|

වෘත්තීය සමිතිවලට රට ගැන හැඟීමක් නෑ – ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න

අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණ තෙවන ණය වාරිකය, පැරිස් සමාජය, චීනය සහ පුද්ගලික බැඳුම්කර හිමියන් සමඟ සිදු කළ සාකච්ඡා සහ මෙරට ඇතිව තිබෙන සේවක නොසන්සුන්තා වර්ජන මෙරට ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වරලත් ගණකාධිකාරී, ආර්ථික විශ්ලේෂක සිරිමල් සේනාරත්න මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපට ලොකු සහනයක් ලබා ගැනීමට පුළුවන්

වෘත්තීය සමිති කේවල් කරන්නේ මැතිවරණයට පෙර තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීමටයි

අද දළ ජාතික නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා

මොන ආණ්ඩුව ජයග්‍රහණය කළත් ක්‍රියාත්මක කළ යුත්තේ ජාතික ප්‍රතිපත්තියයි

අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකයත් ණය හිමි රටවල් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳවත් එකඟතා ඇතිව තිබෙනවා. මේ ගැන ඔබේ විග්‍රහය මොන වගේ ද?

අයි.එම්.එෆ්. ණය වාරික ලැබුණා කියන්නේ අපේ රට සම්පූර්ණයෙන්ම ණය ගැටලුවෙන් ගැලවුණා කියන දේ නොවෙයි. අපට මුලින්ම පළමු ණය වාරිකය ලබා දුන්නා. එහිදී අපට ඒ ණය වාරිකය ලබා ගැනීමට විශ්වාසය ඇති කර ගැනීමට කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව ලැබුණා. එහිදී අපට අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ යම් යම් එකඟතාවලට පැමිණීමට පුළුවන් වුණා. ඒ විශ්වාසයත් සමඟ අපට දෙවන ණය වාරිකයද ලැබුණා. එහිදී අප රට පිළිබඳව අන්තර් ජාතික තලයේ නැතිව තිබූ විශ්වාසය නැවත කෙමෙන් ගොඩනඟා ගැනීමට පුළුවන්කම ලැබුණා. දෙවන ණය වාරිකය ලැබීමෙන් පසු අප රට වැටී තිබූ තැනින් ඉහළ ශ්‍රේණිගත කිරීම්වලට පැමිණීමට හැකියාව ලැබුණා. මේ තත්ත්වය තුළ අප රට පිළිබඳව ආයෝජකයන්ගේ අවධානය නැවත යොමු වුණා. ඒ වගේම අන්තර් ජාතික ණය දෙන ආයතන වෙත සංඥාවක් ලැබුණා අප රටට නැවත ණය දිය හැකි විශ්වසනීය රටක් බවට පත්වුණා කියලා. ඒ වගේම විශ්වාසයක් ඇති වුණා රාජ්‍ය මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අපේ රට තුළ දැන් සාර්ථකයි කියන බව. ඇත්තෙන්ම අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමෙන් අප ලෝකය ඉදිරියට ලබා දුන් සංඥාව තමයි දැන් අපේ රට කෙමෙන් ස්ථාවර තත්ත්වයට පත්වූ රටක් බවට ප්‍රකාශ කිරීමට හැකියාව ලැබීම.

පසුගිය කාලයේදී ලෝකය අප දිහා බැලුවේ සෘණාත්මක ආකල්පයකින්. අද වෙද්දී අපේ රට කෙරෙහි තිබූ සෘණාත්මක ආකල්පය වෙනස් වෙලා තිබෙනවා.

ඒ කියන්නේ දැන් අප සිටින තැන එදා සිටි තැනට වඩා හොඳයිද ?

අපි මේ ලැබූ වර්ධනයන් ආරක්ෂා කර ගන්න ඕනෑ. අනවශ්‍ය වියදම් නවතා සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි රටේ අනාගතයට වඩාත් වැදගත් වන දේවල්වලට අවධානය යොමු කරන්න ඕනෑ. මේ සියලු දේ පිළිබඳව සීරුවෙන් බලා තීරණ ගැනීම තමයි කළ යුතුව තිබෙන ප්‍රමුඛ කාර්ය බවට පත්ව තිබෙන්නේ.

අපේ රට ආර්ථික වශයෙන් පතුලටම වැටෙන්නට හේතු වුණේ මොන වගේ කරුණුද ?

මෙහිදී මූලික වශයෙන් හේතු වූ කරුණු මොනවාද කියන එක සලකා බැලිය යුතුයි. මූලිකව සිදු වූ හානිය තමයි කොවිඩ් වසංගත තත්ත්වයට අප රට ද මුහුණ දීම. ඒ තත්ත්වය තුළ අප රටට හිමිවිය යුතු විදේශ මුදල් විශාල වශයෙන් ඇහිරී ගියා. 2019 වර්ෂයේ පාස්කු දා බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු අප නොසිතූ මොහොතක ලෝක වසංගතයක් වූ කොවිඩ් වසංගතය අපේ රටටත් පැමිණියා. එයට විසඳුමක් විදිහට අපි රට වසා දැමුවා. මේ වසා දැමීමත් සමඟ සංචාරක කර්මාන්තය බිංදුවටම වැටුණා. ඒ වසංගත තත්ත්වය නිසා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය අවම වුණා. මේ තත්ත්වය තුළ අපේ ආර්ථිකය ගොඩක් හැකිළී ගියා. එහෙත් අද තත්ත්වය මේ වන විට දළ ජාතික නිෂ්පාදනය නැවත ඉහළ ගිහින් තිබෙනවා. අද වන විට විදේශ විනිමය ගැටලුව විසඳෙමින් තිබෙනවා.

එදා ඩොලරය රුපියල් තුන්සිය හැත්තෑව වගේ ඉහළ තැනක තිබුණේ අද වන විට ඩොලරය රුපියල් දෙසිය අනූ හත තරම් පහළ අගයකටත් අවස්ථා කිහිපයකදී පත්වුණා. එදා බැංකු පොලී අනුපාතය සියයට තිහ වගේ ඉහළ තැනක තිබුණේ. අද එය සියයට නවය දක්වා පහළ ගිහින් තිබෙනවා. අප රට නැවතත් ලෝකය පිළිගන්නා රටක් බවට පත්වීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා අපට පසුගිය කාලය තුළ සාර්ථකත්වය වෙත යාමට හැකියාව ලැබුණා.

2028 වර්ෂය දක්වා ණය ගෙවීම කල් ගියත් ණය නිසි විදිහට කප්පාදුවක් සිදු නොවූ බවට ඇතැමුන් චෝදනා එල්ල කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

මේ තත්ත්වය ගැන වැරැදි කොනකින් අල්ලා ගෙන තමයි විවිධ අය විවේචන එල්ල කරන්නේ. එදා අපේ රට කඩා වැටීමට හේතු වුණ ප්‍රධාන කරුණු තමයි සංචාරක කර්මාන්තය බිඳ වැටීම, කොවිඩ් වසංගත තත්ත්වය මේ නිසා විදේශ මුදල් මෙරටට ඇදී ඒම ඇහිරී ගියා. අප මේ අර්බුදය එනකම් ණය වාරික ගෙවීම සිදු කළේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල්, විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් යන දෙඅංශයෙන් ලැබෙන මුදලින්. එහෙත් මේ තත්ත්වය පසුගිය කාලයේදී ඇහිරී ගියා. දැන් නැවතත් ඒ ආදායම් මාර්ග විවෘත වෙමින් තිබෙනවා. ඒ නිසා අපට දැන් කෙමෙන් සුපුරුදු රිද්මයට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා. දැන් විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල් මෙන්ම, සංචාරකයන්ගේ පැමිණීමද ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා මේ අවුරුදු හතරක කාලය තුළ අපේ ආර්ථිකය යම් ශක්තිමත් භාවයකට පත්වෙනවා. ඒ නිසා අපට 2028 දී මෙම ණය මුදල් ගෙවීම අපහසු දෙයක් බවට සමහරු ඇති කරනු ලබන මතය නිසි ලෙස තේරුම් නොගැනීම හෝ ඒ තත්ත්වය සැඟවීම විය යුතුයි.

එදා අපට ණය ගෙවීමට නොහැකි වීම පිළිබඳ ඇති වූ තත්ත්වයට මූලික හේතුව මොකක්ද ?

එදා වුණේ අපේ රටේ ආදායම් මාර්ග ඇහිරී යාම නිසා ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වීමයි. ඒ වගේම අතේ ඉතිරි මුදල්වලින් ආහාර සහ අත්‍යවශ්‍ය දේවල් ආනයනයට මුදල් යෙදවීමත් යන කරුණුයි. අද වන විට දළජාතික නිෂ්පාදනය ද වැඩි වෙමින් තිබෙනවා. එදා දළජාතික නිෂ්පාදනය පහළ වැටී තිබුණා. මේ හැම දෙයක්ම නිසා තමයි, අපි රටක් විදිහට හිර වුණේ. අද වෙද්දී දළ ජාතික නිෂ්පාදනය සියයට තුනකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ තත්ත්වය තුළ අපට ණය වාරික ගෙවීම පිළිබඳ අනාගතයේදී ගැටලුවක් ඇතිවීමක් වෙන්නේ නැහැ.

ඒ වගේම චීනය, ඉන්දියාව, ජපානය වගේ රටවල් සමඟ අවබෝධයෙන් වැඩ කිරීමෙන් අපට ලොකු සහනයක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අප නැවතත් පෙර සිටි තැනට ඇද වැටීමට හේතුවක් නැහැ.

රට තුළ සේවක නොසන්සුන්තා, සාමය බිඳ වැටීම් සහ වර්ජන යනාදිය ඇතිව තිබෙනවා. මේ තත්ත්වය රටේ ආර්ථික ස්ථාවරභාවයට කෙබඳු අභියෝගයක්ද ?

අපට මෙහි වගකීම එක් පාර්ශ්වයකටම භාර දීලා නිකම් ඉන්න බැහැ. සේවකයන්ට වගකීමක් තිබෙනවා පුරවැසියන් විදිහට, ඒ වගේම රජයටත් වගකීමක් තිබෙනවා. මේ අවස්ථාවේදී රට වැටෙන එක සුදුසු දෙයක් නොවෙයි. ආණ්ඩුව මෙන්ම වෘත්තීය සමිතිද මේ ගැන නිසි අවබෝධයක් ඇති කර ගන්න ඕනෑ. මේ අවස්ථාවේදී වෘත්තීය සමිති යම් කේවල් කිරීමක් කරන්නේ තමන්ගේ ඉල්ලීම මෙම මැතිවරණ කාලයට පෙර ලබා ගැනීමටයි. දේශපාලන ස්ථාවරභාවය ඇති වීම සමඟ මෙවැනි හදිසි ඉල්ලීම්, වර්ජන ඇතිවෙන එකක් නැහැ. මීළඟ මැතිවරණයෙන් කිසිවකු ජයග්‍රහණය කළ පසු පැහැදිලි වන දේ තමයි මීළඟ අවුරුදු පහට රට දේශපාලන වශයෙන් ස්ථාවරයි කියන එක. එවැනි තත්ත්වයක් තුළ අද වැනි තත්ත්වයක් ඇති වන එකක් නැහැ. අද සිදුවන්නේ මැතිවරණය අබිමුව තබා ගෙන තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට වෘත්තීය සමිති උත්සාහ කිරීමයි. මගේ අදහස වන්නේ මේ මොහොතේදී ආණ්ඩුව වගේම වෘත්තීය සමිති ද වගකිව යුතු විදිහට වැඩ කළ යුතු බවයි.

රට තුළ ආර්ථික ගැටලු ඇති වීමට රාජ්‍ය සේවයේ තිබෙන අනවශ්‍ය සේවක සංඛ්‍යාව හේතුවක් බවට ඇතැමුන් කියනවා ?

අද දළ වශයෙන් රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ලක්ෂ දහසයකට වැඩියි. ඒත්, සිටිය යුතු ප්‍රමාණය ලක්ෂ දහයක්. ඒ නිසා රාජ්‍ය සේවයට අනවශ්‍ය තරම් සේවකයන් බඳවා ගැනීම නවතා දැමීමටත් බඳවා ගන්නා රාජ්‍ය සේවක ප්‍රමාණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියකුත් ඇති කළ යුතුයි. එහෙම කිරීම මඟින් අනවශ්‍ය ගැටලු නැතිව රාජ්‍ය සේවය උපරිම ඵලදායිතාවකින් යුතුව පවත්වා ගෙන යාමට හැකියාව තිබෙනවා. එසේ ඵලදායි ලෙස සේවක පිරිස ජාතික ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක කිරීම මඟින් සේවක ඵලදායිතාව පමණක් නොවෙයි සේවකයන් වෙත ලැබෙන වැටුප් දීමනාද ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා. පුද්ගලික අංශයේ සේවය ඉහළ ඵලදායිතාවක් සහිතව ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසයි.

ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ කවුරුන් ද?

දේශපාලන අවශ්‍යතා මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු වුණා. ඒවායේ සමස්ත ප්‍රතිඵලය තමයි අද අප ඉදිරියේ පෙනෙන්නට තිබෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි කියලා. එතකොට මැතිවරණයකින් මොන ආණ්ඩුව ජයග්‍රහණය කළත් ක්‍රියාත්මක කළ යුත්තේ ජාතික ප්‍රතිපත්තියයි.

රාජ්‍ය සේවය ප්‍රතිඵලදායක ලෙස යොදා ගැනීම පිළිබඳව උදාහරණ සහිතව පෙන්වා දෙන්න පුළුවන්ද?

කොවිඩ් වසංගත තත්ත්වය තුළ අපේ සෞඛ්‍ය සේවය ලෝකයටම ආදර්ශයක් වෙන විදිහට වැඩ කළා. දියුණු යැයි කියන රටවලට වඩා අපේ සෞඛ්‍ය සේවය සාර්ථක වුණා. ඒ නිසා අපේ රාජ්‍ය සේවය ප්‍රතිඵලදායක ලෙස යොදා ගැනීමට හැකියාවක් තිබෙනවා.

දූෂණ වංචා වැනි දේත් රාජ්‍ය සේවයේ කඩා වැටීමට බලපානවා නේද?

වංචා දූෂණය කියන දේ රාජ්‍ය අංශයේ පමණක් නොවෙයි පුද්ගලික අංශයේද තිබෙනවා. වංචාව දූෂණය සම්පූර්ණයෙන්ම නැති කරනවා කියන පාඨය පිළිගැනීමට බැහැ. එහෙත්, අපට පුළුවන් වංචාව දූෂණය අවම කර ගැනීමට. සාමාන්‍ය ලෙස ගත්තොත් ඕනෑම ලොකු ආයතනයක් සියයට සියයක් දූෂිත නැහැයි කියන්න බැහැ. එහෙත්, දූෂණය සිදු කරනු ලබන ප්‍රමාණය පාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා.

ආර්ථික විශ්ලේෂක

සිරිමල් සේනාරත්න

උදිත ගුණවර්ධන
දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *