ප‍්‍රදර්ශන කාමයෙන් තොර තිරසාර සංවර්ධන යුගයක් – තුෂාල් විතානගේ

‘යහපාලන ආණ්ඩුව විසින් රටේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු ප‍්‍රවේශයක් ගෙන නැතැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩු විරෝධී පාර්ශ්ව දිගින් දිගටම චෝදනා කරමින් සිටිති. මේ ඒ ගැන විමසා බැලීමකි.

පසුගිය කාලය පුරා හඳ දෙස නොව, හඳ පෙන්වන ඇඟිල්ල දෙස බැලීමට පුරුදු පුහුණු කර සිටි ජනතාව යහපාලන ආණ්ඩුව ගැන කියනවා යැයි කියන කතා අතර ප‍්‍රධාන කතාවක් වන්නේ ‘මේ ආණ්ඩුව කිසිම සංවර්ධනයක් කරලා නැහැ’ කියන කතාවයි. මේ කතාවට උඩගෙඩි දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තැන තැන කියමින් යන්නේ ‘මම හදපු ඒවා විකුණා ගෙන කන එක හැරෙන්න මේ ආණ්ඩුව රටට තඹ සතේක සංවර්ධනයක් කර නැති ’ බවය.

මේ කතාවලට අඩුම කුඩුම දමා හොඳ හැටි ආලවට්ටම් කර ඒවා ජනමතයක් බවට පත් කිරීමට ද බොහෝ ජනමාධ්‍ය අද පුදුමාකාර උනන්දුවක් වගේම කැමැත්තක් දක්වන බවක් දැකිය හැකිය. මේ ජනමාධ්‍ය සමග ජාඩියට මූඩිය සේ පෑහෙමින් සිටින සමාජ මාධ්‍ය ද අද යහපාලන ආණ්ඩුවේ කේන්දරය සකස් කිරීමේ වගකීමට ස්වේච්ඡුාවෙන්ම උරදී ඇත. ඇතැම් ජනමාධ්‍ය උත්කර්ෂයට නංවමින් සිටින මේ කතා දෙස විමසුම් දෑසින් බලන විට මෙම කතාවලට හාත්පසින්ම වෙනස් කතාවක් රට තුළ සිදුවෙමින් පවතින බවක් දැකිය හැකිය.  යහපාලන ආණ්ඩුව තිරසර දැක්මක් සහිත ශක්තිමත් ගමනක් යමින් සිටින බවක් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.

මෙහිදී අපට ඉතා පැහැදිලිව දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකාර්මික සංවර්ධනය වෙත ද අගමැති රනිල් වික‍්‍රමසිංහම මහතා කාර්මික හා සේවා අංශයේ සංවර්ධනය වෙත ද සිය අවධානය යොමු කරමින් වඩාත් ප‍්‍රශස්ත හා තිරසාර සංවර්ධන ප‍්‍රවේශයක් ආරම්භ කොට ඇති බවයි.

කොන්ක‍්‍රීට් සංවර්ධනය ඉවතට

මහින්ද රාජපක්ෂ යුගයේ සම්පූර්ණ අවධානය යොමු වූයේ ද ජාතික සංවර්ධන න්‍යයා පත‍්‍රයෙහි ප‍්‍රමුඛ වූවේ ද ‘කොන්ක‍්‍රීට් සංවර්ධනය’ වශයෙන් සැලකෙන වරාය, ගුවන්තොටුපොළ හා අධිවේගී මාර්ග යන සීමිත පරාසයක් තුළ විහිදෙන හෞතික සම්පත් සංවර්ධනය කෙරෙහි පමණය. ඒ අතර ගමනැඟුම, මග නැඟුම, ගෙවතු දස ලක්ෂයක් වැනි ග‍්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දියත් වුව ද වියළි කලාපයේ වැව් හා වාරි මාර්ග සංවර්ධනය කෙරෙහි කිසිදු ආකාරයක අවධානයක් යොමු නොවීය. ඒ වෙනුවට මහ වැව් ආදිය කේන්ද්‍ර කොටගත් සංචාරක ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් දියත් වූ අතර ‘සී ප්ලෙන්’ ගුවන් යානා මහ වැව් වලට ගොඩබෑමේ සැලසුමක් ද සූක්ෂමව දියත් විය.

මෙම තත්ත්වය සරලව පැහැදිලි කරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනය තුළ උතුරු මැද, වයඹ ප‍්‍රමුඛ කෘෂිකාර්මික කලාපය සම්පූර්ණයෙන් නොසලකා හැරීමකට ලක් වෙද්දී හම්බන්තොට කේන්ද්‍ර කොටගත් සීමිත කලාපයක හෞතික සංවර්ධනය කෙරෙහි පූර්ණ අවධානය හා රාජ්‍ය සම්පත් යොමු කිරීමක් සිදුවිය.

යළි වාරි ශිෂ්ටාචාරය වෙත

එහෙත් පුලතිසි පුරයෙන් බිහි වූ ගොවි පුතෙකු වන ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රමුඛ අවධානයක් වාරි සංවර්ධනය කෙරෙහි යොමු වන්නේ පසුගිය කාලය තුළ කුඩම්මාගේ සැලකිල්ලටත් අන්ත සැලකිල්ලකට ලක් වූ රජරට ගොවියා ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් පමණක් නොව සෞඛ්‍යමය වශයෙන් ද ඔසවා තැබිය හැක්කේ වාරි මාර්ග සංවර්ධනය මගින් පමණක් බව අත්දැකීමෙන්ම වටහා ගෙන සිටි නිසාය.

මේ තත්ත්වය තුළ වාරි සංවර්ධනය කෙරෙහි ජනපතිවරයාගේ මේ අවධානය යොමුවීම සර්ව සාධාරණය. ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ම උපුටා දක්වන්නේ නම්, මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන ඇමැතිවරයාව සිටි සමයේ, එනම් 2007 ජනවාරී 25 වැනිදා ආරම්භ කළ මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීම පවා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින් වළක්වන්නේය.

මේ අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ දස වසරක් පුරා කුඩම්මාගේ සැලකිල්ලට ලක් වූ උතුරු මැද ප‍්‍රමුඛ කෘෂිකාර්මික කලාපයේ වාරි මාර්ග සංවර්ධනය ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රමුඛ කාර්යයක් වශයෙන් සැලකීම ජාතික අවශ්‍යතාවක් වශයෙන් සැලකිය හැකි බවයි.

තිරසර සංවර්ධනයක්

නියඟය, සහල් මිල ඉහළ යාම වැනි සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතය හා බැඳී පවතින ගැටලූ වලින් මුළු මහත් සමාජයම මෝහනයට පත්ව සිටින අතරතුර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට පමණක් නොව හත්මුතු පරම්පරාවක අනාගතයට ද බලපාන සුවිශේෂ සිදුවීම් දෙකක් පසුගිය සති කිහිපය තුළ වැඩි සද්ද බද්දයකින් තොරව සිදුවිය. ඉන් එකක් වූයේ පසුගිය ජනවාරි 11 වැනි දින සිදු වූ ‘මොරගහකන්ද ව්‍යාපෘතියේ’ මංගල දියවර රැුඳවුම් මංගල්‍යයයි. අනෙක ඊට මාසයකට පමණ පසු පෙබරවාරී 13 වැනි දා ආරම්භ වූ ‘වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියයි’

මෙම ව්‍යාපෘති ද්විත්වයම සමස්ත ශ‍්‍රී ලංකාවාසීන් කෙරෙහිම ප‍්‍රතිලාභ ලබා දෙන දැවැන්ත ව්‍යාපෘති දෙකක් වනවා පමණක් නොව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ සිදුවන දැවැන්තම වාරි සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය වශයෙන් ද සැලකිය හැකිය. එමෙන්ම මෙම ව්‍යාපෘති ද්විත්වයම තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියයට සියයක් සැලසුම් සහගත වූ ව්‍යාපෘති වශයෙන් ද සැලකිය හැකි බව වාරි විශේෂඥයින්ගේ අදහසයි.

මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය

මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය සැලකෙන්නේ ලංකාවේ වාරි කර්මාන්ත ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය වශයෙනි. සංඛ්‍යා ලේඛන දක්වන ආකාරයට එය පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාලවේ. සංඛ්‍යාත්මකව දැක්වුවහොත් මොරගහකන්ද කලූගඟ ජලාශයන්හි සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 660,000 ක් වන අතර යල මහ දෙකන්නය සඳහාම හෙක්ටයාර් 82,000 ක් සඳහා ජලය සැපයිය හැකිය.

මෙම දැවැන්ත ව්‍යාපෘතිය හුදු පරිමාණයෙන් ඔබ්බට ගොස් ඍජු සහ වක‍්‍ර ආකාරයෙන් දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභ ලබාදෙන සක‍්‍රිය ව්‍යාපෘතියක් වශයෙන් ද සැලකිය හැකිය. මේ වන විට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මෙම ව්‍යාපෘති මගින් වගා තීව‍්‍රතාවයේ සාමාන්‍ය අගය සියයට 100 සිට සියයට 181 දක්වා ඉහළ නැංවීමට හැකි වෙතැයි අපේක්ෂා කරන අතර සමස්ත ව්‍යාපෘතිය මගින් කෘෂිකාර්මික අංශයේ වාර්ෂික ප‍්‍රතිලාභය රුපියල් මිලියන 4000 ක් පමණ වෙතැයි ගණනය කර ඇත. සමස්ත ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 5000 කට අධික ප‍්‍රතිලාභ ලැබෙතැයි අපේක්ෂා කෙරේ.

මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය මගින් ලංකාවේ ප‍්‍රධානතම කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක වන අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත‍්‍රිකුණාමලය හා කුරුණෑගල යන දිස්ත‍්‍රික්ක පහේ ම ජනතාව ඍජු ප‍්‍රතිලාභ ලබති. මෙය පසුගිය යුගයේ ක‍්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දැකිය නොහැකි වූ තත්ත්වයකි. උදාහරණ වශයෙන් මහින්ද රාජපක්ෂ යුගයේ දියත් වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වූ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ ආදි සංවර්ධන ව්‍යාපෘති අවම වශයෙන් ප‍්‍රදේශයේ ජනතාවට පවා ප‍්‍රතිලාභ ලබා නොදුන් ඌණ ඵලදායී ව්‍යාපෘති බවට පත්විය.

වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය

වර්තමානයේ පවතින වියළි කාලගුණය සමග පවා පැහැදිලි වන කරුණක් වන්නේ විධිමත් හා තිරසර වාරි කළමනාකරණයකින් තොරව වියළි කලාපයේ වාරි මාර්ග පද්ධතියට අවශ්‍ය ජලය අවශ්‍ය පරිදි සම්පාදනය කිරීම අභියෝගාත්මක බවයි. විශේෂයෙන් කෙටි නියං තත්ත්වයක් හමුවේ පවා මහා ජලාශ ප‍්‍රමුඛ වැව් පද්ධතිය උග‍්‍ර ජල හිඟයකට මුහුණ පෑම අද සාමාන්‍ය තත්ත්වයකි. මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය මගින් මෙම ගැටලූවට තිරසර විසඳුමක් ලබාදීමට යන්නේ ලොකු කුඩා වැව් 1547 කට වාරි ජලය සැපයීමට පියවර ගැනීම සමගිනි.

මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතියට සමාගාමීව රුපියල් මිලියන 16,000 ක ආයෝජනයකින් ‘මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන’ යටතේ ක‍්‍රියාත්මක වන ‘වයඹ පළාත් ඇළ ’ ව්‍යාපෘතිය ද සැලකිය හැක්කේ මෑත යුගයේ ලංකාව තුළ ක‍්‍රියාත්මක වන සුවිශේෂ වාරි ව්‍යාපෘතියක් වශයෙනි.

මී ඔය ඉහළ ජලාධාර පෝෂක ප‍්‍රදේශයට හා හක්වටුණා ඔය ජලාශයට වාර්ෂිකව මහවැලි ජලය අක්කර අඩි 105,000 ක් හරවා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ උතුරු ප‍්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් 300 ක් හා ප‍්‍රධාන වැව් 8 ක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීම මෙහි ප‍්‍රධාන අරමුණක් වන අතර ප‍්‍රදේශයේ දැනට පවතින වකුගඩු රෝගය සඳහා ද හේතුවන උග‍්‍ර පානීය ජල ගැටලූවට පිළියම් ලබාදීම ද ප‍්‍රමුඛ අරමුණක් වශයෙන් සැලකේ.

සැඟවුණු සංවර්ධනය

ඉහත සඳහන් කළ මොරගහකන්ද – කලූගඟ සහ වයඹ පළාත් ඇළ ව්‍යාපෘති ද්විත්වය සැලකිය හැක්කේ ශ‍්‍රී ලංකාවේ වියළි කලාපීය ජනතාවගේ සමස්ත ජීවන පැවැත්මම ධනාත්මක පරිවර්තනයකට ලක් කරන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වශයෙනි. සංඛ්‍යාත්මකව ගත්විට මෙම ව්‍යාපෘති ද්විත්වය සඳහා පමණක් සිදුවන ආයෝජනය රුපියල් මිලියන 49,872.6 කි. මෙම ව්‍යාපෘති හරහා යල මහ දෙකන්නයේම වාරි ජලය ලැබෙන වගා බිම් ප‍්‍රමාණය හේකටයාර් 96,000 කි. වාරි ජලය ලැබෙන ලොකු කුඩා වැව් සංඛ්‍යාව 1547 කි. මේ සංවර්ධනයේ ප‍්‍රතිලාභ ලැබෙන්නේ රටේ හුදකලා එක් දිස්ත‍්‍රික්කයකට හෝ ප‍්‍රදේශයකට නොව ලංකාවේ ප‍්‍රධාන කෘෂිකාර්මික දිස්ත‍්‍රික්ක 05 කටය.

එහෙත් ප‍්‍රශ්නය වන්නේ මෙම දැවැන්ත සංවර්ධනය කිසියම් හේතුවක් නිසා ජනතාවගේ ඇස් මානයෙන් වසංව පැවතීමය. නැතිනම් ජනතාවගෙන් වසං කිරීමය. මෙය සිදුවන්නේ කෙසේද ? මේ ගැන අප ගැඹුරින් විමසා බැලිය යුතුය.

කොන්ක‍්‍රීට් සංවර්ධනය

අකමැත්තෙන් හෝ මෙම කරුණ සැසදිය යුතු වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමගය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් රට පාලනය කළ 2005-2015 දස වසර තුළ රටට දැවැන්ත සංවර්ධනයක් ලබාදුන් බවත් එය ජනතාවගේ ඇඟට දැනුණ බවත් බොහෝ විට කියන කතාවකි. අප මෙය ගැඹුරින් සාකච්ඡුා කළ යුතු වන්නේ මෙම සංවර්ධන කතිකාවත තුළ වත්මන් ආණ්ඩුව හෙළාදැකීමට හෝ ‘ආණ්ඩුව කරන දෙයක් නැහැ’ කතාව ද ජනතාවට ඒත්තු ගැන්වීමට ඇතැම් කණ්ඩායම් මහත් පරිශ‍්‍රමයක් දරමින් සිටින හෙයිනි.

මහින්ද රාජපක්ෂ යුගයේ ලංකාව තුළ සිදු වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතර ප‍්‍රමුඛ වන්නේ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, දක්ෂණ ලංකා අධිවේගී මාර්ගය, නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ ( වැඩ අවසන්ව නැත * රන්මිණි තැන්න සිනමා ගම්මානය ආදියයි. ඒ අතරට සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනය සහ හම්බන්තොට නගරය කේන්ද්‍ර කොටගත් දැවැන්ත ඉදිකිරීම් ( ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව* ද එක් කළ විට රට හමුවේ විවෘත වන්නේ කුමනාකාරයේ චිත‍්‍රයක්ද ?

මෙම දැවැන්ත ඉදිකිරීම් අතර ප‍්‍රමුඛ ව්‍යාපෘතිය වන හම්බන්තොට වරාය අදටත් සුදු අලියෙකි, මත්තල ගුවන්තොටුපොළේ තත්ත්වය ද ඊට නොදෙවෙනිය. රන්මිණිතැන්න, නෙළුම් කුළුණ ඊනියා ප‍්‍රදර්ශනකාමී ව්‍යාපෘති ද ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ට ඉල්ලමක් වූ ගම නැඟුම, මග නැඟුම සහ ඊනියා ගෙවතු වගා දස ලක්ෂය ගත්විට අපට පසුගිය දස වසර තුළ හමුවන්නේ ඌණ ආර්ථික ප‍්‍රතිලාභ ලබා දෙන්නා වූ ද හුදු ප‍්‍රදර්ශනකාමී ඉදිකිරීම් රැුසක් මිස සමස්ත ජාතියකට තිරසර සංවර්ධන ප‍්‍රතිලාභ ලබා දෙන්නා වූ ඵලදායී සංවර්ධන ව්‍යාපෘති නොවේ. රජය වාර්තා කරන ආකාරයට පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකළ මෙම සංවර්ධන ව්‍යාපෘතිවල පළමු පොලී වාරිකය පවා ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් යහපාලන ආණ්ඩුවටය. ඒවා යළිත් සක‍්‍රීය කරමින් රටට බරක් නොවන ඵලදායී සංවර්ධන ව්‍යාපෘති බවට පත් කිරීමේ අභියෝගය පැවරී ඇත්තේ වත්මන් ආණ්ඩුවටය.

ප‍්‍රදර්ශනකාමයෙන් ජනතාව මත්කළ යුගය

එහෙත් මෙම සියලූ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අදත් දැකිය දැක්කේ කුමක්ද ? ‘මහින්ද යුගයේ කළ සංවර්ධනයෙන් අලූක් කාලක් මෛත‍්‍රී යුගයේ සිදු නොවන බව’ට වන වහසිබස් දෙඩවීම්ය. මේ සුදු අලින් මහත් උත්කර්ෂයෙන් වර්ණනා කිරීම්ය. යහපාලනය යටතේ සිදුවන තිරසර ඵලදායී සංවර්ධන ව්‍යාපෘති අවප‍්‍රාණයට / අවඥාවට භාජනය වීමය.

මේ තත්ත්වයට යම් ප‍්‍රමාණයකට වත්මන් ආණ්ඩුව ද වගකිව යුතුය. මන්ද පසුගිය දස වසරක කාලය තුළ ඊනියා ප‍්‍රදර්ශනකාමයෙන් මත්කළ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් අද ද ඒ මත් ගතියෙන් සිටින හෙයිනි. ඔවුන් නැවත රාජපක්ෂ යුගයක් ගැනම සිහින දකින හෙයිනි. ඒ වෙනුවෙන් වත්මන් ආණ්ඩුව හෙළා දැකීමට  ඕනෑම මොහොතක සූදානම් හෙයිනි.

ඔවුන්ට අවශ්‍ය වන්නේ රුපියල් දහසක වැඩක් කළ විට රුපියල් ලක්ෂයක් වැය කර රට වටා පෝටස්ර් ගසමින්, කෝටි ගණනින් ජාතික ධනය වැය කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන සංවර්ධනයකි. පාලකයාගේ ප‍්‍රතිරූපය පමණක් වර්ධනය කරන සංවර්ධනයකි. අද මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ මෙම මාධ්‍ය සංදර්ශන සඳහා වූ වැය හෙළිදරව් වෙමින් පවතින ආකාරය අනුව ප‍්‍රදර්ශනකාමයේ තරම අවශ්‍ය ප‍්‍රමාණයටත් වැඩිය ජනතාවට වටහා ගත හැකිය. සංවර්ධනයේ නාමයෙන් ජාතික ධනය කාබාසිනියා කළ ආකාරය දැකගත හැකිය.

මාධ්‍ය සංදර්ශන නැති සංවර්ධනයක්

එහෙත් යහපාලනය තුළ, ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ භාවිතය තුළ සිදුවන තිරසර සංවර්ධන ව්‍යාපෘති තුළ මාධ්‍ය සංදර්ශන හෝ ප‍්‍රදර්ශනකාමය දැකිය නොහැකිය. ඒ වෙනුවට දැකිය හැකි වන්නේ මාධ්‍ය සංදර්ශන සඳහා ද වැයවන ජාතික ධනය මහත් අරපිරිමැස්මකින් යුතුව ජාතික සංවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමකි. මේ සඳහා රුපියල් මිලියන 50,000 කට ආසන්න මුදලක් ආයෝජනය වන මොරගහකන්ද – කලූගඟ ව්‍යාපෘතිය, වයඹ ඇළ ව්‍යාපෘතිය පමණක් නොව රුපියල් මිලියන 10,000 ක් පමණ ආයෝජනය කළ ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන ද උදාහරණ වශයෙන් දැක්විය හැකිය.

මෙම දැවැන්ත සංවර්ධන කාර්යයන් ත‍්‍රිත්වයේදීම අප දුටුවේ හුදු ප‍්‍රදර්ශනකාමය ඉක්මවා ගිය තිරසර සංවර්ධන භාවිතය පිළිබඳ වුවමනාවකි. ජනතාවට, රටට ලැබෙන තිරසර ආර්ථික සහ සංවර්ධන ප‍්‍රතිලාභ ගැන මිස ප‍්‍රතිරූප සංවර්ධනය ගැන නොසිතන භාවිතයකි. මෛත‍්‍රීපාල සිරිසේන පාලනය තුළ සිදුවන තිරසර ඵලදායී සංවර්ධනයේ ආදර්ශය වන්නේ එයයි.

එහෙත් ජාතියේ අවාසනාවට අති සුළුතරයක් විසින් වපුරන මිත්‍යාවක් අති බහුතරයකගේ හඬක් වශයෙන් වේගයෙන් හා අඛණ්ඩව සමාජගත වෙමින් තිබේ. මෙය වහාම නවතා දැමිය යුතු අති භයානක තත්ත්වක් වශයෙන් සැලකිය හැකියි. මන්ද මේ හරහා සමාජගත වන්නේ ‘ආණ්ඩුවෙන් සංවර්ධනයක් වෙන්නේ නැහැ’ ‘ජනතාවට ලැබුණ දෙයක් නැහැ’ යන මුසාව පමණක් වීමය.

‘මෛත‍්‍රී පාලනයෙන් රටට ලැබුණේ මොනවාද ?’ යනුවෙන් මැසිවිලි නඟන ජනතාව මේ මොහොතේ රට තුළ නිහඬව, එහෙත් තිරසරව සිදුවන දැවැන්ත සංවර්ධන වැඩසටහන් ගැන මීට වඩා විමසිලිමත්ව හා සංවේදීව විමසා බැලිය යුතුය. එසේ නොවුණහොත් යළිත් කොන්ක‍්‍රීට් සංවර්ධන සුදු අලි අතර මුළු රටම යළි අතරමං වන දිනයක් පැමිණීම නොවැළැක්විය හැකි වනු ඇත.

සටහන

තුෂාල් විතානගේ

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *