| |

ඉදිරියට යන ආර්ථිකයක සුබලකුණු – සුනන්ද මද්දුමබණ්ඩාර

 

 

ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මග සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයන් විස්මයට පත්වන ආකාරයේ තොරතුරක්  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා හෙළි කළේය. CMA Sri Lanka ආයතනය විසින් පසුගිය සතියේ පැවැති රැස්වීමකට සහභාගි වීමෙන් පසු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4 කින් වර්ධනය වීමට ඉඩ ඇති බවයි.

මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් පුරෝකථනය කරන ලද ඉලක්කවලට වඩා සැළකිය යුතු මට්ටමකින් ඉහළ වර්ධන වේගයක් ඇතිවන බව ආචාර්ය වීරසිංහගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ද ශ්‍රී ලංකාවේ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතන විසින් ද අපේක්ෂා කරන ලද්දේ ඒ ආකාරයේ මධ්‍ය මට්ටමකින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සිදුවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළඹුණු විස්තීරණ ණය පහසුකම් ලබාදීමේ ගිවිසුමට පාදක කරගනු ලැබුවේ එම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපාමින් තිබු කරුණුය. විදේශ ණය ගෙවීමට නොහැකි බව ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු බොහෝ ආර්ථික අංශවල සැළකිය යුතු මට්ටමක කඩා වැටීමක් සිදුව ඇති බව පිළිගැනීමට සිදුවේ. ඉහළ පොළී අනුපාතික, ඉහළ උද්ධමනය, ඉහළ විදුලි බිල සහ ඉන්ධන මිල ආදිය හේතුවෙන් රටේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස බඩු මිලදී ගැනීම් ඉහළ ගියේය. එවැනි හේතු නිසා ආර්ථික ක්‍රියාකාරීත්වය පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස්වීම්වලට බඳුන් විය. සරලව ප්‍රකාශ කරන්නේ නම් ආර්ථිකය තුළ බොහෝ නිෂ්පාදන හා සේවා අංශ බිඳ වැටී නිෂ්පාදනය පහළ වැටීමක් ඉන් අදහස් වේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ ගිවිසුම අත්සන් කරන විට පැවති එම තත්වය අනුව 2024 වසරේදී ඉහළ ආර්ථික වර්ධනයක් ඇතිවේ යැයි අපේක්ෂා කළ නොහැකි විය. බංකොලොත් බව ප්‍රකාශයට පත්කරන විට පැවැති ආර්ථික තත්වය ක්ෂණිකව වෙනස් කිරීමට හැකියාවක් නොවීය. විස්තීරණ ණය පහසුකම ලැබීමෙන් සෑහෙන කලකට පසුව ආර්ථිකය යථා තත්වයට පත්වනු ඇතැයි යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස විය. එළඹ ඇති එකඟතා බොහොමයකට පදනම් කර ගන්නා ලද්දේ එම අවස්ථාව වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදල් අමාත්‍යාංශය සහ රජය ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ එම අදහස් හා මත බව පෙනී යයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ අනුව පුරෝකථනය කළේ 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2 කින් ඉහළ යනු ඇති බවයි.

කෙසේ වුවද ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඇතිකරගෙන තිබූ නිගමන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා මදක් වෙනස් විය. ලෝක බැංකුව ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසරේදී සියයට 2.2 වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබුණි. ලෝක බැංකුව ද ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි නිගමනය කර ඇත්තේ එම බැංකුවේ ආර්ථික විද්‍යාඥයන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ආර්ථික විවරණ පදනම් කරගෙනය. කෙසේ වුවද මහබැංකු අධිපතිවරයා විසින් 2024 ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නව පුරෝකථන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවත්නා බව පෙන්නුම් කරයි. මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථිකය සියයට 5.4 කින් වර්ධනය විය.

2023 වසරේ තුන්වැනි කාර්තුව වන තුරුම සැළකිය යුතු කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෘණ වර්ධනයක් පෙන්නුම් කළේය. ඊට පෙර කාර්තු හයකදීම ශ්‍රී ලංකා ආර්ථිකය වාර්තා කළේ සෘණ වර්ධනයකි. එවැනි තත්වයක් තුළ ඉතා ඉක්මනින් ආර්ථික වර්ධන වේගය ඉහළ දැමීමක් අපේක්ෂා කළ නොහැකිය. ශ්‍රී ලංකාව සහ අයිඑම්එෆ් අතර ඇතිකර ගන්නා ලද ණය ගිවිසුම අනුව ආර්ථික කළමනාකරණය සඳහා විවිධ උපාය මාර්ග යොදා ගැනීමටත් සමහර ආර්ථික අංශ සම්බන්ධයෙන් මීට පෙර පැවැති තත්වයට වඩා වෙනස් අරමුණු මත කටයුකු කිරීමටත් සිදුවිය. උද්ධමනය පාලනය කිරීම සඳහා පොළී අනුපාත ඉහළ දැමීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. රටේ උද්ධමන අනුපාතය වාර්තාගත අන්දමින් ඉහළ ගියේය. එය පාලනය කිරීම සඳහා පොළී අනුපාතය ඉහළ දැමුවේය. ඉහළ පොළී අනුපාත ආර්ථික වර්ධනය සඳහා දායකත්වයක් දෙන්නේ නැත. ඒ හේතුවෙන් බොහෝ නිෂ්පාදනවල නිෂ්පාදන වියදම ඉහළ ගිය අතර ඒ හේතුවෙන් ආර්ථික වර්ධන අනුපාතය පහත වැටීමට එය හේතුවක් වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සියයට දෙකක් ලෙස මේ වසරේ ආර්ථික වර්ධනය පුරෝකථනය කරන විට අද පවතින සාධක සැළකිල්ලට ගනිමින් මහබැංකු අධිපතිවරයා සියයට 4 ක වර්ධනයක් ඇතිවන බවට පුරෝකථනය කර තිබේ. ආර්ථිකයේ මෑතකාලීන උපනති දෙස බලන විට මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයේ ප්‍රබල වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කිරීම සාධාරණ බව පෙනේ. බොහෝ ආර්ථික අංශවල සැළකිය යුතු ප්‍රගතියක් දක්නට ලැබේ. 2024 වසරේ පළමුවන භාගය (ජනවාරි – ජුනි) රටේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3144 දක්වා ඉහළ ගියේය. 2023 වර්ෂයේ එම කාලය තුළ ලබන ලද ආදායම ඩොලර් මිලියන 2833 ක් විය. එම කාලය තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 කින් වැඩිවී තිබේ. ජුලි මස දක්වා මාස 03ක කාලය තුළ සෑම මාසයකදීම ඩොලර් මිලියන 500 කට වැඩි ප්‍රේෂණ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් රටට ලැබී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඒ ආකාරයටම සමහර ආර්ථික අංශයන්හි හිතකර වෙනස්කම් ඇතිව තිබෙන ආකාරය ද දැකගත හැකිය. මෙම කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සෘජු ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 20 කින් ඉහළ ගියේය. ඊට පෙර කාලය තුළ අඛණ්ඩව අත්දැකීමට හැකි වූයේ එම වෙළෙඳපොළෙන් ඉවත්කර ගන්නා විදේශ ආයෝජන ප්‍රමාණය එම වෙළෙඳපොළට එන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පැවතීමයි. එසේ වුවද දැන් කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන ඉවත්කර ගැනීම්වලට වඩා එකතුකර ගැනීම් ඉහළ මට්ටමක පවත්නා බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවෘත වෙළෙඳපොළ කටයුතු පිළිබඳව දින කීපයකට පෙර ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවල දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තැන්පතු (රුපියල් තැන්පතු) ඩොලර් ට්‍රිලියන 11 කින් වැඩිවී ඇති බවයි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් පසුගිය කාලපරිච්ඡේදය තුළ දැඩි අර්බුදයකට මුහුණ දී සිටියේය. කොවිඩ් වසංගත කාලය තුළදී ප්‍රදේශ වසා දැමීම සහ විවිධ සම්බාධක පැනවීම වැනි හේතු නිසා ව්‍යාපාර කටයුතු නවතා දැමීමට සිදුවිය. ආර්ථික අර්බුද සමයේදී ද නිෂ්පාදන හා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් වැසී ගියේය. අපනයන, කෘෂිකාර්මික, තාක්ෂණික සහ සංචාරක වැනි අංශවලට එම තත්වය දැඩි ලෙස බලපෑ අතර විශාලම බලපෑම එල්ල වූයේ කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලැබූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බව පෙනේ.

මෑතකදී මෙම අංශ සැළකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙනේ. එම අංශවල නිෂ්පාදන කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතුවල ද සැළකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි. මේ වනවිට ආර්ථිකයේ සෑම අංශයකම පෙන්නුම් ‍කෙරෙන්නේ කෝවිඩ්වල සිට ආර්ථික අර්බුදය දක්වා කාලය තුළ මුහුණදෙමින් සිටි තත්වයට වඩා සුබදායක වෙනසක් ඇතිව තිබෙන බවයි. 2024 පළමුවන කාර්තුවට අදාළ සංඛ්‍යා දත්ත පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනේම කැපී පෙනෙන සාධනීය වෙනස්කම් ඇතිව තිබෙන බවයි. සියයට 5.4 ක් වැනි ඉහළ වර්ධන අනුපාතයක් ඇතිවීමට එම කාර්තුවේදී හැකිවී තිබෙන්නේ ඒ ආකාරයට ආර්ථිකයේ සෑම අංශයකම සිදුව තිබෙන සුබදායක වෙනස්කම් හේතුවෙනි.

මෙම තත්වය වඩා හොඳින් පිළිබිඹු වන්නේ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳ වාර්තා මගිනි. බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට පෙර තත්වය හා සසඳන විට විදේශ සංචිත සුළු ප්‍රමාණයක් හෝ පවත්වාගෙන යෑම සැළකිය හැක්කේ මහා විසඳුමක් ලෙසය. ඊට හේතුව බංකොලොත් බව ප්‍රකාශයට පත්කරන විට වරායට පැමිණි ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බිල්පත් පියවීමට අවශ්‍ය කරන සුළු මුදලක් හෝ ගෙවීමට නොහැකි තත්වයකට රට පත්ව තිබීමයි. එහෙත් මේ වසරේදී රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7 දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දී එය ඩොලර් බිලියන 4.4 ක් විය. මෙම කෙටි කාලය තුළදී විදේශ විනිමය සංචිත විශාල ලෙස ඉහළ ගොස් ඇති ආකාරය ඉන් පැහැදිලි වේ.

2024 වර්ෂයේදී රටේ ආර්ථික වර්ධන වේගය සියයට 2 ක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේය. ලෝක බැංකුව එය සියයට 2.2 ක් වනු ඇතැයි පුරෝකථනය කළේය. ශ්‍රී ලංකාවේ මහබැංකු අධිපතිවරයා පසුගිය සතියේදී ප්‍රකාශ කළේ රටේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4 ක මට්ටමක පත්වනු ඇතැයි ද එය අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි ද යන්නයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට වඩා දෙගුණයකින් වැඩි පුරෝකථනයක් මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කර තිබේ. අනුගමනය කරන ලද සාර්ව ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය ඉතා ඉහළ වේගයකින් වර්ධනය වන බවත් එය අපේක්ෂා කරන මට්ටම මෙන් දෙගුණයක් වී ඇති බවත් පැහැදිලි වේ. එය ආර්ථිකයේ විස්මයජනක වෙනස්කමකි.

 


කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය


සුනන්ද මද්දුමබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *