ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා ?

ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය ලබන සතිය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් එල් ඒ රත්නායක මහතා අද ප්‍රකාශ කළ අතර ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා පැවැත්වෙනු ඇති බව දේශපාලන අංශ විශ්වාසය පළකරයි.

ලබන සතිය තුළ, එනම් ජුලි 26 දාට පෙර ජනාධිපතිවරණ නිවේදනය නිකුත් කළහොත් මැතිවරණය සැප්තැම්බර් 26 දාට පෙර පවත්වා අවසන් කළ යුතු ය. ඒ නාම යෝජනා සඳහා උපරිම කාලය දින 21 ක් හා මැතිවරණ ප්‍රචාරක කාලය ලෙස උපරිම සති හයක් පමණක් ලබා දීම නීතිමය වශයෙන් නියම කොට ඇති නිසා ය.

ඡන්දදායකයින්ට වඩා පහසු දිනයක් ලෙස සාමාන්‍යයෙන් ඡන්දය පවත්වන්නේ සෙනසුරාදා දිනයේ ය. ඒ අනුව කටයුතු කරන්නේ නම් ලබන සතියේ මැතිවරණ නිවේදනය කරන්නේ නම් සැප්තැම්බර් 21 දා ඡන්දය පැවැත්වෙනු ඇත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ප්‍රකාශ කළේ ජුලි 17 දා නිවේදනය නිකුත් කළේ නම් සැප්තැම්බර් 17 දා අනිවාර්යයෙන් ඡන්දය පැවැත්විය යුතු බව යි. නමුත් එය පෝය දිනයකි. පන්සල්වල ද ඡන්ද මධ්‍යස්ථාන පවත්වන බැවින් 18 දා ද ඡන්දය පැවැත්විය නොහැකි බව සභාපතිවරයා කී ය. ඒ මහතා වැඩි දුරටත් කීවේ සුදුසු ඉක්මන් ම දිනයේ මැතිවරණය  පවත්වන බව යි.

නාම යෝජනා භාරගැනීම අගෝස්තු 12 සහ 16 අතර සිදුකල යුතුව ඇත. 12 සහ 13 දිනවල උදේ රාහු කාලය යෙදී ඇති නිසා අගෝස්තු 14,15,16 දිනවලින් එකක් නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කරනු ඇතැයි විශ්වාස කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *