රනිල්ගේ තුරුම්පුවෙන් මහින්ද හොල්මන් වෙයි


 

* ජනාධිපතිතුමා කීවේ කලාකරුවන්ගේ ජීවිතයේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට තමා ඉඩනොතබන බවයි.
* වර්තමාන තරුණ තරුණියන්ට ඒ වෙනුවට සාමය සංහිඳියාව සහ රැකි රක්ෂා ලබා දීම රජයේ අරමුණ බව ද අගමැතිවරයා මෙහිදි අවධාරණය ක‍ළා.
* මැයි දින රැලි සඳහා ‍ගෝල්ෆේස් පිටිය ලබා නොදෙන නමුත් ඒකාබද්ධ විපක්ෂය මෙවර මැයි රැලිය සඳහා එය ඉල්ලා සිටියේ උපක්‍රමයක් වශයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයේ ජාතික සමුළුව පසුගිය ඉරිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. ශ්‍රීලනිප තරුණ සමුළුවක් පැවැත්වුණේ වසර දහ තුනකට පසුවයි. පසුගිය කාලයේ සිදුවුණේ පක්ෂයේ තරුණ සංවිධානය නොතකා හැර නාමල් රාජපක්ෂ මහතාගේ ‘නිල් බළකාය’ නැතහොත් තාරුණ්‍යයට හෙටක් ව්‍යාපෘති ශක්තිමත් කර ප්‍රදර්ශනාත්මක වැඩ කිරීමයි. පක්ෂයේ පාලනයක් ඒවාට තිබුණේ නැහැ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ තීරණයක් අනුව පක්ෂයේ තරුණ අංශය නැවතත් ශක්තිමත්කොට ගොඩනගා මෙම සමුළුව පවත්වනු ලැබුවා. එයට පැමිණි තරුණ ජනයා අතර සියලු දෙනාට ඍජුව වේදිකාව බලාගැනීමට නොහැකි තත්ත්වයක් සංවිධායකයින්ට පෙනී ගොස් තිබුණා. එබැවින් පිටත සිටින පිරිසට වේදිකාව දැක ගැනීමට විශාල රූපවාහිනී තිර යොදා තිබුණා.

තරුණ සමුළුව ඇරඹෙද් දී මුළු ශාලාවම නිල් පැහැයෙන් බැබලෙමින් තිබුණා. එසේ වුවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුගතදාස ක්‍රීඩාංගණයේ දොරටුව දක්වා පැමිණයේ සුදුපැහැති ජාතික ඇඳුමෙන් සැරසීය. එසේ වුවද සමුළු ශාලාවට ඇතුළු වීමට පෙර ඔහු නිල් පැහැති කමිසයක් හැඳගත්තා. එලෙස නිල් පැහැයෙන් බැබලෙමින් තුබූ ශාලාවට ජනාධිපතිතුමාද ඇතුළු වූයේ නිල් පැහැයෙන් සැරසීගෙනයි.

ජනාධිපතිතුමා සමුළුව අමතා කළ කතාව ඉතා සංවේ දී එකක් වුණා. තමන්ගේ මතකය අවදි කළ ජනාධිපති තුමා පක්ෂය අතීතයේ කළ වැඩ ගැනත් මතක් කළා. ඉන්පසුව එතුමා විමසුවේ ‘කාටවත් නොගැසූ විදිහට මට ගහන්නේ මම රදළ පවුලකින් ආවේ නැති නිසාද?” යනුවෙනි. එම පැනය සමුළුවේ සිටි තරුණ ජනයාට කම්පනයක් ඇති කළ බව පෙනෙන්නට තිබුණා.

තම කතාවේ දී සංවේ දී වූ ජනාධිතිතුමා කථික ආසනය ළඟ දී තමන්ගේ මිරිවැඩි සඟල ගළවා තිබුණා. කතාව අවසානයේ ඒවා දාගෙන එන්නට එතුමාට අමතක වුණා. තමන්ගේ ආසනයේ අසුන්ගත් ජනාධිපතිතුමා නැවත නැගිට ගොස් මිරිවැඩි සඟල දාගෙන පැමිණීම කාගේත් අවධානයට ලක් වුණා.

සඳුදා දිනයේ ජනාධිපතිතුමා තවත් ඉතා සංවේ දී ක්‍රියාවකට දායක වුණා. එනම් ගායක ගායිකාවන් සඳහා ගොඩනගා ඇති විශ්‍රාම වැටුප් අරමුදලකට රුපියල් ලක්ෂ දෙසීය පනහක ප්‍රදානයක් ලබාදීම හා එම උත්සවයට සහභාගීවීමයි. කොළඹ ජනාධිපති මැදුරේ පැවැති මෙම උත්සවයට ලතා වල්පොල, දයාරත්න රණතුංග ඇතුළු ගායක ගායිකාවන් රැසක් සහභාගී වී සිටියා.

උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා කීවේ කලාකරුවන්ගේ ජීවිතයේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට තමා ඉඩනොතබන බවයි. එමෙන්ම කලාකරුවන් කුමන පක්ෂ දේශපාලනයක් කළත් ඒ කිසිවක් තමා නොසලකන බවත්, සියලු දෙනාට තමා සලකන්නේ කලාකරුවන් වශයෙන් පමණක් බවත්ය. ජනාධිපතිතුමාගේ කතාවට කලාකරුවන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්.

1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජය සමයේ දී එවකට තරුණයකු වූ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තරුණ කටයුතු ඇමැති ධූරය ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ලබා දුන්නේ ළඟ බලාම නොවනබව පෙනෙන්නට තියෙනවා. තරුණ ජ‍වයෙන් තරුණයින්ගේ ශක්තිය රටට උපරිමයෙන් ලබා ගැනිම සඳහා රනිල් වික්‍රමසිංහ ඇමතිවරයා දියත් කළ වැඩසටහන් බොහොමයකින් තරුණ තරුණියෝ පෙරට ආවා. ජාතික තරුණ සේවා සභාව එසමයේ ආරම්භ කෙරුණු ආයතනයක්. එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහ වීමෙන් පසුව තරුණ සේවා සභාවේ ක්‍රියාදාමයන් අකර්මන්‍ය වුණා. ජාතික ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාතික තරුණ සේවා සභාව යළි පණ ගැන්වූවා.

ජාතික තරුණ සේවා සභාව විසින් වසරක් පාසා තරුණ තරුණියන් වෙනුවෙන් පවත්වන යොවුන් පුරය මෙවර පැවැත්වුණේ ත්‍රිකුණාමලයේ මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේදීය. දින දෙකක් යොවුන් පුරයට සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා පසුගිය 01 දා සමාප්ති උළෙලට ද සහභාගි වුණා. ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සහභාගි වුණා. මෙහිදි තරුණ තරුණියන් අමතමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සාමය සහ සංහිඳියාවේ වැදගත්කමයි. සිය තරුණ කාලයේ දුටුවේ යුද්ධය බවත් වර්තමාන තරුණ තරුණියන්ට ඒ වෙනුවට සාමය සංහිඳියාව සහ රැකි රක්ෂා ලබා දීම රජයේ අරමුණ බව ද අගමැතිවරයා මෙහිදි අවධාරණය ක‍ළා. යොවුන් පුරයේ විශේෂත්වය ලෙස පක්ෂ, ජාති, ආගම් භේදවලින් තොරව තරුණ තරුණියන් එක්ව කටයුතු කිරීම බව ද අගමැතිවරයා පෙන්වා දුන්නා.

3 වැනිදා හවස අගමැතිවරයා සහභාගි වුයේ ‍එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසනයේ නව ආසන සංවිධායක සරත් ෆොන්සේකා මහතා සංවිධානය කළ ජන රැළියකටයි. එහිදි අගමැතිවරයා පෙන්වා දුන්නේ 2010 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ෆොන්සේකා මහතාට එම හේතුව නිසාම සිරබත් කෑමට සිදු වූ බවයි. මෙම රැළියේ දී වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න තුනක් ඇසුවා. හම්බන්තොට වරායට චීනයෙන් ලබා ගත් ණය අවුරුදු 20 න් පසු ආපසු ගෙවීමට එක්සීම් බැංකුව සමඟ එකඟ නොවුයේ ඇයි? වරායේ හොඳ කොටස් චීන සමාගම්වලට දී ණය ගෙවීමට අප භාර ගත්තේ ඇයි? වරාය නගරයෙන් කොටසක් පමණක් 99 බද්දට දී අනිත් කොටස් සින්නක්කර විකුණුවේ ඇයි? හම්බන්තොට විකුණනවා යැයි අඬමින් තව වෙසක් පෝය දෙකකින් ආණ්ඩුව ගන්නා බව කියන මහින්ද රාජපක්ෂට වෙසක් පෝය දෙකකින් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිළුල ලැබෙන විට අඬන්න වෙන බව ද අගමැතිවරයා මෙහිදි ප්‍රකාශ කළා.

5 වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කෙරෙහි බො‍හෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණේ පක්ෂයේ තනතුරු එදින සංශෝධනය වන බවට පළ වී තිබුණු මාධ්‍ය වාර්තා නිසාය. එසේ වුවත් ඊට පෙර දින සකස් කෙරුණු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයේ එවැන්නක් සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන බවට ඇතුළත් වී නොමැති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කළා. කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට පෙර පක්ෂයේ ඇමතිවරුන් සඳහා අගමැතිවරයා වෙනම රැස්වීමක් පැවැත්වුවා‍. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේ දී අගමැතිවරයා සඳහන් කළේ මැයි දිනයෙන් පසුව තනතුරු සංශෝධනය කෙරෙන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (30) රක්වාන මැතිවරණ කොට්ටාශයේ ගොඩකවෙල රංවලට පැමිණියා. ඒ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන හැරල්ඩ් කුලරත්න මහතා සහ එම මහත්මියගේ ගුණ සමරු උළෙලකට සහභාගී වීම සඳහායි.

කුලරත්න මහතා 1965 සිට 70 දක්වා ද පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, 1977 බලයට පත් එජාප රජයේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයාද වුණා. කලක් හැරල්ඩ් කුලරත්න සහ ට්‍රිෂිලා කුලරත්න යුවල ජීවත් වූ රංවල පිහිටි නිවස දැන් ළමා නිවාසයක්. කුලරත්න මහතාගේ ඇවෑමෙන් කුලරත්න මහත්මිය එම නිවස ළමා නිවසක් බවට පත් කළ අතර, එහි 25 වන සමරුව පසුගිය 30 වන දිනට යෙදී තිබුණා.

දැන් කුලරත්න යුවළ ජීවතුන් අතර නැතත් ඔවුන්ට උපහාර පිණිස පැවැති උළෙලට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතීත මතකයන් රැසක් එම අවස්ථාවට සහභාගී වූ ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා ඇතුළු සෙසු ආරාධිතයන් හමුවේ හෙලි කළා.

සවස 3.00ට පමණ රංවල ළමා නිවාසයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිතයන් උදෙසා එම ළමා නිවස පසෙක තේ පැන් සංග්‍රහයක් පිළියෙල කර තිබුණා. අලුවා කැබලි කිහිපයක සහ කෙසෙල් ගෙඩියකද රස බැලූ අගමැතිවරයා ඒ අතරතුර වසර 25කට පෙර අතීත සිදුවීම්ද මතකයට නැගුවා.

ජේ.ආර්. රජයේ පළමු වප්මගුල පැවැත්වුණේ පඬුවස්නුවර. මමයි, නන්දමැතිව්යි, කුලරත්න මැතිතුමයි, ඔක්කොම පඬුවස්නුවර ගියේ මෙහෙ ඉඳලා. ඒ කාලේ නිතර නිතර පැවැති අතුරු මැතිවරණවලට කුලරත්න මැතිතුමා සමඟ ගමන් බිමන් යන්න මට සිදු වුණා. එදාත් මේ රංවල ප්‍රදේශයේ පැවතුනේ හරිම නිස්කලංක හිත් ඇදගන්නා පරිසරයක්. කුලරත්න මැතිතුමාත් එක්ක කහට කෝප්පයක් තොලගාමින් බොහෝ කරුණු කාරණා අපි කතා කළා.

එසේ අතීත ආවර්ජනා අවසන් කළ අගමැතිවරයා කුලරත්න මහතාගේ පිළිරුවට මල්දමක්ද පැලඳවූවා. කුලරත්න යුවලගේ සමීපතම හිතවතෙකු වූ ජයවර්ධන මහතා අදටත් එම ළමා නිවාසයේ කරුණු කාරණාවලට මැදිහත් වෙනවා. ඔහු එම ළමා නිවාසයට අදාළව වසර ගණනක් තිස්සේ පළ වූ පුවත් පත් වාර්තා ගොණුවක් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කළා. මෑතක දී එම අමාත්‍යංශය ළමා නිවාසය සඳහා ඉදිකළ ගොඩනැගිල්ලක් සිසු අයිතියට පැවරීමද එදින රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වුණා.

අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පය මත ක්‍රියාත්මක වූ ත්‍රීකුණාමලයේ ‘2017-යොවුන් පුර’ වැඩසටහනට සමගාමීව නිවාස 24 කින් සමන්විතව ත්‍රීකුණාමල කල්පල්තුරෙයි හි ඉදිවන ‘එකමුතුගම’ උදා ගම්මානයට සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතින් මුල්ගල් තැබුණේ අප්‍රේල් 01 වැනිදාය. මේ ගම්මානය සඳහා ප්‍රතිලාභීන් තේරීමේ දී සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 8 බැගින් සම සේ තෝරා ගෙන තිබූ අතර සජිත් ඒ බව ‘යොවුන් පුර’ උත්සවයේ දී අගමැතිවරයා සමඟ කී විට ඔහුද ඒ පිළිබඳව සිය සතුට පළ කර සිටීම විශේෂ සිද්ධියක් වුණා. මුල්ගල් තැබීමේ උත්සවයට ආ විශේෂ ආරාධිතයා වූයේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතායි.

‘බොහොම හොඳයි – මේ 369 වැනි උදාගම නේදැයි’ සම්බන්ධන් මහතා අසද් දී සජිත් විමතියට පත්වුණේ ඔහු එපමණ නිවැරදිව ඒ විස්තර දැන සිටීම පිළිබඳවය. අනතුරුව විපක්‍ෂ නායකවරයා කීවේ ‘ඔබේ පියා වගේම ඔබත් මේ නිවාස වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යාම ගැන මා ඔබට සුබ පතනවා. ඔබේ තාත්තා එදා ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කයට පැමිණ උදා ගම්මාන හදද් දී මම උපරිම සහයෝගය ලබා දුන්නා. අදත්, ඉදිරියටත් මම මගේ සහයෝගය නොඅඩුව ලබා දෙනවා’ කියාය. නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය හාෆීස් නසීර් අහමඩ් සමඟ පිළිසඳරේ යෙදෙමින් සිටිය දී ‘රට පාලනය කරන්න අපට ජිනීවා උපදෙස් අවශ්‍ය නෑ. යහපාලන රජයට වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඒක නිවැරදිව කරන්න පුළුවන්’ යයි සජිත් කියද් දී මහ ඇමතිවරයා කීවේ ‘ඔබ හරියටම හරි !’ කියායි.

23 වැනි උදා ගම්මානය සජිත් අතින් ජනතා අයිතියට පැවරුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ, දෙමටෑගමදීය. තිරප්පනේ ඈත ඉතිහාසයක් ඇති ගම් ප්‍රදේශයකි. ගිලන්ව සිටි දුටුගැමුණු මහ රජතුමන්ට රුවන්මැලි සෑයේ වැඩ අවසන් කර පෙන්විය හැකි නොවන බව වටහා ගත් රාජ්‍ය නිලධාරීන් චෛත්‍යයේ සැබෑ උසින් සැකිල්ලක් ඉදිකර එය සුදු තිරවලින් ආවරණය කර රජුට පෙන්වීමට කටයුතු කළ බවත්, රජු දුර සිට චෛත්‍යයේ ආකෘතිය දැක ගත් ප්‍රදේශය ‘තිර පෙනේ’ – ‘තිරප්පනේ’ වූ බවත් ජනවහරේ කියැවේ. 02 වැනිදා පැවැති ‘ප්‍රතිභාගම’ ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වූ පී. හැරිසන් ඇමතිවරයාට සජිත් කීවේ ‘අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවත් උදා ගම්මාන හදමු’ කියාය. දැනටමත් 40 ක් හදාගෙන යනවා. තව හදමු… දිසාපතිතුමාගෙන් තව ඉඩම් ටිකක් නිදහස් කර ගන්නම්’ හැරිසන් පිළිතුරු දෙමින් කීවේය.

‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ඉදිකිරීම් පුහුණුව සඳහා තෝරා ගත් තරුණ-තරුණියන් 664 දෙනෙකුට රුපියල් ලක්‍ෂ 252 ක මුදලින් වෘත්තීය උපකරණ, නිල ඇඳුම් සහ විෂයානුබද්ධ පෙළ පොත් ලබා දීම සඳහා වවුනියාව නගරයේ පැවැති විශේෂ උත්සවය අමතා සජිත් කළ ප්‍රකාශය ඉකුත් සතියේ ආන්දෝලනාත්මක එකක් විය. ‘මේ රටේ බෞද්ධයන්ට ඕනෑම පළාතක තිබෙන බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමානා කරන්න අයිතිය තිබෙනවා. උතුරේ පන්සල් හදන්නත් අයිතිය තිබෙනවා. ඒ වගේම උතුරේ සිටින ඔබට රටේ සෙසු ප්‍රදේශවලට ගිහින් වන්දනාමාන කටයුතු කිරීමට වගේම දකුණේ කෝවිල් හදන්නටත් අයිතිය තිබෙනවා. මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි, කතෝලික දේවස්ථාන හදන්නත් ඒ ඒ ආගම් අදහන අයට අයිතිය තිබෙනවා. කවුරු හරි කියනවා නම්, උතුරේ පන්සල් හදන්න බෑ – දකුණේ කෝවිල් හදන්න බෑ කියලා අන්න ඒ පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වෙන්න’ යයි සජිත් කියන විට නැඟුණේ විශාල අත්පොළොසන් හඬකි.

1971 අරගලය ස්මරණය කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් වාර්ෂිකව සංවිධානය කරන අප්‍රේල් විරු සමරුව මෙවරත් ජාතික මට්ටමින් මෙන්ම දිස්ත්‍රික් සහ ආසන මට්ටමින් සංවිධානය කර තිබුණා. අප්‍රේල් 05 දින මොණරාගල දී මාතලේ දී සහ ගාල්ලේ දී ජාතික මට්ටමේ සැමරුම් උත්සව තුනක්ද අප්‍රේල් 01වෙනිදා සිට සතියක් පුරා දිස්ත්‍රික් සහ ආසන මට්ටමින් සමරු උත්සව මාලාවක්ද සංවිධානය වුණා. එමෙන්ම විදේශ කමිටු විසින්ද සංවිධානය කෙරුණු මෙම සැමරුම් උත්සව සඳහා ජවිපෙ නායකයින් සකයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා.

ගාල්ලේ දී පැවැති සැමරුම් උත්සවයේ සමරු දේශනය පැවැත්වීමට සම්බන්ධ වූ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සංවේ දී සිදුවීමකට මුහුණ දුන්නා. සමරු උත්සවයට පැමිණ සිටි අප්‍රේල් අරගලයට සම්බන්ධවූ මවක් විජිත හේරත් සමඟ සිය හැඟීම විස්තර කළා. ”මමත් ඒ කාලේ පක්ෂය වෙනුවෙන් වැඩ කරපු කෙනෙක්. මට ඇත්තටම කඳුළු ආවා පහන් පත්තු කරන වෙලාවේ. එක පැත්තකින් අපිත් එක්ක වැඩකරපු සහෝදරයන් මට මතක් වුණා. ඒ වගේම සතුටකුත් දැනුනා එදා කරපු කැපවීම් අදටත් මේ වගේ සමරන එක ගැන. අපේ තරුණ පරපුර මේ විදියට පක්ෂයේ වැඩ කරනවා දැක්කම අපේ කැපවීම් අපතේ ගිහින් නෑ කියලා සතුටක් අපිට තියෙනවා.” ඇය කිවා.

රෙජීමයක රිදුම් නමින් තමීර මංජු මාධ්‍යවේදියා විසින් රචනා කළ සටන් ගීත එකතුවක් ජනගත කිරීමේ උත්සවයක් පසුගිය 03වෙනිදා කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වුණා. මෙම ගීතවල හරය බවට පත්වී තිබුණේ පසුගිය ආණ්ඩුව සමයේ ඇතිවූ සිදුවීම් පිළිබඳව විවේචනයයි. මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස විජිත හේරත්, අර්ජුණ රණතුංග සහ සරත් විජේසූරිය ඇතුළු පිරිසක් සම්බන්ධ වුණා. මෙහි දී විවිධ වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබූ අතර ප්‍රධාන ආරාධිතයින් තිදෙනාට කතා තුනක් පැවැත්වීමටද අවස්ථාව සලසා දී තිබුණා. සිය කතාවේ දී විජිත හේරත් කියා සිටියේ පසුගිය රෙජීමයේ රිදුම් අදටත් වේදනා දෙනවා පමණක් නොව අද රෙජීමයේ රිදුම්ද ජනතාවට වේදනා දෙනවා කියායි. ”පසුගිය රජයේ රිදුම් තවමත් අවසන් වෙලා නැහැ. එදා රෙජීමයේ වේදනා දීපු විධායක ජනාධිපති ක්‍රමය මේ රෙජීමයත් පවත්වාගෙන යනවා. හොරකම් වංචා මේ රෙජිමයෙත් ඒ විදියට වෙනවා. ඒ නිසා රිදුම් අදාළ වෙන්නේ පසුගිය රෙජීමයට විතරක් නෙවෙයි මේ රෙජීමයටත් අදාලයි.” විජිත හෙරත් කියා සිටියා. ”සරත් විජේසූරියද විජිත හේරත්ගේ අදහස් අනුමත කරමින් කතා කළා. ”මේ විදියට ගියොත් මාධ්‍යවේ දී මහත්තයාට මේ රේජීමයේ රිදුම් ගැනත් ගීත ලියන්න සිදුවේවි” සරත් විජේසූරිය කියා සිටියා. අර්ජුන රණතුංගද කියා සිටියේ හොරුන්ට දඩුවම්දීම ප්‍රමාදවී ඇති බවයි. ”හම්බන්තොට වරාය විකිණීම ලොකු කතාබහක් ඇතිවෙලා. ගිවිසුමේ කොන්දේසි අඩුකරගන්න මම නිහඬ සටනක් කරනවා. මැදිහත්වෙනවා.” අර්ජුන රණතුංග කියා සිටියා.

වෘත්තීය සමිති හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පසුගිය තුන්වෙනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරමින් ලාල්කාන්ත, වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් පිරිසක්ද සහභාගි වුණා. වෛද්‍ය සංගමය, දෙමාපිය සංගම් සහ ශිෂ්‍ය සංගම් විසින් පෙර කරන ලද සාකච්ඡාවකට අනුව අප්‍රේල් 07වෙනිදා යොදාගෙන තිබෙන එක්දින වැඩවර්ජනය සඳහා වෘත්තීය සමිති සහය ලබාගැනීම මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබුණා. ”මේ එක්දින වැඩවර්ජනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය අරගලයක් ලෙස තමයි සිදුකරන්නේ. මේ වැඩවර්ජනය සාර්ථක කරගන්න ඔබතුමාලාගේ සහය අපිට ඉතාම වැදගත්” වෛද්‍ය සංගමය පෙන්වා දුන්නා. “මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතාම වැදගත්. ඒ වගේම මේක අනිවාර්යෙන්ම දිනන්න ඕන සටනක්. ඒ නිසා අපි වෘත්තීය සමිති මේකට සහය ලබාදෙනවා. සෞඛ්‍ය නොවන ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිත් විවිධ ක්‍රියාමාර්ග හරහා එක්දින වැඩවර්ජනයට සහය දෙනවා.” ලාල්කාන්ත කියා සිටියා.

මේ වසරේ දී ආණ්ඩුව පෙරළන බව වසර මුල දී කියූ මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා තවත් ආන්දෝලනාත්මක කතාවක් කළා. එහි දී ඔහු කීවේ මේ වසරේ බැරි වුණොත් තවත් වෙසක් පෝය දෙකකින් ආණ්ඩුව පෙරළන බවයි. ඒ සඳහා ඡන්දයක් එන්න අවශ්‍ය නැති බව ද කී ඒ මහතා, තවදුරටත් කීවේ කාලයත් ඉක්මනට ගෙවිලා යන බවයි. දැන් වසර තුනක් ඉවර ‍බවත්, ඉතිරි කාලයත් ඉක්මනටම යන බවත් ඛී රාජපක්ෂ මහතා ‘මං හිතන්නේ නෝනා ඉඳගෙන ඔරලෝසුව කරකවනවාද කොහේද’කියාය.

මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය කළේ ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයේ ජාතික සමුළුවට එක්වෙමිනි. දෙහිවල දී පැවැති ‍එම සමුළුවේ දී රජයේ ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව විරෝධතා දිනයක් පැවැත්වීමට ද මහා වැඩ වර්ජනයක් දියත් කිරීමට ද යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. කෙසේ වෙතත් ඒ සඳහා දින නියම කරගැනීමක් සිදුවූයේ නැහැ.

සාමාන්‍යයෙන් මැයි දින රැලි සඳහා ‍ගෝල්ෆේස් පිටිය ලබා නොදෙන නමුත් ඒකාබද්ධ විපක්ෂය මෙවර මැයි රැලිය සඳහා එය ඉල්ලා සිටියේ උපක්‍රමයක් වශයෙනි. එය නොදෙන විට තමන්ගේ රැලියට එන සෙනඟට බියවී එසේ කළ බව කීම ඔවුන්ගේ උපක්‍රමය බව තේරුම් ගත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ සම්පූර්ණ ගෝල්ෆේස් පිටියම ලබා දී සියලු පහසුකම් ලබාදෙන ලෙසයි. මෙය තම ජයග්‍රහණයක් බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග කීවේ තම මැයි රැලියට එන ලක්ෂ සංඛ්‍යාත ජනතාව මෙහෙයවා ජනාධිපති කාර්යාලයත්, අරලියගහ මන්දිරයත් වටලන බවයි. ශ්‍රීලනිප තරුණ සංවිධානයේ ලේකම් ශාන්ත බණ්ඩාර මහතා කීවේ මෙය ඒකාබද්ධ මැයි රැලිය ආණ්ඩුව ලවා කඩාකප්පල් කරවා ගැනීමේ උපායක් බවයි.

විමල් වීරවංශ මහතාට ඇප ලබාගැනීමට අධිකරණයේ ගොනුකළ පෙත්සම සඳුදා විභාගයට ගත් අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා එහි පැමිණීම කාගේත් අවධානයට ලක්වූ සිදුවීමක් වුණා. එයට හේතුව නම් විමල් වීරවංශ සිරගත කිරීමට එරෙහිව සටනින් මඟහැර සිටින බවට බැසිල් රාජපක්ෂ, ජී. එල්. පීරිස් ඇතුළු පිරිසට විමල් කණ්ඩායමෙන් චෝදනා එල්ල වී තිබීමයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කොළඹ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කරන ප්‍රකාශ සිහින දැකීමක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය මඟින් ඇමැතිවරුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත්කොට ඇති බව කී ඔහු ඇමැති මණ්ඩල සංශෝධනයක් කළ හැක්කේ අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තම මැයි රැලිය වෙනම පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින්නේ සමාජවාදී ජනතා පෙරමුණ හෝ ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතුවීම ප්‍රතික්ෂේප කරමින්ය. පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පක්ෂ දේශපාලන මණ්ඩලයට හා මධ්‍යම කාරක සභාවට මේ සඳහා ෙගනා යෝජනා විවාදයකින් ‍පසුව සම්මත වූ අතර මේ වන විට පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධානවලටත් වෘත්තීය සමිතිවලටත් ඒ සඳහා උපදෙස් ලබා දී තිෙබනවා. වමේ බලයක් ගොඩනඟමු යන තේමාව යටතේ මෙම මැයි රැලිය පැවැත්වීමට නියමිතය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *