ජනපති කුට්ටම අනන්න හදද්දී නව ව්‍යවස්ථාවකට රාජිතගේ මෙහෙයුම

සඳුදා දිනයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟත් ඇමැති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සමඟත් සාකච්ඡා කිහිපයක් පැවැත්වූවා. එහිදී ප්‍රධාන අවධානය යොමුවූයේ හම්බන්තොට වරාය සංවර්ධන ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. ජනාධිපතිතුමා මැදිහත්ව පත්කළ ඇමැති කමිටුවකින් සකස් කළ සංශෝධිත ගිවිසුම විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත කර තිබුණා.

ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන කලක් තිස්සේ පැවැති ආරංචියට පසුගිය සතියේ නව පනක් ලැබුණේ ජනාධිපතිතුමා කී කතාවක් ප්‍රචාරයවීම නිසාය. හම්බන්තොට පැවැති රැස්වීමකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මහින්ද අමරවීර ඇමැතිවරයාට ප්‍රදේශයට වැඩ කළ හැකි ඇමැතිකමක් දෙන බවයි. මහින්ද අමරවීර ඇමැතිවරයා කීවේ ජනාධිපතිතුමා දෙන ඕනෑම වගකීමක් භාරගන්නා බවයි. බුද්ධ ශාසන ඇමැතිකම දුන්නත් භාර ගන්නවා කියා ඒ මහතා කීවා.

ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ රැස්වීමකට සහභාගි වූයේ පක්ෂයේ දේශපාලන ශ්‍රාස්තාලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එය සංවිධානය කර තිබුණේ පක්ෂයේ තරුණ පෙරමුණයි. එම අවස්ථාවට විශාල පිරිසක් පැමිණ සිටියත් ඔවුන්ට ප්‍රමාණවත් ඉඩකඩක් නොතිබීමත් සංවිධාන කටයුතු අක්‍රමිකවීමත් ගැන කතා බහක් ඇතිවුණා. කෙසේ වෙතත් ජනාධිපතිතුමා පැමිණි පසුව සියල්ල සන්සුන් ලෙස සිදු වුණා.

පක්ෂ තරුණ පෙරමු‍‍ණේ සභාපති ශාන්ත බණ්ඩාර, ලේකම් එරික් ප්‍රසන්න වීරවර්ධන මෙන්ම දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාපා, මහින්ද සමරසිංහ ඇමැතිවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා කීවේ අපට දැන් අලුතින් නායකයන් බිහිකරන්නට සිදුව තිබෙන බවයි. නායකයන් කියන දේට එසේය කියන උදවිය වෙනුවට එසේ නොව මෙසේය කියන නායකයන් බිහිකළ යුතු බව ජනාධිපතිතුමා කීවා.

සඳුදා දිනයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟත් ඇමැති මණ්ඩලයේ ජෙෂ්ඨ ඇමැතිවරුන් සමඟත් සාකච්ඡා කිහිපයක් පැවැත්වූවා. එහිදී ප්‍රධාන අවධානය යොමුවූයේ හම්බන්තොට වරාය සංවර්ධන ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. ජනාධිපතිතුමා මැදිහත්ව පත්කළ ඇමැති කමිටුවකින් සකස් කළ සංශෝධිත ගිවිසුම විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කොට තිබුණා. වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතා විදේශගතව සිටි අතර නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගිවිසුමට තදින්ම විරුද්ධ වී සටහනක් ඉදිරිපත්කොට තිබුණා. එයින් කියා තිබුණේ ගිවිසුමේ ඇතැම් කරුණු පැහැදිලි නැති නිසා ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බවයි. එසේ වුවද ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රබල ඇමැතිවරුන් කීවේ ගිවිසුම තවත් ප්‍රමාද නොකළ යුතු බවයි. ඒ අනුව අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නව ගිවිසුම ඒකමතිකව සම්මත වුණා. එය ක්‍රියාත්මක වීමේ ගැටලු ගැන කටයුතු කරන්න සරත් අමුණුගම ඇමැතිවරයාගේ නායකත්වයෙන් ඇමැති අනුකමිටුවක්ද පත්කළා .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බදාදා පෙරවරුවේ රුසියාව බලා පිටත් වුණා. ඒ රුසියානු ජනාධිපති ව්ලඩිමිර් පුටින් මහතාගේ ආරාධනාවකට අනුව පුරා දින හතරක් රුසියාවේ ගත කරන මෛත්‍රී රුසියානු ජනාධිපතිතුමන් සමඟ මෙරටට බලපාන කරුණු කිහිපයක් පිළිබඳව කථා කිරිමට නියමිතය.

රුසියාව බලා පිටත්ව යාමට මත්තෙන් බදාදා පෙරවරුවේ මෛත්‍රි පක්ෂයේ වැදගත් කටයුත්තකට ද සහභාගි වුණා. ඒ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නව ආසන සංවිධායකවරුන් තිදෙනකු සඳහා පත්වීම් ලිපි ලබාදීමටයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන, රත්ගම හා බලපිටිය යන ආසන සඳහා පිළිවෙළින් යු.ජි.ඩි ආරියතිලක, අමරසිරි කුරුවගේ හා දයාරත්න සිල්වා යන අය නම් කොට තිබුණා. මේ සඳහා මේ තිදෙනාටම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවීම් කොට තිබුනේ බදාදා පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසයි. එහෙත් සන්ධාන මහලේකම් මහින්ද අමරවීරටත්, ශ්‍රී ල.නි.ප මහලේකම් දුමින්ද දිසානායකටත්, මහ ඇමැති ෂාන් විජයලාල් ටත්, හිටපු අමාත්‍ය පියසේන ගමගේටත් ආරාධනා කොට තිබුණේ දහවල් 12.00 පැමිණෙන ලෙයසි. ඒ අනුව නියමිත වේලාවට බලපිටියේ දයාරත්නත්, අක්මීමන ආරියතිලකත් පැමිණියද රත්ගම කුරුවගේ පැමිණියේ නැහැ. කල්වේලාව ඉක්ම යන නිසාත්, පසුදින රුසියාව බලා පිටත්වීමට ඇති නිසාත් දහවල් 12ට පැමිණි දෙදෙනාට පත්වීම් ලබාදීමට කටයුතු කළා. එසේ සිදුවීමෙන් පැය භාගයකට පසු අමරසිර කුරුවගේ පැමිණියා පත්වීම භාරගැනිමෙන් පසු ප්‍රමාදයට හේතුව ජනාධිපතිතුමා කුරුවගේගෙන් විමසු විට ඔහු කිවේ. සර් මම නැකත් වේලාවක් බලලයි ගෙදරින් පිට වුෙණ් ඒකයි වේලාවට එන්න බැරිවුෙණ් මඟ හරියට ට‍්‍රැෆික් මම ත්‍රිවිලර් එකෙන් තමයි මෙතනට ආවේ කියායි. මුවගට සිනාවක් නගාගත් ජනපති මෛත්‍රි හොඳයි..හොඳයි නැකතේ බලේ පේනව වේලාවට එන්න බැරි එකෙන්ම, කියු කතාවට අසල සිටි කාටත් හිනා ගියා.

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයකු රුසියාවේ සංචාරයක යෙදෙන්නේ වසර හතළිස් දෙකකට පසුවයි. රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ ආරාධනයක් මත මෙම සංචාරය සිදුවනවා.

මොස්කව් නුවර ඩෙමොඩෙඩුවා ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉහළම රාජ්‍ය ගෞරව සහිතව පිළිගනු ලැබුවේ රුසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ඉගොර් මොරගුලොව් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් විසින්. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සමඟ ජනාධිපති සිරිසේන මහතා අතර විශේෂ හමුව බ්‍රහස්පතින්දා ක්‍රෙම්ලීන් මන්දිරයේදී සිදුවුණා. දෙරට අතර ආර්ථික හා සංස්කෘතික සහයෝගිතා ගිවිසුම් රැසකට ද එහිදී අත්සන් තැබුණා.

මේ අතර ජනාධිපතිතුමාගෙන් හා ආණ්ඩුවෙන් බොහෝ දෙනා විමසන ප්‍රශ්නයක්ව තිබු‍ණේ පළාත් පාලන ඡන්දය තවත් කල් යනවාද? යන්න හා මේ වසරේ නිල කාලය අවසන් වන පළාත් සභා තුනක ඡන්දය පවත්වනවාද? යන්න ගැනයි. එයට පිළිතුරු දීමට සිදුවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයාටයි. ඇමැතිවරයා කීවේ මේ ඡන්ද සියල්ල මේ වසරේදීම පවත්වන බවයි.

ජාතික තරුණ සේවා සභාවේ යූත් විත් ටැලන්ට් රියැලිටි වැඩසටහන මගින් දියත් වු ගමට කෝටියක් ව්‍යාපෘතියෙන් පළමු ස්ථානය ලැබු නෙලුව හප්පිටිය රිදී තරු පාලම නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 18 දින හප්පිටියට ගියා. තරුණ කටයුතු ඇමතිවරයාව සිටියදි ජාතික තරුණ සේවා සභාව හඳුන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සමයේදි තරුණ තරුණියන් වෙනුවෙන් ඵලදායි ව්‍යාපෘතීන් එම සභාව මගින් දියත් කෙරුණු අතර පසුගිය වසර විස්ස තුළ එය අඩපණව පැවතුණා. පසුගිය වසරේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ යළි පණ ගැන්වුණු තරුණ සේවා සභාවේ යෞවන සමාජ මගින් තරුණ තරුණියන්ට යළි අලුත් ලොවක් තනන්නට මග පෙන්වමින් සිටිනවා. අගමැති වික්‍රමසිංහ මහතා පාලම නිරීක්ෂණය කරන අවස්ථාවේ පාලම යටින් දිව යන දෙල්ලව ඇළට තරුණයකු වැටෙන්න ගිය බවට අගමැතිවරයා නිරීක්ෂණය කර තිබූ බව දැන ගත්තේ උත්සව සභාව අතරතුරදී තරුණ තරුණියන්ට අගමැතිවරයාගෙන් ඝෘජුව ප්‍රශ්න ඇසීමට ලබා දුන් අවස්ථාවේදියි. ගඟට වැටෙන්න ගිය තරුණයාට ප්‍රශ්නයක් ඇසීමට අවස්ථාව ලබා දෙන්නැයි අගමැතිවරයා පැවසුවා. ඒත් ඒ තරුණයාට අසන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ.

කළුපාට කමිසයක් ඇඳ අතේ නිල් පාට බෑන්ඩ් එකක් දමා ගෙන සෙනඟ අතරේ පිටුපස සිටින තරුණයාට ඉදිරියට පැමිණෙන්නැයි අගමැතිවරයා පැවසුවා. ඉදිරියට පැමිණි තරුණයාගෙන් අගමැතිවරයා නම ගම විමසුවා. ඔහු සංජය. ඉගෙන ගන්නවාද, රැකියාවක් කරනවාද නැතිනම් රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවාද කියා අගමැතිවරයා සංජයගෙන් විමසුවා. සංජය රත්ගම හෝටලයක සේවය කරන බව පැවසුවා. ටුවරිස්ට්ලා හෝටලයට එනවාදැයි අගමැතිවරයා සංජයගෙන් විමසුවා. තමන් වැඩ කරන්නේ මංගල උත්සව ගන්නා හෝටලයක බව සංජය පැවසුවා. ඔයා බැඳලා නැද්ද? අගමැති සංජයගෙන් ඇසුවා. එම ප්‍රශ්නයට සියල්ලටම සිනහ ගියා. නැහැ. සංජය කිව්වා. සංචාර ව්‍යාපාරය දියුණු වන විට ඊට වඩා හොඳ හෝටලයකට යන්න වෙයි පැවසූ අගමැතිවරයා තරුණයින්ට ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙන බව පැවසුවා.

මෙහිදි අගමැතිවරයා තරුණයින්ගෙන් ඇසුවේ බලාපොරොත්තු වෙන රැකියා මොනවාදැයි කියායි. බලාපොරොත්තු වෙන්නේ රජයේ, පෞද්ගලික අංශයේ හෝ ස්වයං රැකියාදැයි අගමැති තරුණ තරුණියන්ගෙන් විමසා සිටි අවස්ථාවේ තරුණ තරුණියන්ගේ දෑස් ඉමහත් විශ්වාසයෙන් අගමැතිවරයා වෙත යොමු වී තිබුණා.

කිර්ති ශ්‍රී සෝමරතනාභිධාන, ආයූර්වේද වෛද්‍ය, පූජ්‍ය තලාවේ නන්දසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත මාතර-හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධූරය පිරිනැමීම නිමිත්තෙන් වීරකැටිය, නයිගල රජමහා විහාරස්ථානයේදී 19 වන දින සංවිධානය කර තිබූ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයට අගමැති වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. පසුගිය යුධ සමයේ සිදු වූ කරුණු විභාග කිරීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණයක් නොපිහිටුවන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදීද සපථ කළා . පසුගිය සති කිහිපය තුළ සහභාගි වූ උත්සව ගණනාවකදීම දෙමුහුන් අධිකරණයක් මෙරටට අවශ්‍ය නොවන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

2003 තමා අගමැති ලෙස සිටියදී ජාත්‍යන්තර යුධ අධිකරණ පිළි ගැනීමේ ප්‍රඥාප්තියට තමා විරුද්ධ වුණු බව වික්‍රමසිංහ මහතා ‍මතක් කර දුන්නා. එදා ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාත් එයට එකඟ නොවන ලෙස තමන්ට පැවසු බවද ඉන්දියාව ඇතුළුව මුළු දකුණු ආසියාවම එම ප්‍රඥප්තියට විරුද්ධ වූ බවද කී අගමැතිවරයා එම ප්‍රඥප්තියට අප අත්සන් කර නොමැති නිසා ජාත්‍යන්තර අධිකරණය වෙත යාමේ අවශ්‍යතාවයක් නොවන බවද පෙන්වා දුන්නා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් එම යෝජනා දෙකට අපට එකඟ විය නොහැකි බව ජිනීවා සමුළුවට දැනුම් දී තිබෙන බවද අගමැතිවරයා එහිදි සඳහන් කළා.

ඉකුත් සති අන්තයේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා අතින් ජනතා අයිතියටපත් වුණේ 22 වැනි උදාගම්මානයයි. හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්වැව ඉදිවුණු මේ නව ගම්මානය ‘සාරජයගම’ ලෙස නම් කෙරුණා. නිවාස 25කින් සමන්විත ගම්මානය ඉදිකිරීම වෙනුවෙන් රජයේ මුදල් වැය නොවුණේ ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට දානපති සුබසාධක ආයතනයක් මැදිහත්වීම නිසායි. හම්බන්තොට අඩිසියයේ මාර්ගයට මායිම්ව ඉතා අලංකාර ස්ථානයක “සාරජයගම” පිහිටා තියෙනවා. සජිත් සිය කතාවේදී කීවේ “අපේ මේ උදාගම්මාන වැඩපිළිවෙළ හරියට මැජික් සංදර්ශනයක් වගේ. රජයට බරක් නැතිව ජනතාවට ගෙවල් හදන්න දැන් පෞද්ගලික අංශයත් ඉදිරිපත්වෙලා සිටිනවා. මේ වසර අවසන්වන්නට පෙර උදාගම්මාන ගණන 500 දක්වා ඉහළ දමන්නයි අපේ අසීරු ඉලක්කය කොහොම නමුත් අධිෂ්ඨානය ශක්තිමත් නිසා වරදින්න කිසිම හේතුවක් නෑ” කියායි. නිවාසලාභීන්ට හිමිකම් සහතික පිරිනැමුණා. උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ ප්‍රජා සේවාවන් අතර රුපියල් ලක්ෂ 500ක වියදමින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500 කට “විසිරි නිවාස ණය”, “ශිල්ප සවිය” යටතේ අභ්‍යාසලාභීන් 287 දෙනෙකුට රුපියල් ලක්ෂ 110 ක මුදලින් වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් සහ විෂයානුබද්ධ පෙළ පොත්, නිවාසලාභීන් සඳහා රුපියල් 320,000/- ක මුදලින් ස්වයං රැකියා ආධාර, ‘යුනිලීවර්’ ආයතනයේ ‘සෞභාග්‍යා’ ස්වයං රැකියා ණය, පුද්ගලයන් 305 දෙනෙකුට රුපියල් 244,000/- වියදමින් නොමිලයේ ඇස් කණ්ණාඩි, නිවාස සමිතිය සඳහා පුටු, වකුගඩු හා දේශීය වෛද්‍ය සායන, ඉඩම් , ජංගම සේවා හා ජාතික හැඳුනුම්පත් ජංගම සේවා වැඩසටහන්ද වුණා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය මට්ටමමින් ජනතාව සමඟ වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡුාවක් ගොඩනැගීමේ අරමුණින් ‘ජනබලය ගොඩනගන දිස්ත්‍රික් මෙහෙයුම්’ නමින් වැඩසටහනක් ආරම්භ කළා. එහි පළමු මෙහෙයුම අනුරාධපුරයෙන් ආරම්භ කළ අතර දෙවැන්න මාතර දී සිදුකෙරුණා. මෙම වැඩසටහන පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ විවිධ දිස්ත්‍රික්කවලින් ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන්නට වූයේ තම දිස්ත්‍රික්කයටත් එවැනි වැඩසටහනක් අවශ්‍ය බව කියමින්. ඒ අනුව ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාකච්ඡුාවකින් අනතුරුව තීරණය වූයේ මීළඟ දිස්ත්‍රික් මෙහෙයුම් ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල දී සිදුකිරීමටයි. ඒ අනුව ලබන 30, 31 සහ 01, 02 දිනවල දී ගම්පහ දී දිස්ත්‍රික් මෙහෙයුම ක්‍රියාත්මක වීමට නියමිතයි. මැයි මාසයේ දී හම්බන්තොට දී එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය වුණා. ”ඡන්ද කාලයක් නොවුණත් මිනිස්සු අපේ වැඩසටහන්වලට එකතු වෙනවා. පක්ෂ බේදයකින් තොරව දේශපාලන සංවාදවලට එනවා. මොකද මේ වගේ වෙලාවක මිනිස්සුන්ට රටේ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න වුවමනාව තියෙනවා. පක්ෂයේ නායකයෝ හතරක් පහක් ආසන මට්ටමට ගිහින් දින හතරක් පුරා මේ වගේ දේශපාලන වැඩසටහන් කරන එක ජනතාවට අලූත් අත්දැකීමක්. ජනතාවටත් මේක හොඳට දැනෙන්නේ සෘජුවම අපිත් එක්ක දේශපාලන සංවාදයක් හදාගන්න පුළුවන් වෙන එක නිසයි.” ටිල්වින් සිල්වා මේ ගැන අදහස් දක්වමින් කියා සිටියා.

පසුගියදා පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවේ කමිටු රැුස්වීමක් පැවැති අතර කෞතුකාගාර දෙපාර්තමේන්තුව එම රැස්වීමට කැඳවා තිබුණා. මීට පෙර ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්ට කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ පැෂන් ෂෝ එකක් පැවැත්වීමට යන බවට වටින් ගොඩින් කරුණු වාර්තා වී තිබුණු අතර ඒ පිළිබඳව අධ්‍යක්ෂවරියගෙන් මේ පිළිබඳව විමසීමට මන්ත්‍රීවරයා මෙය අවස්ථාවක් කරගත්තා. ”කෞතුකාගාරයේ පැෂන් ෂෝ එකක් කරන්න යනවා කියලා අපිට ආරංචියක් ලැබිලා තිබුණා. ඒක ඇත්තක්ද?” විජිත හේරත් අධ්‍යක්ෂවරියගෙන් විමසුවා. ”නැහැ මන්ත්‍රීතුමා පැෂන් ෂෝ තියන්න බැහැනේ.” අධ්‍යක්ෂවරිය කීවාය. ”ඒ උනාට අපිට තොරතුරු ලැබුණා ආණ්ඩුවෙන් එහෙම උත්සහයක් තියෙනවා කියලා. ඔබතුමීලගෙන් අවසර ඉල්ලලා තිබුණද?” විජිත හේරත් නැවත අැහුවා. ”ඔව්, අපෙන් ඉල්ලීමක් කළා. අපි බැහැ කිව්වා. ඒත් දිගින් දිගටම ඉල්ලීම් ආවා. අපි ඒක උපදේශක මණ්ඩලයට දැම්මා. උපදේශක මණ්ඩලයත් ඒක ප්‍රතික්ෂේප කළා.” අධ්‍යක්ෂවරිය කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල කටයුතු කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වී වෙනම පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණ සඳහා තරග වැදීමටයි. ඒ සඳහා සංවිධාන කටයුතුවල පෙරමුණගෙන සිටින්නේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතායි. ජී.එල්.පීරිස් මහතාගේ නායකත්වයෙන් ගොඩනැගූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජිකයන් බඳවාගෙන ආසන මට්ටමේ කමිටු ගොඩනැගීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටිනවා.

මැද කොළඹ ප්‍රදේශයේ පැරණි ශ්‍රීලනිප සාමාජිකයන්ගේ රැස්වීමක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. එහි දී බැසිල් කීවේ කොළඹ නගර සභාව තම පක්ෂයට දිනාගැනීමට මෙවර කටයුතු කරන බවයි. තම කණ්ඩායමේ උදවියට එල්ල වී තිබෙන විවිධ චෝදනා සම්බන්ධ පරීක්ෂණ ගැනද බැසිල් එහි දී කතා කළා. මේ තත්ත්වය නිසා දේශපාලනය සඳහා යොදන්නට වී ඇත්තේ තමන්ගේ කාලයෙන් සියයට දහයක් බවත් සියයට අනූවක කාලය යන්නේ විවිධ නඩු සඳහා සූදානම් වීමට බවත් බැසිල් එහි දී කීවා. පසුගිය වෙසක් පෝයටත්, පොසොන් පෝයටත් සිරගෙයි ඉන්නට තමන්ට සිදු වූ බවත් යන්තම් එළියට ආවේ ඇසළ පෝයට බවත් කී ඔහු යළිත් ළඟදීම යළිත් ඇතුළට යන්නට වනු ඇතැයිද කීවා.

මහින්ද පාර්ශ්වය ගොඩනගමින් යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංවිධානයක් රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංගමයේසිටි ප්‍රබල පිරිසක් නව සංවිධානය පිහිටුවීමට මුල් වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය කොළඹ හයිඩ් පිටියේ දී පැවැත්වීමට තීරණයකොට තිබෙනවා. එයට ඉහළම ජන සහභාගීත්වයක් ලබාගැනීමට විපක්ෂය අපේක්ෂා කරනවා. සෑම ප්‍රදේශයකින්ම සංවිධානාත්මකව ජනයා ගෙන්වීමට උපදෙස් දී තිබෙනවා. ජී.එල්.පීරිස් මහතාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් මැයි දිනය සඳහා හයිඩ් පිටිය ලබාගැනීමට කටයුතුකොට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් තම මැයි රැලිය පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ මහනුවර නගරයයි. ගියවර එම පක්ෂයමැයි රැලිය පැවැත්වූයේ ගාල්ලේදී. එහිදීත් පක්ෂයේ සමහරු එමරැලියටත් සහභාගී වී කොළඹ මහින්ද පිලේ රැළියටත් සහභාගී වුණා. මෙවර එවැනි දේ සිදු නොවීමට මහනුවර තම මැයි රැලියට යොදාගැනීමට ශ්‍රීලනිපය තීරණය කොට තිබෙනවා.

මහින්ද පිලෙහි මෙන්ම එයට සහය දෙන තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර ආදීන්ගෙන්ද වෙන්වී තනිවම මැයිරැලිය පැවැත්වීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තීරණයකොට තිබෙනවා. ඔවුන් තම මැයි දින රැලිය කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදමින් සිටිනවා.

මේ අතර යහපාලන රජය පිහිටුවීමට සහය දුන් සිවිල් සමාජ සංවිධාන ගණනාවක් එකතුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සංවිධානයක් ගොඩනගා තිබෙනවා. ගාමිණී වියන්ගොඩ, ෙක්.ඩබ්ලිව්. ජනරංජන මහාචාර්ය සරත් විජේසූරිය ආදීන් සමඟ මෙම ව්‍යාපාරය ගොඩනැගීමට රාජිත සේනාරත්න, මංගල සමරවීර ඇමැතිවරුන්ද පෙරමුණ ගෙන තිබෙනවා. එම ව්‍යාපාරයේ පළමු ප්‍රසිද්ධ රැස්වීම පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වූවා. එයට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාද සහභාගී වී සිටියා.

ජාතික හෙළ උරුමයේ දිස්ත්‍රික් ආසන ජන සභාව විසින් සංවිධානය කරන ලද ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියන්ගේ 66 වැනි ගුණසැමරුම හා හෙළ තරුණ සවිය පිහිටුවීම පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රී වණාගාරයේ දී සිදු වුණා. ඒ සඳහා පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා ද නිශාන්ත වර්ණසිංහ මහතා, ඇතුළු ජාතික හෙළ තරුණ සවියේ නිලධාරින් හාතරුණයන්, භික්ෂුන් වහන්සේලා ද ඇතුළු බොහෝපිරිසක් සහභාගි වී සිටියා. අද අපි තරුණයන් ආකර්ෂණය කරගන්න ඕනෑ. අපි හැකි තරම් ඒ අය විනයක් ඇතිව ගොඩනගන්න ඕනෑ. අනිත් දේශපාලන පක්ෂවලින් කරන්නේ පෝස්ටර් බැනර් ගහලා තරුණයන් අතරමං කිරීම. එහෙම කරන්න හොඳ නැහැ. ඇස්.මහින්ද හාමුදුරුවෝ ලියන ලද නිදහසේ දැහැන වැනි කවිවලින් තමයි මෙරට මාක්ස්වාදි අදහස්වලින් බැහැරකොට දේශීය චින්තනයට ළමා පරපුර අපට ගන්න හැකි වූයේ යැයි චම්පික රණවක අමාත්‍යතුමා එහි දී කියා සිටියා.

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඉන්දියාව ඇතුළු රටවල් රාශියක් එක්ව සංවිධානය කර තිබූ ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් අවසන් කර ලංකාවට පැමිණි විගස පාඨලී ඇමතිතුමා මුණගැසුණ ඇමැතිතුමා මොකද මේ අපේ පාසල් පද්ධතියට වෙලා තියෙන්නේ එක පාසලක විදුහල්පති ගැටලු, තව තැනක පාසල් ගුරුවරු නොමැතිව ළමයි උද්ඝෝෂණ කරනවා. අනුරාධපුර පැත්තේ පාසලක දරුවවන් මත්ද්‍රව්‍ය බීලා, දෙහිවල පැත්තේ පාසලක බෞද්ධ දරුවන් බලෙන් අන් ආගම්වලට හරවනවා. මල්වාන පැත්තේ පාසලක ලංකාවේ බුදුන් උපන්නා යැයි දේශන කරනවා. කොළඹ නගරයේ පිහිටා තිබෙන කාන්තා පාසල්වලට පිරිමි ළමයි කඩා පනිනවා. මේක එතරම් හොඳ දෙයක් නොවෙයි.

ඔව්. හාමුදුරුවනේ පාසල් දරුවන් පිළිබඳව පාසලේ දී පමණක් නෙවෙයි, එයින් පිටතදීත් දෙමාපියන් වගේම ගුරුවරුන්ද එම දරුවන්ගේ හැසිරීම පිළිබඳ සොයා බලන්න ඕනෑ. නිශාන්ත වර්ණසිංහ මහතා කීවා.

Email Facebook Twitter Google+ Pinterest PrintFriendly

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *