|

පොහොට්ටුවේ එදා සහ අද ප්‍රතිපත්තිය – සුනන්ද මද්දුමබණ්ඩාර

 

2022 මැයි 09 වැනිදා රාජපක්ෂ පරපුරේ මහගෙදර වන මැදමුලන නිවස විරෝධතාකරුවන් විසින් දවා අළු කරන ලදි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ එම මැතිනිය සිහිකිරීම සඳහා ඉදිකර තිබු සොහොන ද, කෞතුකාගාරය ද එලෙසම වනසා දමනු ලැබීය. ඒ වනවිට ජනාධිපතිධුරයේ සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. අගමැතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතාය.

එදින ගෝල්ෆේස් පිටියේ දී අරගලකරුවන්ට පහරදීම නිසා ඇතිවූ තත්වය ප්‍රයෝජනයට ගත් මැරයෝ විසින් රාජපක්ෂ පවුලේ මුල් නිවස ඩී.ඒ. රාජපක්ෂ සොහොන, කෞතුකාගාරය සහ එම පවුලේ සාමාජිකයන්ට අයත් තවත් නිවාස රැසක් ඒ අයුරින්ම ගිනි තැබූහ. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ රජයට ඒවාට ආරක්ෂාව සැපයීමට හැකියාවක් තිබුණේ නැත.

එපමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට ද තර්ජන එල්ල විය. අරලියගහ මන්දිරය වැටලීම නිසා මහින්ද රාජපක්ෂ මහතාට ඉන් ඉවත්ව නාවික හමුදා කඳවුරක රැඳී සිටීමට සිදුවිය. එම අවස්ථාවේ දී අරගලකරුවන් මහින්ද පවුල එම නාවුක හමුදා කඳවුරෙන් ඉවත් කරන ලෙස උද්ඝෝෂණය කළ ආකාරය ද, බෝට්ටු මගින් එම කඳවුර වෙත විරෝධතාකරුවන් ළඟාවීමට උත්සාහ කළ ආකාරය ද බොහෝ දෙනකුට මතක ඇතැයි සිතමි. ගෝඨාභය රාජපක්ෂ මහතාට වුවද දිවි බේරාගෙන ජනාධිපති මන්දිරයෙන් පිටත්ව යෑමේ දී බොහෝ අසීරුතාවලට මුහුණ දීමට සිදුවිය. එදා අරගල අවස්ථාවේ දී සහ දේශපාලන අරාජිකත්වය රජ කරනු ලැබු අවස්ථාවේ දී ජීවිත අස්ථාවරත්වයට මුහුණ දීමට සිදුවූයේ රාජපක්ෂ පවුලේ අයට පමණක් නොවේ. පොදුජන පෙරමුණේ ඇමැතිවරුන්ට මෙන්ම නායකයන්ට ද එම තත්වයට මුහුණ දීමට සිදුවිය. බොහෝ දෙනකුට සැඟව සිටීමට සිදුවිය.

 

එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වී ටික කලක් යනවිට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඔහුට හැකිවිය. රාජපක්ෂ පවුලට පමණක් නොව ජීවිතය පිළිබඳ අවදානමකට ලක්ව සිටි සියලු‍ දෙනාගේම ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු කටයුතු කළේය. ඒ අතරම අරගලකරුවන් අල්ලාගෙන සිටි රජයේ මර්මස්ථාන සියල්ල මුදාගෙන රටේ පරිපාලනය යළි ස්ථාපිත කළේය. පාර්ලිමේන්තුව වැටලීමට සහ විනාශ කිරීමට කරන ලද උත්සාහය මර්දනය කර ව්‍යවස්ථාදායකය ආරක්ෂා කළේය. රටේ සියලු‍ ජන කොටස්වලට යළිත් වරක් සුරක්ෂිතව තම කටයුතු පවත්වාගෙන යෑමට හැකි තත්වයක් උදා කළේය.

එම තත්වය නිර්මාණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී සහාය ලබා නොදීමටත්, පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමටත් පෙරේදා සවස එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්කරන ලදි. එම පක්ෂයට සහාය ලබාදෙන බොහෝ දෙනකුට ගැටලු‍ව වී ඇත්තේ පක්ෂයේ සාමාජිකයන්ගේ ජීවිත සැනසිලිදායක තත්වයකට ගෙන ඒම සඳහා අවස්ථාව සලසා දුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කිරිමට හේතුව කුමක් ද යන්නයි. ඉහතින් සඳහන් කළේ එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ ආරක්ෂාව රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ තහවුරු වූ ආකාරය පිළිබඳව ය. එසේ වුවද මැයි 09 වැනිදා හටගත් සිද්ධි සමග වඩාත් අනාරක්ෂිත තත්වයකට පත්වූයේ පොහොට්ටුවේ කොඳුනාරටිය ලෙස සැලකිය හැකි පළාත් පාලන නායකයන් සහ ප්‍රාදේශීය සභා සහ නගර සභා ආදියේ සාමාජිකයන් වූ පිරිසය. වඩාත්ම පීඩනයට පත්වූවෝ එවැනි ප්‍රාදේශීය මට්ටමේ නායකයෝය. ඔවුන්ට තම නිවෙස්වල ජීවත්වීමට නොහැකි තත්වයක් උදා වී තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා නොදෙන බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එම පක්ෂයේ සාමාජිකයන් වූ කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටය. ඔවුන් ප්‍රකාශ කර සිටියේ පක්ෂය කුමන තීරණයක් ගනු ලැබුව ද තමන්ගේ සියලු‍ සහයෝගය වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවත් ජනපති සටනට සහාය ලබාදීමේ කටයුතු එදින සිටම අරඹන බවත් ය. දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් 11 දෙනෙකුම සහාය නොදීමේ යෝජනාවට විරුද්ධ වූ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. මහින්ද රාජපක්ෂ මහතා 2015 වර්ෂයේ පරාජයට පත්ව තම නිවසේ ගත කරද්දී ඔහු නැවත දේශපාලනයට ගෙන ඒම සඳහා ආරම්භ කරන ලද මහින්ද සුළගේ ආරම්භක සාමාජිකයන් අතරින් දැනට පොහොට්ටුව සමග සිටින්නේ දෙදෙනෙකු පමණි. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ය. දිනේෂ් ගුණවර්ධන මහතා මහජන එක්සත් පෙරමුණේ නායකයාය. පොහොට්ටුවේ සිටින එකම සාමාජිකයා වන්නේ ප්‍රසන්න රණතුංග මහතාය. ඔහු ඇතුළු කැබිනට් මණ්ඩලයේ සිටින පොහොට්ටු සාමාජිකයෝ සියලු‍ දෙනාම මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදිය යුතු බව තරයේ ප්‍රකාශ කර සිටිති.

පොහොට්ටුවෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා තවත් දින කීපයකින් නම් කරන බව ද ප්‍රකාශයට පත්වී ඇත. අපේක්ෂකයන් කිහිප දෙනකු සිටින බව ප්‍රකාශ වෙතත් දැනට ප්‍රකාශයට පත්වී ඇත්තේ ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ යන නම් දෙක පමණි. නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මේ අවස්ථාවේ දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නැති බවය. එසේ නම් පොහොට්ටුවේ අපේක්ෂකයා විය හැක්කේ බොහෝදුරට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාය. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පැරදුන අවස්ථාවේ සිට ඔහු අත් නොහැර ඔහු සමග සිටියාවුත්, පොදුජන පෙරමුණ ආරම්භ කිරීමට සහ දියුණු කිරීමට උරදුන්නා වූත් ජ්‍යෙෂ්ඨයෝ රැසක් සිටිති. පක්ෂයේ සංවර්ධනය සඳහා විශාල මෙහෙයක් කළ ඇමති තනතුරු ලබා තම දක්ෂතා පෙන්වන තරුණ නායකයෝ සැලකිය යුතු පිරිසක් සිටිති. ඒ එක් අයකුට හෝ ඉඩ නොදී මෙම ව්‍යාපාරිකයා තෝරා ගැනීම එම පක්ෂය තුළ බෙදීම් ඇතිවීම සඳහා හේතුවී ඇති බව එහි නායකයන් නොදැනීම කනගාටුවට කරුණකි. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමෙන් එම පක්ෂය දෙකඩ වී ප්‍රබල නායකයන් වන කැබිනට් ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීමට කටයුතු කරනු ඇත. දැනට ලැබෙන තොරතුරු අනුව පක්ෂයේ රැඳි සිටිමින් පොහොට්ටු අපේක්ෂකයාට සහාය දීමට කටයුතු කරනු ඇත්තේ ඉතා සුළු පිරිසකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ආරම්භ කර ගතවූ වසර කිහිපයක කෙටි කාලය තුළ සුවිශාල ජයග්‍රහණ රැසක් හිමිකර ගත් පක්ෂයක් වේ. ගොඩනගාගෙන ඇති සියලු‍ දේ නැතිකර ගෙන පක්ෂය ද විනාශ කරනුයේ ධම්මික පෙරේරා වෙනුවෙන් ද?

අග්‍රාමාත්‍ය ධූරය හිස් වූ විට අනෙක් නායකයන් එය භාර නොගෙන සැඟවුණු අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා තනතුර භාරගත්තේ කිසිදු කොන්දේසියක් නැතිවය. එසේ වුව ද තනතුර භාරගෙන ඉතා කෙටි කලකදී රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමටත්, රට අරාජිකත්වයට යෑම වැළැක්වීමටත් ඔහුට හැකිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයකට කැබිනට් අමාත්‍ය ධූර හිමිව තිබු ආණ්ඩුවක් ඔහු විසින් පවත්වාගෙන යන ලදි. කෙසේ වුවද කැබිනට් මණ්ඩලය තවදුරටත් වැඩි කිරීම පිළිබඳව පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වූ යෝජනා පිළිගත් බවක් දක්නට නොලැබිණ. රට ඉතා අසීරු තත්වයකට මුහුණ දී සිටි අවස්ථාවක ඇමැති තනතුරු තවදුරටත් වැඩි කිරීම පිළිබඳව ඔහු එකඟතාවක් දැක්වූයේ නැත.

ජනාධිපතිවරයා හඳුන්වා දුන් නව ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව වෙත සැලකිය යුතු මට්ටමක කෙටිකාලීන පීඩනයක් එල්ල විය. එවැනි අවස්ථාවක කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීම මහජනතාවගේ අප්‍රසාදයට හේතුවනු ඇත.  තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීම හෝ තහවුරු කර ගැනීම සඳහා වෙනත් පක්ෂ වලින් මන්ත්‍රීවරුන් කැඳවාගෙන ඔවුන්ට අමාත්‍ය තනතුරු ලබාදීම වැනි පියවර රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළේ නැත. රජයට එකතුවීමට සූදානම් වූ බොහෝ දෙනකුට ඔහු ප්‍රකාශ කළේ තවත් ටික කලක් රැඳි සිටින ලෙසය.

නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේ පක්ෂය දෙකඩ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බවය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බිඳ වැටීමට පෙරම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැඩී බිඳී යන තත්වයක් උද්ගතව තිබුණි. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේම්ජයන්ත වැනි අය තනතුරු වලින් ඉවත් කිරීම සමග එහි බිඳ වැටීම ආරම්භ විය. එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා සමහර කණ්ඩායම් පොහොට්ටුවේම රඳවා ගැනීමට කටයුතු කළ බව පෙනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා වැනි පිරිස් විපක්ෂයට එකතුවීම වළක්වා ගනු ලැබුවේ වික්‍රමසිංහ මහතා විසින් ඔවුන් විපක්ෂයට යාම වළක්වා ගනු ලැබු නිසාය.

අරගලය, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම ආදී හේතූ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ තරුණ කණ්ඩායම් පවතින තත්වය නිවැරදි ලෙස අවබෝධ කර ගැනීමට උත්සාහ කළ බව පෙනේ. රට අරාජික වීමෙන් වළක්වා ගත යුතු බව, බංකොළොත් බවින් මුදාගත යුතු බව, ඒ සඳහා වෙනස්කම් හඳුන්වාදිය යුතු බව වගකීම් බෙදාගත යුතු බව අභියෝගවලට මුහුණ දී ජය ගැනීම සඳහා මනා විචක්ෂණ භාවයකින් කටයුතු කළ යුතු බව කැබිනට් මණ්ඩලයේ එම පිරිස් අවබෝධ කර ගත්හ. බොහෝ තරුණ ඇමතිවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථාව සලසා දුන් බව ද පෙනේ. එසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රනිල් වික්‍රමසිංහ මහතා එපාවන විට නායකත්වයට පත් කිරීම සඳහා අඩුම තරමින් කැබිනට් ඇමතිවරයකුවත් නොමැති බව පෙනේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සැලකිය යුතු අවාසියක් සිදුව නැති බව සමහරුන්ගේ මතය වී ඇත. එහෙත් එහි වාසිය අවාසියට වඩා වැඩිවීමට ඉඩ තිබෙන බව ද පෙනේ. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට බොහෝ පක්ෂ හා කණ්ඩායම් කැමැත්තක් නොදක්වන්නේ රනිල් රාජපක්ෂ සම්බන්ධතාව නිසාය. එහෙත් දැන් රනිල් වික්‍රමසිංහ වී තිබේ. රනිල්ට සහාය නොදීමට බලපෑ ප්‍රධාන සාධකයක් දැන් ඉවත්වී තිබේ. ඔහුට සහාය දීමට කැමැති එහෙත්, රාජපක්ෂ සාධකය නිසා ඔහු වෙත නොපැමිණි ද්‍රවිඩ, මුස්ලිම් කණ්ඩායම් ඇතුළු බොහෝ පිරිස් රනිල් සමග නැවතත් සිටගනු ඇත.

තරුණ පරම්පරාවේ සිතුවිලි අවබෝධකර ගැනීමට නොහැකි වීම, අභියෝග උපායමාර්ගිකව සහ උපායශීලීව විසඳා ගැනීම සඳහා ඇති නොහැකියාව. මහජනතාවගේ හැසිරීම් රටාව සහ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට නොහැකිවීම පොහොට්ටු පක්ෂයේ අද ඇතිව තිබෙන අර්බුදයට හේතුවී තිබේ. ඒ පිළිබඳව පුළුල් අවබෝධයකින් කටයුතු කිරීමට පක්ෂ නායකත්වය කටයුතු නොකරන්නේ නම් පක්ෂයේ පැවැත්ම පිළිබඳව සහතිකවීමට කිසිවකුට නොහැකි වනු ඇත.


කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය


සුනන්ද මද්දුමබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *