|

නිහඬ බහුතරයේ හඬ රනිල්ද? – අජිත් පැරකුම් ජයසිංහ

presidential election 2024 ranil wickramasinghe

රනිල් ජනාධිපතිවරණයෙන් ජයගත යුත්තේ ඕනෑම කෙනෙකුට වැටහෙන සරල හේතුවක් නිසාය. එනම්,  ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට රනිල් සමත් විය. ඒවා අති දුෂ්කර ආර්ථික ප්‍රතිසංස්කරණ වූ අතර දැඩි විරෝධයකට ද තුඩු දුන්නේය. එහෙත්, රනිල් ඒ සියල්ල කළමනාකරණය කරගන්නට සමත් විය. පක්ෂ භේදයකින් තොරව සෑම අංශයකම සහයෝගය දිනාගෙන දක්ෂ ඇමති මණ්ඩලයක සිට අප වැනි ස්වේච්ඡා ආධාරකරුවන් දක්වා බලමුළුගැන්වීම් කරගැනීමට රනිල් සමත් විය.

රට නැවත බංකොලොත් වීම වළක්වා ගැනීමට නම්, මෙතෙක් සාර්ථක වූ මේ මාර්ගයේ ඉදිරියට යාම මිස වෙනත් විකල්පයක් නැත. ජනප්‍රිය රැල්ලට යට වී IMF ගිවිසුම වෙනස් කරන බව කියන සජිත් ප්‍රේමදාස වැනි නායකයකු පත් නොකළ යුත්තේම එම නිසාය.

අනුර කුමාර දිසානායක දැන් මේ මාර්ගයේ ම යන බව කියයි. එය නිවැරදි බව තේරුම් ගැනීමට ඔහුට කෙතරම් කලක් ගියාද? ඔහු තව සංවර්ධනය විය යුතුය. ඒ සඳහා  ප්‍රබල විපක්ෂයක් සමග අවුරුදු පහක් වැඩ කරන්නට අනුරට අවස්ථාව ලබා දිය යුතුය.

හිටපු පාලකයන්ට එරෙහිව නැගෙන ප්‍රබලම චෝදනාවක් වන්නේ දූෂණයයි. දූෂණය නැති කිරීම බංග්ලාදේශ ක්‍රමයට කළ නොහැකිය. එය කළ හැක්කේ නීති සම්පාදනය මගිනි. මේ වන විට රජය ඉතා ප්‍රබල දූෂණ මර්දන පනතක් හඳුන්වා දී තිබේ. ජනක රත්නායකට දේශපාලන පක්ෂයක් විකිණීමට උත්සාහ කළ පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදි.

නව මැතිවරණ වියදම් නියාමන පනත තවත් වැදගත් නීති සංශෝධනයකි. එමගින් මැතිවරණයේදී අපේක්ෂකයන් විසින් කරනු ලබන වියදම් සීමා කරනු ලබන අතර සීමාව ඉක්මවා වියදම් කරන අපේක්ෂකයන්ට එරෙහිව ජනතාවට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය.

පසුගිය දෙවසර තුළ කරන ලද නීති සංශෝධන සංඛ්‍යාව 75ක් පමණ වන අතර තවත් 25ක් පමණ සූදානම් කර තිබිණි.

සොරකම් කළ දේපළ ආපසු ලබාගැනීමේ පනත ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත වැදගත් පනතකි.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරණ ව්‍යාපාරය ෂෝට් ඇන් ස්වීට් එකකි. එය දිනෙන් දින වේගයෙන් ඉදිරියට යමින් තිබේ. ජනමාධ්‍ය තලය දැනටමත් ග්‍රහණය කරගැනීමට රනිල් සමත් වී ඇත.

එහෙත්, බිම් මට්ටමේ ක්‍රියාකාරකම් තවමත් ආරම්භ වී නැත. බිම් මට්ටමේ සිටින ආධාරකරුවන්ට නායකත්වය සමග සම්බන්ධතා ගොඩනගා ගැනීම අවශ්‍යය. ඒ වෙනුවෙන් රනිල්ට සහාය දක්වන දේශපාලන පක්ෂවල සංවිධායකයන් වහ වහා ක්‍රියා කළ යුතුය. පුළුල් සන්ධානයක් නිසා ඉතා විධිමත් මධ්‍යගත සංවිධාන ව්‍යූහයක් අපේක්ෂා කළ නොහැකිය.  එහෙත්, සංවිධානමය සම්බන්ධතා අවශ්‍ය අයට ඒ සඳහා අවස්ථාව ලැබිය යුතුය. මිනිසුන් නායකයන් දැන හඳුනා ගන්නට කැමතිය. අනාගත රජයකට තම දුක්ගැනවිලි කියන්නට, උදව් උපකාර ලබාගන්නට මහජන නියෝජිතයන් සමග සම්බන්ධතා වැදගත්ය.

අප වැනි අයට නම් ඒ කිසිවක් අවශ්‍ය නැත. කිසිදු සංවිධානමය සම්බන්ධයක් නොමැතිව පවා අපි රට වෙනුවෙන් මේ වෙලාවේ රනිල්ට උපකාර කරන බව කිව යුතුය. එහෙත්, කවුරුන් හෝ කෙනෙකු අප හරහා සම්බන්ධතා අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට මග පෙන්වීමට හෝ අපට හැකියාවක් තිබිය යුතුය. මෙය දකින රනිල්ගේ නියෝජිතයන් ඒ ගැන සිතනු ඇතැයි අපේක්ෂා කරමු.

කලබල වෙන්නට දෙයක් නැත. ජනාධිපතිවරණයට තව මාසයක් ඇත. නිහඬ බහුතරයේ හඬ රනිල්ය.

– අජිත් පැරකුම් ජයසිංහ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *