මහ ඇමැති තුන් කොටසක් ගැන ජනපති කියයි

 

රුසියාවේ සිව්දින සාර්ථක නිල සංචාරයකින් පසු ජනපති මෛත්‍රී ශ්‍රී.ල.නි.ප.යට සම්බන්ධ සියලූම පළාත් මහ ඇමැතිවරුන්ට තමා හමුවන ලෙස හදිසි පණිවිඩයක් ලබා දුන්නා. ඒ අනුව පසුගිය සඳුදා රාත්‍රියේ ශ්‍රී.ල.නි.ප.යට සම්බන්ධ සියලූම පළාත් මහ ඇමතිවරුන් හා පළාත් අමාත්‍යවරුන් ජනපති නිල නිවසට පැමිණියා. එහෙත් ඒ අතර උතුරු මැද පළාත් සභාවේ රංජිත් සමරකෝන් ඇමතිවරයා නොසිටීම විශේෂත්වයක් වුණා.

පළමුවෙන්ම පැමිණ සිටි සියලූම මහ ඇමතිවරුන් සහ පළාත් ඇමතිවරුන්ව ඉතාම සුහදව පිළිගත් ජනපති මෛත්‍රී පැවසුවේ, අද මෙතනට පැමිණ සි‍ටින පිරිස අතර මගෙත් එක්ක ඉතාම සමීපව සම්බන්ධ හා ඍජුවම කටයුතු කරන පිරිසකුත් ඉන්නවා, ඒ වගේම තමයි මාත් එක්ක සම්බන්ධ නැති ඍජුවම කටයුතු නොකරන පිරිසකුත් ඉන්නවා, ඒ වගේමයි මේ දෙකටම නැති අතරමැද කොටසකුත් වශයෙන් කියන කොටස් තුනක් මෙතන ඉන්න බව පළමුවෙන්ම මම කියන්න ඕනෑ.

මොකද මමත් මේ පොළොවේ පය ගහල ඉන්න මිනිහෙක්නෙ. ඒ බව අවබෝධ නොකර දේශපාලනය කරන කෙනෙක් නොවන බව මම මුලින්ම ඕගොල්ලන්ට කියන්න ඕනෑ. හැබැයි එහෙම වුණා කියල පක්ෂයක් හැටියට බලල මම ඔය තුන් පිරිසටම එක ආරාධනාවක් කරන්න කැමතියි. දැන් අපේ පක්ෂය හරි අතට යන වෙලාව.

දැන් කාලය හරි විවේචනයට ඉඩ දුන්න. කෑගහන්න ඉඩ දුන්න. දැන් අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ඉඩ දුන්න. ඒක නිසා අපි දැන් පක්ෂයේ ඉදිරිය ගැන හිතමු. මොකද ශ්‍රී.ප.නි.ප.යට මේ තත්ත්වය අලූත් දෙයක් නෙවෙයි. මීට කලිනුත් මේවගේ දේවල් වෙලා තිබුණා. හැබැයි එදා තිබුණ ප්‍රශ්න ගැටලුවලට වඩා වෙනස් තත්ත්වයකයි අද පක්ෂය තිබෙන්නේ.

කෙටියෙන් කියනවනම් එදාට වඩා ශක්තිමත් අවස්ථාවක.ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා වැඩපිළිවෙළක් හදාගෙන ඉදිරියට යමු කියන ආරාධනය කරන ගමන් ලබන අප්‍රේල් 02 තියෙන අපේ පක්ෂයේ තරුණ සම්මේලනය හා මැයි පළවෙනිදා තියෙන පක්ෂයේ ජාතික මැයි දිනය හා පෙළපාලිය අතිසාර්ථකව පවත්වන්න අපි කටයුතු කරනවා, ඒ සඳහාත් ඔබගේ සහාය මා ඉල්ලනවා යැයි ‍ජනාධිපති මෛත්‍රී ඉතාම සුහඳ සිනාවක් පාමින් කියා ගෙන ගියා.

ඉන් අනතුරුව ජනපති මෛත්‍රී සිය කතාව වෙනතකට යොමු කළා. ඉදිරියේ දී ගෙන ඒමට නියමිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන ඔහු කතා කළා. එසේ කතා කරමින් ජනාධිපති මෛත්‍රී පැවසුවේ අද වෙනකොට පිරිසක් ජාතිවාදය ඉස්මතු කරගෙන බොරු ප්‍රචාරයක් අරගෙන යනවා. හැබැයි මම වගකීමෙන් කියන්න කැමතියි මම මේ රටේ ජනාධිපතිධූරයේ ඉන්නකම් මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇති වෙන්න ඉඩ තියන්නෙ නෑ කියන එක.

හැබැයි අපි සියලූ දෙනාම පිළිගන්න ඕන ජාතික සංහිදියාවක් ඇතිවෙන්න ඕන කියන එකත්. අන්න ඒ තැනට එන්නයි මගේ බලාපොරොත්තුව. එහෙම නොවුණොත් ඉදිරියේ දී මේ රටේ පාලනය භාර ගන්න කවර කෙනෙකුට වුණත් දැඩි අවාසනාවන්ත සිද්ධීන්වලට මුහුණු දෙන්න සිදුවෙන්න පුළුවන් යයි ජනාධිපතිවරයා කියා සිටියේ ගැඟීම්වරයි.

ඉන් අනතුරුව ජනපති මෛත්‍රී කාලය ගත්තේ තමා පසුගිය දා සාර්ථකව නිමා කළ රුසියානු සංචාරය පිළිබඳව කතා කිරීමටයි. එහි දී ඔහු කියා සිටියේ වසර හතළිස් හතරකින් පසු ශ්‍රීලංකාව නියෝජනය කරමින් රාජ්‍ය නායකයකු හැටියට රුසියාවට යෑමට ලැබීම පිළිබඳ තමා දැඩි සතුටින් පසුවෙන බවයි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මීට වසර හතළිස් හතරකට පෙර රුසියාවට ගියාට පසු තමා ගිය බවත් එදා මැතිනියත්, අද තමාත්, යන දෙදෙනාම ශ්‍රී.ප.නි.ප.ය නියෝජනය කරමින් හා ලංකාවේ රාජ්‍ය නායකයන් ලෙස සහභාගී වීමෙන් පෙනෙන්නේ රුසියානු රජයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර තිබෙන දැඩි මිත්‍රත්වය බවත්, ඒ තත්ත්වය ඉදිරියටත් රැගෙන යෑම තමාගේ අපේක්ෂාව බවත්ය. එපමණක් නොව රුසියාවේ ජනාධිපතිතුමන් තමා සමඟ පුද්ගලිකව පැයක පමණ කාලයක් සුහදව කතා කළ බවත්, තවත් පැය එකහමාරක් පමණ තමා ඇතුළු දූත පිරිස සමඟින් කතා කළ බවත්ය.

රුසියාව වැනි බලවත් රටක රාජය නායකයකු අපේ රටට පැය දෙකහමාරක පමණ කායලක් වෙන් කර දීම පිළිබඳ රුසියානු ජනාධිපතිතුමන්ට තමා දැඩි සේ ස්තූතිවන්ත වන බව පැවසූ මෛත්‍රී තවදුරටත් පැවසුවේ ඉතිහාසයේ ලෝකයේ බලගතු රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධව නැඟී සිටි හැම අවස්ථාවකදීම රුසියාව අපේ රට වෙනුවෙන් පෙනී සිටි බවත්, ඉදිරියේ දී ඊටත් වඩා දැඩි මිත්‍රත්වයකින් හා බැඳීමකින් කටයුතු කිරීම තුළ රුසියානු රජය නිරන්තරයෙන් අප සමඟ සිටින බවත්ය.

ජනපති මෛත්‍රී රුසියානු සංචාරය ගැන තම කතාව අවසන් කළේ රුසියානු ජනාධිපතිතුමන්ට තමා යළි ලංකාවට පැමිණෙන්නට සැරසෙන මොහොතේ ඇසූ ප්‍රශ්නයක් විස්තර කරමින්ය. රුසියානු ජනාධිපතිතුමන්, මගෙන් ඇහුව ඔබ අපේ රටට ඒමට අරමුණු කරගත් අරමුණු බලාපොරොත්තු ඉටු කරගත්තද, අවසාන වශයෙන් රුසියාවේ ගත කළ කෙටි කාලය තුළ ඔබ සතුටින් සිටියාද යන්න තමාගෙන් විමසා සිටි බවත්, තමා ඔහුට කීවේ තමා දැඩි සතුටකින් හා ඉටු කරගත් බලාපොරොත්තුවලින් යුතුව යළි ශ්‍රී ලංකාවට යන බවත්ය.

ඉන් අනතුරුව පැමිණ සිටි මහ ඇමතිවරුන් හා පළාත් අමාත්‍යවරුන් තම අදහස් දැක්වීම කරනු ලැබුවා. පළමුවෙන්ම අදහස් දැක්වීම සිදුකළේ දකුණු පළාත් සභාවේ ගාල්ල නියෝජනය කරන යූ.ජී.ඩී.ආරියතිලකයි. ඔහු පළමුවෙන්ම තමාට අක්මීමණ ශ්‍රී.ල.නි.ප. සංවිධායකකම ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමාට සිය ස්තූතිය පුද කර සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිල් බලකොටුවක්ව පැවැති අක්මීමණ හෙට දවසේදීද ශක්තිමත් ශ්‍රී.ල.නි.ප.ආසනයක් ලෙස ගොඩනැගීමට තමා කටයුතු කරන බවයි.

ඉන් අනතුරුව දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා තම අදහස් පළ කළා. ඔහු කීවේ අද දවසේ දැඩි කතාබහට ලක්වී තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ, රත්ගම හා බලපිටිය යන ආසනවලට නව සංවිධායකවරුන් පත්කිරීම පිළිබඳව තමාද ජනපතිතුමන්ට ස්තූතිය පුද කර සිටින බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ෂාන් කීවේ ආසන සංවිධායකයා යනු ආසනයත්, ආසනයේ පාක්ෂිකයාත්, සම්බන්ධ කරන පාලමක් බවත්, සංවිධායකවරයා මනා සම්බන්ධීකරණයකින් යුතුව වැඩ නොකළහොත් පක්ෂයකට එය දැඩි හානියක් බවත්ය.

එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඔහු සිය ධූරයෙන් අස්විය යුතු බවත්, එසේ නැතිනම් පක්ෂය විසින් ඔහු ඉවත් කොට වෙනත් සුදුසු පුද්ගලයකු පත්කළ යුතු බවත්ය. අවසාන වශයෙන් ෂාන් හැඟීම්බරව කීවේ අක්මීමන රමේෂ් පතිරණත්, රත්ගම මොහාන් සිල්වාත්, අදටත් තමාගේ දැඩි මිත්‍රයින් බවත්, පක්ෂයක් ලෙස ජනපතිතුමන් ගත් මෙම තීරණය හොඳ තීරණයක් බවත්ය.

පසුව කතා කළ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා පැවසුවේ තමා ඉදිරියටත් ශ්‍රී.ල.නි.ප.ය සමඟින් සිටින බවත්, ඉදිරියේ දී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ දී තමන් ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කරමින් තරග කොට කෑගල්ල දිස්ත්‍රික්කයත්, රත්නපුර දිස්ත්‍රික්කයත් පක්ෂයට ඉහළින් ජය ලබාදීමට තමා කැපවන බවයි.

අනතුරුව කතා කළේ බස්නාහිර ඉසුරුදේවප්‍රියයි. ඉසුරු කීවේ තමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කය ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කිහිප පොළක්ම සිටින දිස්ත්‍රික්කයක් වුවද තමා මහ ඇමතිවරයා වශයෙන් බස්නාහිර පළාත් ඉදිරි මැතිවරණවල දී ඉහළින් පක්ෂයට ජය ගෙන දීමට කටයුතු කරන බවයි. අනතුරුව මධ්‍යම පළාතේ සරත් ඒකනායකත් උතුරු මැද පේෂල ජයරත්නත් කතා කළ අතර ඔවුන් දෙනොගේම අදහස වුයේ තම පළාතේ රාජ්‍ය නිලධාරීන්ව නිරන්තරයෙන් කොළඹට කැඳවීම තම පළාත්වලට ගැටලුවක් බවත් ඉදිරියේ දී එය අවම කිරීමට කටයුතු කරන ලෙසත්ය. එසේම තවමත් භාණ්ඩාගාරයේ මුදල් තම පළාත් සභා සඳහා නොලැබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලිමක් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68 වැනි උපන්දිනය යෙදී තිබු‍ණේ පසුගිය 24 වැනිදා. රාජකාරි කටයුතු සඳහා උදෙන්ම අරලිය ගහ මන්දිරයට පැමිණි අගමැතිවරයාට සුබ පැතීමට මැති ඇමතිවරුන් ඇතුළු හිතවත් පිරිසක් එහි පැමිණියා. පසුගිය වසරේ උපන්දිනය දා සිය හිතවත් මාධ්‍යවේදීන් සහ වෙනත් හිතවත් කිහිප දෙනෙකුට උදේ තේ පැන් සංග්‍රහයකට අගමැතිවරයා ආරාධනා කර තිබුණත් මෙවර විශේෂ ආරාධනාවන් කර තිබුණේ නැහැ.

මේ වසරේ ආරාධනාවක් නැතත් එහි පැමිණ අගමැතිවරයාට සුබ පතන්න හිතවතුන් අමතක කළේ නැහැ. එදින පාර්ලිමේන්තුව රැස් වූ දිනයක් වූ අතර පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගේ කාර්යාලයට පැමිණ සුබ පතන්නන්ගෙන්ද අඩුවක් වුණේ නැහැ.හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාට සොව පළ කිරීමට එදින පාර්ලිමේන්තුවේ කාලය වෙන් කර තිබූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාට සොව පළ කරන අවස්ථාව වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපන් දින සුබ පැතුම් එක් කිරීමට යොදා ගත්තා.

ශ්‍රී ලංකා නීතීඥ සංග‍මයේ නව සභාපති ලෙස පත් වූ යූ.ආර්.ද සිල්වා මහතා නිල කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැති උත්සවයකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සෙනසුරාදා සහභාගි වුණා. ‍අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වෘත්තිය ජීවීතය ආරම්භ කළේ නීතීඥවරයකු ව‍ශයෙන්. විනිසුරුවරුන් සහ නීතීඥවරුන් විශාල පිරිසක් රැස්ව සිටි කිංස්බරි හෝටලයේ බැල්මෝරල් ශාලාවේ දී අගමැතිවරයා පැවසුවේ අධිකරණයේ නීතීඥවරයකු ලෙස තමා ලැබූ පුහුණුව පාර්ලිමේන්තු කටයුතුවල දී විශාල වාසියක් වූ බවයි.

ඇමතිවරයකු ලෙස කටයුතු කිරීමේ දී මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවල දී අධිකරණයේ ලැබූ පුහුණුව ඉතා වැදගත් වුණු බව ද සඳහන් කළා. සිය ආරම්භක වෘත්තියට වැඩි තැනක් දෙමින් අගමැතිවරයා මෙහිදි ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් ජීවීතවලට එල්ල වන අර්බුදවලට විසඳුම් ලබා දෙන විට නීතීඥයින් සමාජ පද්ධතියේම ඇති අර්බුද විසඳනවා යන්නයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති යූ.ආර්.ද සිල්වා මහතා උත්සවය අමතමින් සඳහන් කළේ හරියටම වෙලාවට වැඩ කරන අගමැති වික්‍රමසිංහ මහතාගේ එම ගුණාංගය තමා අගය කරන බවයි. එම ආදර්ශය එතැන සිටින සියලු දෙනාම පිළිපැදිය යුතු බව ද සිල්වා මහතා පැවසුවේ අගමැතිවරයා සිය වෘත්තියේ සාමාජිකයකු නිසා බව ද සඳහන් කළා.

කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ කිත්සිරි රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් මරදාන සුදුවැල්ලේ දී ඉඳි කෙරුණු අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් නිරාවරණය කිරීමේ උත්සවයට 29 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. එහිදි අගමැතිවරයා පැවසුවේ යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ දී රට බෙදන්නැයි කිසිවකු ඉල්ලා නොමැති බවයි.ඒකීය රටක් තුළ බලය බෙදා හැර සංහිඳයාව ඇති කළ යුතු බව සියලු දෙනාගේම පිළිගැනීම බවත් නැවත වතාවක් අවධාරණය කළා.

රට බෙදන්න යන බවට අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන්නේ දේශපාලන වශයෙන් බංකොලොත් ජාතිවාදීන් බව ද අගමැති වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

පසුගිය විසිහයවෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මුල්ලිකුලම්, කීරිසුඩ්ඩාන් සහ මඩු ප්‍රදේශයේ දේශපාලන කටයුත්තක් සඳහා ගොස් සිටියා. මේ අතරතුර එම ප්‍රදේශවල ජීවත් වන දෙමළ සහ සිංහල ජනතාවගේ දෛනිත ගැටලූ පිළිබඳව මෙන්ම ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති බරපතළ ගැටලූවක් වී ඇති ඉඩම් පිළිබඳ ප්‍රශ්නයද විශේෂ අවධානයක් යොමු වුණා. මුල්ලිකුලම් සහ කීරිසුඩ්ඩාන් ගම්මානවල ජීවත් වන දෙමළ වැසියන් මෙන්ම මඩු ප්‍රදේශයේ ජීවත් වන සිංහල ජනතාවද මෙම ඉඩම් ප්‍රශ්නයෙන් බරපතළ ලෙස පීඩා විඳිනවා.

වසර 50ක් පමණ ජීවත් වූ ජනතාවගේ ඉඩම් පවා ඔවුන්ට අහිමි කරන තත්ත්වයක් උදා වී ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයාට එම ප්‍රදේශවල ජනතාව සමඟ ඇති වූ කතාබහහේ දී තේරුම් ගියා ”මන්ත්‍රීතුමා අපි ස්ථිර රැකියාවක් නැහැ. ගොඩක් අය ජීවිතේ ගැටගහ ගන්නේ ගොවිතැන්වලින්. ඒත් අපිට අපේ ඉඩම් නැතිවෙන්නයි යන්නේ. අපේ ඉඩම්වලට ඔප්පු නැහැ. ලියවිලි කිසිම දෙයක් නැහැ. යුද්ධයෙන් බැටකාපු අපි අද ඉඩමක් නැතිව බැටකනවා.” එම ප්‍රදේශයේ හැමදෙනාගේම පාහේ දුක්ගැනවිල්ල එයයි. මෙහි දී මන්ත්‍රීවරයා ජනතාවගේ ගැටලූව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මෙම ගැටලූව බලධාරීන්ගේ අවධානයට යොමු කිරීමට පොරොන්දු වුණා.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ‘එතෙර අපි’ සංවිධානයෙන් ලද ආරාධනයකට අනුව සමුළුවක් ඇමතීම සඳහා පසුගිය තිස්වෙනිදා ක්වේටය බලා පිටත්ව ගියා. ‘එතෙර අපි’ සංවිධානය මගින් සංවිධානය කරන සමුළු මාලාවක් මේ දිනවල මැදිපෙරදිග සහ යුරෝපයේ රටවල් ගණනාවක දී පැවැත්වෙනවා. විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඡන්ද අයිතිය ලබාගැනීම, විශ්‍රාම වැටුප් අයිතිය දිනාගැනීම, ලංකාවට පැමිණෙන පාසල් යන වයසේ දරුවන්ට රජයේ පාසලක් ලබාගැනීම, පුද්ගලිකව පරිහරණය කරන ලද වාහන තීරු බදු රහිතව ලංකාවට රැගෙන ඒම, අවම වැටුප් පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ලබාගැනීම ඇතුළු අයිතීන් දිනාගැනීම වෙනුවෙන් මෙම සමුළු මාලාව දියත් කොට තිබෙනවා.

මේ අතර අප්‍රේල් 16 සිට 25 දක්වා ප්‍රංශයේ සහ ඉතාලියේ පැවැත්වෙන සමුළු කිහිපයක් සඳහා සහභාගි වීමට ජවිපෙ නායක අනුර දිසානායක සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස අෙප්‍ර්ල් මස මැද දී විදේශගතවීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ 68 වැනි උපන් දිනය නිමිත්තෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලුණුගම්වෙහෙර පහළ මත්තල “ඇත්රජගම” නමින් නව උදා ගම්මානයකට මුල්ගල් තැබීමට ඉකුත් සතියේ කටයුතු සංවිධානය කළා. මේ ගම්මානය නිවාස 68 කින් සමන්විතයි. එය 359 වැනි උදා ගම්මානයි. මෙහි දී රැස්ව සිටි පිරිස ඇමතූ සජිත් කීවේ “අගමැති තුමා තමන්ගේ උපන් දිනය අඩබෙරගහල සමරන කෙනෙක් නෙවෙයි. එතුමා ඉතාම චාම් ජීවිතයක් ගෙවන කෙනෙක්. මම විශ්වාස කරනවා මේ ගම්මානය නිසා පවුල් 68ක් අඳුරෙන් ආලෝකය දැකීම ගැන එතුමා සතුටට පත්වේවි කියලා. මේ ගම්මානය එතුමා වෙනුවෙන් පිදෙන උපහාරයක් නිසායි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී 27 සහ 28 දෙදින පැවැති 2017 – ගෝලීය ව්‍යාපාර සමුළුව සංවිධානය කළ විද්වත් ප්‍රජාව විසින් කර තිබූ ඇරයුම පරිදි සජිත් ඊට සහභාගිවීම සඳහා 27 වැනිදා නවදිල්ලිය බලා ගියා. පසුවදා පෙරවරුවේ ‘ඔබ්සවර් රිසර්ච් පදනම (bserver Research Foundation) විසින් සංවිධානය කළ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩපයේ දී වත්මන් ශ්‍රී ලංකාවේ සිදුවන ප්‍රතිසංස්කරණ ප්‍රතිසංවිධාන හා සංහිඳියා ක්‍රියාදාමයන් ගැන සෙසු නියෝජිතයන්ට බොහෝ කරුණු පැහැදිලි කරමින් ඇතැම් දුර්මත දුරු කිරීමටත් සජිත්ට එහි දී අවස්ථාව හිමිවුණා.

ඉකුත් මහ මැතිවරණයේ දී අප ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව ඒකීය ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. එමෙන්ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකර දෙනවා. යි සජිත් කියද් දී එක් නියෝජිතයකු ඇසුවේ ඒක ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙවෙයිද? කියායි. නෑ අපි ඡන්ද පොරොන්දුවක් දී තිබෙන්නේ ඒකීය ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමටයි. එය කිසිසේත්ම වෙනස්වෙන්නේ නෑ සජිත්ගේ පිළිතුර විය.

‘බෙංගාල බොක්ක අවට රටවල ආර්ථික හා සහයෝගිතා සංවිධානය හෙවත් බිමිස්ටෙත් සංවිධානයට අයත් බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිතයන්ගේ විශේෂ සාකච්ඡාවාරය පැවැත්වූයේ 28 වැනිදා පස්වරුවේදීයි. බිට්ස්ටෙක් කලාපයේ රටවල පුරවැසියන් බලගැන්වීම; දුප්පත්කම පිටුදැකීම මෙන්ම කාන්තාවන් සහ යෞවනයන් සවිබල ගැන්වීම ගැන එහි දී විශේෂ අවධානය යොමු කළ සජිත් කී‍වේ මේ සංවිධානය කතා සාප්පුවක් නොවී දුප්පත්කම පිටුදැකීමටත්, තරුණ විරැකියාව දුරු කිරීමටත්, ජන සමාජය තුළ සම්පත් සාධාරණ බෙදී‍මේ ක්‍රම වේදයක් සැකසීමටත් ක්‍රියාත්මක විය යුතුයි කියායි.

29 වන දා උදෑසන නවදිල්ලියේ රාජ්‍යලේකම් කාර්යාල පරිශ්‍රයේ දකුණු කොටසෙහි පිහිටි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී එහි රාජ්‍ය අමාත්‍ය එම්. ජේ. අක්බාර් හමුවීමට ලැබුණු අවස්ථාවේ දී සජිත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවෙන් වැඩි වැඩියෙන් අතහිත ලබාදිය යුතු බවයි. දෙරට අතර වෙළෙඳ කටයුතුවල දී පවතින අසමතුලිතභාවය නිසා ශ්‍රී ලංකාවට අවාසියක් සිදුවනවා. එය නැති කිරීමට රජය සැලකිල්ල යොමුකරන්න යැයි සජිත් රාජ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයට මේ දිනවල ප්‍රධාන කාර්යයක්ව තිබෙන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නොලැබුණු විමල් වීරවංශ මන්ත්‍රීවරයා මහාධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද එයද ලැබුණේ නෑ. විමල් සිර ගෙදර සිටම උපවාසයක් ආරම්භ කළේ ඉන් පසුවයි.

විමල් නිදහස් කරගැනීම සඳහා රට පුරා තැන් තැන්වල උද්ඝෝෂණ සංවිධානය කිරීමද පසුගිය කාලයේ සිදුවූවා. කෙසේ වෙතත් එම ව්‍යාපාරයද බොහෝ දුර ගියේ නැහැ. විමල්ගේ ජාතික නිදහස් පෙරමුණේ උදවිය මැසිවිලි නඟන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් පක්ෂ එතරම් බරක් දරන්නේ නැති බවයි. බැසිල් රාජපක්ෂ හා ජී.එල්. පීරිස් වැන්නන් මෙම සටනින් කර ඇර සිටින බවත් ඔවුන් තියනවා.

විමල් වීරවංශ මහතා නිදහස් කරගැනීමේ සටනට උර දී සිටින්නේ දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමලවීර දිසානායක ආදී පිරිසයි. මෙම කණ්ඩායම කතානායක කරු ජයසූරිය මහතාද හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළා. එහි දී කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ මෙය අධිකරණ කටයුත්තක් බවයි. දිනේෂ් වාසු කණ්ඩායමේ තර්කය වූයේ මෙබඳු චෝදනා තිබූ වෙනත් අයට ඇප ලැබී ඇති බවත්, කිසියම් හේතුවක් නිසා විමල් වීරවංශ මහතාට එම අවස්ථාව නොලැබෙන බවත්ය. කෙසේ වෙතත් ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු, බැසිල් රාජපක්ෂ වැන්නන්ටද ඇප ලැබුණේ සෑහෙන කාලයක් ගතවීමෙන් පසුවයි. දිනේෂ් වාසු කණ්ඩායමේ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා කීවේ මේ ගැන තමන්ට කළ හැකි දෙයක් ඇත්දැයි සොයා බලන බවයි.

දිනේෂ්, වාසු, කණ්ඩායම සමඟ මහින්ද රාජපක්ෂ මහතාද සාකච්ඡා කළා. එයට ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරුන්ද සහභාගී වුණා. එහි දී මහින්ද රාජපක්ෂ මහතා කීවේ මේ ප්‍රශ්නය ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරන්නට තමන් සූදානම් බවයි. එසේ වුවද මන්ත්‍රීවරුන්ගේ මතය වූයේ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ පිළිබඳව ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවිය යුතු බවයි. ඒ අනුව දිනේෂ්, වාසු ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා හා අගමැතිතුමා හමුවී සාකච්ඡා කළා. දෙදෙනාම කීවේ අධිකරණ ක්‍රියාවලියකට මැදිහත්වීම නුසුදුසු බවයි. දිනේෂ් හා වාසු කීවේ විමල්ට ඇප දීමට විරුද්ධ නොවන ලෙස එෆ් සී අයි ඩීයට උපදෙස් දෙන ලෙසයි. එසේ වුවද නායකයන් දෙදෙනාම කීවේ තමන් එෆ්.සී.අයි.ඩී. කටයුතුවලට ඇඟිලි ගැසීමට සුදානම් නැති බවයි.

මේ අතර පසුගියදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ පළාත් මහ ඇමැතිවරුන් අතරින් කෙනෙකුගෙන් මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලැබුණා. මෙම මහ ඇමැතිවරයා මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටියද ප්‍රබල මහින්ද හිතවාදියකු ලෙස ප්‍රසිද්ධව සිටියෙක්. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට කීවේ අනෙක් සියලු මැතිවරණවලට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිතුමා සැරසෙන බව තමන්ට හැඟී ගිය බවයි. එයට මහින්ද පිළිතුරු දුන්නේ හරි හරි අපි බලමුකෝ. අපිත් ඕනෑ දේකට ලෑස්තියි යනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මේ දිනවල සිටින්නේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමිනුයි. ඔහු එහි දී මෙල්බර්න් නුවර සිංහල එකමුතුවේ වාර්ෂික මහා සභා රැස්වීමටද සහභාගී වුණා. එහි දී ඔහු කීවේ මේ රටේ පැවැති බිහිසුණු යුද්ධයෙන් රට බේරාගත්තේ මහින්ද රාජපක්ෂ මහතා වුවත් දැන් මහජනයාට රට බේරා ගත් නායකයන් අමතක වී ඇති බවයි. ත්‍රස්තවාදයෙන් විඳපු දුකත් මිනිසුන්ට අමතක වී ඇති බව ඔහු කීවා.

පසුගිය සඳුදා සවස ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාවේ දී බුදුගල ජිනවංස හිමියන්ගෙන්, කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයාට ප්‍රශ්නයක් එල්ල වුණා.

‘ඇමතිතුමා මොකක්ද මේ යන කතාව ඔබතුමා කෝටි හතරක වාහනයක් ගෙන්නගන්න යනවා කියලා‘

‘හාමුදුරුවනේ, මට එහෙම රථ ගායක් නැහැ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයට දිගටම නියෝජ්‍ය ඇමැති කෙනෙක් ඉඳලා නැහැ. ඒ නිසා ඉතින් වාහන විතරක් නෙමෙයි වෙන පහසුකම් තිබිලත් නැහැ. ඉතින් වාහනයක් නැති නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට කිව්වා මම මීට කලින් පළාත්පාලන නියෝජ්‍ය ඇමැති වෙලා හිටිය කාලෙ පාවිච්චි කරපු වී එයිට් වාහනේම දිගටම පාවිච්චි කරන්න කියල. ඒක පරණ වාහනයක්. මම ඒ පරණ වාහනේ ම පාවිච්චි කළා.

නමුත් ප්‍රශ්නේ වුණේ, පහුගිය අවුරුද්දෙ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති විදියට ප්‍රියංකර ජයරත්න පත්වෙලා ආපුවහම එතුමා එතුමාලට අයිති ඒ වාහනේ බාර දෙන්න කියල ඉල්ලලා එව්වා. එතකොට තමයි මට උපදෙස් ලබුනෙ අලූත් වාහනයක් ඉල්ලන්න කියල. මොන වාහනයක්ද ගේන්නේ කියල ඇහුවහම මම කිව්වා ඒ තියන වාහනේ වගේ එකක් ගෙන්න කියල. ඔය වාහනේ ඇත්ත වටිනාකම ලක්ෂ හැත්තෑවයි. ඉස්සරනම් ආණ්ඩුවට වාහන ගෙන්නත් දී ඒ ගාන විතරයි කිව්වේ. නමුත් දැන් අලූත් ප්‍රතිපත්තිය අනුව බදු මුදලත් එකතු කරලම තමයි මිල කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ වාහනේට ලංකාවේ ආණ්ඩුව වියදම් කරන්නේ ලක්ෂ හැත්තෑවයි. ඉතිරි මුදල ආණ්ඩුව ආණ්ඩුවටම ගෙවන බදු මුදල. මට කලින් තිබුන වාහනේ තිබුනානම් කවදාවත් අලූත් වාහනයක් ගන්නේ නැහැ‘

‘ඔබතුමා ඔය පැහැදිලි කිරීම මිනිස්සුන්ටත් කළා නම් ගොඩක් හොඳයි‘

‘මම මගේ බ්ලොග් එකෙනුයි ෆෙස් බුක් එකෙනුයි මේ ගැන පැහැදිලි කළා හාමුදුරුවනේ. මොනවා කිව්වත් වැඩක් නැහැ, සමහරුන්ට ඕනැ මඩ ගහන්නමනේ. එයාලට ඉතින් කියල වැඩක් නැහැ. තමන්ට සුපිරිම වාහන පහ හය ගෙන්නාගෙන යාලූවන්ටයි නෑදෑයන්ටයි තවත් වාහන දහය පහළොව බෙදා ගත්තු අය තමයි දැන් අපිව විවේචනය කරන්න එන්නේ, ඉතින් මොනවා කියන්නද?‘

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *