වැටුණු කඩල ඇටය අල්ලා ගන්නට අතේ ඇති කඩල අහුර අත හරින නිර්මාල් රංජිත් දේවසිරි – අජිත් පැරකුම් ජයසිංහ

 

එක්තරා බෞද්ධ කතාවකට අනුව, වඳුරෙක් කඩල වෙළෙන්දෙකුගෙන් කඩල අහුරක් සොරාගෙන ගසකට නැගුණේ ය. නගින අතර එක් කඩල ඇටයක් අතින් ලිස්සා ගියේ ය. වඳුරා අතේ තිබුණු කඩල අහුර ම අත හරිමින් වැටුණු කඩල ඇටය අල්ලා ගැනීමට පැන්නේ ය.

මේ වඳුරාගේ ක්‍රියාව මතක් කරන අය ලංකාවේ ඕනෑ තරම් සිටිති. අලුතෙන් ම එම භූමිකාවේ ඔස්තාද් වී තිබෙන්නේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විද්වතා ය. එහෙත්, ඔහු මේ භූමිකාවේ නවකයෙක් නො වේ. 2005දී නිර්මාල් මහින්ද රාජපක්ෂ දිනවීමට වැඩ කළේ ද මෙම ස්ථාවරයේ සිටිමිනි. ඔහු මෙන් ම, ජවිපෙ ද, කොටි සංවිධානය ද මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආවේ ඔහු බලයට පැමිණීමෙන් පැවති ක්‍රමය අර්බුදයට පත් කර තමන්ගේ අරමුණු දිනා ගන්නට පහසු වාතාවරණයක් නිර්මානය වනු ඇති ය කියා ය. එහෙත්, සිදු වූයේ එය නො වේ. දශකයක් බලයේ සිටි මහින්ද රාජපක්ෂ ලංකාවේ සමාජය ඉතා ගැඹුරින් වෙනස් කළේ ය. ඒ හොඳ අතට නො වේ.

ආන්තික ප්‍රතිඵලවලින් සාධනීය වෙනස්කම් සඳහා අවස්ථා ලැබේ ය යන්න තර්කයක් ලෙස පිළි ගැනීමට පුළුවන. එය එක්තරා අන්දමකින් ලෝක විනාශවාදයකි. ඒ කියන්නේ ලෝක යුද්ධයක් වැනි මහා විනාශයකින් පසු ඉතිරි වන දෙයින් වඩා හොඳ දෙයක් නිර්මානය කළ හැකි ය කියන්නාක් වැනි අදහසකි. ඒ අනුව, පළමුව විනාශය වැළඳ ගත යුතු ය.

නිර්මාල් ඉදිරිපත් කරන පහත දැක්වෙන අදහසත් එවැන්නකි.

“ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය කුළුගැන්වීම සදහා ප්‍රබල උත්තේජකයක් අවශ්‍ය වේ. එය දෙමළ සමාජය තුළ දෙමළ ජාතිකවාදය කුළු ගැන්වීමට සිංහල රාජ්‍යයේ යටත්විජිතවාදය මගින් ලැබුණු උත්තේජකය වැනි අතිශයින් තීව්‍ර එකක් විය යුතුය. සිංහල සමාජයයේ ප්‍රජාතන්ත්‍රවාදී විභවය පිළිබදව මට ඇත්තේ සුභවාදී බලාපොරොත්තුවකි. ලංකාව අපසෙට් ය යන චින්තන ධර්මදාස වැන්නන්ගේ අඳෝනාවලට මා එකඟ නොවන්නේ එබැවිණි. බෞද්ධ පුනරුද සමයේ සිට වර්ධනය වූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් සිංහල සමාජය තුළ ඇත. සිංහල-බෞද්ධ ජාතිකවාදය තුළ එම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අඩස්සිගත වී ඇත. එය යළි ඉපැද්දවීමට නම් සිංහල-බෞද්ධ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අපේක්ෂා සිංහල-බෞද්ධ ජාතිකවාදයට ප්‍රතිවිරුද්ධව අභිමුඛ විය යුතුය. ගෝටා වැන්නෙක් ජනාධිපති වුවහොත් එය සිදුවීමට ඇති ඉඩ කඩ විශාලය (රතුපස්වල මතකයට නංවාගන්න). අපට රතුපස්වලවල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.

“ගෝටා මුළින්ම කරනු ඇත්තේ ලංකාවේ එන්ජීඕ කල්ලිය ඉවරයක් කර දැමීමයි. ඒ අයට (අප වැන්නන්ටත් ඒ ඉරණම හිමිවීමට නියමිතය) එක්කෝ නිහඬ විය යුතුය. එක්කෝ අකුලාගෙන රටින් පිට යා යුතුය. මේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අවශ්‍යතාවය ජනයාගේ ඓන්ද්‍රිය අවශ්‍යතාවයක් බවට පත් වීමයි. ඒ හරියට සිංහල-බෞද්ධ විජිතවාදය හා මිලිටරිවාදය නිසා ජාතික විමුක්තිය දෙමළ ජනයාට ඓන්ද්‍රීය අවශ්‍යතාවයක් වී ඇත්තාක් මෙනි.

“මින් මෙහා ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය විප්ලවයට උත්තේජකයක් නොමැත. අඩු තීව්‍රතාවයක් සහිත විප්ලවයක් මගින් එය කළ නොහැකි බව ජනවාරි 8 විප්ලවයේ පරාජය මගින් තහවුරු වී ඇත. දැන් අවශ්‍ය වන්නේ ඉහළ තීව්‍රතාවක් සහිත විප්ලවයකි. ගෝටා ඊට උත්තේජකයක් නොවනු ඇත්ද? මගේ පිළිතුර ඒසේ වීමට ඉඩ තිබේ යන්නයි.”

අප කියන්නේ මේවා අහිංසක අදහස් නො වන බවයි. මේවා දැනුවත්ව හෝ නො දැනුවත්ව එකම ව්‍යාපෘතියක කොටස් බවට පත් වේ. නිර්මාල්ලාගේ දේශපාලන ධාරාවේ ප්‍රමුඛතම දේශපාලන ක්‍රියාමාර්ගය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවනු ලබන සයිටම් විරෝධී උද්ඝෝෂණය වැනි ක්‍රියාමාර්ග විසින් නිර්මානය කරන තත්වයන් පවා මෙම ව්‍යාපෘතියේ කොටස් වේ. එසේ වන්නේ කෙසේ ද යන්න ද පැහැදිලි කළ යුතු ය. ලබා දී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට විහිළු කරමින් කරන පෙළපාලි විසින් ද ගෝටා වැනි ඒකාධිපතියකු මේ රටට අවශ්‍ය ය යන තර්කය ඉස්මතු කරනු හා එයට බොහෝ අය සාධනීය ලෙස ප්‍රතිචාර දක්වනු දැකිය හැකි ය.

ලංකාව නිවැරදි මාවතට ගන්නට නම් ගෝටා වැනි ඒකාධිපතියකු අවශ්‍ය ය යන මතය බොහෝ කලක සිට පවතින්නකි. එය දියසේන කුමාර සංකල්පය සමග ද සමපාතව තිබිණි. ලංකාව ජේ.ආර්. ජයවර්ධන හා මහින්ද රාජපක්ෂ වැනි දුෂ්ට ඒකාධිපතියන්ගේ පූර්ණ පාලනයන් තුළින් පැමිණි රටකි. දැන් කියන්නේ ඒකත් මදි ය කියා ය. ලී ක්වාන් යූ පන්නයේ හෝ හිට්ලර් පන්නයේ ඒකාධිපතියකු ලංකාව ගොඩ ගැනීමට සමත් වේ යයි සිතීම ඒ අසාර්ථකත්වය තුළින් පැන නැගුණු තත්වයකි.

නිර්මාල් මෙම මිනීමරු ව්‍යාපෘතිය සමග එක් වන්නේ දැවැන්ත බොරුවක් නිර්මානය කරමිනි. එනම්, බෞද්ධ පුනරුද සමයේ සිට වර්ධනය වූ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් සිංහල සමාජය තුළ ඇත. සිංහල-බෞද්ධ ජාතිකවාදය තුළ එම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අඩස්සිගත වී ඇත. එය යලි ඉපැද්දවීමට නම් සිංහල-බෞද්ධ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අපේක්ෂ සිංහල-බෞද්ධ ජාතිකවාදයට ප්‍රතිවිරුද්ධව අභිමුඛ විය යුතුය. ගෝටා වැන්නෙක් ජනාධිපති වුවහොත් එය සිදුවීමට ඇති ඉඩ කඩ විශාලය (රතුපස්වල මතකයට නංවාගන්න). අපට රතුපස්වලවල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. 

ඔය කියන බෞද්ධ පුනරුද සමය මෙන් ම, එසමයේ පටන් සිංහලයන් අතර  පවතින්නේ යයි කියන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ද සත්‍ය නො වේ. ඒබව පෙන්වා දුන් විට නිර්මාල් පවසන්නේ ජාතිකවාදය යනු ප්‍රජාතන්ත්‍රීකරණයේ එක් තාර්කික ප්‍රතිඵලයක් බවයි.

නිර්මාල් නිතර අවධානය යොමු කරන කතිකාවන් පිළිබඳ සාකච්ඡාව වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. ප්‍රජාතන්ත්‍රීකරණයේ තාර්කික ප්‍රතිඵල තවත් තිබියදී ජාතිකවාදය පමණක් තෝරාගෙන ප්‍රවර්ධනය කිරීම අපට තේරුම් ගත හැකි වන්නේ කතිකාමය තෝරාගැනීමක් ලෙසයි.

ජාතිකවාදයන්ගේ දිය වී යාම හා පුළුල් දේශපාලන ප්‍රජාවන් සංවර්ධනය වීම ද ප්‍රජාතන්ත්‍රීකරණයේ තවත් තාර්කික ප්‍රතිඵලයකි. අපි ඉතා පැහැදිලි තෝරා ගැනීමක් ලෙස සලකා ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

නිර්මාල් පෙනී සිටින කතිකාව ජාතිකවාදය ස්පර්ශ කරන තැනත්, අප ජාතිකවාදය සමග සම්බන්ධ වන ආකාරයත් අතර වෙනස සලකුණු වන්නේ එසේ ය.

ලංකාව වෙනස් කිරීමෙහි ලා ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීම ඉතා වැදගත් ය. එහෙත්, ජාතික ප්‍රශ්නය තිබියදී පවා පුළුල් දේශපාලන ප්‍රජාවන් සංවර්ධනය වීම ද නවතින්නේ නැත. ජාතික ප්‍රශ්නය සම්බන්ධ වෙනස්කම් සමාජ වෙනසෙහි අත්‍යවශ්‍ය මූලික කොන්දේසියක් නො වන්නේ ඒ නිසා ය.

2015 ජනවාරි 8 අඩු තීව්‍රතාවකින් සිදු වූ විප්ලවයේ අරමුණු ඉටු වීම ද සිදු වන්නේ අඩු තීව්‍රතාවකිනි. එහෙත්, එසේ වූවා ය කියා එම විප්ලවයේ කොටස්කරුවන් වූ අප නම් එයට අංශක 180ක් ප්‍රතිවිරුද්ධ වූ අක්ෂයක් වෙත යොමු වන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ යනු කුමන තත්වයක් යටතේ හෝ  ජනාධිපති ධුරය වැනි තනතුරකට ප්‍රවර්ධනය කළ යුතු අයෙක් නො වේ. ඔහු සම්බන්ධයෙන් අප නම් අදත් කියන්නේ ඔහු විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු විය යුතු බව පමණි.

ඔහු වැන්නකු බලයට පැමිණීමෙන් සිංහල බෞද්ධ ජාතිකවාදයට ප්‍රජාතන්ත්‍රවාදය මුණගැස්විය හැකි යයි සිතීම හා ඔස්සේ ඒ සාධනීය සමාජ වෙනස්කම් සඳහා පසුබිමක් නිර්මානය කළ හැකි යයි සිතීම අතිශය භයානක ය.

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ගෝඨාභය තර්ජනය පැරදවීමට නම් මුලින් ම කළ යුතු දෙය වන්නේ එය ඉදිරියේ දණ නො නැමීම ය.

සංකේතාත්මක වාමාංශික චරිතයක් වන නිර්මාල්ගේ හැසිරීම අප විග්‍රහ කර ගත යුත්තේ මෙම සංදර්භය තුළ ය. එය බොහෝ දෙනෙකු සිතන අන්දමේ අහිංසක චර්යාවක් නො වේ යයි අප කියන්නේ එහෙයිනි.

හූ ඉස් නිර්මාල්?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *