ජනාධිපතිවරණය 2024: මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මේ මස අවසානයට පෙර

wechat sharing button
pinterest sharing button
messenger sharing button
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල් සංවිධාන අතර විශේෂ උනන්දුවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය.

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. රත්නායක අද (ජුලි 16වැනිදා) ප්‍රකාශ කළේය.

”නාම යෝජනා භාර ගැනීමේ දී රාහු කාලයත් බලලා සුදුසු දිනයක් වෙනවා”

මැතිවරණය පැවැත්වීමේ දින වකවානු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ හැකි දින වකවානු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් කළේය.

“මේ ඡන්ද විමසීම කොයි ආකාරයෙන්ද පවත්වාගෙන යන්නේ කියන එක සහ විශේෂයෙන් ඡන්ද විමසීමේ දිනය, නාමයෝජනා ලබා ගන්නා දිනය සහ ඡන්ද විමසීමේ ප්‍රකාශනය නිකුත් කරනු ලබන දිනය ගැන නොයෙකුත් කතා පැතිරෙනවා.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන්.”

“ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදාත් ඔක්තෝම්බර් මාසයේ 16 වෙනිදා අතර දිනයක.”

“මේ කාරණයේ පළමු දේ තමයි ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කිරීම. ඒ ඡන්ද විමසීමේ දැන්වීම නිකුත් කිරීමේ දිනයේ සිට දින 16ත් දින 21ක් අතර දිනයක ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සිදු කරන්න ඕන.”

“නාමයෝජනා භාර ගත් දිනයේ සිට සති 04 ත් සති 06ක් අතර කාලයක වන දිනයක ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්විය යුතුයි. මේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ යුතුව තිබෙන්නේ.” ඔහු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ හැකි දින වකවානු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සිදුකළ හැකි දින වකවානු සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් කළේය

හැමෝම කතා වෙන ජුලි 17 ගැන ප්‍රකාශයක්

මේ අතර බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වන හෙට (ජුලි 17 වෙනිදා) දිනය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

“එතකොට හෙට දිනය ඇවිල්ලා තියෙන්නේ ඡන්ද විමසීම පැවැත්විය යුතු මුල් දිනය, ඒ කියන්නේ සැප්තැම්බර් 17 වෙනිදා සහ එදා ඉදන් උපරිම දින 63ක් ගත්තම.”

“ඡන්දය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට නාම යෝජනා භාර ගැනෙන උපරිම දින ගණනත් සහ ඡන්දය පැවැත්වෙන දිනය දක්වා වූ උපරිම දින ගණනත් එක්ක තමයි මේ සැප්තැම්බර් 17 කියන දිනය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසයි මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙන දිනය කියලා ඒක ප්‍රකාශයට පත්වෙලා තියෙන්නේ.”

“නමුත් සැප්තැම්බර් 17 වෙනිදා නෙමෙයි ඊට පසු දිනයක තමයි අපට ඡන්දය විමසීම තියන්න පුළුවන් වෙන්නේ.” යනුවෙන් ඔහු පැවසීය.

‘රාහු කාලය නැති සුදුසු දිනයක් බලන්න ඕන’

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ දින ප්‍රකාශයට පත් කිරීමේදී ඊට අදාලව විශේෂ කරුණු රැසක් ගැන අවධානය යොමු කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පැවසුවේය.

“ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීමේදී අප සලකා බලන්න ඕන එක් කරුණක් ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරන දිනයේ සිට ඡන්දය පැවැත්වෙන දිනය දක්වා තියෙන කාල සීමාව කොපමණද කියලා.”

“විශේෂයෙන් නාම යෝජනා භාර දීමෙන් පසුව ඡන්ද විමසීමේ දිනය දක්වා ඒ අපේක්ෂකයින්ට ප්‍රචාරණ කටයුතු කරගෙන යෑම සඳහා කාල සීමාවක් අවශ්‍යයි. ඒ සඳහා අපට හැකි උපරිම කාල සීමාවක් ලබා දෙනවා.”

“ඡන්ද විමසීම සම්බන්ධයෙන් රාජකාරි රාශියක් තිබෙනවා නිලධාරීන්ට. තැපැල් ඡන්ද ලකුණු කිරීම ඇතුළු රාජකාරි සම්බන්ධයෙන්. ඒ ගැනත් අපි දින වකවානු බලන්න ඕන.”

“ඊළගට ඡන්ද විමසීම සඳහා යොදා ගන්නා දිනය විශේෂයෙන්ම සියලුම ඡන්ද දායකයින්ට පහසු දිනයක් වෙන්න ඕන. පෞද්ගලික අංශයේ සේවකයින් විශාල සංඛ්‍යාවක් ඉන්න නිසා ඔවුන්ටත් පහසු දිනයක් වෙන්න ඕන.”

“ශ්‍රී ලංකාව වගේ රටක නාමයෝජනා දිනය ගැන බලද්දී සිරිත් විරිත් ගැනත් බලන්න ඕන. නාම යෝජනා දෙන දිනයේදී නැකත් බලනවා. ඒ නිසා නාම යෝජනා භාර ගන්නේ අදාළ දිනයේ පැය දෙකක් පමණයි. උදේ 9 සිට 11 දක්වා. විරෝධතා දක්වන්න මිනිත්තු 30ක් ලබා දෙනවා.”

“මේ නිසා එම පැය දෙක ඇතුලත සියලුම දෙනාට නාම යෝජනා භාර දිය හැකි විදිහට රාහු කාලය වාගේ දේවල් බලලා සුදුසු දිනයක් තමයි යොදා ගන්නේ. ඒ සියලු දේවල් සලකා බලලා මේ මස අවසානයේදී ඡන්දයට අදාළ නිවේදනය නිකුත් කරනවා.” සභාපතිවරයා පැවසුවේය.

ඡන්දහිමි නාම ලේඛනය ගැන දැනුම් දීමක්

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා භාවිත කරනු ලබන්නේ 2024 වසරේ ඡන්දහිමි නාම ලේඛණය බවත්, එය මේ වන විට සහතික කොට මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇති බවද සභාපතිවරයා පැවසුවේය.

“මේ ඡන්ද හිමි නාම ලේඛනය කොටස් දෙකකින් සකස් කරලා තියෙන්නේ. 2024 සකස් කරපු ප්‍රධාන නාම ලේඛනය වගේම අවුරුදු 18 සම්පුර්ණ වෙන අලුත් ඡන්ද දායකයින්ට අවස්ථාව සැලසීම සඳහා පරිපුරක ජන්ද හිමි නාම ලේඛනයක් සකස් කරනවා.”

“පෙබරවාරි 01 වැනිදාට ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය සකස් කරන්න තොරතුරු ලබා ගත්තට පස්සේ ඒ තොරතුරු වලින් ඡන්ද නාම ලේඛනය සකස් කරනවා.”

“නමුත් ඊට පස්සේ අවුරුදු 18 සම්පුර්ණ වෙන ඡන්ද දායකයින්ට අවස්ථාව ලබා දෙනවා සෑම වසරකම අවස්ථා 3-4ක් තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත් කර ගන්න.”

“2024 ප්‍රධාන ඡන්ද හිමි නාම ලේඛනයට අමතරව පෙබරවාරි 01 වෙනිදා සිට මැයි 31 දක්වා කාලයේදී අවුරුදු 18 සම්පුර්ණ වූ අයට මේ ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයට ඇතුල් වෙන්න.”

“ඒ අනුව මුළු ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දාහක් දල වශයෙන් සිටිනවා. ඒ අතර පරිපුරක ඡන්ද හිමි නාම ලේඛනයේ අඩංගු 76,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.” මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

‘මුලික වැඩ කටයුතු ආරම්භ කළා’

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ මුලික වැඩකටයුතු මැතිවරණ මහ ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල මගින් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය.

” ඡන්දය සඳහා වන නිලධාරින් පිළිබඳව සහ ඡන්දයට යොදා ගන්නා රජයේ වාහන ගැන සංගණනයක් මේ දිනවල සිදුකරගෙන යනවා.”

“ඊලඟට ඡන්ද මධ්‍යස්ථාන පැවැත්වීම සඳහා සුදුසු ස්ථාන සෙවීමේ කටයුතු අදාළ දිස්ත්‍රික්කවල සිටින ග්‍රාම නිලධාරිවරුන් හරහා සිදුකර ගෙන යනවා.”

“ඡන්ද පෙට්ටි සහ අනෙක් අවශ්‍යතා පිළිබඳ ඇස්තමේන්තු සකස් කිරීම සිදුකරනවා.”

“ඒ වගේම ප්‍රධාන කාර්යාලය මට්ටමින් ඡන්ද විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සේවා සපයන සහ ආයතන සමග සාකච්ජා පවත්වමින් සිටිනවා.”

“මේ වන විට පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාල අධිපතිනිය, තැපැල්පතිවරයා යන අය සමග සාකච්ඡා කරලා තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සමග සාකච්ජා කරන්න.”

“එමෙන්ම මැතිවරණයට අදාළ සහය වන ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් ප්‍රවාහන, විදුලිබල සහ ජල සම්පාදනය ඇතුළු අනෙක් කණ්ඩායම් සමග සාකච්ජා කරන්න නියමිතයි.” සභාපතිවරයා කියා සිටියේය.

‘මැතිවරණ වියදම් නියාමනය ක්‍රියාත්මකයි’

මෙවර ඡන්ද විමසීමේදී 2023 වසරේ දී අනුමත කරන ලද මැතිවරණ වියදම් නියාමනය මෙවර ජනාධිපතිවරණයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ඊට අදාළ අංශ සමග දීර්ඝ ලෙස සාකච්ජා කරමින් සිටින බව කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය.

“ශ්‍රී ලංකා පොලිසිය, ආදායම් බදු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිෂන් සභාව වගේ ආයතන සමග සාකච්ජා කරමින් යනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්.”

“ඒ වගේම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීම සිදුකරනු ලබනවා.”

2023 වසරේ අයවැය දී ජනාධිපතිවරණය සඳහා බිලියන 10ක් ඉල්ලා සිටිය බවත් එම මුදල් වලින් දැනට අවශ්‍ය වියදම් සිදුකරමින් පවතින අතර මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා ගැටලුවක් පැන නැගී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් පැවසුවේය.
මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසීම පිළිබඳව දැන්වීම නිකුත් කිරීමෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වූ නියාමන සහ උපමාවන් අපේක්ෂකයින්ට සහ මාධ්‍ය වෙත නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන බව කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය.

(BBC සිංහල සේවය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *