|

විඳවීමේ අ‍ඳෝනාව – සී. ජේ. අමරතුංග

 

බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට අයත් බව කියන මල්වානේ ඉඩම ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට මුලින් උසාවිය දී තිබූ තීන්දුව අත්හිටුවා ඇත. එය මහජන කටයුත්තකට යොදාගන්නා බවට රජයේ තීරණයක් ඇතැයි නීතිපතිවරයා කළ දැනුම්දීමක් නිසා එය විකිණීමේ තීරණය වෙනස් වන බවක් පෙනෙන්නට ඇත.

මෙම ඉඩම මෙලෙස විකිණීමට හෝ රජය සතුකිරීමට සිදුව තිබෙන්නේ එයට හිමිකම් කීමට කිසිවකු ඉදිරිපත් නොවීම නිසාය. ඉඩම සහ එහි ඉදිකළ මන්දිරයේ ලියාපදිංචි හිමිකරු මුදිත ජයකොඩි නම් ගෘහ නිර්මාණ ශිල්පියාය. පසුගිය ආණ්ඩුවේ ප්‍රධාන කොන්ත්‍රාත් ගණනාවක් කළ ඔහු මෙම ඉඩමේ ඇති මන්දිරයේද සැලසුම්කරුවාය. එසේ වුවද ඔහු කියන්නේ මෙහි නියම හිමිකරු තමා නොවන බවයි. එහි හිමිකරුවන් වන්නේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා රාජපක්ෂ පවුලේ තවත් ඥාතියකු වන තිරුකුමා නඩේසන් මහතා බව ඔහු කියන කතාවයි. දැන් මේ කිසිවකු මෙම දේපළට හිමිකම් නොකියයි.

මෙම දේපළට හිමිකම් නොකියන්නට හේතුවක් තිබිය යුතුය. එම හේතුව නම් මෙලෙස දේපළ අත්පත් කරගැනීමට මුදල් උපයාගත් ආකාරය කියන්නට හැබෑ හිමිකරුවන්ට හැකියාවක් නැතිවීමයි. එහි තේරුම නම් මෙය අසාධාරණ ලෙස උපයාගත් ධනයක් බවයි. නීති විරෝධී ක්‍රම මගින් උපයාගත් ධනයක් බවයි. මෙම දේපළේ වටිනාකම කෝටි විස්සයි ලක්ෂ අසූවක් බව රජයේ තක්සේරුවයි. සැබෑ හිමිකරුවන්ට ඉදිරිපත් විය නොහැකි වීම නිසා එය දැන් රජය සතු වී ඇත. රජයේ ඇමැතිවරයකු පසුගියදා ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුලේ අයට හා හිතවතුන්ට අයත් බිලියන පහක් පමණ වටිනා දේපළ මෙලෙස රජයට ආපසු ලබාගත හැකි වී ඇති බවයි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හෙවත් එ‍ෆ්.සී.අයි.ඩියේ නිලධාරීන් තමන්ගෙන් ප්‍රශ්න කරනවිට එදා ධාතුසේන රජතුමාට දැනුන වේදනාවට වඩා වේදනාවක් තමන්ට දැනෙන බවයි. ධාතුසේන රජතුමාගෙන් පුතා විමසුවේ ඔහුගේ ධනය කොහේද කියා බවත්, රජතුමා කලාවැවේ දිය දෝතක් පෙන්වූ බවත්, එවිට පුතා පියාට මැටි ගසා මැරූ බවත් බැසිල් කියා ඇත. ඔහුට අනුව දැන් එෆ්.සී.අයි.ඩීයත් ආණ්ඩුවත් කරන්නේ එබඳු ක්‍රියාවකි. දැන් මේ මැටි ගසන්නට යන්නේ මේ රටේ ආර්ථිකය ගොඩ නැඟූ බැසිල්ලාටය. ඔවුන් කියන්නට හදන්නේ මේවා දේශපාලන පළිගැනීම් බවයි.

නඩු ගණනාවක්

පසුගිය වෙසක් පෝයටත්, පොසොන් පෝයටත් හිරේ ඉන්න තමන්ට සිදු වූ බවත් යන්තම් ඇසළ පෝයට එළියට ආ බවත්, මෙහෙම රැස්වීමක් තිබ්බාම තවත් නඩුවක් දමනු ඇති බවත් බැසිල් කියා ඇත. මෙයින් පෙනෙන්නේ බැසිල්ලට නඩු දමා අවසන් කිරීම අපහසු බව ඒ මහත්වරු දන්න බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අපූරු ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ විමල් වීරවංශගෙන් ආණ්ඩුව පළිගන්න බවයි. “මහේන්ද්‍රන්ලාට, ඇලෝසියස්ලාට නඩු නෑ. විමල්ලාට නඩු,ඇලොසියස්ලා එළියේ, විමල් ලා ඇතුළේ ඇලෝසියස්ලාට එක නීතියක් විමල්ලාට තවත් නීතියක් . යහපාලනය මේකද? කියා නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය. මෙය නම් කකුල කටේ දාගැනීමකි. විපක්ෂයත් නාමලුත් කීවේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් දෙදෙනා විශාල මගඩියක් කළ බවයි. ඔවුන් හොරු බවයි. ඒ ගැන ආණ්ඩුව පරීක්ෂණ අරඹා ඇතත් ඒවා තවම ඉවර නැත. නාමල් දැන් කියන්නේ ඔවුන්ට දඬුවම් නොකර විමල්ට දඬුවම් කිරීම වැරදි බවයි. මේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න හොරුන්ට දඬුවම් නොදී විමල් වීරවංශට පමණක් දඬුවම් කිරීම, නඩු දැමීම වැරදි බවයි. ඔහු අහන්නේ අපේ පැත්තේ හොරුන්ට විතරක් නඩු දමන්නේ ඇයි? කියාය. නාමල් තමන්ගේ හොරකම් පිළිගත්තේ එහෙමය. මේකට ගමේ භාෂාවෙන් කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති බවයි.

මේ කතා කරන නාමල් රාජපක්ෂ මහතාද නඩු ගණනාවක චුදිතයෙකි. ක්‍රිෂ් ගනුදෙනුව පමණක් කෝටි හතකි. ඒවා තවමත් විභාග වෙමින් පවතියි.

ඇලෝසියස්ට, මහේන්ද්‍රන්ට නීතියය ක්‍රියාත්මක ‍නොවෙන බව නාමල් කියතත් දැන් ඒ ගැන රට ඉදිරියේ ප්‍රසිද්ධ පරීක්ෂණයක් ක්‍රියාත්මකය. එමෙන්ම නීතිපති කියා ඇති පරිදි රහස් පොලිසියද පරීක්ෂණ අරඹා ඇත. එහි ප්‍රතිඵලය කුමක්වේදැයි කිව නොහැකිය. මහා පාඩුවක් වී ඇති බව විපක්ෂය කියතත් නීතිපති දැනට කියා ඇත්තේ සිදුවූ බව කියන පාඩුව නීතිය ඉදිරියේ ඔප්පුවිය යුතු බවයි. එසේ ඔප්පු කළ හැකි නම් එම පාඩුව අයකරගත හැකි බව නීතිපතිවරයාගේ මතයයි. ඒවා තවම සිදුවී නැතැයි කියා විමල්ලාට, බැසිල්ලාට නාමල්ලාට ගැලවී යාමට ඉඩදිය යුතු නැත.

සූක්ෂම ෙහාරකමක්

ධාතුසේන රජතුමාගැන බැසිල් කී කතාවේ පරහක්ද තිබේ. කාශ්‍යප රජු සිය පියාගෙන් ඇසුවේ ඔබ රැස්කළ ධනය කොහේද? යනුවෙනි. ඉතිහාසයේ සඳහන් වන්නේ කලාවැව හදන සමයේ ධාතුසේන රජු ජනතාවගෙන් විශාල ලෙස බදු අය කළ බවයි. ඒවා ජනතාවට දරාගත නොහැකි වූවා විය හැකිය. කාෂ්‍යප රජු ප්‍රශ්න කරන්නේ ඒ ගැනය. එතරම් බදු මගින් එකතු කළ ධනයට කුමක් කළේද කියාය. එසේ වුවද දැන් එෆ් සීඅයිඩීය බැසිල්ලාගෙන් අහන්නේ මේ ධනය කාගෙද? කියාය. ඔබ කාටවත් මේවා අයිති නැත්නම් ඉඩම් ගන්න මන්දිර හදන්න වෙහෙසුනේ ඇයි කියාය.

යෝෂිතගේ මන්දිරවලට අයිතිකම් කියන්නට හිටියේ ඩේසි ආච්චි කෙනෙකි. ඩේසි ආච්චිට මැණික් මල්ලක් දෙන්න දෙවිවරයෙකුද සිටි බව කියති. කෙසේ වෙතත් මේ දෙවිවරු කවුද? ධනය පහළ වුණේ කොහොමද? අලි බබා කව්ද? හොරු හතළිහ කවුද? හොර නායකයා කවුද? යන කිසිවක් මේ රටේ ජනයාට තේරුම්ගත නොහැකි කාරණා නොවේ.

බැසිල්ලා, නාමල්ලා, විමල්ලා හා විපක්ෂය කියන්නේ මේවා දේශපාලන පළිගැනීම් බවයි. එසේ වුවද මේ රටේ ජනතාවට නම් ඒ බවක් පෙනෙන්නට නැත. ජනතාවගේ බරපතළ චෝදනාව වී ඇත්තේ පසුගිය පාලනය සමයේ සිදුවී ඇති වංචා දූෂණ සෙවීමේදී මේ රජය ක්‍රියාකරන ඇල් මැරුණු ස්වරූපයයි. ඇතැම් පරීක්ෂණ උඩ ඇවිත් යටයන බව පෙනෙන්නට තිබේ. ඒවාට දේශපාලන බලපෑම් සිදුවන බවටද ආරංචි පැතිර යමින් පවතියි. එලෙස කට කතා පැතිරෙන්නට හේතුවී ඇත්තේ සිදුවන පරීක්ෂණවල වේගය ගැන ජනතාව සෑහීමකට පත් නොවීමයි. ජනතාව හොඳින්ම දන්න කාරණයක්නම් පසුගිය කාලයේ සිදුවූ මහජන ධනය කොල්ලකෑම්වලින් මේ හෙළිදරව් වී තිබෙන්නේ සොච්චමක පමණක් බවයි.

එක් අතෙකින් ගත්විට රාජපක්ෂ පාලන සමයේ සිදුවූ හොරකම් ගැන සෙවීම පහසු නැත. ඒවා සිදුකොට ඇත්තේ ඉතා සූක්ෂ්ම ආකාරයෙනි. රාජපක්ෂ පාලනය පෙරළා දැමූ මුල් කාලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ සිවිල් සමාජ නියෝජිත පිරිසකට ඒ මහතා කීවේ රාජපක්ෂ පාලනය කළ සොරකම් සෙවීම පහසු කටයුත්තක් ලෙස නොසලකන ලෙසයි. ඒවා ඉතාම සූක්ෂ්ම ලෙස සියුම් ලෙස සිදුකර ඇති බව අගමැතිතුමා ප්‍රකාශකොට තිබිණ.

කළු සල්ලි සුදු කිරීමේ ක්‍රියාව දැන් ජාත්‍යන්තර වශයෙන් ඉතා සංවිධානාත්මකව සිදුකරන බව තතුදත් ව්‍යාපාරිකයෙක් මේ ලියුම්කරු සමග පැවසීය. ඔහු කීවේ ඒ සඳහාම වූ සමාගම් තිබෙන බවත්, ඔවුන්ට මුදල් දුන්විට ඔවුන් ලෝකයේ කොහේ හෝ අරමුදලක නැතහොත් කොටස් වෙළෙඳපොළක එය ආයෝජනය කරන්නේ නීතිමය පදනමක් සකසාදෙමින් බවයි. එම දේපළ වෙනත් අයගේ නම්වලින් පවත්වාගෙන යාම සාමාන්‍ය ක්‍රියාවලියකි. මෙම ව්‍යාපාරයේ අයකිරීම මුලු මුදලින් සියයට හතළිහක් බව පෙර කී ව්‍යාපාරිකයා කීවේය. කිසිම මහන්සියක් නැතිව ඉපයූ මුදල නීත්‍යානුකූල කර ගැනීමට සියයට හතළිහක් අහිමි කරගැනීම කළු සල්ලිකාරයින්ට බරපතළ කාරණයක් වන්නේ නැත. එමෙන්ම හොරකමින් වංචාවෙන් ඉපයූ මුදල් කෝටි ගණනින් අත ඇති මෙම කොල්ලකාරී පිරිස ඒ පිළිබඳ පරීක්ෂණ යට ගැසීමටද අත දිගහැර වියදම් කිරීමට අකමැති නොවනු ඇත. දේශපාලනඥයන්, නිලධාරින් මිලට ගැනීමට පවා ඔවුන්ට හැකිවන අවස්ථා තිබිය හැකිය. ඒ සියල්ල දූෂණ පරීක්ෂණවලට බාධාකාරී වෙයි.

අැස් බැන්දුම

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සැබැවින්ම සංවර්ධනය කිරීමට නම් දූෂණයෙන් තොර පාලනයක් ගොඩනැගීමට ක්‍රියාකිරීම අත්‍යවශ්‍යය. රටට අවශ්‍ය සැබෑ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ හැක්කේ එවිටය. මහජන ධනය රටේ උන්නතියට යොදාගැනීම උපරිම වශයෙන් කළ හැකිවන්නේ එබදු පදනමකිනි.

පසුගිය කාලයේ තමන් රට සංවර්ධනය කළ බවද ආර්ථික වර්ධනය ඉහළ ගිය බවද බැසිල් රාජපක්ෂ මහතා කියා තිබිණි. එසේ වුවද එහි තිබුණේද ඇස් බැන්දුමකි. ඒ කියන ආර්ථික සංවර්ධනය කළේ රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමේ ක්‍රියාවලියක් ලෙස නොවේ. එදා කළේ තමන්ට හොඳට කොමිස් ගහන්නට හැකි ව්‍යාපෘති රජයේ වියදමින් කිරීමය. ඒවා කළේ ගිනි පොලියට ණය ගෙනය. ආර්ථික වර්ධනය සංඛ්‍යා ලේඛනවලට එකතු වූයේ එසේ වියදම් කළ මුදලයි. වරාය හදන්න කෝටි 1400ක් වියදම් කළේ නම් ආර්ථික සංඛ්‍යා ලේඛනවලට එක්වන්නේ ආර්ථිකයට කෝටි 1400ක වර්ධනයක් එකතු වූ බවයි. එයින් කෝටි දෙතුන් සියයක් හොරකම් කර තිබුණද එයද යන්නේ ආර්ථික වර්ධනයක් වශයෙනි. එම සංඛ්‍යාලේඛන බොරු අංක විජ්ජා වන්නේ එහෙයිනි.

ෙටාප් ෙටන්

මාර්ග සංවර්ධන අධිකාරිය පසුගියදා පළ කළ අධ්‍යයනයකට අනුව මාර්ග සංවර්ධනයේ ඒකකයක් සඳහා යන වියදම අඩු තරමින් සියයට 22කින් අඩුවී ඇත. ඒ කියන්නේ මේ මුදල කාගේ හෝ සාක්කුවට වැටී ඇති බවයි.

විපක්ෂය දැන් කියන්නේ මේ ආණ්ඩුවෙත් හොරු ඉන්න බවයි. ටොප් ටෙන් කියා විකාරයක්ද ඔවුහු රඟ දැක් වූහ. කිසිවෙක් එය ගණනකට ගත් බවක් පෙනෙන්නට නැත. එසේ වුවද පසුගිය පාලනයේ හොරුන්ට දඬුවම් දිය යුතු වන්නේ දැන් ඉන්නවා කියන හොරුන්ට හා ඉදිරියේ හොරකමට පෙලඹීමට ඉඩ ඇත්තන්ටද පාඩමක් වෙන්නටය. දේශපාලන බලය දිනෙක ගිලිහෙන බවත්, එවිට සියල්ලට දඬුවම් හිමිවෙන බවත් කාට කාටත්, ඉගැන්විය යුතුය. එය කළ හැකි වන්නේ එදා මහජන ධනය කොල්ල කෑ සියලු හොරුන්ට දූෂිතයන්ට දඬුවම් කිරීමෙනි. මෙරට ජනයා පාලකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ හොරුන් දඬුක‍ඳේ ගැසීම ඉක්මනින් හා කාර්යක්ෂමව සිදුකිරීමයි.

 

සී. ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *