නිදහසේ අවාසිය – සී. ජේ. අමරතුංග

 

දැන් තිබෙන ගිවිසුම අනුව හම්බන්තොට වරාය සංවර්ධනයට වරාය සංවර්ධන සංස්ථාව නමින් සමාගමක් පිහිටුවනු ලබන අතර එහි සියයට 80 ක අයිතිය චයිනා මර්චන්ට් ෆෝර්ට් සමාගමට ලබා දෙන්නේ ‍ඩොලර් බිලියන 1.1ක මුදලකටය. වරාය අධිකාරියට හිමිකම සියයට 20 කි. චීන සමාගමට අයත් කොටස්වලින් සියයට විසිපහක් මාස හයක් තුළ ලබාගැනීමට ශ්‍රී ලාංකික පාර්ශ්වයකට ඉඩ ලබා දී ඇත. එසේ ඉදිරිපත් නොවුවහොත් වසර දහයකදී ශ්‍රී ලාංකික පාර්ශ්වයකට එම හිමිකම ලබාගැනීමට ද විධිවිධාන ගිවිසුමේ ඇතුළත්ය.

‘සමාජවාදී’ යැයි ඇතැම් වාමාංශික‍යන් හැඳින්වූ රාජ්‍ය ව්‍යවසාය සහ දේශීය වෙළෙඳපොළ මුල්කරගත් සංවෘත ආර්ථික ක්‍රමය අවසන්කොට විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීම 1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන රජයේ ප්‍රමුඛ කාර්යයක් විය. විදේශ වෙළෙඳපොළට රට විවෘත කිරීම, විදේශ ආයෝජන ලබාගැනීම, අපනයන වර්ධනය කිරීම ආදී නව ඉලක්ක එම වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක විය. එවිට වමේ උදවියගෙන් විශාල විරෝධයක් මතුවූයේ දේශීය කර්මාන්ත විනාශ වන බවටය. ඔවුන් කීවේ ජේ. ආර්. කරන්නේ විදේශිකයන්ට මේ රට සූරාකන්න ඉඩදීම බවය. නිදහස් වෙළෙඳ කලාපයට කීවේ නිදහස් වහල් කලාපය කියාය. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකකරණය හැඳින්වූයේ මහා ප්‍රතිගාමී වැඩක් වශයෙනි. එයින් අපගේ නිෂ්පාදන ආයතන කඩාවැටෙන බව ඔවුහු කීහ. එදා වාමාංශිකයා කළේ අලුතින් ගෙනෙන ක්‍රමය ගැන ජනතාව තුළ විශාල භීතියක් ජනිත කිරීමට උත්සාහ කිරීමයි. ජේ. ආර්. එයට මුහුණ දුන්නේ ඉතාම මර්දනකාරී ක්‍රියා පිළිවෙතකිනි. ජේ. ආර්. මහා විනාශයක් රටට කළ බව තවමත් වාමාංශිකයන් කියන්නේ ඒ නිසාය.

කෙසේ වෙතත් වසර හතළිහකට පසුව ආපසු හැරී බලන විට අපට ප්‍රශ්නයක් මතුවන්නේ සැබෑ ප්‍රගතිශීලී කාර්යය කළේ එදා සිටි වාමාංශිකයන් ද? නැතහොත් ජේ. ආර්. ප්‍රමුඛ එජාප පාලනය ද? යන්නයි. එදා සංවෘත ආර්ථිකය පිළිගෙන සිටි කොමියුනිස්ට් චීනය හා වියට්නාමය මෙන්ම ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් තම ආර්ථිකය විවෘත කළේ ශ්‍රී ලංකාවට පසුවය. දිගු කලක් සංවෘත ආර්ථිකයක් ක්‍රියාත්මක කළ මියන්මාරය ලෝකයේ දුප්පත්ම රටක් බවට පත්විය. අද එවැන්නකට ඉතිරිව තිබෙන්නේ උතුරු කොරියාවය. එය ආදර්ශයට ගන්නට කිසිවකු කැමැති වන්නේ නැත.

විවෘත ආර්ථිකයේ බලය

ඇතැම් දේශපාලන විචාරකයන් කියන්නේ තිස් වසරක යුද්ධයකට මුහුණ දෙමින් පවා ආර්ථිකය විශාල ලෙස කඩා නොවැටෙන ලෙස පවත්වාගත හැකි වූයේත්, යුද්ධයට අවශ්‍ය සම්පත් යොදා එය ජය ගැනීමට අපට හැකියාව ලැබුණේත් ජේ. ආර්. මෙරට ආර්ථිකය විවෘත කළ නිසා බවය.

1977 සිදුවූ ආර්ථික පරිවර්තනයට සමාන යැයි කිව හැකි පරිවර්තනයකට මේ වන විටත් අප රට සූදානම් වන බවක් පෙනෙන්නට ඇත. මෙය හැඳින්විය හැක්කේ එදා ආරම්භ කළ ගමනේ ඉදිරි පියවරක් වශයෙනි. එදා මෙන්ම අදත් එයට විරුද්ධ බලවේග පෙළගැසෙන බව ද පෙනෙන්නට තිබේ. එදා වාමාංශිකයන් වෙනුවට අද ඉන්නේ ජාතිවාදී කණ්ඩායමකි. වාමාංශික කියාගත් පිරිහිණු නායකයෝ කිහිපදෙනෙකු ද සිටිති. අදත් කියන්නේ රටේ ආර්ථිකය විදේශවලට බිළිදෙන බවකි. එදා අමෙරිකාව හා බටහිර රටවල් බිල්ලන් වූවා සේ අද එතැන සිටින්නේ චීනයයි. විටෙක ඉන්දියාව ද බිල්ලෙකු ලෙස මවනු ලබයි. මෙය එදා සිටි තත්ත්වයට සමාන නැතත් සමාන්තර තත්ත්වයකි.

ජේ. ආර්. ජයවර්ධන පාලනයට විවෘත ආර්ථිකය හඳුන්වාදීම පහසු කටයුත්තක් වූයේ නැත. ආර්ථිකය විවෘත කිරීම හා ආයෝජකයන් ගෙන්වා ගැනීම ආදිය ඉක්මනින් සිදුවුවද රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය වැනි කටයුතු සිදුවුණේ බලාපොරොත්තු වේගයෙන් නොවේ. ඇතැම් ආයතන පෞද්ගලිකරණය හෝ වසාදැමීම සිදුකළ හැකි වූයේ දශකයකට වැඩි කලක් ගතවූ පසුවය. ඒ එයට විවිධ පාර්ශ්වයන්ගෙන් තිබූ විරෝධය නිසාය.

එදා වාමාංශිකයන් සිතා සිටියේ තමන් ගෙන යන විරෝධය නිසා ජේ. ආර්. ට අවශ්‍ය දේ කරගත නොහැකි වී ති‍ෙබන බවයි. එසේ වුවද එවකට සිටි ප්‍රකට වාමාංශික බුද්ධිමතෙකු වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිව්ටන් ගුණසිංහයන්ට වෙනත් නිරීක්ෂණයක් තිබිණි.

ආචාර්ය නිව්ටන් ගුණසිංහයන් කීවේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණයට විරුද්ධ ප්‍රධාන පිරිස වාමාංශිකයන් යැයි ඔවුන් සිතා සිටියද එය එසේ නොවන බවයි. ඔහු කීවේ රාජ්‍ය ආයතන විකිණීමට වැඩියෙන්ම විරුද්ධ පිරිස සිටින්නේ ජේ. ආර්. ගේ ඇමැති මණ්ඩලයේ බවයි. රාජ්‍ය ආයතනයක් තමා යටතේ තිබීම ඇමැතිවරයකුට විශාල බලයකි. සම්පතකි. තම හිතවතුන්ට රැකියා දීමට, තමන්ගේ දේශපාලන වැඩට අනුග්‍රහ ලබාගැනීමට, ඡන්ද වැඩට වාහන ලබාගැනීමට රාජ්‍ය ආයතන තිබීම අවශ්‍යය. එබැවින් ආචාර්ය නිව්ටන් ගුණසිංහ කීවේ පෞද්ගලිකකරණයට ඇත්ත විරෝධය තිබෙන්නේ ඇමැති මණ්ඩලයේ බවයි. ඇත්ත කතාව ඒකය.

මහින්ද යුගයේ රාජ්‍ය ආයතන

‘අපි රාජ්‍ය ආයතන විකුණන්නේ නෑ’ යැයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ද කීවෝය. ඒක ඇත්තය. ඔවුන්ට රාජ්‍ය සම්පත් අවශ්‍ය වීය. ඒවා අවභාවිත කොට ඇතැමුන්ට සිරගත වීමට සිදු වී ඇත. තවත් අයට නඩු වැටී ඇත. තවත් පිරිසක් පෝලිමේ සිටින බව පෙනෙන්නට තිබේ. එලෙස රාජ්‍ය ආයතන තියාගන්නේ ජනතාවට සම්පතක් ලෙස නොවේ. තමන්ට සම්පතක් ‍වන නිසාය.

මේ අතීත කතා යළි මතක් කරන්නට හේතු වූයේ මේ ආණ්ඩුව ආර්ථික වර්ධනය සඳහා පියවර ගන්නා විට ද එබඳුම ප්‍රතිචාර මතුවන බව පෙනෙන්නට තිබෙන නිසාය. හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළට වරාය හා නාවික සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාත්, නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතාත් දක්වන විරෝධය තුළ දකින්නට තිබෙන්නේ ජේ. ආර්. ගේ ඇමැති මණ්ඩලය ගැන එදා ආචාර්ය නිව්ටන් ගුණසිංහයන් කී කතාවට සමාන තත්ත්වයකි. හම්බන්තොට වරාය තමන් යටතේ තිබීම මෙම ඇමැතිවරුන්ට ශක්තියක් මෙන්ම සම්පතකි. වරාය සේවකයන්ට ද එමඟින් විවිධ ඵල ප්‍රයෝජන තිබිය හැකිය. එනිසා විරෝධයක් මතුවීම ස්වභාවිකය. එය බලාපොරොත්තු විය යුතු තත්ත්වයකි.

හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීන සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ඇරඹීම ආණ්ඩුවේ සංවර්ධන උපාය මාර්ගයේ ඉතාම වැදගත් හා තීරණාත්මක පියවරකි. රට වැටී සිටින ණය උගුලෙන් බේරෙන්නට චීන ණය ආයෝජනයක් බවට පරිවර්තනය කිරීමත්, ඒ සමඟම හම්බන්තොට වරාය ආදායම් ලබන ව්‍යාපෘතියක් බවට පත්කිරීමත්, ඒ අතරම හම්බන්තොට අවට ආයෝජන කලාපයක් ඇතිකිරීමත් ආදී අරමුණු ගණනාවක් මෙයින් ඉටුකර ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

‍මේ ගැන මුලින්ම රටට කීවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ පසුගිය වසරේ මැයි මාසයේදීය. චීන ණය ආයෝජන බවට පත්කොට මෙම ව්‍යාපෘති භාරගන්නා ලෙස අගමැති වික්‍රමසිංහ මහතා චීනයෙන් ඉල්ලීමක් කළේය. එයට චීනය කීවේ ඒ ආකාරයෙන් කටයුතු කිරීමට චීනයේ පවතින නීතිය අනුව ඉඩක් නැති බවයි. එමනිසා වෙනත් ආකාරයකින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැඟිය යුතුව තිබිණි.

හම්බන්තොට ගිවිසුම

ඉන්පසුව ව්‍යාපෘතිය ගැන තීන්දු තීරණ ගත්තේ ආර්ථික සංවර්ධනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මඟිනි. එමඟින් සකස් කළ අවබෝධතා ගිවිසුමකට දෙසැම්බරයේ අත්සන් තැබිණි. ඒ අතර හම්බන්තොට වරාය සංවර්ධන හවුල් ව්‍යාපාරයක් සඳහා සැලසුම් සකස් කෙරිණි. චීන සමාගමට සියයට 80 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 20 ක් කොටස් හිමිවන සමාගමක් මේ සඳහා පිහිටුවීමට නියමිතය. මලික් සමරවික්‍රම ඇමැතිවරයා මූලික වෙමින් සකස් කළ එම ගිවිසුමට ද විරෝධතා මතුවීය. ඉන්පසුව සරත් අමුණුගම මහතා ප්‍රමුඛ කමිටුවකට මෙම කාර්යය පවරන ලද්දේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි.

දැන් තිබෙන ගිවිසුම අනුව හම්බන්තොට වරාය සංවර්ධනයට වරාය සංවර්ධන සංස්ථාව නමින් සමාගමක් පිහිටුවනු ලබන අතර එහි සියයට 80 ක අයිතිය චයිනා මර්චන්ට් ෆෝර්ට් සමාගමට ලබා දෙන්නේ ‍ඩොලර් බිලියන 1.1 ක මුදලකටය. වරාය අධිකාරියට හිමිකම සියයට 20 කි. චීන සමාගමට අයත් කොටස්වලින් සියයට විසිපහක් මාස හයක් තුළ ලබාගැනීමට ශ්‍රී ලාංකික පාර්ශ්වයකට ඉඩ ලබා දී ඇත. එසේ ඉදිරිපත් නොවුවහොත් වසර දහයකදී ශ්‍රී ලාංකික පාර්ශ්වයකට එම හිමිකම ලබාගැනීමට ද විධිවිධාන ගිවිසුමේ ඇතුළත්ය.

ණය උගුලෙන් ගැලවීමට

කෙසේ වෙතත් මෙම අවසාන ගිවිසුමටත් විරෝධතා මතු වී ඇති බව කියති. වරාය අධිකාරියේ අවශ්‍යතා වෙනුවෙන් දැඩි සටනක් කරන්නේ නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගමයි. වරාය ඇමැතිවරයා මේ මොහොතේ දිවයිනේ නැත. වරාය ඇමැතිවරුන් කරන සටනේ බොර දියේ මාළු බෑමට රාජපක්ෂවරුන් සහ ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටින බව ද ඉතා පැහැදිලිය.

රජයේ සිටින විශේෂඥයන් දකින්නේ මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම ආර්ථික වර්ධනයේ හැරවුම් ලක්ෂයක් වන බවයි. කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ මෙම ගිවිසුම ක්‍රියාවට නැඟුවහොත් මේ වසරේදීම අප රටේ ආර්ථික වර්ධනය සියයට 5.5 දක්වා ඉහළ යා හැකි බවයි. ඔහු කීවේ ඒ සඳහා හම්බන්තොට ගිවිසුම ක්‍රියාත්මක කළ යුතුම බවයි.

සරත් අමුණුගම ඇමැතිවරයා ද තේරෙන සිංහලෙන් කියා තිබුණේ රටේ ආර්ථිකය ගැටගසා ගැනීමට මෙම ගනුදෙනුව සිදුවිය යුතු බවයි. රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට නම් චීන සමාගමෙන් බිලියන 1.1 ක මුදල ලබාගත යුතු බවයි. සංවර්ධන උපාය මාර්ගයේ අනෙක් කාරණා පසෙක තිබියදී රට වැටී ඇති ඇත්ත ණය උගුලේ තත්ත්වය ද අමුණුගම මහතා ප්‍රකාශ කොට තිබිණි. මේ වසරේදි ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය බිලියන 4.5 කි. ඒවා ගෙවන්නට පසුගිය කාලයේ රටට ආදායම් ලැබෙන ව්‍යාපෘති ගොඩනඟා නැත. දැන් සැලසුම නම් හම්බන්තොටට ආයෝජන ගෙන්වාගෙන රටේ නිෂ්පාදනයන් දියුණු කරමින් වරායෙනුත් ආදායම් ලබන අතර ඉදිරි කාලයේ ණය ගෙවන්නටත් ආදායම් උපයා ගන්නා ක්‍රම සකස් කර ගැනීමයි. එය ද පහසු නැත.

රටේ ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය ලෙස පෙනෙන මෙය ක්‍රියාවට නැගීම දිගින් දිගට කල් යාම ආර්ථික කළමනාකරණයට අතගසා සිටින ආණ්ඩුවේ ප්‍රබලයින්ට නම් බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවට සැකයක් නැත. එය දැන් වසරක් තිස්සේ කල් යන්නේ විවිධ විරෝධතා නිසාය.

විනාශකාරී විරෝධතා

එක් අතෙකින් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන එක් අවාසියකි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ හැමවිටම හරිම දේ සිදුවන්නේ නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ බලයට පත්වීම ද එය තහවුරු කරයි. එමෙන්ම නොයෙකුත් විරෝධතා නිසා රටට අවශ්‍ය ව්‍යාපෘති කල්යාම හා නොකිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිතර සිදුවන බව පෙනෙන්නට ඇත.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයත්, ඉහළ කොත්මලේ විදුලි බලාගාරයත් කාලයක් තිස්සේ ඉදිනොවුණේ පරිසරවේදීන්ගේ හා ඇතැම් ආගමික ප්‍රභූන්ගේ බලපෑම නිසාය. ඒවා ක්‍රියාවට නැඟුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒකාධිපතියකු ලෙස තීන්දු ගැනීම මඟිනි. එසේ නම් ඒකාධිපතිවාදය හොඳ යැයි කෙනෙක් කියනවා ඇත. එය ද ඇත්ත නොවේ. නො‍ෙරාච්චෝලේට ලැබුණේ නිතර කැඩෙන බලාගාරයකි. බලාගාර දෙකටම ගිය වියදම ද විශාල ලෙස ඉහළ ගියේය. ඒවායේ ණය ගෙවන්න වෙන්නේ ජනතාවටය.

දැන් මේ විඳවන්න වී තිබෙන්නේ ද ඒකාධිපති තීන්දුවල ප්‍රතිඵලයි. හම්බන්තොට ගැන දැන් සුරංගනා කතා කියතත් මෙහි සේවකයන් මාළු බෑම කළ හැටි මාධ්‍යවල ද පළවිය. මත්තල ගුවන් තොට ද එවැනිය. මේවා රටට අවශ්‍ය විය හැකිය. එසේ වුවද අවශ්‍ය මොහොත හා කළ යුතු ආයෝජනය මෙන්ම වියදම පාලනය ද වැදගත්ය. එමෙන්ම එය ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් වීමට ව්‍යාපාරික සැලසුම් අවශ්‍යය. ඒකාධිපතීත්වයෙන් රටට වළ කැපුණේ එහෙමය.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ කෙතරම් දුර්ගුණ, අවාසි තිබුණත් සාර්ථකත්වයේ මාවත වැටී ඇත්තේ ද ඒ තුළින්මය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය තුළ සම්මුති ඇතිකර ගැනීම අත්‍යවශ්‍යය. එහිදී සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගැනීම මෙන්ම විශේෂඥ උපදෙස් පිළිගැනීම ද අවශ්‍යය. එලෙසින් රටට වැදගත් තීරණාත්මක ප්‍රශ්නවලට ඉක්මනින් විසඳුම් ලබාගැනීම අතිශයින්ම වැදගත්ය. ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ කැපවීම අවශ්‍යය. අද රට වැටී ඇති වළෙන් ගොඩ යාමට එබඳු ඉක්මන් සම්මුතියක් අවශ්‍යය.

ඒකාධිපතිවාදයෙන් වළට දැමූ රට ගොඩගන්නවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතයෙන් අගාධයකට යන්නට නම් කිසිවකු ඉඩ නොතැබිය යුතුය.

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *