|

ආර්ථික පරිවර්තන පනතින් රටේ ආර්ථිකය යා යුතු මඟ කියා දෙනවා – මහාචාර්ය සිරිමල් අබේරත්න

මෙරට ආර්ථිකය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු බව බොහෝ දෙ‍ෙනක් පෙන්වා දෙති. ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ආර්ථික පරිවර්තන කෙටුම්පත සම්මත කර ගැනුණේ ඒ අතරේය. එහෙත් කලක් තිස්සේ ඒ පිළිබඳ පක්ෂ හා විපක්ෂ මත පැවැතිණ. අදටත් එය එසේමය. ඒ කෙසේ වෙතත් දැන් පනතක් එසේත් නැතිනම් නීතියක් බවටත් සම්මත කර තිබෙන මෙය මඟින් රටට අත්වන දේ ගැන මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සමඟ කළ කතාබහ මෙසේ දක්වමු.

ගොඩ එන්න නම් මුලින්ම ගැටලුව හොඳින් හඳුනාගත යුතුයි

බදු ගෙවීම් මඟහැරියොත් අපේක්ෂිත ඉලක්කවලට යෑමට බාධා ඇති වෙනවා

මේ වන විට අපි ධනාත්මක ප්‍රගතියක් ලබාගෙන තියෙනවා

අපි කෙළින්ම මාතෘකාවට යොමු වෙමු ද?

මෙතැනදී මෙරට ආර්ථික ස්ථායීකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කියන කරුණු 2ම සැලකිල්ලට ගත යුතුයි. එහි පළමුවැන්න ගැන කියනවා නම්, මුලින්ම ඉකුත් අවුරුදු දෙකක පමණ කාලය දෙස හැරී බැලිය යුතුයි. එතරම් කලක් තිස්සේ රටක් වශයෙන් අපි ආර්ථික ස්ථායීකරණය වෙනුවෙන් වැය කළේ. ඒත්, එහිදී ගනු ලැබූ පියවර, ක්‍රියාමාර්ග, නීති රීති ආදිය නිසා ජනතාව අතිශයින් පීඩාවට පත්ව සිටින වග පැහැදිලියි. ඒ ඇත්ත අපි පිළිගත යුතුයි. ඒ තමයි අර්බුදයේ ස්වරූපය. අපිට ඉන් ගොඩ ඒමට නම් මුලින්ම ගැටලුව හොඳින් හඳුනාගෙන තිබීම අත්‍යවශ්‍යයි. කොයි කාරණයේදී වුණත් ඒක එහෙමයි. ඉතින් අපි නැවත මුලට ගියොත්, ආර්ථික ස්ථායීකරණය සහ ප්‍රතිව්‍යුහගතකරණය කියන තැන්වලදී මෑතකදී බොහෝ සෙයින් ජනතාවට අලුත් අත්දැකීම් විඳින්නට වූ කරුණු වග පැහැදිලියි. එහිදී බදු සංශෝධන කෙරුණා. වෙළෙඳපොළ මිල ගණන් යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවත් එහිදී කැපී පෙනුණා. විනිමය අනුපාත ආදිය සැලකිල්ලට ගත්විට ඒ හරහා ජන ජීවිතයට වූ බලපෑම පිළිබඳ නැවත අවධාරණය කළ යුතුයි. ඉතින් ඒ කරුණු අමතක කර අපට ඉදිරියට යා නොහැකියි. ඒ වගේම අර්බුදය හා එය විසඳීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳත් තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් පමණයි වැඩි යමක් කියන්න පුළුවන් වෙන්නේ.

ඒ දෙසටත් හැරෙමු ද?

මෙතැනදීත් නැවතත් ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ විස්තර කිරීම් කළ හැකියි. අර්බුදය එහි පළමුවැන්නයි. අනෙක, එය නිරාකරණයට ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීරණයි. එහිදී මේ වන විට අපි ධනාත්මක ප්‍රගතියක් ලබා ඇති වග කිවහැකියි. එය පැහැදිලිව හඳුනා ගත හැකි කරුණක්. උද්ධමනය අඩු වීමක් ඒ ඔස්සේ වී තියෙනවා. එපමණක් නෙවෙයි, විනිමය අනුපාත අපට ඉතා වැදගත්නේ. එහිත් ස්ථාවර බවක් මෙහිදී හඳුනාගත හැකියි. එතැනින් එහාටත් විස්තර කරනවා නම්, බැංකු පොලී අනුපාත ගැනත් කිව යුතුයි. එම අනුපාතවල අඩු වීමක් මෙකල හඳුනාගත හැකියි. ඉතින් එහෙමනම් ඒ හරහා මොකද වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ බදු ආදායම් මේ නිසා වැඩි වෙලා තියෙනවා. ඒ ඔස්සේ තවදුරටත් ඉදිරියට යන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය විශේෂයෙන් පෙන්වා දිය හැකියි. එමඟින් අපිට රටක් විදියට වර්ෂ 2028 වන තුරු ණය නොගෙවා සිටීමේ හැකියාව ලැබුණා. එවැනි ධනාත්මක කරුණු මේ තුළ තියෙනවා.

එහෙමනම් ඒක ලොකු දිනුමක්?

හැබැයි ඒක තාවකාලිකයි. කෘත්‍රිමයි. දෙයාකාරයකින් ඔය කරුණ විස්තර කර දිය හැකියි. මුලින්ම මේ විදියට අලස ගමනින් අපට රටක් වශයෙන් ඉදිරි ගමනක් නැහැ. අපිට ගිමන් හැරීමට කාලයක් නැහැ. වේගයෙන් ආර්ථික වර්ධනය නමැති තරගයට මුහුණදීමට වෙනවා. එහෙම නොවුණොත් අපි නැවත දිනුම් කණුවට කලින් ඇද වැටෙන්න පුළුවන්. ඒක එහෙම වුණොත් කිසිම වැඩක් නැහැ. අපිට අපේ ආර්ථිකය දැනට වඩා බෙහෙවින් ඉහළට ඔසවා තැබීමේ වගකීම රටක් විදියට තියෙන වග අවධාරණයෙන් කිව යුතු වන්නේ ඒ නිසයි. ඒ පළමුවැන්න. දෙවැන්න නම්, උගත් පාඩම් ඇසුරින් ඉදිරිය ස්ථාවර කර ගැනීමයි. කලින් අප අත්විඳි අර්බුදය නැවත ඇති නොවන්නට වගබලා ගැනීම, එසේත් නැතිනම් ඊට කටයුතු කිරීමයි මෙයින් අදහස් කරන්නේ. මේ කරුණු කෙරෙහි ආර්ථික පනත තුළින් කොළ එළි දක්නට පුළුවන්. එසේත් නැතිනම් ඒ ගමනාන්තයට යෙදුණු කෙටි මාර්ගයක් තමයි මේ. ඊට අදාළ ප්‍රතිපත්ති රාමුවක් විදියටත් මේ පනත හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මැදිකාලීන හා දිගුකාලීන වශයෙන් අපට ඉදිරි අර්බුදවලදී නොසැලී නැඟී සිටීමට නම් ගත හැකි මඟ පිළිබඳ මෙයින් පෙන්නුම් කරනවා.

අපි හදා ගන්න ඕනෑ තැන් බොහොමයි කියලා ඔබත් කිව්වා?

ඔව්. එහිදී කරුණු ගණනාවක්ම පෙන්වා දිය යුතුමයි. මුලින් ස්ථායීකරණය ගැන කතා කරමුකෝ. එතැනදී පුළුල් පරාසයකට කතාබහ පැතිරෙනවා. විශේෂයෙන්ම හරියට බදු ගෙවීම වෙන්න ඕනි. විය හියදම් හිතුමනාපයට ඕනෑ ඕනෑ විදියට කරන්න බැහැ. හැබැයි ඒක එහෙම නැහැනේ. බදු ගෙවීම් මඟහරින්නන් කොතෙකුත් මෙරට සිටිනවා. ඒක එහෙම වෙද්දී අපට අපේක්ෂා කරන ඉලක්කවලට යෑමට බාධා ඇති වෙනවා. නිවැරදි දත්ත, තොරතුරු ගැනත් මෙතැනදී නොකියාම බැහැ. ආණ්ඩුවට මෙරට ජනතාවගේ වත්කම්, ආදායම් වියහියදම් ආදිය පිළිබඳ නිවැරදි දත්ත තිබිය යුතුමයි. එවිටයි සැබෑ තත්ත්වය පිළිබඳ පැහැදිලි වැටහීමක් ලැබෙන්නේ. ඒත්, තවම හරියාකාරව ඒ දේ වෙන්නේ නැහැනේ. ඉතින්, බදු ගෙවන්නේත් සුළුතරයයිනේ. ඒ අතින් අපි ඉන්දියාව තරම්වත් ඉදිරියට ගිහින් නැහැ. ඒ එක කාරණයක්.

අනෙක, මෙරට දුප්පත්කම වේගයෙන් ඉහළ ගිහින් තියෙනවා. රට හැරයෑම් වුණත් හුඟක් වැඩියි. හැබැයි, විදෙස් ණය ගෙවන්න වුණත් විදේශ විනිමය ඉපැයීම් වැඩි වෙන්න ඕනි. ආර්ථික වර්ධන වේගය වේගවත් කර ගැනීම ගැන හුඟ දෙනකු කතා කරනවා. ඒක එහෙම වෙන්න නම් රැකියා අවස්ථා බෙහෙවින් පුළුල් විය යුතුයි. කාටත් සහභාගි විය හැකි ආර්ථික වර්ධනයක් අත්‍යවශ්‍යයි.

නවීන තාක්ෂණය පිළිබඳ මෙහිදී වැඩි විශ්වාසයක් තැබෙනවා. ඩිජිටල්කරණය එහි අංගයක්?

මෙරටට ඒ හැකියාව තියෙනවා. හැබැයි, රාජ්‍ය අංශය ගැන නම් සතුටු විය නොහැකියි. තවමත් අල්ප වශයෙන් ඩිජිටල්කරණය වීමක් දක්නට තියෙන්නේ. ඒ බලවත් අඩුපාඩුවක්. හැබැයි නිසි කාර්යක්ෂමතාවක් එහිදී පැවැතිය යුතුමයි. පරිගණක හා ඒ ආශ්‍රිත උපාංග පැවතුණත් ඉන් නිසි ඵල ප්‍රයෝජන ගෙන නැහැ.

ඇත්තෙන්ම නූතන ලෝකය සමඟ කරට කර තරග කරමින් ඉදිරියට යෑමේදී ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි. මං කලිනුත් සඳහන් කළ විදියට ජනතාව බදු අය කර ගැනීම, සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම කියන තැන්වලදී ඩිජිටල්කරණයේ අවශ්‍යතාව ඉතා දැඩියි. ඒත්, කලිනුත් කිව්ව විදියට රාජ්‍ය අංශයේ ඒ තාක්ෂණ පහසුකම්වලින් ප්‍රයෝජන ගැනෙන්නේ අඩුවෙන්. තවදුරටත් විස්තර කරනවා නම් ඩිජිටල්කරණය කරුණු ගණනාවකට වෙන් කර දැක්විය හැකියි. ඩිජිටල්කරණ යටිතල පහසුකම් ප්‍රවර්ධනය ඉන් ප්‍රධාන අංගයක්. ඒත් ඒ අංශය දියුණු කරන්නට නම් ඊට ගැළපෙන අයුරින් නීති රීති, අණ පනත්, රෙගුලාසි ආදියත් යාවත්කාලීන විය යුතුයි. හැබැයි, දත්ත හුවමාරු කිරීම, ප්‍රසිද්ධ කිරීම් අවහිර කෙරෙන නීති රීති තවමත් ක්‍රියාත්මකව නැතුවා නෙවෙයි. මේ බාධක, අවහිරතා මඟහරවා ඉදිරි සංවර්ධන ගමනට රුකුලක් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ තියෙනවා.

ඒ අතින් මෙරට බැංකු පද්ධතිය දියුණුයි නේද?

ඔව්. ජනතාව දැන් ඉස්සර වගේ බැංකුවේ පෝලිම්වල, බැංකු පොත් අතේ තියාගෙන පෙළ ගැසී ඉන්නේ නැහැනේ. අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට දැන් බැංකු ශාඛාවට මිනිස්සු යන්නේ නැහැ. ඒක ඒ අතින් සාමාන්‍යකරණය වී තියෙනවා. ඒත් බැංකු එහෙම වුණත් ඒ සාධකය මත පිහිටා රට ඩිජිටල්කරණය අතින් ඉහළ තැනට ඇතැයි කිව නොහැකියි. රාජ්‍ය, පෞද්ගලික අංශ එතැනට දියුණු විය යුතුයි. හැබැයි එයින් අපට එහෙම බැහැයි කියන එක ඇඟවෙන්නේ නැහැ. මෙරට ඇතැම් සමාගම්, පුද්ගලයන් ඉතා නවීන තාක්ෂණයත් උපයෝගි කර ගනිමින් ලෝකයේ දියුණුම සමාගම්, ආයතන සඳහා එම පහසුකම් සලසනවා. ජනප්‍රියතම වෙළෙඳ සන්නාමයන්ට සම්බන්ධව කටයුතු කරනවා.

අපිට මේ ඉලක්ක තුළ කෘෂිකර්ම නවීකරණයත් හඳුනා ගත හැකියි?

ප්‍රතිසංස්කරණය හා නවීකරණය දෙකම ගැන මං මෙතැනදී අවධාරණය කරන්න කැමැතියි. නවීකරණය යන්නෙන් අලුත් බීජ, පැළෑටි, නවීන තාක්ෂණය ආදිය හැඟවුණත් මෙරටින් කෘෂිකර්මය මූලික කර ගත් ව්‍යුහාත්මක ප්‍රශ්න තවම ඉස්මතු වී පෙ‍ෙනනවා. උදාහරණයකින් පෙන්වා දෙනවා නම්, මෙරට ශ්‍රම බළකාය මිලියන 9ක් පමණ වෙනවා වගේම ඉන් 2.5ක් පමණ කෘෂිකර්මාන්තයෙන් ජීවිකාව කර ගන්නා බවත් පැහැදිලියි. එසේම අපේ හා සමානම ශ්‍රම බළකායක් තමයි නෙදර්ලන්තයේත් ඉන්නේ. හැබැයි, එරට ශ්‍රම බළකායෙන් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ ලක්ෂ 2ක් තරම් පිරිසක්. හැබැයි එහෙම වුණත් එරට අස්වනු ඉතා ඉහළ ධාරිතාවක් ගන්නවා. එරට තමයි ලෝකයේ තුන්වැනි කෘෂි නිෂ්පාදන අපනයනකරු. අමෙරිකාවට, චීනයට පමණයි නෙදර්ලන්තය දෙවැනි වෙන්නේ. හැබැයි ඒ තැනට ළඟා වීම පිළිබඳ අපට හිතාගැනීමටත් අපහසුයි.

හැබැයි අපට ඒ ඉලක්ක හඹායන්න වෙනවා. එහිදී දැන් බහුලව දක්නට ඇතිවා වගේ, අක්කර භාගයේ, අක්කරයේ වගා ඉඩම් ඇතිව ගොවීන්ට ඒ අභියෝගයට මුහුණදෙන්න අමාරුයි. අක්කර 25, 30 තරමේ සුවිශාල වගා බිම් ඊට අවශ්‍යයි. ඒ වගේම බහුතරයක් වන කෘෂිකර්මාන්තයෙන් යැපෙන ජන කොටස කාර්මික, සේවා අංශ කෙරෙහි ආකර්ෂණය කර ගැනීමේ අභියෝගයත් රටක් විදියට අප ඉදිරියේ පවතිනවා.

රාජ්‍ය කළමනාකරණයත් මේ පනත හා සමගාමීව කතාබහට ඇවිත් තියෙනවා?

ඒ ප්‍රශ්නයත් අපි ඉදිරියේ තියෙනවා. එකම අමාත්‍යාංශයට අයත් විය යුතු බවට පැහැදිලිව පෙනෙන්නට තිබෙන අංශ පවා වෙන වෙනම වෙන් කර තියෙනවා. නිදසුනක් කියනවා නම්, ඉඩම අයිති අමාත්‍යාංශය එකක්. එහි ගස්කොළං හිමි වෙනත් අමාත්‍යාංශයකට. ජලය තවත් අමාත්‍යාංශයකින් තමයි පාලනය වෙන්නේ. වන සතුන් ඒ එකක්වත් නොවන වෙනම අමාත්‍යාංශයකටයි අයිති. ඉතින්, සංවර්ධනයේ වේගවත් ගමනට ඉන් ලැබෙන දායකත්වයක් නැහැ. මෙහිදීත් ඇතැම් ආයතන එකතු කර වෙනමම අංශ ස්ථාපිත කිරීමට කටයුතු කර තියෙන්නේ ඒ අනුව විය හැකියි. හැබැයි ඒ හරහා අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කර ගන්න පුළුවන් වෙයි ද කියන කරුණ ගැනත් දෙවරක් සිතා බැලීම වැදගත්. සැබැවින්ම මේ වගවීම තවදුරටත් අමතක කළ නොහැක්කක්. මඟහැරිය නොහැකි දෙයක්. අපිට දැන්වත් පැහැදිලි ඉලක්ක අවශ්‍යයි. මේ පනත හරහාත් ඒ පිළිබඳ අවධානය යොමු වී ඇති බවක් පෙනෙනවා. හැබැයි ඒවා ලිපි ගොනුවලට සීමා වී පලක් නැහැ. අපේ රටේ උදේට ලස්සනට හැඳ පැලඳගෙන කන්තෝරු ඇවිත් නිලධාරීන් සවස් වන තුරු වැඩ කරනවා. ඒ කටයුතු සියල්ල අකුරට වුණත් බිම් මට්ටමෙන් සක්‍රියව නිෂ්පාදනයක්, ඵලදායීතාවක් නැතිකමයි ගැටලුව. ඒත් තවදුරටත් එය එසේ විය නොහැකියි. වාර්ෂිකව අපි ඉදිරියේදී ගමන් කළ යුතු තැන පිළිබඳ පැහැදිලි දැක්මක් අප සතු විය යුතුයි. ඒ කරා ළඟා වීමට ගන්නා පියවරත් එහි ඵලදායිතාව පිළිබඳත් අප හොඳින් දැනුම්වත්ව සිටිය යුතුයි. නොඑසේ නම් අපට නැවත පැරණි ආර්ථික අගාධයටම වැටෙන්න වෙයි. එවිට මෙවැනි සාධනීය අංග ඇතුළත් පනත් කෙතරම් පැවැතියත් අපට සංවර්ධනයේ ගමන තවත් බොහෝදුර විය හැකියි.

නුවන් මහේෂ් ජයවික්‍රම

දිනමිණ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *