දොස්තර සංගමයේ වර්ජන මේනියාව – සී. ජේ. අමරතුංග

 

 රජයේ වෛද්‍යවරු නැවතත් වැඩ වර්ජනයක යෙදෙන බව කියති. ඒ කියන්නේ ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටින බවයි. එසේ කරන්නේ රෝගීන්ගේ ජීවිත බේරාගන්නටය. මාලඹේ සයිටම් ආයතනයෙන් උපාධි ලබා එන වෛද්‍යවරුන්ගෙන් රෝගීන් බේරාගැනීම තම අරමුණ බව මේ වෛද්‍යවරු කියති. ඔවුන් කියන්නේ සයිටම් උපාධිධාරීන්ට හරි සුදුසුකම් නැති බවයි.

සයිටම් උපාධිධාරීන් කියන්නේ ඕනෑම පොදු විභාගයකට මුහුණ දී තම දැනුම හා හැකියාව පෙන්වන්නට සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවල තිබෙන පහසුකම්වලට වඩා පහසුකම් හා මහාචාර්යවරුන් වැඩි පිරිසක් සිටින ආචාර්ය මණ්ඩලයක් යටතේ තමන් ඉගෙනුම ලබා ඇති බව ඔවුහු කියති. ඔවුන් කියන්නේ තමන්ට සාධාරණය ඉටුවිය යුතු බවයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියන්නේ සයිටම් ආයතනය වසා දැමිය යුතු බවයි. එය ද කළ යුත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන දින වකවානු ඇතුළතය. මෙය දැන් අධිකරණයේ පවතින නඩුවක් බවත්, අධිකරණය තීන්දුවක් දී ඇති බවත්, එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කොට ඇති බවත් කවුරුත් දන්නා කරුණුය. එසේ වුවද අධිකරණ තීන්දුව එන තෙක් ඉවසන්නට වෛද්‍ය සංගමය සූදානම් නැත. එසේ වන්නේ අධිකරණයේ තීන්දුව කුමක්දැයි ඔවුන් කල්තබාම නිගමනය කර ඇති නිසා දැයි අපි නොදනිමු. අධිකරණය තීරණ ගන්නේ තමන් වෙත ඉදිරිපත් වන කරුණු කාරණා විභාග කොට සාධාරණය ඉටුවන අයුරිනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණය විය යුත්තේ නීතියට හා අධිකරණයට ගරුකිරීමයි. එසේ නොවන විට ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යා නොහැකිය.

ප්‍රමිතියක් නැතිකම

අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග වන විට ඒ සම්බන්ධයෙන් හා එයට බලපෑ හැකි කිසිවක් කිරීම අධිකරණයට කරන අපහාසයක් ලෙස සැලකෙයි. උත්තරීතර පාර්ලිමේන්තුව පවා අධිකරණය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයක් ගැන වාද විවාද කිරීමෙන් වැළකී සිටීම රීතියක් ලෙස පිළිගෙන ඇත. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තදියම් වී දඟලන්නේ ඒ කිසිවක් නොසලකමිනි.

සයිටම් ප්‍රශ්නය පසුගිය කාලයේ බොහෝ වාද විවාදයන්ට ලක්වූ ප්‍රශ්නයකි. එයින් බොහෝ කරුණු කාරණා හෙළිදරව් වී තිබේ. එකක් නම් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කළද මේ දක්වා එබඳු ප්‍රමිතියක් සකස්කොට නීතිගත කොට නැති බවයි. එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීමකි. එසේ නම් සයිටම් උපාධිය ගැන ප්‍රශ්න කිරීම පනවා නැති ප්‍රමිතියක් ගැන විමසීමකි.

අනෙක් අතට ප්‍රමිතියක් නොතිබූ වෙනත් ස්ථාන ගැන මෙලෙස හඬ නඟා නැත. කොතලාවල වෛද්‍ය පීඨයට කිසිදු ප්‍රමිති විමසීමක් නැත. රජයේ ඇතැම් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබා දී ඇත්තේ කාලයක් තිස්සේ මහාචාර්ය අංශයක් නොමැතිව බව කියති. මේ කියන මහාචාර්ය අංශය කුමක්දැයි අප නොදන්නා නමුත් තිබිය යුත්තක් නොතිබුණේ නම් එය අඩුපාඩුවකි. නැ‍ඟෙනහිර සරසවියේ වෛද්‍ය පීඨයේ ද ප්‍රමාණවත් පහසුකම් හා පුහුණුව නැති බව කියති. ආචාර්ය මණ්ඩල හිඟය බොහෝ වෛද්‍ය විද්‍යාලවල පවතින තත්ත්වයකි. එසේ වුවද වෛද්‍ය සංගමය මස් රාත්තලම ඉල්ලන්නේ සයිටම් වෛද්‍ය ශිෂ්‍යයන්ගෙනි.

සයිටම් යනු පසුගිය ආණ්ඩු කාලයේ අවසර ලබාගෙන ක්‍රියාත්මක වූ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකි. එහි තිබෙන්නේ වෛද්‍ය විද්‍යාලයක් පමණක් නොවේ, තවත් පාඨමාලා හා උපාධි එයින් ලබා දෙයි. එසේ තිබියදී ‘සයිටම් වසනු’ කීවාට එය කරන්න බැරිය. යථාර්ථය එයයි. අඩු තරමින් එහි ඇති වෛද්‍ය විද්‍යාලයවත් වහන්න රජයට තීරණය කළ නොහැකිය. එසේ කරන්න ගියොත් මානව හිමිකම් නඩුවලට මුහුණදීමටත් විශාල ලෙස වන්දි ගෙවීමටත් රජයට සිදුවිය හැකිය. එවිට වෛද්‍ය සංගමය රජයේ සහයට එන්නේ නැති බව නම් විශ්වාසය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෛද්‍ය සිසුන්ට කීවේ සයිටම් ආයතනය පිළිගත් අධ්‍යාපන ආයතනයක් බවයි. එය පිළිබඳව අධිකරණයේ ඇති නඩුවෙන් පසුව ඉදිරි පියවරක් ගැන ක්‍රියා කළ හැකි බව ප්‍රතිපාදන කොමිසම කියා ඇත.

ජනාධිපතිතුමාගේ උත්සාහය වී ඇත්තේ සියලු පාර්ශ්වයන්ට සාධාරණය ඉටුවන විසඳුමක් සොයා ගැනීමයි. ඒ සඳහා සාකච්ඡා තුනක් පසුගිය දිනවල පැවැති බවත්, ඒ කිසිවකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහභාගි නොවූ බවත්, උසස් අධ්‍යාපන ඇමැති කිරිඇල්ල මහතා කියයි. අවසන් සාකච්ඡාවට වෛද්‍ය සභාව දන්වා එවා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන අභියාචනයේ තීන්දුව ලැබෙන තෙක් සාකච්ඡාවන්ට සහභාගි විය නොහැකි බවයි.

සයිටම් ගැන ඕනෑම තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහභාගීත්වය තීරණාත්මක සාධකයකි. මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය තීරණය කිරීමේ වගකීම ඇත්තේ එම ආයතනයටයි. ඔවුන් කියන්නේ අධිකරණ තීන්දුව එන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ නොහැකි බවයි. වගකිවයුතු ආයතන හැසිරෙන්නේ එහෙමය. එසේ වුවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එම සංයමය නැත.

වෛද්‍ය සංගමය මෙතරම් තදියම් වී ක්‍රියා කරන්නේ මේ රටේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය රැකගැනීමට බව එහි නායකයෝ කියති. එසේ වුවද ඔය කියන තරම් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මේ රටේ තිබෙනවාද යන්න ප්‍රශ්න කළ යුතුව ඇත. රජයේ රෝහලකට යන රෝගියකුට ලැබෙන අත්දැකීම් නම් එතරම්ම සැලසිලිදායක එකක් නොවන බව කවුරුත් දන්නා කාරණයකි.

රජයේ රෝහල්වලට යන රෝගීන්ට දිගු පෝලිම්වල වරු ගණන් රස්තියාදු වන්නට සිදුව ඇත්තේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් නොමැති නිසාය. පොලිමේ සිට වෛද්‍යවරයා ළඟට ගිය විට වෛද්‍යවරයා ලබා දෙන්නේ තත්ත්පර ගණනක නැතහොත් විනාඩි ගණනක කාලයකි. රෝගය හරියට කියන්නවත් ඉඩ ලැබෙන්නේ නැති තරම්ය. රෝගීන්ගේ දුක්ගැනවිලිවලට ඇහුන්කන් දෙන්න වෛද්‍යවරයාට වේලාවක් නැත. එයට හේතුව රෝගීන් විශාල ප්‍රමාණයක් බැලීමට ඇති නිසාය. එමෙන්ම රෝගීන් බලා වෛද්‍යවරයා ද සිටින්නේ හෙම්බත්වෙලාය. එවිට රෝගීන්ට ලැබෙන්නේ යහපත් ප්‍රතිචාර නොවේ.

අනෙක් අතට ‍රජයේ රෝහලේ ලෙඩුන් බලා වෛද්‍යවරයා ඉක්මනට දිව යා යුතුය. ඒ තමන් පෞද්ගලිකව ප්‍රතිකාර කරන බෙහෙත් කඩවලටය. රජයේ වෛද්‍යවරු ඒවාට නම් විරුද්ධ නැත.

විශේෂඥ වෛද්‍ය සායනවලට එන රෝගීන්ගේ අත්දැකීම ද ‍මීට වෙනස් නැත. පැය ගණන් පෝලිමේ සිටින ඔවුන්ට විශේෂඥ වෛද්‍යවරයා හමුවීම බොහෝ විට සිදුවන්නේ පැමිණි පළමු දිනයේදී පමණය. ඉන්පසුව පැමිණෙන විට සිදුවන්නේ මූලික පරීක්ෂාවක් සිදුකොට විශේෂඥ වෛද්‍යවරයා කලින් නියම කළ බෙහෙත්ම නැවත ලියාදීම පමණකි.

රජයේ රෝහල්වල බෙහෙත් නැතිකම කාලයක් තිස්සේ පැවැති තත්ත්වයකි. සාමාන්‍යයෙන් සිදුවූයේ වේදනා නාශක වැනි දේ පමණක් රෝහලෙන් දී පිටතින් ගන්නට බෙහෙත් ලියා දීමය. වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා එයට තිත තබන්නට උත්සාහ කළද එය කෙතෙක් දුරට සාර්ථක වී දැයි කිව නොහැකිය.

පෞද්ගලික වෛද්‍ය සේවය

හෘද සැත්කම් හා අනෙකුත් සැත්කම් සඳහා ඇත්තේ දිගු පෝලිම්ය. ඒ පෝලිම්වල ලියාපදිංචිව සිටියදී මිය යන සංඛ්‍යාව ගැන තොරතුරු නැත.

අපේ පොදු සෞඛ්‍ය සේවය කෙතරම් දුර්වල ද කියා කිවහොත් එහි සේවය ලබාගන්නට යන්නේ දිළිඳුම පවුල්වල උදවිය පමණකි. යන්තම් අතමිට ඇති සියලුදෙනා යන්නේ පෞද්ගලික රෝහල් නැතහොත් සායන වෙතය. ඈත ප්‍රදේශවල පවා පෞද්ගලික වෛද්‍ය සේවා ආරම්භ වී ඇත්තේ ඒ නිසාය. ඇත්ත කතාව ඒකය. ඔහොමම රැකගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියන්නේ එම සේවයයි.

අපේ සෞඛ්‍ය සේවය දියුණු යැයි කියමින් වෛද්‍යවරුන් තමන් කෙරුමන් ලෙස පෙන්වන්නට යන්නේ මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මනින නිර්ණායක තරමක් හොඳ තත්ත්වයේ තිබීම නිසාය. එසේ වුවද එම ඉහළ සෞඛ්‍ය තත්ත්වය තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ කෙරුවාව නිසා යැයි කීම මිථ්‍යාවකි. එයට ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාම, සෞඛ්‍ය අධ්‍යාපන තත්ත්වය, දැනුවත් භාවය, පෝෂණය ආදී බොහෝ සාධක බලපා තිබිය හැකිය.

රටේ මාතෘ මරණ අනුපාතය හා දිළිඳු මරණ අනුපාතය අඩු වී තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය නිසා යැයි කවුරුන් හෝ කියන්නේ නම් එය මිථ්‍යාවකි. එයට පෝෂණ තත්ත්වය, ජනයාගේ දැන උගත්කම මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා ආදිය ද හේතුවන බව ඉතා පැහැදිලිය. ඒ අතර වෛද්‍යවරුන් දක්ෂවීම ද අවශ්‍යය.

කාෙලා් කියූ ෙදය

අපේ සෞඛ්‍ය සේවයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය නම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ‍නැතිකමයි. ඒ නිසා සිදුව තිබෙන්නේ රෝගීන්ට වෛද්‍යවරුන්ගේ ප්‍රමාණවත් අවදානමක් නොමැතිවීමයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට වසර ගණනකට පෙර මෙම ලියුම්කරු සමඟ කළ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ මේ තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ට වෙදකම කරන්නට සිදුව ඇත්තේ අනුමානයට කළ නිගමන ඔස්සේ බවයි. ඇතැම් විට ලෙඩා දොරෙන් ඇතුළුවන විට වෛද්‍යවරයාට තීරණයකට ඒමට සිදුවෙයි. ඒ තවත් ලෙඩුන් පෝලිමක් බලන්නට ඉන්නා නිසාය.

මහාචාර්ය ෆොන්සේකා මහතා එදා කීවේ මෙම තත්ත්වය නිසා වෛද්‍යවරුන් අතින් බොහෝ වැරැදි සිදුවන බවයි. ඇතැම් විට වෛද්‍යවරයාගේ වැරදි නිගමනයක් නිසා ලෙඩුන් මිය යන බවයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු නොකියන කතාවක් ද එදා සම්මුඛ සාකච්ඡාවේදී මහාචාර්යවරයා මේ ලියුම්කරු සමඟ කීය. එනම් තමන්ගේ වැරදි නිගමන නිසා ලෙඩුන් පස්දෙනෙකු මියගොස් ඇති බවයි. ඒ මහතා කීවේ තමන්ට වැරදුණු තැන් ගැන තමා ජාත්‍යන්තර සඟරාවකට ලිපියක් ලියූ බවයි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා යනු කැපවී සේවය කළ වෛද්‍යවරයෙකි. එතුමා අතින් මෙහෙම වැරදීම් සිදුවිය හැකි නම් සාමාන්‍ය තත්ත්වය කුමක් විය හැකිදැයි සිතාගත යුතුය. වෛද්‍ය හිඟය පවතින විට මෙබඳු වැරදීම්වලට ඇති ඉඩකඩ වැඩිවන බව අමුතුවෙන් කිව යුතු නැත.

වෛද්‍ය හිඟයට පිළියම් රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් වෛද්‍යවරුන් වැඩියෙන් බිහිකිරීම බව කවරෙකු හෝ කියන්නට පුළුවන. එසේ වුවද ප්‍රායෝගික තත්ත්වය නම් ඒ හැකියාව නැති බවයි. ඒ ගැන කතා කිරීම වෙනම මාතෘකාවකි.

එසේ නම් කළ යුතුව තිබෙන්නේ තිබෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වසා දැමීම නොව තවත් ගෙන්වා ගැනීමට කටයුතු කිරීමයි. පසුගිය කාලයේ සිදුවූ සංවාදයෙන් පෙනී ගියේ රටේ බහුතර මතය ද එය බවයි. තමන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් කියන්නට සිදුවූයේ ඒ නිසාය.

වෛද්‍ය සංගමය කතාවෙන් එසේ කීවද මේ කරන්නට හදන්නේ වෙනත් දෙයකි. සයිටම් වෛද්‍ය විද්‍යාලය කුමන හෝ ක්‍රමයකින් වැස්සෙව්වොත් තවත් කවුරුන් හෝ මේ රටේ වෛද්‍ය විද්‍යාල හදන්න එන්නේ නැති බව ඔවුහු දනිති. ඔවුනට අවශ්‍යව ඇත්තේ ද එයමය. එවිට මේ ඉතාමත් අයහපත් සෞඛ්‍ය සේවාව දිගට පවතිනු ඇත. පෞද්ගලික වෙදකම මඟින් හම්බ කරන්නට හැකි වන්නේ එවිටය. ඇත්ත ගේම තියෙන්නේ එතැනය. මේවා තේරුම්ගෙන එයට එරෙහිව හඬ නැඟීමට මෙරට ජනයා පෙරට ඒම අවශ්‍යය. වෛද්‍යවරුන්ගේ ගරානා අවශ්‍යතා සඳහා අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීම හෙළාදැකිය යුතුය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *