ජනපති රුසියාවේ නිල සංචාරයක

රුසියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (23) දහවල් මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා හමුවෙයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා බදාදා (22) දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.

මොස්කව් නගරයේ ඩොමොඩෙඩුවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට බදාදා පස්වරුවේ ළඟා වූ ජනාධිපති සිරිසේන මහතා පිළිගනු ලැබුවේ රුසියානු රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ඉගොර් වෝගියුලොව් මහතා විසිනි.

ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයකු රුසියාවේ නිල සංචාරයකට සහභාගි වන්නේ වසර 43කට පසුවවීම විශේෂත්වයකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැතිනියව සිටියදී 1974 වසරේ රුසියාවේ නිල සංචාරයක නිරත වූවාය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපතිවරයා අතර අද දහවල් පැවැත්වෙන නිල හමුවෙන් අනතුරුව දෙරට අතර ආර්ථික, වෙළෙඳ, දේශපාලන හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබෙනු ඇත.

ශ්‍රී  ලංකා – රුසියා ව්‍යාපාරික සංසදය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා සහභාගි වෙයි. රුසියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ හමුවකටද ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *