නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

 

නිදහසින් පසුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්‍රමසිංහ විසින් නිහඬව බාරගෙන නිවැරදි කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත ගාල්ලේ දී පැවසීය.

දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි මොහොතක රට බාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා තරම් පින් කරගත් නායකයෙක් තවත් නැතැයිද අබේවර්ධන මහතා කීය.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සමුළුව අමතමින් වජිර අබේවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

රටට ජාතියට නායකත්වයක් දුන් ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. සියලු දෙනාම මගහැර යන විට රනිල් රට බාර ගත්තා. හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි පින්කමක් කර තිබේ යැයි මා සිතන්නේ නැහැ.

යන පාර වෙනස් කළහොත් අමාරුවේ වැටෙන බව ජනාධිපතිතුමා 2020 වසරේදී පැවසුවා. නමුත් ජනතාව ඒ පාර වෙනස් කළා.අප පරාජයට පත්වුණා.

පසුව එක ආසනයකින් ජනාධිපති ධුරයට පත් වී එක්සත් ජාතික පක්ෂය ලෝක දේශපාලන වාර්තාවක් තබා තිබෙනවා. අප කිසි විටෙක බෙදෙන්න හොඳ නැහැ.පොදුජන  ජන පෙරමුණේ සිටින සියලුම මහජන නියෝජිතයන් අපට අවශ්‍යයි. ශ්‍රී ලංකාව ගොඩනගන්නට හැකිවන්නේත් ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනගන්නට හැකි වන්නේත් සියලුම පක්ෂ එකතු වුවහොත් පමණයි.

ජනපති රට භාරගත් සැණින් සියලුම දුප්පත් ජනතාවගේ ගිණුමට රුපියල් පහළොස් දහස බැගින් බැර කිරීමට ඔහු සමත් වුණා. එමෙන්ම සහල් කිලෝ දහස බැගින් සෑම පවුලකටම ලබා දෙන්නට හැකියාව ලැබුණා.

ලබන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට ඓතිහාසික ජයක් ලබාදිය යුතුව තිබෙනවා.

2024 වසරේදී ආසියාවේ බලවත් රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ඓතිහාසික තීන්දුවක් ගත යුතුව තිබෙනවා. අපට නැවත වැරදි කර ඒවා හදාගන්නට කාලයක් නැහැ.රට ගොඩගන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍යයි. අපට ගැලපෙන නොගැලපෙන සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන මේ ගමන යන්නට තීරණය කර තිබෙන්නේ ඒ නිසයි.

ලබන ජනපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඓතිහාසික ජයක් ලබාදිය යුතුයි.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *