|

ජනාධිපතිවරණ දිනය – ඉකොනොමැට්ටා

මේ අවුරුද්දේ ඇමරිකාවේ වගේම ලංකාවේත් ජනාධිපතිවරණ පැවැත්වීමට නියමිතයි. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 අඟහරුවාදා. මේ දිනය ඇමරිකන් නීතියෙන් නිශ්චය වී තිබෙන දිනයක්. ඒ නිසා, කිසියම් බලධාරියෙකුට ඒ දිනය තීරණය කිරීමේ හැකියාවක් නැහැ.
ලංකාවේ නීතියෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය ඇමරිකාවේ වගේ හරියටම තීරණය වී නැහැ. එම දිනය තීරණය කිරීමේ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසම සතුවයි. නමුත් ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාල රාමුව නීතියෙන් නිශ්චය කර තිබෙන නිසා මැතිවරණ කොමිසමට දින තීරණය කළ හැක්කේ නීතියෙන් ඉඩ ලැබෙන කාල රාමු හා ගැලපෙන විදිහටයි.
ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මසකට නොඅඩු හා දෙමසකට නොවැඩි දිනයක ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරයට පත් වී සිටින්නේ ඉල්ලා අස් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලයේ ඉතිරි කොටස අවසන් වන තුරුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18 වෙනිදා. ඒ නිසා, ඔහුගේ ධුර කාලය 2024 නොවැම්බර් 17 දිනෙන් අවසන් වෙනවා. ඒ අනුව, සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර දිනක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.
නමුත්, මේ අවුරුද්දේ සැප්තැම්බර් 17 වගේම ඔක්තෝබර් 17ත් පෝය දවස්. ජනාධිපති මැතිවරණ පණත අනුව පෝය දවසක ජනාධිපතිවරණය පවත්වන්න බැහැ. ඒ නිසා, ඔය කාල පරාසය සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 16 දක්වා කාලයට සීමා වෙනවා.
ජනාධිපති මැතිවරණ පණත අනුව, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනට සති හතරකට නොඅඩු හා සති හයකට නොවැඩි දිනක නාමයෝජනා කැඳවිය යුතුයි. මේ අනුව, නාමයෝජනා භාර දීම සඳහා අගෝස්තු 7 හා සැප්තැම්බර් 18 අතර දිනයක් යොදාගන්න පුළුවන්.
නාමයෝජනා කැඳවන දිනය දැනුම් දී ගැසට් නිවේදනයක් නිකුත් කළ යුත්තේ නාමයෝජනා දිනයට දින 16කට නොඅඩු හා දින 21කට නොවැඩි කාලයක් ඇතුළතයි. මේ අනුව, මැතිවරණ කොමිසමට ජූලි 17 සිට සැප්තැම්බර් 2 දක්වා දිනයක මෙම ගැසට් නිවේදනය නිකුත් කළ හැකියි. ඔය තමයි ජනාධිපතිවරණය ප්රකාශයට පත් කළ යුතු දිනය සම්බන්ධ නෛතික සීමාවන්.
මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව, ඉහත ගැසට් නිවේදනය නිකුත් කළ හැකි අවසන් දිනය අගෝස්තු 20. ඒ දිනය ඔහු ගණනය කළේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. මම හිතන විදිහට මේ සඳහා මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 2 දක්වාම කාලය තිබෙනවා. සරල ගණිතය අනුව, සැප්තැම්බර් 2 දින අදාළ නිවේදනය නිකුත් කළත්, එයින් දින 16කට පසුව සැප්තැම්බර් 18 දින නාම යෝජනා කැඳවලා, තවත් දින 28කට පසුව ඔක්තෝබර් 16 දින ජනාධිපතිවරණය තියන්න පුළුවන්.
මෙය ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්රමාද කිරීමට යෝජනා කිරීමක් නෙමෙයි. නෛතික ප්රතිපාදන තිබුනත්, ඒ විදිහට අවසන් දවස දක්වා කල් ගන්න සුදුසු නැහැ. විශේෂයෙන්ම රටේ ගොඩක් අය මේ දවස දැන ගන්න විශේෂ උනන්දුවකින් ඉන්න මේ වගේ අවස්ථාවක ඔය වැඩේ පුළුවන් තරම් කලින් කරන එකයි වඩා සුදුසු. කොහොම වුනත්, මේ වන විට මැතිවරණ කොමිසමේ සභාපති මේ හා අදාළව ප්රසිද්ධ ප්රකාශයක් කර ඇති නිසා ඔය ගැසට් නිවේදනය නිකුත් වීමට ඒ තරම් කල් යන එකක් නැහැ.
මැතිවරණ කොමිසමේ සභාපති විසින් නිවේදනය කළ පරිදි මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය ප්රකාශයට පත් කෙරෙන නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. නමුත් ඔය වැඩේ හෙට අනිද්දා කරන්න ඉන්නවානම් ඒ ගැන කලින් ප්රකාශ නිකුත් කරන්න අවශ්ය වෙන්නේ නැහැනේ. ගොඩක් වෙලාවට වැඩේ වෙන්න ඉඩ තියෙන්නේ මාසයේ අවසානය කිට්ටු කරලා. අපි ජූලි 25-31 සතිය ඇතුළත මේ නිවේදනය නිකුත් කරනු ඇතැයි උපකල්පනය කරමු.
ඉහත සතිය ඇතුළත ගැසට් නිවේදනය නිකුත් කළොත්, නාම යෝජනා කැඳවන්න වෙන්නේ අගෝස්තු 10-21 දක්වා කාලය ඇතුළතයි. සති අන්තය අත ඇරියොත් අගෝස්තු 12-21 අතර. පෝය, රාහු කාල දවස් අත ඇරියම මේ දවස අගෝස්තු 12, 13, 14, 15, 20, 21 දවස් වලින් එකක් වෙන්න පුළුවන්.
මේ දවසක නාම යෝජනා කැඳවනු ලැබුවොත්, ඔක්තෝබර් 2 වෙන්න කලින් ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා. සමහර තැන් වල සඳහන්ව තිබුණු පරිදි ඔක්තෝබර් 3 හෝ ඔක්තෝබර් 10 වගේ දවසක ජනාධිපතිවරණය තියන්න වෙන්නේ නැහැ. එහෙම කරන්නනම්, ගැසට් නිවේදනය නිකුත් කරන එක අගෝස්තු මාසය දක්වා කල් දමන්න වෙනවා.
අපි හිතමු ගැසට් නිවේදනය එන්නේ ජූලි 31 කියලා. එහෙම වුනොත් නාම යෝජනා ගන්න පුළුවන් අන්තිම දවස අගෝස්තු 21නේ. එතකොට මැතිවරණය පැවැත්විය හැකි අවසාන දිනය ඔක්තෝබර් 2. ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්රකාශය අනුව ඔහු ඇත්තටම කටයුතු කළොත්, මේ වෙද්දී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 2 දක්වා කාල පරාසයට සීමා වී අවසන්. උපරිම වශයෙන් තව දවස් 77යි!
ජනාධිපතිවරණ දිනය
ECONOMATTA.BLOGSPOT.COM
ජනාධිපතිවරණ දිනය
sri lanka economy

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *