|

අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දින යෙදී ඇති අතර ඒ සදහා 30 කට අධික අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීමට නියමිතය. එහි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලෙස වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඉදිරියට පැමිණ ඇත.

මෙම ජනාධිපතිවරණය සුවිශේෂි වන්නේ එය පැවැත්වෙන්නේ ඉතිහාසයේ ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයෙන් මිදීම සදහා වන ක්‍රියාවලිය අතරමැද වීමය. මේ අර්බුදය සුළුවෙන් තැකිය හැකි අර්බුදයක් නොවන අතර ලංකාවේ සමස්ත රාජ්‍ය දේහයම විනාශ කිරීමට මේ අර්බුදය සමත්ය. කෙසේ හෝ මෙම අර්බුදය රාජ්‍ය දේහය විනාශ වන තත්වයෙන් මුදවා ගැනීමට ඉතා සංකීර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු කිරීමෙන් සහ ඒ ක්‍රියාවලිය සදහා වන මහජන විරෝධය කළමණාකරනය කිරීමට හැකි වීමෙන් සහ ජාත්‍යන්ර සංවිධාන හා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෙන් වත්මන් ජනාධිපතිවරයාට හැකි විය.  කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසන් වාර්තාවට අනුව ලංකාව තවමත් සිටින්නේ පිහි තුඩක් මතය. මහ බැංකු අධිපතිවරයාට අනුවද මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙන් පිට පැනීම හේතුවන්නේ නැවත ප්‍රපාතයකට ගමන් කිරීමටය.

වර්තමාන ජනාධිපතිවරයාගේ අදහස හා දැක්ම පැහැදිලිය. ඔහුට අවශ්‍ය වන්නේ මෙම ආර්ථික ප්‍රතිංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමය. එනම් ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණයක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමය. රනිල් වික්‍රමසිංහගේ දීර්ඝ කාලීන දේශපාලන භාවිතය හා දර්ශනයද එයය. ජනතාව දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයා ප්‍රතික්ෂේප කරන ලද හේතුවද ඔහු නොබියව ඔහු විශ්වාස කරන ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. රනිල් වික්‍රමසිංහ වර්ෂ 2001දී අගමැති ලෙස පාර්ලිමේන්තු මැතිවරණයකින් ජයගෙන පත් වුනේද වර්තමානයේ තරම් නොවුනද රටේ ආර්ථික පරිහානියක් ඇති වුනු අවස්ථාවකය. රටේ ආර්ථික මර්මස්ථාන ප්‍රහාරයන්ට ලක් වී රටේ ආර්ථික වර්ධනය සෘණ මට්ටමට පැමිණි අවස්ථාවකය. ඔහු බලයට පත් වීමෙන් පසු ඒ අවස්ථාවේදීද කඩිනමින් ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණයකට රට යොමු කල අතර රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකය වෙනස් කිරීමේ අභියෝගාත්මක ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. එම ක්‍රියාවලිය මගින් එකී ආර්ථික පරිහානිය වළක්වා ගනිමින් ආර්ථික වර්ධනය යළිත් ධන මට්ටමකට ගෙන ඒමටත් අත්‍යවශ්‍ය සේවා සැපයීම විධිමත් කිරීමටත් හැකියාව ලැබී තිබියදීත් ජාතික සම්පත් විකුණන බවටත් අධිරාජ්‍යවාදී ඒජන්තයකු බවටත් නව ලිබරල්වාදය ක්‍රියාත්මක කරන බවටත් වූ සම්ප්‍රදායික රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයේ පංගුකාරයන් විසින් ගෙන එනු ලබන සම්ප්‍රදායික විරෝධය ඉස්මතු කිරීමට සමත් වූ ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ වූ විපක්ෂ කණ්ඩායම විසින් ඔහුව කෙටි කාලයකින් බලයෙන් පහ කිරීමට සමත් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වර්තමානයේ ක්‍රියාවට නගන දර්ශනයද ඓතිහාසිකව ඔහුගේ දර්ශනයද පැහැදිලි වුවද විපක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙකු වන සජිත් ප්‍රේමදාසගේ සහ අනර කුමාර දිසානායකගේ දර්ශනය හා දැක්ම අපහැදිලි වුවද විපක්ෂයෙන් ජන අරගල සන්ධානය යටතේ ඉදිරිපත් වන නුවන් බෝපගේගේ සහ එම සන්ධානයේ දැක්ම රනිල් වික්‍රමසිංහගේ ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඉදුරාම පටහැනි මාක්ස්වාදී න්‍යායන් මත පිහිටන ආර්ථික මාදිලියකි. එය යථාර්තයක් කර ගැනීම කොතරම් අපහසු වුවද ඔවුන්ගේ දාර්ශනිකභාවය පැහැදිලිය.

ඉතා සංකීර්ණ හා ගැඹුරු ආර්ථික අර්බුදයකින් පෙළෙන රාජ්‍ය යේ විනාශය වුවද වැරදි ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමෙන් ඇති විය හැකි මෙවන් අවස්ථාවක ස්ථිරසාර දර්ශනයකින් යුතු නායකයකු ජනාධිපතිවීම වැදගත්ය.

විපක්ෂයේ අනෙකුත් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර  දිසානායක මහතා එක් වරෙක මෙම ආර්ථික ප්‍රතිංස්කරණ සදහා එකග බව කියයි. වැල් පාලමේ ඉතුරු ටික ගමන් කල යුතු බවත් අයිඑම්එෆ් එකගතා  එපා කියන්නේ නැති බවත් කියයි.  නමුත් ආර්ථික පරිවර්තන පනතට පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබා නොදෙන ඔවුහූ ජනතා ඡන්දය ලබා ගැනීම සදහා ආණ්ඩුවෙන් වෙනස් වීමට අයිඑම්එෆ් එකගතා සංශෝධනය කරන බව කියයි. ප්‍රාථමික ගිණුම අතිරික්තයක් කිරීමේ අයිඑම්එෆ් එකගතාවය ගැන කතා නොකරන ඔවුහූ උපයන විට ගෙවීමේ බද්ද අඩු කිරීම ගැන කියයි. පදනමක් ලෙස ඔවුන් දෙදෙනාම ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ නොබියව ක්‍රියාත්මක කිරීමට උත්සහ නොකරන බව පැහැදිලිය. මේ මොහොතේ ඒ සදහා පෙනී සිටින්නේද නැත. ඔවුන් දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයේ වාසි ලබන ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් වන කණ්ඩායම ආකර්ශනය කිරීමේ මූලාපායක් දියත් කර ඇත. ඒ ඔවුන්ගේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකය වෙනස් නොකරන බව පැවසීමයි. රාජ්‍යය වෙළද පොලෙන් ඉවත් කිරීම ධනේෂ්වර ආර්ථික ප්‍රතිංස්කරණ සදහා අත්‍යවශය් වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය ව්‍යාපාර වල සේවක උද්ගෝෂන ඉදිරියට ගොස් ඒවා සුරකින බව කියයි. අනුර කුමාර සිය රාජ්‍ය සංස්ථා වෘත්තීය සමිති ඉදිරියට ගොස් කියන්නේද මේ කරුණමය. එසේ කියන ගමන් අයිඑම්එෆ් සමග ඉදිරියට යන බවත් කියයි. මින් පෙනෙන්නේ ඔවුන්ගේ දාර්ශනික දිළිදු බවයි.

සජිත් ප්‍රේමදාසට සිදු වී ඇත්තේ රනිල් අයිඑම්එෆ් එකගතා නිසි ලෙස ක්‍රියාත්මක කරන බැවින් එකී එකගතා සදහා සම්පූර්ණයෙන් සහය දෙන බව ප්‍රකාශ කිරීමට නොහැකි වීම සහ එසේ කීමෙන් රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයේ වාසි ලබන්නන්ගේ ඡන්දය නොලැබී යාමේ බියය. අනුර කුමාරට ඇත්තේද තමන්ට විශාල ශක්තියක් ලබා දෙන රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයේ වාසි ලබන්නන්ගේ සහය නොලැබීමේ බියය. එම නිසා ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණ දීර්ඝ කාලයක් පෙනී සිටි අයිඑම්එෆ් විරෝධි ප්‍රතිපත්තිය ඔහුට ප්‍රසිද්ධියේ කීමටද නොහැක.

මෙලෙස බලය වෙනුවෙන් අවස්ථාවාදී ලෙස හැසිරෙන සිය දර්ශනයක් වෙනුවෙන් සෘජු ලෙස පෙනී නොසිටින අතාර්කික නායකයන් යනු සෙවල බණ්ඩලාය. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අගමැතිවරයාට සෙවල බණ්ඩා යනුවෙන් දේශපාලනිකව ආමන්ත්‍රණය කලේ ඔහු දේශපාලන බලය වෙනුවෙන් සිය දර්ශනයන් අමතක කර බහුතර ජනප්‍රිය ජනමනසට ආමන්ත්‍රණය කරමින් බලය ලබා ගෙන අවසානයේ රාජ්‍ය පාලනයේදී අසරණ වීම නිසාය.

ලංකා ඉතිහාසයේ දරුණුතම අර්බුදය අවස්ථාවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයේදී ද මේ සෙවල බණ්ඩලාගේ දේශපාලනය සජිත්ගෙන් හා අනුර ගෙන් පෙනේ.

නමුත් රනිල් වික්‍රමසිංහට ප්‍රතිපක්ෂ නුවන් බෝපගේ සෘජුව ප්‍රකාශ කරන්නේ ඔහු අයිඑම්එෆ් පදනම් කරගත් ධනේෂ්වර ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා විරුද්ධ බවත් ඔහු මෙම අර්බුදය විසදන්නේ සමාජවාදී මූලයන් මත පිහිටා බවයි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ ඇත්ත සටන ඇත්තේ රනිල් වික්‍රමසිංහ හා නුවන් බෝපගේ අතරය. ඉන් අතර මැද සිටින සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර ඇතුළු සියළු නායකයන් සෙවල බණ්ඩලාගේ දේශපාලනයකට පිවිස ඇත. මේ අර්බුදය මැද ලංකායට අවශ්‍ය වන්නේ දර්ශනයක් මත පිහිටන සෘජු දේශපාලන අවස්ථාවදායට යට නොවුනු නායකයන් ය.

දුලාන් දසනායක

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *