රටට වින කටින ඊනියා දේශප්‍රේමය – මහින්ද රත්නායක

 

පසුගිය සති කිහිපය තුළ එකිනෙකට සම්බන්ධ නමුත් බැලූ බැල්මට සෘජු සම්බන්ධයක් නැති සංසිද්ධින් තුනක් මාධ්‍ය වාර්තා කළේ ය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පළමුවැනි සංසිද්ධිය වේ. දෙවැන්න, බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ නිරායුද ජනතාවට වෙඩිතැබූ හමුදා සාමාජිකයින් තිදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීම ය. මනෝ වෛද්‍ය පරික්ෂණයකින් මානසික ව්‍යාධියක් නැතිබව තහවුරු වී ඇති එකම පාර්මේන්තු මන්ත්‍රිවරයා වන නිශාන්ත මුතුහෙට්ටිගම, හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම පැහැදිලි නැති බව පවසමින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය තෙවැනි සංසිද්ධිය වේ.

වීරවංශ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ වාහන 40ක් අවභාවිතා කිරීම හා රජයට රුපියල් මිලියන 90ක අලාභයක් කිරීම පිළිබඳ සැකපිට ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විමල් වීරවංශට පවරා තිබූ නොනිල කාර්ය වූයේ ඊනියා ජාතිමාමක ජනයා මුසපත් කිරීම ය.

එම කාර්ය නොපිරිහෙළා ඉටුකිරීමට ප්‍රතිඋපකාර ලෙස ඕනෑම අකටයුත්තක් කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා වීරවංශට අවසර දී තිබු බව කවුරුත් දනිති. කඩුවෙල නගරාධිපති බුද්ධදාස, වීරවංශ මන්ත්‍රීවරයාගේ නොපනත්කම් පිළිබඳව මාධ්‍යට කරුණු කීවේ මහින්ද රාජපක්ෂ ජනාධපති ධුරයේ සිටියදීම ය. නගරාධිපති බුද්ධදාස යූ එන් පී කාරයෙක් නොව හොඳ ශ්‍රි ලංකා කාරයෙකි. හිටපු ජනාධිපතිවරයාගේ බලමහිමයෙන් පෙරාපු ශ්‍රි ලංකා කාරයෙක් වූ නගරාධිපති බුද්ධදාස ගේ හෙළිදරව්ව ඵල දැරුවේ නැත.

අත්අඩංගුවට ගැනීමට ඕනෑතරම් කරුණු තිබියදීත් විමල් වීරවංශ අත් අඩංගුවට පත්නොවීම පිළිබඳ වත්මන් පාලකයින් බලයට පත්කළ ජනතාව අතර ද සැකයක් තිබුණි. විමල් වීරවංශ අත්අඩංගුවට පත් වී ඇප නොදි රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ අර කියන ලද ජනතාවගේ සැකය දුරු වී ඇත.

රජයට අලාබයක් කිරීම පිළිබඳව නොව එක වාහනයක් අවභාවිතා කිරීම යන චෝදනාව යටතේ සැක පිට, නැසීගිය ශ්‍රීපති සූරිආරච්චි මන්ත්‍රීවරයා රාජපක්ෂ පාලන සමයේ දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට පසුව ඇප පිට නිදහස ලැබී ය. එවකට පොළෙ­ාන්නරු දිස්ත්‍රික්කයේ එජාප සංවිධායකවරයෙක් වූ සිඩ්නි ජයරත්න එජාප පාලන සමයේ දී වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් මාස ගණනක් රක්ෂිත බන්ධනාගාරගතව සිට අනත­ුරුව ඇප මත නිදහස ලැබී ය. විමල් වීරවංශ මන්ත්‍රීවරයා රාජපක්ෂ පාලන කාලය තුළ එම වරදත් ඇතුළුව රජයට විශාල අලාභයක් කර තිබේ. ඒ අනුව ඔහු ද රක්ෂිත බන්ධනාගාරගත කිරීම අරුමයක් නොවේ.

මිනීමැරුමක් සම්බන්ධයෙන් වූවත්, සැකකරුවෙක් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගතකරන්නේ නැත. පරික්ෂණ අවසන් ව නඩු පැවරූ පසු සැකකරුවන්ට ඇප ලැබෙන බව අපි දනිමු. මේ සඳහා ගතවෙන කාලය දීර්ඝ වෙන්නට පුළුවන. නමුත් නඩු විභාගයට මුහුණ දී විමල් වීරවංශ මන්ත්‍රිවරයාට නීතිය ඉදිරියේ තම නිර්දෝෂිබව ඔප්පු කිරීමට එය කිසිසේත්ම බාධාවක් නොවේ.

එසේ තිබිය දී මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විරුද්ධ පක්ෂයේ නායකයෝ, විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ජාති මාමකයින් දඩයම් කිරීමක් ලෙස උලූප්පා දැක්වීමට මහන්සි ගනිති. අධිකරණයට වක්‍ර­ාකාර ලෙස සමාජ බලපෑමක් එල්ල කිරීමට තම දරුවන් පවා යොදා ගන්නා විරවංශ ජාතිමාමක වීරයෙක් නොව ආත්ම ශක්තියක් නැති හුදු වාචාලයෙක් බව පසුගිය සති කිහිපය තුළ මොනවට ඔප්පුකර තිබේ.

ඉහත කී දෙවැනි සංසිද්ධිය වූ, බීමට ජලය ඉල්ලා හඬ නැඟූ රතුපස්වල ජනතාවට වෙඩිතැබූ ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනකු අත්අඩංගුවට ගත්තේ පසුගිය දා ය. මෙයට එරෙහිව අධිකරණයට බලපෑම් කිරීම උදෙසා ජාතිමාමක රණවිරුවන් අත්අඩංගුවට ගත්බව පවසමින් හාමුදුරුවරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂය පාරට බසී ද යන්න අපි නොදනිමු.

පරහකට ඇත්තේ මේ කියන රණවිරුවන් වෙඩිතබා ඇත්තේ දෙමළ ජනයාට නොව පානිය ජලය ඉල්ලා හඬනැඟූ සිහළුන්ට වීමය. හමුදාවට කිහිපවතාවක්ම ලේ දුන් අයෙක් කෝපයට පත්ව තමාගේ අත කපා ගන්නා බව එම සිද්ධියේ දී ප්‍රකාශ කළේය.බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට නියෝග කළ බවට වාර්තා වී ඇත. දැන ගැනීමට අවශ්‍ය වන්නේ බ්‍රිගේඩියර් ගුණවර්ධනට නියෝගය ආවේ කොතනින්ද යන්න ය. රණවිරුවන් ආරක්ෂා කිරීමට නම් දැන් කළ යුත්තේ නිරායුද ජනතාව අමු අමුවේ මරා දැමීමට ගුණවර්ධනට නියෝග දුන් අය අත්අඩංගුවට ගන්නා ලෙස බල කිරීම ය.

සාමාන්‍ය නීතියට පමණක් නොව යුද නීතියට ද එකඟ නැති සහාසික අපරාධ කළවුන් රණවිරු ලේබලය යටතේ ගැලවී යෑම වැළැක්විය හැක්කේ ගුණවර්ධනලා වැන්නවුන්ට නියෝග දුන් ඉහළම පුද්ගලයා නීතිය ඉදිරියට ගෙන ඒමෙන් පමණි. කුමක් හෝ හාස්කමකින් එකී පුද්ගලයා අත්අඩංගුවට පත්වීම පමා වී ඇති නමුත් රතුපස්වල ජනතාවට වෙඩි තැබූවන්ට රණවිරු ලේබලය යටතේ සහනයක් ලබාගැනීමට නොහැකි බව නම් පැහැදිලි ය.

හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයාබලා කටයුතු කිරීමට ජනාධිපතිවරයා විසින් සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කෙරිණ. ඉහත සඳහන් තෙවැනි සංසිද්ධිය වන එය අමුණුගම අමාත්‍යවරයා ජනාධිපතිගේ නියමයන්ට අනුව කටයුතු අවසන් කළ නමුත්, ගිවිසුමේ ඇතැම් කරුණු පැහැදිලි නැති බව කියමින් නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්ත්‍රීවරයා ජනාධිපතිවරයාට ලිපියක් ලියා ඇති බව මාධ්‍ය තුළින් ප්‍රචාරය විය.

මානසික ව්‍යාධියක් නැති නමුත් මුතුහෙට්ටිගම නියෝජ්‍ය ඇමතිවරයා මේ ලිපිය ලියන්නේ රාජ්‍ය දේපොළ පිළිබඳ ජාති මාමක හැඟීමකින් යැයි සිතන අය ද සිටිති. අර කියන ලද ගිවිසුම මේ ආකාරයට ප්‍රමාද කෙරෙන්නේ හම්බන්තොට කාර්මික සංවර්ධන ව්‍යාපෘතිය චීනය සමඟ දිගුකාලීන පදනමක් යටතේ හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට බලකෙරී තිබෙන තත්ත්වයක් තුළ ය.

රාජපක්ෂ පාලනය විසින් ගෙවිය නොහැකි තරම් ණය ගෙන කළ ආදායම් නොලබන ආයෝජන චීනය මත පැටවීමෙන් තොරව ගොඩඒමට අන් මගක් නැත. මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ආර්ථික විද්‍යාවේ භාෂාවෙන් ප්‍රකාශ කළේ ද මේ හැර වෙන යමක් නොවේ. එසේ නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ අගාධයකට තල්ලූ වී යෑම වැළැක්විය නොහැකි බව ඔහු එහිදී ඉඟි කළේ ය.

මේ තතු යටතේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරයෙන් එළියට ගැනීමට ජාති මාමකත්වය ගණිකා වෘත්තියේ යොදවන ආකාරයට ම මිනීමරුවන් හා අපරාධකාරයින් නිදහස් කර ගැනීමට යොදා ගන්නේ රණවිරු ලේබලය වේ. මුතුහෙට්ටිගම ඇමතිවරයා ජනාධිපතිවරයාට යැව්වා යැයි කියන ලිපියෙන් ද සනාථ වන්නේ ණය උගුලෙන් ගැලවීමට ආණ්ඩුව ගන්නා උත්සහාය අඩාල කිරිමට ජාති මාමකත්වය ගණිකා වෘත්තීයේ යෙදවිම හැර වෙන යමක් නොවේ.

ආරම්භයේ දී සඳහන් කළ ආකාරයට පසුගිය සති කිහිපය තුළ ඇති වූ අර කියන ලද සංසිද්ධීන් තුන අතර සෘජු සම්බන්ධයක් නැති බව ඉතා පැහැදිලි ය. නමුත් එම සංසිද්ධීන් තුන අතර ඇති ඊනියා ජාති මාමකත්වය වක්‍රාකාර ලෙස එකිනෙකට සම්බන්ධ ය. නීතියේ ආධිපත්‍යය පිහිටුවීම ඉතා මන්දගාමිව සිදුවන්නේ ඊනියා ජාති මාමකත්වය එයට බාධාකරන නිසා වන අතරම ආර්ථික සැලසුම් හා උපාය මාර්ගයන් අඩාලවීමට ඊනියා ජාති මාමකත්වය බලපා ඇත.

මේවා අහම්බෙන් සිදුවන දේවල් නොවන අතර මෛත්‍රි-රනිල් ආණ්ඩුව කඩාකප්පල් කිරීමට කරන සැලසුම් සහගත ක්‍රියා බව ඉතා පැහැදිලි ය. වාසුදේව ලිපියක් මගින් කියා තිබු ආකාරයට මේ ආණ්ඩුවට ඉස්ප­ාසුවක් ඇතිකර ගන්නට මොහොතක්වත් ඉඩ නොදිය යුතු ය. දැන හෝ නොදැන මුතුහෙට්ටිගම ඇමැතිවරයාගේ ලිපියෙන් කෙරෙන්නේ ද ඒ කටයුත්තම ය. දැනුමක් තේරුමක් ඇති සරත් අමුණුගම අමාත්‍යවරයා වැනි අයට මේ බව දැනුවත්කමක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. කිහිප විටක්ම මුදල් ඇමැති ලෙස වැඩකර ඇති අමුණුගම අමාත්‍යවරයා මෙහිදි ඉතා සාධනිය ලෙස මැදිහත් වූ ආකාරය පැසසිය යුතු ය.

අනික් අතට සියලූ කෙනහිලිකම් මධ්‍යයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ හිත් නොරිදෙන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. ඔහු මේ ආකාරයට ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම අගය කළ යුතු ය.

යහපාලන ආණ්ඩුවට මේ වන විට වසර දෙකහමාරක් පමණ වේ. මේ ආණ්ඩුව ද නොයෙකුත් වැරදි කර ඇති බව රහසක් නොවේ. එමෙන්ම යහපාලන ආණ්ඩුවේ අඩුපාඩු ද බොහෝ තිබේ. රාජපක්ෂගේ පාලනය මෙන් යහපාලනය මේ තුන් ලෝකයේම නැති යහපත් පාලනයක් යැයි අපි නොකියමු. එහෙත් මේ ආණ්ඩුව පලවාහැර පත්කරගත හැකි වෙනත් පිරිසක් තවමත් පේනතෙක් මානයේ නැත. එහෙයින් කළ යුතු වන්නේ කළ වැරදි නැවත නොකර අඩුපාඩු මග හරවාගෙන ඉදිරි වසර තුනහමාර යහපාලනය සැබෑකර ගැනීමට කටයුතු කිරීම ය. එසේ කටයුතු කරන්නේ නම් රාජපක්ෂලාගේ ඝෝෂාව කෙඳිරියක් බවට පත්වනු ඇත. එපමණක් නොව ඊනියා දේශමාමකත්වය ‍ප්‍රෝඩාවක් බව ජනතාව අවබෝධ කරගන්නවා නිසැක ය.

මහින්ද රත්නායක 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *