| |

රනිල් ආණ්ඩු කරද්දී ආර්ථිකය ස්ථාවර වීම – ඉකොනොමැට්ටා

කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක වලට සාපේක්ෂව බැලුවොත් බොහොමයක් අංශ වලින් ලංකාව ඉලක්ක ඉක්මවා ගිය සාර්ථකත්වයක් පෙන්වා තියෙනවා (overperform). 

මීට පෙරද ලංකාව වාර ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ස්ථායීකරණ වැඩපිළිවෙලවල් තුළ හිටියා. ඒ බොහෝ අවස්ථා වලදී මහ බැංකුව අපේක්ෂිත කෙටිකාලීන ඉලක්ක වලට ගියා. නමුත් ගොඩක් වෙලාවට රජය පැත්තෙන් අවශ්‍ය කැපවීම නොතිබුණු නිසා රාජ්‍යමූල්‍ය ඉලක්ක මග හැරුණා. මේ අතීත වාර්තා එක්ක වැඩසටහනේ පාදක ඉලක්ක හදද්දී රජය පැත්තෙන් ඒ තරම්ම දෙයක් වෙන එකක් නැහැ වගේ උපකල්පනයක් පේන්න තිබුණා.

නමුත් ඇත්තටම වුනේ ඒකේ අනෙක් පැත්ත. රජය පැත්තෙන් හිතාගන්න බැරි තරමේ කැපවීමක් ප්‍රදර්ශනය වුනා. රටේ ආර්ථිකය මේ තරම් ඉක්මණින් ස්ථාවර වුනේ මේ තත්ත්වයත් එක්ක.

මීට කලින් වාර ගණනක් රනිල් අගමැති වෙලා හිටියා. නමුත් ඒ කාල වකවානු වල රජය පැත්තෙන් මේ තරම්ම දෙයක් වුනේ නැහැ. මෙවර වෙනසට හේතු වුනේ රනිල් විසින් අවශ්‍ය දේවල් කරන එක ජනතා අභිලාෂයද වූ නිසා. එසේ නොවීනම් මේ දේවල් මේ විදිහට කරන එක මේ තරම් ලේසි වෙන්නේ නැහැ.

බැලු බැල්මට මේ කතාව විරුද්ධාභාෂයක් වගේ පේන්න පුළුවන්. මොකද රනිල් ලොකු ජනවරමක් එක්ක ඡන්දයෙන් පත් වුනේ නැහැ. ඇත්තටම ජනවරමක් කියා දෙයක් තිබුණේම නැහැ. ඒකම තමයි මෙතැන වැදගත් කරුණ.

රනිල් යටතේ සිදු වූ දේවල් ඒ විදිහට සිදු වුනේ රටේ විශාල පිරිසකගේ අභිලාෂය ඒ දේවල් රනිල් යටතේ සිදු වනු දැකීම වූ නිසා. හැබැයි එහෙම වෙන්නේ රනිල්ට තිබුණු කැමැත්තකට වඩා අකැමැත්ත නිසා වීම අපූරුම කාරණයයි.

හේතු ගණනාවක් නිසා විෂමජාතීය කණ්ඩායම් කිහිපයකට රනිල් යටතේ මේ දේවල් වෙනවා දකින්න අවශ්‍ය වුනා. අවසාන වශයෙන් වුනේ ඒ විෂමජාතීය කණ්ඩායම් වල අභිලාශ එකිනෙක හා සමපාත වෙන එක.

පළමු කණ්ඩායම ආර්ථිකය ගැනත්, ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙළ ගැනත් පුළුල් දැනුමක් තිබුණු, ඒ නිසාම එම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග වල අවසන් බලපෑම ගැන පැහැදිලි විශ්වාසයක් තිබුණු ඉතාම සීමිත පිරිස. ඒ සීමිත පිරිසට මෙය කරන්නේ රනිල්ද නැත්නම් වෙනත් කෙනෙක්ද කියන එකේ වැදගත්කමක් තිබුණේ නැහැ. නමුත් බලය තිබුණේ රනිල් අතේ නිසා රනිල් යටතේ අවශ්‍ය දේ සිදු වනු දැකීම ඔවුන්ගේ අභිලාශය වුනා. මෙවැනි අය විශාල පිරිසක් හිටියේ නැහැ. මහ බැංකු අධිපති වගේ අය මේ ගොඩේ අය. තව රජයට සම්බන්ධයක් නැති වෘත්තිකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ සුළු ප්‍රමාණයක් හිටියා. ඒ අයට වැඩපිළිවෙළ හා බැඳුණු පෞද්ගලික අභිලාශ තිබුණේ නැහැ. ඒ වගේම, රනිල් බලයේ සිටි නිසා මිසක්, මේ දේවල් රනිල් හරහාම කරගන්න අවශ්‍යතාවයක් තිබුණේත් නැහැ.

දෙවන කණ්ඩායම අවබෝධයක් නැතිව විශ්වාසය මත පදනම්ව කලින් ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙයවපු පිරිස එක්ක ඉඳලා ඇනගෙන විකල්පයක් නැතුව හිටපු පිරිසක්. ඒ අයට කලින් වගේම අවබෝධයක් නැතිව රනිල්ව විශ්වාස කරනවා හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. රනිල් එක්ක හිටපු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ ගොඩක් අය මේ ගොඩේ. ඒ අතර තේරුමක් තියෙන කිහිප දෙනෙකුත් හිටියා. පළමු කණ්ඩායමට වගේම දෙවන කණ්ඩායමටත් අවශ්‍ය වුනේ රට ගොඩ යනවා බලන්නයි. වෙනස දෙවන කණ්ඩායමට වෙන්න යන දේ ගැන හරියකට තේරුමක් නොතිබීම හා වැඩ පිළිවෙල සාර්ථක වීම ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ හා ගැලපීම. ඔවුන්ට රනිල් කෙරෙහි හා වැඩපිළිවෙළ කෙරෙහි විශ්වාසය තියා හොඳ ප්‍රතිඵලයක් ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ ගොඩේ හිටියේ මහජන නියෝජිතයින් පමණක් නෙමෙයි. යම් ඡන්දදායකයින් පිරිසකුත් මේ ගොඩේ හිටියා. නමුත් සුළුතරයක්.

වැදගත්ම කණ්ඩායම තුන් වන කණ්ඩායම. ඒ අයට මේ වැඩ පිළිවෙළ සාර්ථක නොවන බවට දැඩි විශ්වාසයක් තිබුණා. ඒ නිසාම, මේ දුවන කෝච්චියට රනිල් බෙල්ල තියනවා බලන්නයි ඒ කණ්ඩායමට අවශ්‍ය වෙලා තිබුණේ. ඒ නිසාම, ඔවුන්ට අවශ්‍ය වුනේ රනිල්ව පුළුවන් තරම් මේ වැඩපිළිවෙළ පැත්තටම තල්ලු කරන්න. ඒ අයගේ අපේක්ෂාව වුනේ වැඩ පිළිවෙළ සාර්ථක වනු දැකීම නොවුනත්, වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා රනිල්ට ඒ අයගේ ප්‍රවේශයෙන් විශාල උදවුවක් ලැබුණා. ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් වල ගොඩක් අය හිටපු තැන මේකයි. මේ පක්ෂ වල දේශපාලනඥයින් බොහෝ දෙනෙක් වගේම ඒ පක්ෂ වල පාක්ෂිකයින් හා මතවාදී සහයෝගයක් දක්වපු වෙනත් අයත් මේ දෙවන කණ්ඩායමේ සිටියා. ඒ වගේම ආර්ථික ස්ථායිකරණ වැඩ පිළිවෙළ එක්ක මතවාදී විරුද්ධතා තිබුණු හා ඒ නිසාම මේ වැඩේ කීයටවත් හරියන්නේ නැහැ කියන දැඩි විශ්වාසයක හිටපු අය. ඒ අයට අවසාන වශයෙන් ලැබුණේ ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ හා නොගැලපෙන ප්‍රතිඵලයක්.

 

හතරවන කණ්ඩායම දෙවන හා තෙවන කණ්ඩායම් වලට අයත් නොවූ සාමාන්‍ය ජනතාව. ඒ අයට දෙවන කණ්ඩායමට මෙන් රනිල් ගැන විශ්වාසයක් හෝ ප්‍රසාදයක් තිබුනේ නැහැ. නමුත් තුන් වන කණ්ඩායමෙන් වෙනස්ව රට ගොඩ යනවා දකින්න උවමනාවක් තිබුණා. ඒ උවමනාව එක්ක ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ ගැලපුනා. තමන් වඩා කැමති කෙනෙක් මේ වැඩේ කරන්න ඉදිරිපත් නොවන පසුබිමක රනිල් කරන දේ දිහා බලාගෙන ඉන්න ඔවුන්ට සිදු වී තිබුණා. එසේ කිරීමෙන් වැඩේ වැරදුනොත් එහි වැරැද්ද තමන් අකැමැති රනිල් පිටින් යවා හිත හදාගන්නත් හරි ගියොත් එයින් සතුටු වෙන්නත් ඔවුන්ට පුළුවන්කම තිබුණා. ඒ නිසා, මේ කණ්ඩායම රනිල්ට කැමැත්තකින් නොසිටියත් එහි වාසියද රනිල්ටම ලැබුණා. දැන් රනිල් දිහා වෙනස් ඇහැකින් බලන්න පෙළඹී තියෙන්නේ කලින් පතෝල ස්ථාවරයක හිටපු මේ හතරවන කණ්ඩායම.

මගේ නිරීක්ෂණ අනුව රනිල් පසුගිය කාලය තුළ ගත්ත දැඩි තීරණ තුනක් නොවෙන්නට තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙන්න ඉඩ තිබුණා. මේ තීරණ කොයි තරම් නිවැරදිද, කොයි තරම් ප්‍රජාතන්ත්‍රවාදීද වගේ කරුණු ගැන විවාද කරන්න පුළුවන්. ඒ වගේම, මෙය එම තීරණ සාධාරණීකරණය කිරීමක්ද නෙමෙයි.  හැබැයි අනිවාර්යයෙන්ම මේ තීරණ තුනම ආර්ථිකය අද තිබෙන තැනට ගේන්න උදවු වූ දැඩි තීරණ. ඒ තීරණ එකක් හෝ ඒ විදිහට නොගත්තානම් තත්ත්වය මුළුමනින්ම කණපිට හැරෙනවා.

පළමු තීරණය ජනාධිපති වූ වහාම අරගලය විසුරුවා හැරීම. මේක නැග්ග ඉනිමගට පයින් ගැසීමක් විදිහට කෙනෙකුට දකින්න පුළුවන්. නමුත් “ගෝටාගෝහෝම්” කියලා පටන් ගත්ත අරගලය එහි මූලික ඉලක්කය සපුරා ගත්තට පස්සෙත් තවත් දිගට ඇදෙනවා කියන්නේ අවසාන ඉලක්කයක් නැති දෙයක්. රනිල් වැඩ පටන් ගත්තේ ඔය වැඩෙන් කියා කියන්න පුළුවන්. මේ වැඩේට රටෙන් ලොකු ප්‍රතිරෝධයක් ආවේ නැහැ.

දෙවැනි දැඩි තීරණය පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් මුදල් වෙන් නොකිරීම. රට ඒ වෙලාවේ පැවති තත්ත්වය අනුව බිලියන දහයක් වුනත් ලොකු දෙයක් වුනත් වෙන් කරන්න බැරිම තරමේ මුදලක් කියා මම හිතන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුවානම් එය පැවැත්වෙන්නේ ගොඩක් කණ්ඩායම් වලට නිදහසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ හැකි වාතාවරණයක නෙමෙයි. ඒ වගේ තත්ත්වයක් යටතේ ආර්ථික ස්ථාවරත්වය කැප කරගෙන මැතිවරණයක් තියලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කොයි තරම් කාර්ය භාරයක් කළ හැකිව තිබුණාද කියන එකේත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොම වුනත් මම මෙය කරුණක් ලෙස සටහන් කරනවා පමණයි. වැදගත් දේ පළාත් පාලන මැතිවරණ ඉල්ලලා පාරට බහින්න සූදානම් ජනතාවක් ඒ වෙලාවේ රටේ හිටියේ නැහැ කියන එක.

තුන් වන දැඩි තීරණය මෑතකාලීනව වර්ජන රැල්ල හමුවේ එයට මුහුණ දුන් ආකාරය. මුල් අවස්ථා දෙකට සාපේක්ෂව මේ වෙලාවේදීනම් සැලකිය යුතු පිරිසක් ඒ තීරණය එක්ක හිටපු බවයි පේන්න තිබුණේ.

මම මේ කරුණු තුන සටහන් කළේ මේ කරුණු සාධාරණීකරණය කරන්නවත් විවේචනය කරන්නවත් නෙමෙයි. හැබැයි අරගලයක් කරලා ජනාධිපතිවරයෙක් ඉවත් කරපු මිනිස්සු හිටපු රටක මේ අවස්ථා තුනෙන් එකකදීවත් එවැනි විශාල මහජන විරෝධයක් ආවේ නැහැ. වැදගත් කාරණය ඒකයි.

මෙයට හේතුව විදිහට මම දකින්නේ ඉහත සඳහන් කළ එකිනෙකට වෙනස් කණ්ඩායම් වල අභිලාශ සමපාත වීමයි. උදාහරණයක් විදිහට එක කොටසක් වර්ජන නවත්වපු ආකාරයට ඇත්තටම කැමතියි. තවත් කොටසක් ඒ හරහා රනිල් අප්‍රසාදයට පත් වෙනවට කැමතියි. අන්තිමට වෙන්නේ ඌ මට ගැහුවත් එකයි මට ඌ ගැහුවත් එකයි වගේ දෙයක්.

දැන් මාලිමාව සම්බන්ධවත් මේ ආකාරයෙන්ම ප්‍රතිවිරුද්ධ අභිලාශ තියෙන අයගේ අරමුණු සමපාත වීමක් පේන්න තියෙනවා. මෙයින් වඩා වැදගත් මාලිමාවට විරුද්ධ කඳවුරේ ඉන්න කණ්ඩායම. ඒ කණ්ඩායමේ අය හිතාගෙන එන්නේ මාලිමාව දිනුවොත් ඉතාම ඉක්මණින් ඇනගන්න නිසා ඒ කරදරෙත් ඊට පස්සේ ඉවරයි කියලා. නමුත් ඒක ඒ විදිහටම වෙන එකක් නැහැ. මාලිමාව දිනුවොත් ලොකුවටම ඇන ගන්න වෙන්නේ මාලිමාවෙන් පිටත හා මාලිමාව ඇතුළේ ඉතුරු වෙලා ඉන්න මාක්ස්-ලෙනින්වාදීන්ට වෙන්න පුළුවන්.

ඉකොනොමැට්ටා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *