දේශපාලනයේ දරුණු සටන් සිදුවන කාලයක් වීමට නියමිත බව යි.

ජයවීර සෙනෙවිරත්න

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *