පාර්ලිමේන්තු අනුමැතියක් හා ජනමතවිචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කොට ගැනීම අවශ්‍යයි – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක මනා පාලනය සඳහා අවශ්‍ය ව්‍යාකරණයක්ය යනුවෙන් සාමාන්‍ය පිළිගැනීමක් ඇත. එසේ වුව ද වර්තමාන අර්ථයෙන් ගත් කල ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාවක් යනු රටක ජනතාවගේ නිදහස පිළිබඳ වූ ව්‍යාකරණයක්ය යන්න දේශපාලන විද්‍යාඥයන්ගේ මතයයි.
මේ වන විට මෙරට පවත්නා ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව යල් පැන ගිය, 19 වතාවක් සංශෝධනයට පාත‍්‍ර වූ විවිධ අරමුණු සඳහා පැලැස්තර දමන ලද එකකි. එයින් 21 වන සියවසේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ජනතාවගේ නිදහස හා සමාන අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට නොහැකි බව එම ව්‍යවස්ථාව මුලින්ම හඳුන්වා දුන් දේශපාලන පක්ෂය ද ඇතුළු සියලූ දේශපාලන බලවේගයන් විසින් පිළිගනු ලැබ ඇත.
1977 දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය මෙම ව්‍යවස්ථාව හඳුන්වා දුන්නේ ජනතා නිදහස හෝ අයිතිවාසිකම් තහවුරු කොට දීමට නොව මේ වන විට යල් පැන ගොස් ඇති නවලිබරල්වාදී ආර්ථිකයක් ජනතාව පිට පැටවීම සඳහා ජනතාවගේ නිදහස සිමා කරමින් ඒකාධිපති පාලකයෙකුගේ ග‍්‍රහණයට මුලූ රටම නතු කොට ගැනීම සඳහාය. මෙම ව්‍යවස්ථාවේ නිර්මාර්තෘ ජේ ආර් ජයවර්ධන මුලින්ම කළේ 1972 ව්‍යවස්ථාවෙන් අගමැති වෙත තිබූ බලය හා නාමික රාජ්‍ය නායකයා යන දෙදෙනාම සතුව තිබූ සියලූ බලතල සහිත විධායක ජනාධිපති ධුරයක් බිහි කිරීමය. ජනතා ඡුන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුව මෙම ව්‍යවස්ථාව යටතේ බල රහිත රබර් මුද්‍රාවක් බවට පත් විය. ජයවර්ධන මහතාම පවසන ලද පරිදි පිරිමියෙකු ගැහැණියක බවට පත් කිරීම හා ගැහැණියක පිරිමියෙකු බවට පත් කිරීමේ බලය හැරුණු  විට අන් සියලූ බලතල විධායක ජනාධිපති ධුරය සතු විය. එමෙන්ම 1978 දී එක්සත් ජාතික පක්ෂ රජය විසින් සම්මත කොට ගන්නා ලද ව්‍යවස්ථාව සකස් කිරීම මෙන්ම සම්මත කිරීම ද සිදු කරන ලද්දේ අනෙකුත් දේශපාලන පක්ෂ හෝ ජනතාව නොවිමසා ඉතාමත්ම හිතුවක්කාරී ආකාරයෙන්ය.
ආරම්භයේ පටන්ම මෙරට සියලූ ප‍්‍රගතිශීලි හා වාමාංශික බලවේග මෙම ව්‍යවස්ථාවට විරුද්ධ විය. විශේෂයෙන්ම සියලූ වාමාංශික පක්ෂ එයට විරුද්ධව උද්ඝෝෂණය කරන ලද අතර මෙම මෙම ව්‍යවස්ථාවෙන් ඇති විය හැකි දුර්විපාක පැහැදිලි ලෙස පෙන්වා දෙණු ලැබිණි. එසේ වුව ද මෙම ව්‍යවස්ථාව මෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය ද වෙනස් කරන බවට ප‍්‍රතිඥා දෙමින් බලයට පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ ද විධායක ජනාධිපති ධුරයේ කිසිදු යහපත් වෙනසක් සිදු නොවුණා පමණක් නොව 2010 දී සම්මත කොට ගන්නා ලද 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට දිවි ඇති තෙක් බලයේ සිටීමට ද අවස්ථාව සලසා ගන්නා ලදී.
2015 දී එවක සිටි ජනාධිපතිවරයා පරාජයට පත් කිරීමට මෙන්ම එම වර්ෂයේදීම නව රජයක් බිහි වීමට ද මූලික හේතුව වූයේ පැවති ව්‍යවස්ථාව යටතේ දුර්දාන්ත පාලනයකට මං පෑදීමෙන් හා සිවිල් යුද්ධයෙන් පසුව රට තුළ ජාතික සමගිය තහවුරු කිරීමට පැවති රජය අසමත් වීම නිසාය. එමෙන්ම නව රජය බලයට ගෙන ආ බහුතරයේ ඒක් ප‍්‍රධාන අපේක්ෂාවක් වූයේ විධායක ජනාධිපති  ක‍්‍රමය සහිත පවතින් ආණ්ඩුක‍්‍රමව්‍යවස්ථාව වෙනස් කොට ජනතා නිදහස හා සමානාත්මතාව තහවුරු කිරීමට සමත් නව ව්‍යවස්ථාවක් බිහි කොට ගැනීමය.
ව්‍යවස්ථා වෙනසක් සඳහා වූ ජනතා අපේක්ෂාව ප‍්‍රථම පියවරේ දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපති බලතලවල සමහර අනුචිත අංග ඉවත් කිරීමට හා නව කොමිෂන්  සභා පත් කිරීම වැනි යහපත් ප‍්‍රවණතාවන් ඇති වී තිබේ. එහෙත් ඒවාට ප‍්‍රමාණවත් නිසි බලතල නොමැති බව මේ වන විට පැහැදිලි වී ඇත. එසේම  ව්‍යවස්ථානුකූල හේතු නිසා සමස්ත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා තුනෙන් දෙකේ පාර්ලිමේන්තු අනුමැතියක් හා ජනමතවිචාරණයකින් නව ව්‍යවස්ථාව සම්මත කොට ගැනීම අවශ්‍යව ඇත.
මේ තත්වය තුළ සමස්ත පාර්ලිමේන්තුව සහභාගී වන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොටගැනීමේ ක‍්‍රියාදාමය දැන් අරඹා තිබේ. ඒ සඳහා මහජන අදහස් විමසා වාර්තාවක් සකස් කොට ප‍්‍රස්ද්ධියට පත් කරනු ලැබ ඇත. ව්‍යවස්ථාවෙන් සම්මත විය යුතු රජයේ ස්වභාවය, ජනාධිපති හා අගමැතිගේ බලතල, බල හවුල්කාරීත්වය හා මැතිවරණ ක‍්‍රමය පිළිබඳ කරුනු සොයා බැලූ කම්ටුවල වාර්තා ඉදිරිපත් වී ඇත.
ඊ ලඟ පියවර විය යුතුව ඇත්තේ මෙහෙයුම් කාරක සභාව මේ සියලූ වාර්තා විමසා බලා අවසාන ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළු විය යුතු ස්ථාවරයන් තීරණය කිරීම හා අදාළ ආයතන විසින් නව ව්‍යවස්ථා කොටුම්පත සකස් කිරීමය. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු ජනමතවිචාරණයක් සඳහා ඉදිරිපත් විය යුතුය. පසු ගිය ව්‍යවස්ථා දෙක මෙන් නොව නව ව්‍යවස්ථාව ජනතාවගේ අනුමැතකිය ලැබූවක් විය යුතුය.
මේ ක‍්‍රියාදාමයට බාධා කරන ප‍්‍රවණාතා කීපයක් රට තුළ මතුවෙමින් එන බව දැන් දැන් දක්නට ඇත. විශේෂයෙන්ම පොදු විපක්ෂය ලෙස හඳුන්වා ගනු ලබන කණ්ඩායම මේ අවස්ථාවේ තම ප‍්‍රධාන අරමුණ නව ව්‍යවස්ථාව සම්මත කොට ගෙන දශක ගණනක් තිසිසේ මෙරට ජනතාව අපේක්ෂා කළ අරමුණ අමතක කොට පවත්නා රජය පුපුරවා හැරීම සිය ප‍්‍රමුඛ කාර්යය බවට ප‍්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබේ. මෙය ජනතාවගේ අපේක්ෂාවන්ට එරෙහි වීමක් මෙන්ම පවත්නා ව්‍යවස්ථාව හඳුන්වා දුන් මොහොතේ පටන් එයට එරෙහි වූ තමන් වටා සිටින බලවේගවල අපේක්ෂාවන්ද පාවා දීමකි. එබැවින්  නව ව්‍යවස්ථාවක් සම්මත කොට ගෙන මෙරට ජනතාවගේ නිදහස හා සමානාත්මතාව තහවුරු කිරීමට ඉදිරි පත් වන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
එමෙන්ම වර්තමාන සම්මුති රජය හා එහි නායකත්වය ද දැනට ඔවුන් විසින් අනුගමනය කරමින් සිටින ඇලි මෑලි ප‍්‍රතිපත්තියෙන් බැහැර වී නව ව්‍යවස්ථාවක් සකස් කොට ජනමතවිචාරණයකට යෑම පිළිිබඳව ස්ථිරසාර ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුව ඇත. නව ව්‍යවස්ථාවක් රැුගෙන ජනතාව ඉදිරියට යැමේ තම අධිෂ්ඨානය නොබියව ප‍්‍රකාශ කරන මෙන් අපි විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

සටහන – මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *