වෙනසක දස වැදෑරුම් සැපත කළ දෑ නොකළ දෑ සහ කළ යුතු දෑ – නිශාන්ත කමලදාස

 

ජන 8 දා වෙනසක් සිදු විය. ඒ වෙනස ගැන මිනිසුන් තුළ විවිධ මත තිබේ. සමහරුන්ට වෙනස සැප ය. ඒ සැප වාහන තනතුරු භවභෝග සම්පත් හා වෙන ඉල්ලම් ලැබී තිබීම නිසා ය. ඒ වෙනදා මෙන් ම අතිශයින් අතළොස්සකට ය. රටේ බහුතරයකට එය සැපක් වී ද? නැතිනම් දුකක් වී ද? මේ ලිපිය ඒ ගැන විමසන්නට ය.

අඩුපාඩු කොතෙක් තිබුන ද ඒ වෙනස නිසා රට තුළ ඇති වුන තීරණාත්මක සහ සාධනීය වෙනස් කම් කීපයක් ගැන අපි අපේ  අවධානය මුලින් යොමු කරමු.

පළමුව රජ පවුලක් බවට පත් වෙමින් තිබුණු කල්ලිය පෙරළා දැමීම ය. ඒ හරහා ගොඩනැගෙමින් තිබු වැඩවසම් වහල් මානසිකත්වයට තිත තැබීම ය. මහාචාර්ය නලින් ද සිල්වාට පවා කොන්ද නමා රජකුමරුවන්ට ආචාර සමාචාර පවත්වන්නට සිදු වූ කාලකන්නි සමය අවසන් ව තිබිම ය. රජ පවුල වෙනුවෙන් අවසානය දක්වා පෙනී සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවා ආරක්ෂක ලේකම්වරයාට බියෙන් තීරණයක් ගන්නට බැරි ව ළතැවෙමින් සිටි සමය අවසන් ව තිබීම ය. ගහලා හෝ මරලා පවත්වාගෙන යන්නට අන්තේවාසියකයන්ගෙන් අවසර ලැබුණු ඒ සාදාකාලික කරන්නට නියමිත වූ රාජ්‍ය සමය අවසන් වීම ම රටට වූ භාග්‍යයකි.

පෙර මෙන් ජන උද්ඝෝෂණ මර්දනයට නිදහසේ එළි බැහීමට ආණ්ඩුව මැළි කමක් දැක්වීම ඒ නිසා සිදු වූ අමතර කාරණයකි. එය මේ පාලනය සම්බන්යෙන් අප දකින වැදගත් දෙවැනි වෙනස හැටියට දැක්විය හැකි ය.  දිනපතා සිදු වන උද්ඝෝෂණ රැල්ලට එරෙහිව රජයේ ප්‍රතිචාරයේ යම් වෙනසක් අප දකින්නේ ද ඒ අනුව ය. අනවශ්‍ය ආකාරයට පිස්සු කෙළීමට රජයට හැකි ඉඩ යම්තාක් දුරකට ඇවිරී තිබීම අතින් එය සාධනීය ය.

කොමිසන් සභා

ව්‍යවස්ථාවට එක් කරන ලද 19 සංශෝධනය සහ ඒ හරහා ඇති කරන ලද ස්වාධීන කොමිසම් සභා ක්‍රියාත්මක වීම අප දකින තෙවැනි සාධනීය කාරණය ය. ඒ නිසා දේශපාලන අධිකාරියට කෙළින්ම වැදගත් ආයතන සම්බන්ධයෙන් අතපොවන්නට නොහැකි වටපිටාවක් ඇති ව තිබේ. විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන අයට ලැබී ඇති නිදහසින් එය පෙනේ.

ඒ නිදහසට නව අරුතක් එක් කරමින් තොරතුරු දැන ගැනීමේ පනත ද දැන් සම්මත කර ගෙන තිබේ. එය අප දකින සිව්වැනි සාධනීය කාරණය ය. තවමත් එයින් ලද හැකි ප්‍රයෝජන කවරේදැයි කීමට කල් මඳ නමුත් එයින් බොහෝ අපරාධ හා වංචාවලට තිත වැටෙනු ඇතැයි අපේක්ෂිත ය.

පාර්ලිමේන්තු වාද විවාද  සජීවීව නැරඹිය හැකි වීම ද පනතට ඒමට පෙර සිටම ඇති කර තිබූ තොරතුරු දැනගැනීම සම්බන්ධ තවත් සාධනීය පැති කඩකි. මෙතෙක් ඒවා ජනතාවට ලැබුණේ මාධ්‍යවේදීන් විසින් පෙරා සකස් කිරීමෙන් පසු ය. දැන් එසේ නැතිව අමුවෙන් ඒවා දැක බලාගත හැකි ය. තවමත් ඒවා භාවිතා කරමින් තම නියෝජිතයන් පාලනය කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම කණගාටුදායක වුව ද ඉදිරියේදී හෝ එවැනි තත්වයක් ඇති විය හැකි ලෙස ඒ විවාදයන් විවෘත වීම ම සාධනීය ය.

තොරතුරු අයිතිය

මෙසේ තොරතුරු දැන ගැනීම හරහා රාජ්‍ය පාලකයන්ට හා නිලධාරීන්ට පීඩනයක් ඇති කිරීමට මෙසේ ජනතාවට ඉඩ විවර වීම පොදුවේ යහපත් කාරණයකි.

පස්වැන්න බිය නැති වීම ය. මැර බලය හා තර්ජන වලට යටත් ව දිවි ගෙවන්නට නියමිතව තිබූ ජනතාවට යම් නිදහසක් ඉන් පසුව හිමි විය. පැහැර ගෙන යෑම්වලට තිතක් තැබිණි. විරුද්ධව ලියන්නට ඉඩ ලැබිණි. විරුද්ධව හඩ නගන්නට ඉඩ ලැබිණි. සුදුවෑන් පිළිබඳව බිය නැතිව එළිපිට රජය විවේචනය කිරීමට විශේෂයෙන් නායකයන් විවේචනය කිරීමට ඉඩ හසර ලැබිණි. සියල්ලන් දැන් ඉන්නේ වීදුරු ගෙවල්වල ය. එයම පරිස්සම් වීමට ඔවුන්ට හේතුවක් වනු ඇතැයි සිතමු. එසේ නොමැති වූවන් ට හූ කියන්නටවත් පුළුවන් වීම ම යහපත් ඉඩකි.

වරදට දුවම්

සයවෙනුව වංචා කළ උන් අල්ලා ගැනීමට දැල එලා තිබීම ය. ඒ තුළ පෙර මෙන් හිතු මතේ වැඩ කිරීමට ඉදිරිපත් නොවන නිලධාරීන් බිහිව තිබීම ය. පරණ ආණ්ඩුවේ අයට දඩුවම් දීම පමණක් කරන්නේ වුව එය දිගුකාලීනව මේ ආණ්ඩුවේ හොරුන්ට ද දැල එලීමට හේතුකාරක වනු ඇත්තේ ය. බලය සදාකාලික නොවන නිසා ය. දඩුවම් කිරීම වෙනුවට ලිස්සා යෑමට හෝ ඩීල් ගැසීමට ඉඩහළහොත් වංචාව දිගින් දිගට ම යෑමට එය ම හේතුවක් වනවා ඇත. ඒ නිසා මේ කාරණය තවමත් තියෙන්නේ වැට උඩ ය. එහෙත් පටන් ගැන්ම වුව ඉදිරියක් ලෙස දැකීමට අපි කැමැත්තෙමු. මක් නිසා ද මේ ආරම්භය ආපසු හැරවීම ලෙහෙසි වෙන එකක් නැති නිසා ය.

සත් වෙනුව රජයට එල්ල වී ඇති චෝදනා වලට එරෙහිව ද පරීක්ෂණ පැවැත්වීම ය. මහබැංකුවේ හිටපු අධිපති වරයාට විරුද්ධව පැවැත්වෙන පරීක්ෂණවලදී නිලධාරීන් අතිශය නිදහසක් භුක්ති විඳිමින් සියල්ල හෙළි කිරීම මෙහිදී කැපී පෙනෙන කාරණයකි. දැන් ඉතින් සඟවන එක බොරු ය.

ආණ්ඩුවේ ඇතැම්  කටයුතු ආණ්ඩුවේ ම අයගේ විවේචනයට ලක් ව තිබීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ ය සෙසු කාරණා සම්බන්ධයෙන් ද පැමිණිලි රාශියක් විවිධ කොමිසම් සභාවලට ලැබී ඇති වටපිටාවක ඒවා විසඳෙනු ඇත්තේ කෙසේ දැයි ජනතාව විමසිල්ලෙන් සිටිති.

ඒකාබද්ධ විපක්ෂය ලෙස කෑකෝ ගසන කණ්ඩායමක පැවැත්මට ඉඩ දී තිබීම ද ඒ අතින් සාධනීය කාරණයකි. ආණ්ඩුව ගන්නා හැම පියවරක් දෙස ම සූක්ෂම දෑසින් බලන කණ්ඩායමක පැවැත්ම රටකට අවශ්‍ය ය.

අටවෙනුව ජාත්‍යන්තර වශයෙන් කොන් වෙමින් තිබුණු රට ඉන් ගොඩ ඒමට එක්තරා දුරකට සමත් වීම ය. GSP + සහනය පමණක් නොව යුරෝපා කොමිසමට අයිති රටවලට පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට හැකි වීම ද විශේෂ ය. චීනයේ පමණක් නොව ඉන්දියාවේ ද යුරෝපා රටවල් පමණක් නොව ජපානය වැනි රටවල ද හොඳ හිත දිනාගත හැකි වීම ද විශේෂ ය. මේ තත්වයෙන් රටට හා ජනතාවට ලැබෙන වාසි එක්වර ප්‍රාදූර්භූත වන්නේ නැත. එහෙත් දිගුකාලීනව එය රටට විශාල වශයෙන් යහපත් තත්වයක් උදාකරනු ඇත.

සංහිඳියාව

නව වෙනුව දෙමළ ජනතාව සම්බන්ධයෙන් ද මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ද තිබුණු අතිශය ප්‍රතිගාමී රාජ්‍ය ප්‍රතිපත්තීන් වෙනස්කම් වලට ලක් ව තිබීම ය. ජාතික ගීය දෙමළ බසින් ගැයීම වැනි සංකේතාත්මක වෙනස් කම් පමණක් නොව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ විශේෂයෙන් ඔවුන් සතුව තිබී පසුව අත් පත් කරගත් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් නිදහස් කිරීම වැනි ප්‍රායෝගික කාරණා ද ඔවුන් තුළ නව අපේක්ෂා ඇති කර තිබේ. (ඔවුන් තුළ ඇති ව තිබෙන අවිනිශ්චිතාවය හා සුන් වෙමින් යන බලාපොරොත්තු පිළිබඳව මේ ලිපියේ පසුව වෙනම කතා කර තිබේ)

දස වෙනුව ආයතන කීපයක හැරුණු  විට බොහෝ තීරණාත්මක ආයතනවල ප්‍රධානීන් හැටියට පත් කර ඇති බොහෝ දෙනෙකු ඒ ක්ෂේත්‍රයන් හි ප්‍රමාණික බුද්ධිමතුන් වීමත් ස්වාධීන පුද්ගලයන් වීමත් ය. කලින් සිටි මහබැංකු අධිපතිවරයාගේ පත්වීම වැනි පත්වීම් කීපයක් හැරෙන්නට ඉතිරි පත්වීම් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට පවා ලොකු විරෝධයක් කළ නොහැකි වූයේ ඒ නිසා ය.

අතපසු වීම්

කළ දෑ එසේ දැක්වුව ද නොකළ දෑ බොහෝ ය. මග හැර ඇති දෑද බොහෝ ය. කළ යුතුව තිබෙන දෑ බොහෝ ය. දැන් අප විමසන්නට යන්නේ ඒ කාරණයන් ය.

උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට තවමත් කුඩම්මාගේ සැළකිල්ල ලැබීම ඒ අතින් ප්‍රධාන ය. බලය බෙදීම පිළිබඳව තවමත් ඇත්තේ සම්මුතියකට නොආ කතා පමණ ය. අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් ද ඉඩම් හා නිවාස අහිමිවූවන් සම්බන්ධයෙන් ද වැඩ කෙරෙන නොකෙරන ගාන ය. කළේ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුවන්නේ ඇල් මැරුණු ගණන ට ය.

රජයේ අරමුදල් අරපරෙස්සමෙන් භාවිතා නොකර හිතු මතේ වියදම් කරමින් තවමත් පිස්සු කෙළින අවස්ථා රැසක් ම අප හමුවේ උත්තර නැතිව තිබේ. බැඳුම්කර ප්‍ර‍ශ්නය සහ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට අදාළව කරනු ලබන අනවශ්‍ය වියදම් සහිත මේ ලයිස්තුව ද දිග ය.

අන්තගාමීන් මැඩලීමේ ලා නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ තවමත් දුවන්නේ ඉබි ගමනිනි. ඒ නිසා ම අන්තවාදයට සමහර තැන්වල තටු ලැබී තිබිණි.

ආර්ථිකය  ගැන ඇත්තේ අවිනිශ්චිතතාවය පමණකි. යෝජනා රැසක් ඇතත් අර්බුදයෙන් ගොඩ ඒමට කෙටි කාලීන සැළසුම් නැති ගාන ය. පහළ වැටෙන රුපියල ද ඉහළ යන පොලී අනුපාතයන් ද අපට කියන්නේ ඒ කතාව ය.

ගතයුතු මග

ප්‍රවාහනය දිනෙන් දින අර්බුදයට යයි  බස් මාෆියාවෙන් බැට කෑ ජනතාව දැන් ත්‍රීවීලර්වල මැරයන් සමග ගනුදෙනු බේරුම් කරගන්නට බැරි ව අසරණව සිටිති. නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහි විවිධ බලවේග ක්‍රියාත්මක වේ.

ජනාධිපතිතුමාට ඇති ප්‍රධාන ප්‍රශ්නය තමන්ගේ පක්ෂය  හසුරුවා ගැනීම ය. අගමැති තුමාගේ ප්‍රශ්න ද ඊට බෙහෙවින් සමාන ය.

තමන්ගේ මිනිසුන් තමන් වෙත රඳවා ගැනීමට කළ හැක්කේ කවරක් ද ශ්‍රීලනිපය සමග දීගය ගෙන යා හැක්කේ කෙසේ ද යන්න ඒවා අතර ප්‍රධාන ය. මේ දෙපළට ඊට වඩා දේවල් කරන්නට ඇතැයි පෙන්වා දිය හැක්කේ ජනතාවට ය.

නොකෙරුණු ඒවා කරවා ගැනීමට ජන බලය මෙහෙයවීම ට වගකිව යුතු පුරවැසියන්ගේ ද යුතුකමක් තිබේ. කරන වැරදි වලට එරෙහිව ජනයා දැනුවත් කොට මෙහෙයවීම ද එයට ම එකතු කළ යුතු ය.

බල කිරීමෙන් හැරෙන්නට කුමන ආණ්ඩුවකින් වත් අපට අවශ්‍ය වැඩ කරවා ගත නොහැකිය යන සත්‍යය පසක් කර ගනිමින් ය.

ඊළග ආණ්ඩුවක් ලවා හෝ අපට අවශ්‍ය වැඩ කරවා ගත හැක්කේ මේ ආණ්ඩුවට ඇති කරන පීඩනය ඔස්සේ ය. ජනතාව ගොනාට අන්දවාගෙන හිතුවක් කළ හැකි ව තිබූ කාලය අවසන් බව ආණ්ඩුවට ද බලයට පත් වෙන්නට තතනන හැමට ම පෙන්වා දිය හැක්කේ ද එමගින් පමණකි.

වෙනස සැප ද යන්න තීරණය කරනු ඇත්තේ ආණ්ඩුව පමණක් නොවේ. ආණ්ඩුව සමග සාධනීය ගනුදෙනුවකට සූදානම් වන හෝ නොවන ජනතාව අතේ ද එහි අනෙක් කොන තිබේ.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *