| |

IMF වැඩපිළිවෙළින් ඉවත් වුණොත් මූල්‍ය විනයක් නැති රටක් වෙනවා – මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

මෙරට මහජනතාවගෙන් වැඩිදෙනකු ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවති. එය එසේ තිබියදී රටටම යම් සහනයක් ඉකුත් කාලයේදී ලැබුණු බවත් සැවොම පිළිගන්නා කරුණකි. එහෙත්, දැන් නැවත අපට කලින් පැවැති අර්බුදකාරී තත්ත්වයටම මුහුණ දීමට සිදුවේ දැයි බියක් සමාජයේ පවතියි. මැතිවරණ ඉලක්ක කර ගනිමින් කරන, පක්ෂ, විපක්ෂ මතවාද සමඟ එය එසේ වී ඇතැයි ඇතැම් විද්වත්හු පෙන්වා දෙති. අපි ඒ ගැන දැන් වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සමඟ වැඩිදුරටත් කතා කරමු.

– ජාත්‍යන්තර ප්‍රජාව මෙරට සමඟ කරන ගනුදෙනු නවතා දැම්මොත් සෝමාලියාවක් වේවි
– ආර්ථික අර්බුද කාලයේ අපිට තිබුණු එකම විකල්පය IMF විතරයි
– මේක දේශපාලන තීන්දුවලට වඩා ආර්ථිකමය තීන්දු අවශ්‍ය කාලයක්
– ඉදිරි මැතිවරණයේදී ආර්ථිකය යහමඟට ගෙන යා හැකි අපේක්ෂකයකු තෝරාගන්න

අද වන විට අපේ ආර්ථික කලදසාව කොහොම එකක්ද?

අපට වර්තමානය දෙස ඉකුත් වසර කිහිපය ගෙන සංසන්දනාත්මකව බලා යමක් කිව හැකියි. ඛනිජ තෙල්, එල්. පී ගෑස් පෝලිම් හැදුණු, ජනතාව ඉතා අපහසුවෙන් ජීවත් වුණු කාලයට මේ වන විට යම් හුස්මක් ලැබී ඇති වග කිව යුතුයි. ඒ, දැඩි සත්කාර ඒකකයේ සිටි රෝගියකු සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමක් වගේ, ඒක, එහෙම වුණේ IMF වැඩපිළිවෙළ හා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී අපට සහාය වුණු වෙනත් රටවල්, ආයතන, සංවිධාන ආදිය හමුවෙයි. විශේෂයෙන් IMF වැඩපිළිවෙළ ගැන විවිධ විවේචන, මතවාද තියෙනවා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි. කොන්දේසි නොවන එකඟතා විදියටයි මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යන ඉදිරි වැඩපිළිවෙළ හැඳින්විය හැකි වෙන්නේ.

එතැනින් අපි නැවත දැඩි ආර්ථික අර්බුදයක් පැවැති කාලයට හැරුණොත්, එහිදී අපට තිබුණු එකම විකල්පය IMF යෑමයි. ඒ හරහා අපට අමෙරිකානු ඩොලර් බිලියන 2.6ක් පමණයි ලැබුණේ. ඒත් ඒ හරහා අපට ණයවර ලිපි විවෘත කරවා ගැනීම් ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවත් සමඟ කරන ගනුදෙනුවලට එයින් අත්වැලක් ලැබුණානේ. හැබැයි ඉන් එහාට වැඩපිළිවෙළක් රටට තිබිය යුතුයි.

ඒ අතින් බලන විට මේ වසරේ මුල් මාස 5තුළදී මෙරටට ඝෘජු විදේශ ආයෝජන අමෙරිකානු ඩොලර් බිලියන 2.6කට වඩා ඇවිත්. විදෙස් සංචාරකයනුත් ලක්ෂ 10 ඉක්මවා පැමිණ තිබෙනවා. අපිට තිබුණු ලොකුම ගැටලුව විදේශ විනිමය හිඟකමයි. ඊට රාජ්‍ය ආදායම කඩා වැටීම ප්‍රධාන කාරණයක්. හැබැයි වැඩියෙන් බදු අය කර ගැනීමෙන් ඒ අඩුව සපුරා ගැනීමට රජය උත්සාහ දරන බවක් පෙනෙනවා. ඒත්, එවිටත් ජනතාව පීඩාවට පත් වෙනවා. හැබැයි අපට අවශ්‍ය පීඩනය අවම කර ගත හැකි වාතාවරණයක් තියෙනවා. ඉතින් මේ අපට දේශපාලන තීන්දුවලට වඩා ආර්ථිකමය තීන්දු අවශ්‍ය කාලයක්. අපට ජයග්‍රහණය පිණිස ඉවහල් වෙන්නේ ඒ මඟයි. ඒ අනුව, ඉදිරි මැතිවරණවලදීත් ඒ මඟට රට ගෙනයා හැකි අපේක්ෂකයකු ජනතාව පත්කර ගත යුතුව තියෙනවා.

අපනයන ඉහළ නංවා ගැනීම මේ අතින් හොඳ විකල්පයක් නේද?

ඔව්. වාර්ෂිකව ඩොලර් බිලියන 13ක් වැනි විශාල විදේශ විනිමයක් විදේශ වෙළෙඳාමෙන් මෙරට උපයාගන්නේ. අපනයන දිරිමත් කරවා ගැනීමට කටයුතු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පෙන්වා දෙන්නකි. තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පෙන්වාදීම් දෙසට හැරුණොත්, ඉන් මෙරට ජනගහනයෙන් වැඩි දෙනෙක් ආර්ථික අතින් පහළ තැනක ඉන්නා වග පෙන්වා දෙනවා. එසේම, තවම මෙරට ආර්ථික අර්බුදයක් පවතින බවත් එහි සඳහන්. ඉතින්, වැල් පාලමේ ගමන තවම තියෙනවා. ඒ ගැන කොතෙකුත් කතා කරනවා. හැබැයි ඊට විසඳුම් ඉදිරිපත් වෙන්නේ නැතිම තරම්. ඒක එහෙම වුණත්, ආර්ථික අතින් ස්ථාවරත්වයක් හිමිකර ගනු ඇතැයි සිතිය හැකි පෙර මං සලකුණු මෙරටින් දක්නට ලැබෙතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පෙන්වා දෙනවා. නව පනත් සම්මත කර ගැනීම්, මහ බැංකුව ස්වාධීන කිරීම ආදිය ඒ අතින් ධනාත්මක ලක්ෂණ වශයෙන් දක්වා තිබෙනවා. අනෙක, වංචා, දූෂණ අක්‍රමිකතා අවම කරවා ගැනීම. ඒ කවර රටකට වුවත් වැදගත් කාරණා. අපි කඩාවැටුණු රටවල් අතර වේගයෙන් නිවැරදි වන රටක් විදියටත් එමඟින් හඳුන්වාදී තිබෙනවානේ. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමත් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරනවා. රට හැරයෑම් බහුලවීම, සාධාරණ බදු ප්‍රතිපත්තිවල අවශ්‍යතාව දෙස්, විදෙස් විද්වතුන් මෙහිලා අවධාරණය කරන කරුණු අතර වෙනවා.

එසේම, රාජ්‍ය ආදායම වැඩි කෙරෙන බදු පනත් ආදිය ගෙන ඒම, රජය පාර්ශ්වයෙන් භාණ්ඩාගාර බැඳුම්කර, බිල්පත් ආදි ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවනු ලැබුවා. රජය දේශීය වෙළෙඳපොළෙන් ගන්නා ණය වැඩිවීම එසේ තිබියදී ඩොලර් ආදායම් එතරම් වැඩි වුණේ නැහැ. ආර්ථික පරිවර්තන පනත ආදිය ගෙන එමින් රජය ඒ කෙරෙහි මඟ පාදා ගැනීමට කටයුතු කරනවා ඇති.

රජයේ නිලධාරීන් ගැන හිතන්නේ මොකක්ද?

පොදුවේ රාජ්‍ය සේවය ස්වාධීන කළ යුතු වෙනවා. දේශපාලනඥයන්ටත් වඩා මෙරට කඩා වැටීමට රාජ්‍ය නිලධාරින්ගේ වැරදි හේතු වූ බව මගේ අදහසයි. ස්ථිර ලේකම්වරුන් යටතේ දේශපාලනඥයන්ට හිතුමතේ වංචා, දූෂණ කිරීමට ඇති ඉඩ ඇහිරීමක් ඉතිහාසයේ පැවතුණා. ඒ පිළිබඳ සිහිකිරීමේදී නිතැතින්ම සිහියට එන, ආර්. පාස්කරලිංගම්, බී. වීරකෝන් වැනි හිටපු ස්ථිර ලේකම්වරුන් ඒ අතර වෙනවා. මෑතකාලීනව ගත් විටත්, ඇතැමුන්ගෙන් කුමන චෝදනා එල්ල වුණත්, පී.බී ජයසුන්දර එවැන්නෙක්. ඉතින්, දේශපාලනඥයන් වංචා, දූෂණ ආදියේ යෙදෙන්නේ රාජ්‍ය නිලධාරීන් හරිහැටි කටයුතු නොකිරීමෙනුයි. එය මැඬලීමට කඩිනමින් දැඩි නීති ගෙන ආ යුතු වෙනවා. ඒත්, ඇමැතිවරයාගේ නියෝගවලට අවනත නොවුණු විටදී ලේකම් ආදීන් සේවයෙන් ඉවත් කිරීමට හැකි නිසා තවමත් ඒ තත්ත්වය වැළකිලා. හැබැයි, ඉදිරියේදී කලින් මං සඳහන් කළ පරිදි ස්ථිර ලේකම්වරුන් නැවත සේවයේ පිහිටුවා යුතු තැනට රට එන්න ඕනෑ. එහෙම නැතිනම් ලේකම්වරයාගේ පටන් කාර්යාල කාර්ය සහායකවරුන් දක්වා දූෂිතයන්, වංචාකරුවන් වීම වැළැක්විය නොහැකියි. රාජ්‍ය සේවය ස්වාධීන කරන්නට නම් ස්වාධීන ලේකම්වරුන් සේවයේ පිහිටුවා ගැනීමට මහජනතාව අතුරෙන්ම යෝජනා ඉදිරිපත් වීමයි මෙහිදී වැදගත්. ඒ මිසෙක, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබුණත් ඒවායේ තනතුරුවලට පුද්ගලයන් පත් කරන්නේ කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පටන් ඒක එහෙමමයි.

ඉදිරි අය වැය (2025) ඉදිරිපත් කිරීමට නොහැකි තැනකට රට ඇද වැටෙතැයි අවදානමක් මතු වෙලා ද?

අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමඟ ඉදිරියට යන වැඩපිළිවෙළ වෙනස් කිරීම කෙරෙහි ඇතැමුන් අදහස් දැක්වීමත් එක්ක එහෙම කතාබහක් ඇති වෙලයි තියෙන්නේ. හැබැයි අපි රටක් විදියට මින් පෙරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළින් බොහෝ වර ඉවත්වී තියෙනවා. තවදුරටත් එය එසේ වුවහොත් එයින් මෙරට මූල්‍ය විනය හොඳ තැනක නැති බවත් මෙරටින් කිසිදා මූල්‍ය විනයක් අපේක්ෂා කළ නොහැකි බවටත් ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමක් විය හැකියි. එවිට ජාත්‍යන්තර ප්‍රජාව මෙරට සමඟ කරන ගනුදෙනු නවතා දමන නරක තැනටත් කටයුතු යෙදෙන්න පුළුවන්. එයින් 2028 වර්ෂය තෙක් අපට විදෙස් ණය ගෙවීමට ඇති සහන කාලයත් අහෝසි වීම් ආදී විපාක ඇති වන්නටත් ඉඩ තියෙනවා. සෝමාලියාව වැනි තැනකට ජාත්‍යන්තරය ඉදිරියේදී එවිට මෙරට තල්ලු විය හැකියි. ඒ නිසයි එතැනදී අපි හොඳ විමසිල්ලෙන් කරුණු අවබෝධ කර ගන්න ඕනෑ කියන්නේ.

ඒත්, ඇත්තෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළේ, පිටු 154ක පමණ ලියවිල්ලක්. එයින් කියන දේ මුලින් අවබෝධ කර ගන්න ඕනෑ. එහි ඉදිරි වසර ගණනාවට අදාළව දින වකවානු සහිතව මඟපෙන්වීම් ඇතුළු කරුණු දක්වා තියෙනවා. ඒත් ඊට විවිධ දේශපාලන අර්ථකථන දීම දේශපාලනඥයන්ගෙන් නිතර දක්නට ලැබෙනවා. ඒ අතර බිල්ලන් මවාපෑමත් නිතර සිදු වන්නක්. ඒත්, වැරදි නිවැරදි කරගෙන හරි මාවතට පිවිසීමට කරන මඟ පෙන්වීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා අතර තියෙනවා. කලින් සඳහන් කළා වගේ, මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීම, ටෙන්ඩර් පටිපාටියේ දූෂණ අක්‍රමිකතා ඉවත් කිරීම, රාජ්‍ය ආයතනවලට නිලධාරීන් පත් කිරීමේදී හුදු දේශපාලන පත්කිරීම් නොකිරීම, වත්කම් බැරකම් ප්‍රකාශ එළිදැක්වීම ආදිය හරහා මෙරට යහමඟට ඒම ගැන මැන බැලීමකුත් ඒ තුළ තියෙනවා.

අනෙක, මෙරට මූල්‍ය සාක්ෂරතාව 43%ක් තරම් අඩු තැනකයි තියෙන්නේ. එයින් ඇඟ වෙනවා කෙතරම් විශාල පිරිසකට ඒ දැනුම නැතිද කියලා. ඉතින් ආර්ථිකය හා දේශපාලන විද්‍යාව ගැන ඕනෑම අඥානයකුට කතා කළ හැකියි කියලා කතාවකුත් තියෙනවානේ, ඒ වගට කොතෙකුත් නිදසුන් තියෙනවා. එම්.සී.සී. ගිවිසුමේ හරවත්, ඵලදායී අංග කොතෙක් තිබුණත් එය රට බෙදා වෙන් කිරීමක් බවට ප්‍රකාශ කළ හුඟදෙනකු ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමැත්තන් නොවෙයි. විද්‍යා ගුරුවරුන් ආදී වෙනත් අයයි ඒ අතර හිටියේ. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වුණත් එහෙමමයි. ඒ ගැන කතා කළ හුඟදෙනකු එම විෂයය ගැන ප්‍රවීණයන් නොවන අයයි. දේශපාලන විද්‍යාව ගත් විටත් එය එසේමයි. ඒ විෂයය පිළිබඳ දැනුමක් ඒ ගැන සමාජයේ කතා කිරීමේදී අත්‍යවශ්‍ය නැහැනේ. ඕනෑම අයකුට ඕනෑම තැනක ඉඳන් ඒ ගැන අදහස් දැක්විය හැකියි. ඒ වගේ තමයි, එහෙම බලන විටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ එකඟතා තියෙනවා. හැබැයි කොන්දේසි දාලා නැහැ. එයින් අප පිට බලෙන් පැටවූ දේ නෙවෙයි, ඒ එකඟතා.

ඒ විතරක් නෙවෙයි, අලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම ගැන කතාබහක් තියෙනවා. ඒත්, රජය ඒවා කළමනාකරණය කරන විටත් ඒවා කලක් පුද්ගලික කළමනාකරණය යටතේ තිබියදී තත්ත්වයක් යන දෙකේ වෙනස මෙතැනදී සොයා බැලීම වැදගත්. එමිරේට්ස් සමඟ යද්දී එයාර් ලංකා ලාභ ලැබීමත් පසුව පාඩු වීමත් පසුපස තියෙන්නේ පරිපාලනය සම්බන්ධ ගැටලු. ලංගම වුණත් එහෙමයි. පුද්ගලික බස් සමාගම් ලාභ ලබන විට ලංගම පාඩු ලැබීමත් එහෙම දෙයක්. ඒත්, විකුණා දැමීම වෙනුවට ලාභ ලබන තැනට රාජ්‍ය ව්‍යවසාය පත් කළ හැකියි. එතැනට කතාබහක්, වැඩපිළිවෙළක් අවශ්‍යයි.

හැබැයි සුභසාධනය තවම මෙරටට අවශ්‍යයි නේද?

හැබැයි, ඒ සදාකාලික දුගීභවේ ඇලී ගැලී සිටීමට රුකුල් දෙන තැනට නොවිය යුතුයි. තාවකාලිකව දුගීභවෙන් අත්මිදීමට අතදීමක් විදියටයි සහනාධාර දිය යුත්තේ. ඒත්, මෙරට ලක්ෂ 42ක් පමණ වන සහනාධාරලාභීන් ලක්ෂ 70ක් තරම් වන තැනට තල්ලු වීමක් අද වෙලා තියෙන්නේ. ලෝක බැංකුවේ සංඛ්‍යා දත්ත මෙරට 25.9ක් දුප්පතුන් බව සඳහන් කරනවා. වර්ෂ 2019න් පසුව ඇතිවූ සමාජ, දේශපාලන, ආර්ථික අර්බුද හමුවේ ඒ තත්ත්වයේ වැඩි වීමක් දක්නට පුළුවන්. මේ අනුව මහජනතාවට හරි වැඩපිළිවෙළ අනුගමනය කරන තැනට රට ගෙන ඒමට අදාළ තීන්දු තීරණ ගැනීමේ වගකීම ඇති බවත් කිව යුතුයි.

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

නුවන් මහේෂ් ජයවික්‍රම

MH – Lake House & Dinamina

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *