|

මහින්ද සිරිසඟබෝ වෙයි – රටේ රාළ

සිරිසඟබෝ රජතුමා සියල්ල දන් දීලා අන්තිමට හිසත් දන් දුන්නා කියලා අපි අහලා තියනවා. හැබැයි මහින්දට උනේ ඕකේ අනිත් පැත්ත. මහින්ද සියල්ල පවුලට එකතු කරගන්න ගිහින් බෙල්ල ගහලා ගියා.සිරිසඟබෝගේ හිස දන් දුන්නේ මතු බුදුවෙන්න හිතාගෙන. මහින්දගේ බෙල්ල ගහලා ගියේ නාමල්ට දේශපාලන අනාගතයක් හදන්න ගිහින් වැරදි තීරණ අරගෙන. පාර්ලිමේන්තු මන්ත්රීවරු සීයක් එක රැයකින් නැතිවුනා කියන්නේ බෙල්ල ගහලා යෑමක් නෙවෙයි නං වෙන මොකද්ද?
ඔය වැඩේට ඉල්ලං කනවා කියලත් කියන්න පුළුවන්.දිළුම් අමුණුගම කියන්නේ මල මෙහේ නැට්ට එහේ කියලා.ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් කියන්නේ මැයි 09 වෙනිදා අරගලයට ගහලා කරගත්ත ඩැමේජ් එක වගේ ඩැමේජ් එකක් කරගත්තා කියලා.රටේ රාළ කියන්නේ නයාට ගහලා පොල්ල වරද්දගත්තා කියලා.ස්වභාව ධර්මයට අනුවත් රාජපක්ෂලාට මෙහෙම වෙන්න ඕනි.
ඒත් අපි හරියට බලන්න ඕනි රාජපක්ෂලාට මෙහෙම උනේ ඇයි කියලා.මෙතනදී රාජපක්ෂලා වැරදි තීරණ ගොඩක් කරගත්තා.එකක් රාජපක්ෂලාට එයාලා සම්බන්ධව තියෙන්නේ මෝඩ අධි තක්සේරුවක්.ඒ වගේම රනිල් සම්බන්ධව රාජපක්ෂලාට තියෙන්නෙත් වැරදි අඩු තක්සේරුවක්.එයාලා හිතුවේ ජනාධිපතිවරණ කඩයිමේදී රනිල්ව යටත් කරගන්න. ජනාධිපතිවරණයක් කියන්නේ කිසිදෙයක් අහක දාන මැතිවරණයක් නෙවෙයි.ඔයාලට මතක ඇති චන්ද්රිකා කුමාරතුංග 94 ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂයකටත් අඩුවෙන් තිබුණ ජවිපෙත් එක්ක ගිවිසුමකට ගියා.
ජනාධිපතිවරණයකදී ඡන්ද ලක්ෂයක් උනත් වටිනවා.ඒ වගේම ඔයාලට මතක ඇති 2005 ජනාධිපතිවරණය.රනිල් සහ මහින්ද තමයි ප්රධාන අපේක්ෂකයෝ දෙන්නා වුනේ.රනිල් මහින්දට පැරදුනේ ඡන්ද 180,786 කින්.ඒ කියන්නේ ලක්ෂ දෙකක ඡන්ද කුට්ටියකට පුළුවන් ජනාධිපතිවරණයක ජය පරාජය තීරණය කරන්න.එදා කොටින්ට සල්ලි දීලා මහින්ද රනිල්ගේ ජයග්රහණය උදුරාගත්තා.
පක්ෂයක් විදිහට හිතුවොත් පොහොට්ටුවට තවමත් ඡන්ද ලක්ෂ 20 ක් විතර ඇති.ඒ ඡන්ද ලක්ෂ 20 පෙන්න පෙන්න තමයි රාජපක්ෂලා රනිල් එක්ක කේවල් කළේ.මහින්දගේ දේශපාලන පෞරුෂයත් ඒ වෙනුවෙන් පාවිච්චි වුනා.ඒක කරන්න ඕනි කරන පොහොට්ටුවේ නිල බලය රාජපක්ෂලාට තියනවා.මහින්ද තමයි පොහොට්ටුවේ නායකයා.බැසිල් තමයි පොහොට්ටුවේ නිර්මාතෘ.නාමල් තමයි ජාතික සංවිධායකයා.
එක පවුලක ආධිපත්යයට යටවුන පක්ෂයක් තමයි පොහොට්ටුව කියන්නේ.මහින්දලා හිතුවා හැමවෙලේම සමස්ථ පක්ෂයම එයාලගේ අණසකට යටයි කියලා.එයාලා දන්නේ නැතිවුනාට දේශපාලනයේදී අණසක පතුරවන්න ප්රධාන සාධක කීපයක් බලපානවා.එක්කෝ රාජ්ය බලය තියෙන්න ඕනි.බලය තියනවා නම් හරි හෝ වැරදි මිනිස්සු ඒ බලයට යට වෙනවා.රාජ්ය බලය නැත්තං අඩුම ගානේ දැවැන්ත මහජන බලය තියෙන්න ඕනි.
2015 යහපාලන ආණ්ඩුව කාලේ මහින්දට රාජ්ය බලය තිබුණේ නෑ.හැබැයි මහින්දට දැවැන්ත මහජන බලයක් තිබුණා.එදා රනිල්ට සහ මෛත්රීට රාජ්ය බලය තිබුණත් මහින්දගේ මහජන බලය ඉස්සරහා පොහොට්ටුව හොල්ලන්න බැරි වුනා.අද මහින්දලාට රාජ්ය බලයත් නෑ.මහජන බලයත් නෑ.ඊළඟට සද්භාවය කියන සාධකය ඇතුලෙත් අණසක පතුරුවන්න පුළුවන්.බුදුන් වසන්සේ,ජේසුතුමා.නබිතුමාලා වගේ අය අණසක පැතිරෙව්වේ සද්භාවය ඇතුලේ ඉඳන්.
බලය නැතිවුනත් මිනිහෙකුගේ හොඳකම ඉස්සරහා මිනිස්සු කීකරු වෙනවා.අපි ඒ වගේ අයට කියනවා සොඳු ආඥාදායකයෙක් කියලා. ඉතිහාසයේ අපි අහලා තියන පිදෙල්ලා,මාවෝලා, ලෙනින්ලා,හෝචිමින්ලා තමයි විශිෂ්ඨ සොඳුරු ආඥාදායකයෝ.හැබැයි රාජපක්ෂලාගේ නායකත්වය කියන්නේ සොඳුරු එකක් නෙවෙයි. ඒක අශිෂ්ඨ වගේ තක්කඩි එකක්.දේශපාලන ව්යාපාරයක් ඇඟේ හයියට පවත්වාගෙන යන්න පුලුවන් බොහොම ටික කාලයයි.
දේශපාලන පක්ෂයක සහ දේශපාලන නායකයෙකුගේ ශක්තිය රඳා පවතින්නේ එයාලා ගන්න නිවැරදි දේශපාලන තීරණත් එක්ක. බලයත් නැති,සත්භාවයත් නැති.නිවැරදි තීරණ ගන්නත් බැරි රාජපක්ෂලාට දේශපාලනය ඇතුලේ තවදුරටත් පවතින්න බෑ.රටේ රාළ ඒකට සරළ උදාහරණයක් කියන්නම්.මහින්දගේ සහ ගෝඨාභයගේ පාලන කාලයේදී පොහොට්ටුව වටේට දක්ෂ තරුණ මන්ත්රීවරු ටිකක් එකතුවුනා.
රටේ රාළ මේ කියන්නේ අර කුට්ටිලා වගේ සැට්ටිඹි රාළලා ගැන නෙවෙයි.නම් වශයෙන් කිව්වොත් නුවර දිළුම් අමුණුගම,රත්නපුරේ ජානක වක්කුඹුර,මාතලේ ප්රමිත,අනුරාධපුරේ ශෙහාන්,මාතර කාංචන විජේසේකර…….. ඔය වගේ ලොකු සෙට් එකක් හිටියා. රාජපක්ෂලා හැමවෙලේම මේ අය ගැන උනන්දුවෙන් හිටියා.ඒ මෙයාලට ආදරේට නෙවෙයි.එයාලා හැමවෙලේම බැලුවේ මේ තරුණ දක්ෂයෝ නාමල් අභිබවා යයිද කියලයි.ඇත්තටම එයාලගේ දක්ෂකමට නිසි තැන දෙනවා වෙනුවට රාජපක්ෂලා කළේ නාමල් අභිබවා යන්න බැරි තැන්වල තියලා එයාලා පාලනය කිරීමයි.
ඇමතිකමක් උනත් දුන්නේ නාමල්වා අභිබවන්න බැරි ඒවා.නිකං හිතන්නකෝ ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලියේදී මුදල් රාජ්ය ඇමති ශොහාන් සේමසිංහ දැවැන්ත වැඩ කොටසක් කළා.රාජපක්ෂලා හිටියා නම් තවමත් ශෙහාන් සේමසිංහට වෙන්නේ අනුරාධපුරේ නටබුන් අතර තියන ගල් කනු ගණන් කරකර ඉන්න.ඒ වගේම කාංචන,දිළුම්,ප්රමිත,ජානක වගේ අයත් ඇමතිවරු සහ නියෝජ්ය ඇමැතිවරු විදිහට කැපීපෙනෙන වැඩකොටසක් කරනවා.
ඒ රනිල් එයාලට වැඩ කරන්න නිදහස දුන්න හින්දයි.රනිල් එයාලගේ දක්ෂකමට ඉඩ දුන්න හින්දයි.රාජපක්ෂලා කළේ නාමල්ට උඩින් මතුවෙයි කියලා හිතපු අයට කැපුවා.රටේ රාළ මේ කියන කතාව වැරදිද කියලා ඔය තරුණ මන්ත්රීවරයෙක්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා ඇහුවොත් කියයි.එහෙම පරිප්පුවක් කාපු මිනිස්සු රනිල් වගේ අවස්ථාව නිර්මාණයට කරලා දෙන නායකයෙක් දාලා රාජපක්ෂලා වගේ වැඩවසම් සාටකකාරයෝ ළඟ නතරවෙයිද?රනිල් විශ්වාස කරන්නේ Team work එකක් ගැන.
රාජපක්ෂලාගේ තියෙන්නේ One Man Show. රාජපක්ෂලාගේ One Man Show අදාල වෙන්නේ ඉතිහාසයට.රනිල් එක්ක වැඩකරපු අයට මේ වෙනස තේරුණා.ඒ වෙනස තේරුම් කරලා දෙන්න රනිල් දක්ෂ උනා වගේම ප්රායෝගික වුනා.ඒකයි බලාපොරොත්තු නැති අවස්ථාවකදී රාජපක්ෂලාට දේශපාලන වශයෙන් හිස දන් දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.
May be an image of 1 person

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *