|

ඡන්දය කිට්ටු වන විට වර්ජන දේශපාලනය එළියට එන හැටි – ඔසිත අත්තනායක

පැරණි වම යැයි, සමසමාජ – කොමියුනිස්ට් පක්ෂ නාමකරණය කරන ජවිපෙ සහ එයින් කැඩී බිඳී ගිය කල්ලි සියල්ලම පාහේ මැතිවරණ සඳහා මුහුණ දෙන්නේ බල්ලෝ නෑවීම සඳහා රැගෙන යන්නා සේය. හැටපහේ මැයි මාසයේ ජවිපෙ ආරම්භ කළ දිනයේ සිටම මැතිවරණ ගැන නොව, කුමන්ත්‍රණ සිදු කර බල නහරය අල්ලා ගැනීම එහි වුවමනාව විය. කියුබාවේ චේ සහ කස්ත්‍රෝ සිය ලේබලය ලෙස ජවිපෙ ගන්නේම, ඒ හේතුව මතය. විප්ලවය සඳහා රැගත් දේශපාලන විතින් මිස අන් කිසිදු උපායක් ඔවුනට බලය සඳහා නොවීය. සමාජවාදයම දෙසාබාන ජවිපෙ සිය පළමු කුමන්ත්‍රණ වෑයම දියත් කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක රජයට එරෙහිවය. ඒ වන විටත් සිරිමාවෝ ලෝක සමාජවාදී කඳවුරේ නිල නොවන රැජන වී සිටියාය. ඇයගේ ආණ්ඩුව එක්සත් ජනපද හෙවත් නේටෝ කඳවුරට එරෙහිව සිටියදී පවා ජවිපෙට වුවමනා වූයේ ‘ලොවෙත් නැති සමාජවාදයක්’ සඳහා කුමන්ත්‍රණ සිදු කරන්නටය.

 

හැත්තෑ හතේ නිදහස් වූ පසුව ජවිපෙ ප්‍රධාන නායකයෝ, ලෝක චාරිත්‍රයට තමන් යන වග පෙන්වනු වස්, මැතිවරණ සඳහා ඉදිරිපත් වූයෝය. ඒ වන විට ශ්‍රීලනිපය, ආසන අටට වැටී සිටි හෙයින් එජාපයට එරෙහිව පළමු බලවේගය ලෙස තමන් මතු වෙතැයි සිතා විප්ලවයෙන් මඳකට ඈත් වී, මැතිවරණයක් දෙසට තල්ලු වීමට විජේවීර කල්පනා කළේය.

මේ සඳහා ප්ලෑනක් ජවිපෙට තිබුණි. ‘ගමනක අවසානය’ කියා ශ්‍රීලනිපයට ප්‍රසිද්ධියේ නෙළමින් ගිය දේශපාලන ගමන වෙනුවට විජේවීරගේ වුවමනාව වූයේ ශ්‍රීලනිපයේ පිටේ නැඟ, ජනාධිපති තනතුර දක්වා ගමන යෑමය. මේ සඳහා පොදු අපේක්ෂක, කතාව මුලට ගෙන ශ්‍රීලනිපය සහ වමේ පක්ෂ සමඟ විජේවීර සාකච්ඡාවකට ගියේය.

ස්වාධීන අපේක්ෂකයා වශයෙන් රෝහණ විජේවීර ඉදිරිපත් කළ යුතු බවට ජවිපෙ කොන්දේසිය ඉදිරිපත් කළ විට වැඩේ නොකෙරෙන ආස්ථානය කරා පැමිණියේය.

විජේවීර සාකච්ඡා මේසයෙන් ඉවත්ව යන විට ම.එ.පෙ. නායක දිනේෂ් ගුණවර්ධන, ඔහු පසුපස ගොස් සාකච්ඡාවට සහභාගි වන ලෙස බල කරන්නට විය. විජේවීර ආපසු හැරුණේ නැත.

1982 ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව, ජවිපෙන් රෝහණ විජේවීර, සමසමාජයෙන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, සහ නව සමසමාජයෙන් වාසුදේව නානායක්කාර තරග කිරීම සඳහා නාමයෝජනා භාර දුන්හ.

දැවැන්ත මැතිවරණ ප්‍රචාරණ යන්ත්‍රණයක් ඇති කරමින් ජවිපෙ ප්ලෑන් බී සඳහා ගියේය.

සරසවි සටන් මධ්‍යස්ථාන

‘රට හදන්න අපට දෙන්න’ යන තේමා පාඨය යටතේ, යෝධ බැනර් පෝස්ටර් ආදිය යොදා ගනිමින් ජවිපෙ ජනාධිපතිවරණයට අවතීර්ණ විය. සමස්ත පක්ෂයේම ජවය මෙන්ම සම්පත් ද ජනාධිපතිවරණය වෙනුවෙන් ජවිපෙ යෙදවූයේය. ජනාධිපතිවරණයට සමගාමීව සාමාජිකයන් බඳවා ගැනීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ජවිපෙ ක්‍රියාත්මක කළේය. නව සාමාජිකයෝ ලක්ෂ හතරකට වඩා මේ ආකාරයෙන් බඳවා ගැනීමට සමත් වූ හෙයින්, ජවිපෙ ඉහළ සිට පහළ සියලු දෙනා සිතුවේ ජනාධිපතිවරණයේදී තමන්ට ජය නියත බවය. අධි තක්සේරුව, පත්තු වූයේ ප්‍රතිඵල ආ විටය. විජේවීරට ලබා ගත හැකි වූයේ ඡන්ද 2,73,428 ක් පමණි.

එතැන් සිට ජවිපෙට ඡන්ද වැඩේ එපා විය. කඩාකප්පල්කාරී මාවතේම සිය ගමන යා යුතු යැයි ඔවුහු සිතන්නට වූහ.

ශිෂ්‍ය ව්‍යාපාරය අතට ගෙන ආණ්ඩු විරෝධයක් දක්වා එය මෙහෙයවීම, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පල්ලම් බැසීම සමඟ ජවිපෙ අතට ගත්තේය. සියලු සරසවි සටන් මධ්‍යස්ථාන විය යුතු බව කියමින්, සිය සටනට අවනත නොවන සෙසු ශිෂ්‍ය කණ්ඩායම් මර්දනය කරමින් ජවිපෙ වැඩ සටහන ආරම්භ කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීම සඳහා තලගොල්ල රජයේ රෝහල සහ එම රෝහල පිහිටි හෙක්ටයාර් 14ක ඉඩම පෞද්ගලික වෙද විදුහලට බදු පදනම යටතේ පවරා දෙමින් එම සිසුන්ගේ සායනික පුහුණුව සඳහා රාගම පිහිටි උතුරු කොළඹ මහ රෝහලේ ලබාදීමට රජය යෝජනා කළේය. ඒ සඳහා අනුමැතිය හිමි වූ අතර, ජවිපෙ මෙම අවස්ථාවේ නිදහස් අධ්‍යාපන සටන් පාඨය අතට ගෙන පාරට බැස්සේය.

මෙම සටන් පාඨය සඳහා බහුවිධ පාර්ශ්ව හේත්තු කර ගැනීම ජවිපෙ සටන් ස්වභාවය ය. කේවල ලෙස පක්ෂය ඉදිරියට ගත් විට එය තනි දේශපාලන ගේමක් වන්නේ හෙයින් වෛද්‍ය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අනෙක් ශිෂ්‍ය ප්‍රජාව සමඟ අඛණ්ඩ ලෙස සටන් මෙහෙයවමින්, පෞද්ගලික විශ්වවිද්‍යාල ආකෘතියට එරෙහිව එදා ජවිපෙ වැඩ ඇල්ලුවේය.

මේ සියල්ල හුදු පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය පමණක් නොවීය. ඒ අතරේ සිය දේශපාලන න්‍යාය පත්‍රය ද ඔබ්බවා තිබූ හෙයින් ආණ්ඩු විරෝධය ද අග්ගිස්සේ රඳවාගෙන ජවිපෙ සිය කාර්යය කරගෙන ගියේය. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන රෝහල් සඳහා කාන්දු වන්නේ වෛද්‍ය වැඩවර්ජනයක් ලෙසය. බෙහෙත් ගැනීමට පාන්දරම මහ රෝහලට එන රෝගියා මේ ගැන දන්නේ නැත. ඔහු පත්වෙන අසහනය ආණ්ඩුවට බැර කරමින්, ඡන්දයෙන් තමන්ට හිමි නොවන බලය, මේ ආකාරයේ වෙට්ටු දමා ලබා ගැනීම ජවිපෙ සිරිතය. මේ සියල්ල, ඡන්දය තම වාසිය සඳහා කැරකෙන්නේ නැති හෙයින් සිදු කරන දේය.

කඩාකප්පල්කාරී යන්ත්‍රණය

ජවිපෙ විසින් වැඩවර්ජන සඳහාම වූ වෙනම යන්ත්‍රණයක් ඇති කරන්නේ සියලු කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා මුදුන් මුල ඇත්තේ එතැන බැවිනි. ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය ලෙස එය පිහිටුවන අතරේ, පළමුව මව්බිම, දෙවනුව පාසල නමින් ශිෂ්‍යයින් පාරට බැස්සවීම සඳහා ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේය. ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය සමස්ත ලංකා වැඩවර්ජනයක් පළමු වරට කැඳවන්නේ, 1988 ඔක්තෝබර් 18 වැනිදාය. බැංකු, අධිකරණ, ප්‍රවාහන, තැපැල්, සෞඛ්‍ය ඇතුළු සමස්ත රජයේ කාර්යාල පද්ධතියම වර්ජනයට කැඳවීමට ජවිපෙ ඉක්මන් වූයේ මේ කාලය වන විට ජනාධිපතිවරණය ආසන්න වෙමින් පැවති නිසාය. ඡන්දය සඳහා තම පාර්ශ්වයේ විසඳුම වර්ජනය බව කියමින්, රටේ සියලු මර්මස්ථාන සඳහා කඩාකප්පල්කාරී යන්ත්‍රණය ඔවුහු ඇතුළු කළහ.

දෙවැනි වරට ද සමස්ත ලංකා මහා වැඩවර්ජනයක් 1988 ඔක්තෝබර් 26 ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය දියත් කළේය. තෙවැනි වරටත් සමස්ත ලංකා වැඩවර්ජනයක් 1988 නොවැම්බර් 7 පැවැත්විණි.

මේ ආකාරයට ළඟ ළඟ වැඩ වර්ජන කැඳවීමේ අරමුණ වූයේ, ඉල්ලීම් ආදිය නොව ඡන්දයට ඇති බිය ය. ඡන්දය සඳහා බලය මාරුවෙන මොහොතේ, සිය කඩාකප්පල්කාරී දේශපාලනය උපයෝගි කරගත් වන, ආණ්ඩු සඳහා හොඳට පහර වදින්නේ බැවින්, කුමන්ත්‍රණකාරී ලෙස බලය අත්පත් කර ගැනීම ජවිපෙ වුවමනාව විය.

ජාතික විමුක්ති ආණ්ඩුවක් ඇති කර ගැනීමට යැයි කියමින් 1989 ජූලි මාසයේ ආරම්භ කර 1989 ඔක්තෝබර් අවසානය තෙක් සමස්ත රාජ්‍ය යන්ත්‍රණයම ජවිපෙ විසින් බිමට පහත් කරන ලදි. මේවා ජනතා වුවමනාවන් නොවීය. උණ්ඩය ඉදිරියට දමා සිදු කළ බලහත්කාරකම් විය. යම් නායකයෙක් වැඩවර්ජන සඳහා එකඟ නොවන්නේ නම්, ඔවුහු නාඳුනන වෙඩික්කරුවාගේ උණ්ඩය සිරුරට කිඳා බැසගත යුත්තේය.

ලංකා ගමනාගමන සේවක සමිතිය විසින් 1988 නොවැම්බර් 1 වැඩි වැටුප් ඉල්ලා දකුණු කොළඹ ගමනාගමන මණ්ඩලය ඇරඹූ වැඩවර්ජනයට රත්මලාන, මොරටුව සහ කටුබැද්ද ඩිපෝවල සේවකයෝ පසුදින එක්වූහ. එහෙත් ඉල්ලීම් කිහිපයක් ලබාදී එම වර්ජනය සමථයකට පත්කිරීමට රජය සමත් විය.

එසේ වුවත් ජවිපෙ මේ සඳහා එකඟ නොවී, එය දිගින් දිගට පවතින වර්ජනයක් බවට පත් කළේය.

ඉල්ලීම් ලබාදී තිබියදීත් බදුල්ල ඩිපෝවේ ලංගම සේවකයෝ වර්ජනයට බසින්නේ, ජවිපෙ දේශපාලනය හේතුවෙනි. බදුල්ලේ ලංගම සේවක ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කරන ලද්දේ, දැනට ලබාදී ඇති ඉල්ලීම් සමඟ ඒවා නොගැළපෙන හෙයින් සහ එලෙස ඉල්ලීම් ලබා දුනහොත් සමාන්තර සේවා අතර ඇතිවන අර්බුදය හේතුවෙනි. මෙය සමස්ත ලංකා වැඩවර්ජනයක් බවට පත් කළේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මඟිනි. ලංගම ඒකාබද්ධ සටන් පෙරමුණ ඒ යටතේ සටන මෙහෙයවන ලදි.

ලංගම බස් වර්ජනය සිදු වූයේ, බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වය මත්තේය. යම් ඩිපෝවක් බස් රථයක් රැගෙන මගීන් ප්‍රවාහනය කළේ නම්, ජවිපෙ තුවක්කුකරු පැමිණ ධාවනය වන බසයේදීම රියැදුරු සහ කොන්දොස්තරට වෙඩි තබා දමන්නේය. මේ ආකාරයට දුම්රිය සහ බස් සේවය රටේම නතර කළේ, ළඟ එන ඡන්දය සඳහා තමන්ගේ හයිය පෙන්වා, උණ්ඩයෙන් බලය ලබා ගැනීමේ අරමුණින් යුක්තවය.

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හදිසි නියෝගයක් නිකුත් කරමින් 1988 ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුළ සියලුම වාණිජ බැංකු මඟින් ජනතාවගෙන් සහ ව්‍යාපාරවලින් අය කරන ණය මුදල් වහාම අත්හිටුවන ලෙස කියා සිටියේය. නියෝගය ලැබී දින 7ක් ඇතුළත එසේ කරන බවට බැනරයක් බැංකුව ඉදිරිපිට නොදමන්නේ නම්, නියෝගයට ද්‍රෝහි වූවා යැයි සලකා එදිනට පසු දඬුවම් කරන බව නිවේදනයේ සඳහන් විය. සියයට 95ක් පමණ බැංකු බැනර් ඔසවා එම තීරණය පිළිගත් බවට ප්‍රකාශ කළ අතර, එසේ නොකළ බැංකුහි කළමනාකරුවන් කිහිප දෙනෙක් ඝාතනයට ලක්විය.

මේ භීෂණ යුගයක සරල මතක කිහිපයක් පමණය. ඡන්දය ළං වන විට මේ ව්‍යායාමයේ නිරත වන ජවිපෙ කඩාකප්පල්කාරීත්වය දැන් දැන් එළියට ඇදෙමින් තිබෙන බව වත්මන් වැඩවර්ජන කලාව දෙස බලන කළ ද පෙනී යන්නේය.

ඔසිත අත්තනායක

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *