| |

නරකම තැනින් මිදුණු අපි යහපත් ආර්ථිකයක් වෙත ගමන් කරනවා – වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

ආර්ථික සුරක්ෂිතතාව ඕනෑම රටක් ඉහළින්ම සලකා බලන්නකි. මෙරට ඒ අතින් ලෝකයේම අවධානයට ලක් වූවකි. එහිදී අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කළ අප දැන් සිටින්නේ කොතැනද? ඒ ඇතුළු තිරසර සංවර්ධන මාවත සහ මෙරට ඉදිරිය පිළිබඳ අප දැන් වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතාගෙන් කරුණු විමසමු.

රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට තිබෙන

හොඳම මඟ නිෂ්පාදන ආර්ථිකය

අර්බුදය තවමත් සම්පූර්ණයෙන් ඉවර නැහැ

රටට ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඕනෑ

අපේ රටේ ආර්ථිකය දැන් කොතැනද තිබෙන්නේ?

දැන් තරමක ස්ථාවර තැනක ඉන්නවා. හැබැයි අර්බුදකාරි අවස්ථා මැදින් මෙතැනට ආවේ. වර්ෂ 2022දී එය වඩාත් තීව්‍ර කෙරුණා. ඊට දෙවර්ගයක ‘හිඟ’ බලපෑවා. අය වැය හිඟය ඉන් පළමුවැන්නයි. දෙවැන්න, ඩොලර් හිඟයයි. අපට ලැබෙන හා අවශ්‍ය කරන රුපියල් හිඟය ගැනයි මේ කියන්නේ. එවිට රටක් අර්බුදයකට යනවාමයි. ඊට බලපෑ හේතු බොහොමයි. ඒත්, ආසන්නම කාරණා අතර රාජ්‍ය ආදායම කපා හැරීම ප්‍රධානයි. මූලික වශයෙන් බදු ආදායම් උපයන මෙරට එයින් රුපියල් බිලියන 600ක් පමණ අහිමි කර ගැණුනා. ඒ හැරෙන්නට කොරෝනා වසංගතය ආදී ගැටලු නිසා තවදුරටත් විදෙස් සංචිත අඩු වුණා. අපි ඉදිරියේදී ඒ සිද්ධීන් පාඩම් වශයෙන් සිහි තබා ගැනීම වැදගත්.

එසේම, වර්ෂ 2019 වන විට ඩොලර් බිලියන 7ක් පමණ වූ විදෙස් සංචිත 2022 වන විට ඩො. බිලියන 0.5ක් පමණ තෙක් අඩු වු‍ණේත් එහෙමයි. එතැන් සිට අපට දැඩිව ආර්ථික පීඩා දැනෙන්නට ගත්තා. ඛනිජ තෙල්, එල්. පී. ගෑස් මිලදී ගැනීමත් දුෂ්කර වුණා. අපේ රට බංකොලොත් විදිහට පිළිගැණුනා. එහෙවු රටකට ලෝකයේ කවුරුවත් ණයක් දෙන්නේ නැහැ. ණයවර ලිපි භාර ගැනෙන්නේත් නෑ. ඒ තමයි අපි වැටුණු නරකම තැන.

හැබැයි අපට එක විසඳුමක් තිබුණා?

ඒ IMF යෑම. හැබැයි අපට එමඟින් කොන්දේසි, මාර්ගෝපදේශ පැනවුණා. අපට වැරදුණු තැන් හරිගස්වා ගන්නයි ඔවුන් විසඳුම් පෙන්වා දුන්නේ. එමඟින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමයි අපේක්ෂා කළේ. ඒත්, බදු ඉහළ දැමීම හරහා රාජ්‍ය ආදායම් ඉහළ නංවමින් ඒ ඉලක්කයට ළඟා වීමට උත්සාහ දැරීම වැරැදියි. ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතයත් 13% පමණ සිට 8% දක්වා පහත වැටුණා. ඒත් IMF සමඟ එකඟතාවෙන් පසුව මේ වන විට එය 15% දක්වා වැඩි කරගෙන තියෙනවා.

ඒත්, රජය විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙනවා නේද?

ඒත් ඉන් දැනට වඩා ඉහළ ප්‍රතිඵල ලැබිය යුතුයි. ආර්ථික පරිවර්තන, ඩිජිටල් අපනයන ආදී විකල්ප ගෙනැවිත් තිබුණත් ඒවාට ළඟා වීම සඳහා පහසු මං මාවත් එළි කරගෙන ඇති බවක් එතරම් පෙනෙන්නට නැහැ. සැබැවින්ම ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් එම අපේක්ෂා ඉටු වෙනවාද කියන ගැටලුව අප ඉදිරියේ තියෙනවා. බදු නිසා වැඩි දෙනකු පීඩාවට පත් වෙලා. වැඩි දෙනෙක් මත වැඩි බදු ප්‍රමාණයක් පැටවීම සාධාරණ නැහැ. එය එසේ තිබියදී දැන් ආර්ථිකය නමැති ඒ අසාධ්‍ය රෝගියා, හුස්ම වැටෙන තැනට ඇවිත් තියෙන බවත් කියන්න ඕනි. ඒ අනුව රටක් විදිහට අපට හුස්මක් ගත හැකි තැනට රට ඇවිත් තියෙනවා. ඒ අනුව, ඇත්තෙන්ම අපි ආරම්භයක් අරන් තියෙනවා. රාජ්‍ය ආදායම 11%කින් පමණ වැඩි වෙලා. වර්ෂ 1977ට පසුව මෙරට ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් ගෙන තියෙනවා. හැබැයි අර්බුද තව තියෙනවා. හැබැයි, මේ, අළු යට ගින්දර තියාගෙන ඉදිරියට යන ගමනක්.

ඒ මොනවාද?

බුද්ධි ගලනය තදබල විදිහට තියෙනවා. පුහුණු සේවකයන් විදෙස්ගත කිරීම තවම අඩු අගයක් ගන්නේ. ව්‍යාපාර පහසු කිරීමේ විධිවිධාන තවම එතරම් දක්නටත් නැහැ. විරැකියාව ඉහළ ගිහින් තියෙනවා. විදේශ ණය ගෙවීමට තවදුරටත් ණය වීමට සිදු වීම කනගාටුවට කරුණක්. මේ ගැටලු විසඳාගෙන, නිෂ්පාදන ඉහළ නංවා ගැනීමෙන් අපට තෙවසරකින් පමණ හරි මඟට අවතීර්ණ විය හැකියි. ඒත් තවම මෙරට 1/4ක් දුප්පත්කමේ ගිලී ඉන්නේ. ඉතින්, අර්බුදය ඉවරයි කියලා සතුටු වෙන්න බැහැ.

අපට මෙතැනදී ආදර්ශයට ගත හැකි රටවල් මොනවාද?

බංකොලොත් රටවල් නිවැරදි මඟට ඒම ගැන එතරම් උදාහරණ නැති වුණත්, අසල්වැසි ඉන්දියාව දියුණුව කරා යන ගමනේදී අපට හොඳම නිදසුනක්. අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමත් එක්කම එරට අර්බුද විශ්ලේෂණයට කමිටුවක් පත් කළා. ඒ අනුව අනාගතයේදී රට ඉහළට ඔසවා තැබීමට සැලසුම් සකස් කෙරුණා. ඊට පත් කළ කොමිසම ඒ සඳහා අවුරුද්දක කාලයක් ගත්තා. කෙටි හා දිගු කාලීන වශයෙන් ඒවා දෙයාකාර වුණා. ඉන්දියාව මූලික වශයෙන් කළේ, ආහාර අතින් ස්වයංපෝෂිත ජනතාවක් ඇති කර ගැනීමයි. දෙවනුව, කර්මාන්ත, ව්‍යවසායකත්වය ඉහළ නැංවීමෙන් ඉහළ ඵලදායිතාවක් ඇති බදු ගෙවන්න පුළුවන් ජනතාවක් ඇති කර ගත්තා.

එසේම, රටකට නීරෝගි, ශක්තිමත් ජනතාවක් අවශ්‍යමයි. ශක්තිමත් ශ්‍රම බළකායක් නොවුණොත් එරට නිෂ්පාදනය පහත වැටෙන වග අමුතුවෙන් විස්තර කළ යුතු නැහැනේ. ඒත්, අපේ රටට ඒක එහෙමමද කියන කරුණ විමසා බලන්න වෙනවා. බෝ නොවන රෝග, පිළිකා ආදියෙන් සැලකිය යුතු පිරිසක් පීඩාවට පත් වෙලා. අතීතයේදී අපේ පවුලක දරුවන් දහ දොළොස් දෙනෙක් හිටියත් අද වන විට එය, දෙදෙනකුට පමණ සීමා වෙලා. තවත් බොහෝ පිරිසක් දරුවන් නැතිව ළතවෙනවා. මේ කරුණු නොසලකා හැරිය හැකි ඒවා නෙවෙයි. රටක් වශයෙන් අනාගත ලෝකය සමඟ ගමන් කිරීමේදී සලකා බැලිය යුතුම කරුණුයි. එසේම, ආහාර සංස්කෘතියක් අපට නැහැ. හැබැයි ඉන්දියාවට එහෙම නෙවෙයි, අපට ජාතික ආහාරයක් පවා තවම හඳුන්වා දෙන්න පුළුවන් වී නැතත්, ඉන්දියාව ඒ අතින් පොහොසත්. එරට අනාගතය ජය ගැනීමට මානව සම්පත නීරෝගිව තබා ගැනීම ගැන බොහෝ දුරට අවධානය යොමු කර තියෙනවා. ඒත්, අපට තවම එතැනට එන්න හැකි වී නැහැනේ.

ඒත් ඉන්දියාව එතැනදී මුලින්ම තුන්වේල සරිකර ගත හැකි තැනට රට පත් කිරීමට සැලසුම් හැදුවා. ඒවා ක්‍රියාවට නැංවුණා, එහිදී බීජ, පොහොර, ජල කළමනාකරණය කරුණුවලට මුල් තැන දුන්නා. ගුණාත්මක බීජ නිපදවීම හරහා ගුණාත්මක, සරු අස්වැන්නක් ගැනීමට එරටට හැකි වුණා. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු බීජ පරම්පරා තියෙනවා. ඒත්, ඉන්දියාව නවීනම ඒවා අපනයනය කරන්නේ නැහැ. පැරණි පරම්පරාවලට අයිති බීජ තමයි අපනයනය කරන්නේ. මෙරට ගොවීන්ගෙනුත් ඒවායේ අස්වනු අඩු බවට බොහෝ මැසිවිලි නැඟෙනවා. ඉන් ඉතා අඩු අස්වැන්නක් ලැබෙන්නේ. පැරණි පරම්පරාවලට අයිති බීජ වගේ, අපේ රටේ ජනතාවගේ පෝෂණයත් පහත වැටී ඇති බවක් වාර්තා වෙනවා. එය එසේ තිබියදී රටක් විදිහට ඍජු විදේශ ආයෝජන තව වැඩි කර ගත යුතු තැනට අප ඇවිත් තියෙනවා. ඉන්දියාව ඩොලර් මිලියන 5000කට වඩා ලැබෙන විට අපට 800ක් පමණයි ලැබෙන්නේ.

ඇයි එහෙම වෙලා තියෙන්නේ?

ඒ, මෙරටදී විදෙස් ආයෝජකයන් මුහුණ දෙන ගැටලු නිසානේ. ඒ ගැන කලෙක සිටම සමාජයේ කතාබහක් තියෙනවා. ඒත් නිසි පිළියම් තවම නැහැ. ව්‍යාපාර සඳහා අනුමැතියට, ලියාපදිංචියට මෙරටදී විශාල කාලයක් ගත වීම ගැන විදෙස් ආයෝජකයන් මැසිවිලි නඟනවා. එසේම ආයෝජන මණ්ඩලය ආදී ආයතන ගණනාවක් එක් කළ එක් ප්‍රධාන ආයතනයක් ඇති කළ හැකි වුවත් එය එසේ වී නැහැ. ඒ වෙනුවට‍ අලුතින් ආයතන ඇති කිරීමේ සූදානමක් පැවතීම ගැන ව්‍යාපාරික ප්‍රජාව අතර කුතුහලයක් ඇතිවී තියෙන්නේ. ඒ ඔවුන් අපේක්ෂා කළ වෙනසක් නෙවෙයි. ඒ අනුව ආයෝජකයන්ට ඔවුන්ගේ කටයුතු තවත් සංකීර්ණ වෙතැයි සැක සංකා මතු වී තියෙනවා.

අල්ලස, දූෂණය ගැනත් නොකියාම බැහැ. විදෙස් ආයෝජන සම්බන්ධව ආගමන විගමන නීතිවල සිටම, ඉඩම්, ආදී සෑම තලයකදීම වෙනස්කම් විය යුතුයි. ඒවා සරල වෙන්නත් ඕනි. මෙරට පිහිටීම, සුන්දරත්වය ආකර්ෂණීයයි. දියුණු, බුද්ධිමත් මානව සම්පතක් මෙරට සතුයි. ඒ සියල්ල සංවර්ධනය පිණිසම මෙහෙයවිය හැකියි. ඒත්, රටක් වැටෙන්න පුළුවන් කොහොමද, කියන කාරණය ගැන විදෙස් රටවල්වලින් මෙරටට ඇවිත් පර්යේෂණ කරන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ.

දැන් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ අගයක් ගන්නවා?

අපි ලෝකයේ ඉහළම සංචාරක ආකර්ෂණය ඇති මුල් රටවල් 10 අතර සිටිනවා. හැබැයි වර්ෂ 2015 සිටම තවම සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමේ ඉලක්කයට අපට තවම ළඟා වීමට බැරි වුණා. හැබැයි ඒ අපහසු දෙයක් නෙවෙයි. ඊට බාධා පමුණුවන කරුණු තියෙනවා. තරගකාරී වෙනත් විදෙස් රටවලට සාපේක්ෂව අපි වැඩි පහසුකම් අඩු මිලකට සැපයීමේ අවශ්‍යතාව තියෙනවා. ඒත්, හෝටල් කාමර ගාස්තුවේ සිටම හිතූ හිතූ විවිධ ගණන් අය කිරීම ආදී ගැටලු තවම අපට අසන්නට, දකින්නට තියෙනවා.

අපනයන ඉහළ නංවා ගැනීම කොහොම තැනකද තියෙන්නේ?

තවම සම්ප්‍රදායික අපනයන මත තමයි අපි රඳා පවතින්නේ. අනෙක, ඇඟලුම්. තවම අපේ අපනයන 50%ක් රඳා පවතින්නේ ඒ මත. ඒ හැර අපේ දේ අගය එකතු කිරීම් හරහා විදෙස් වෙළෙඳපොළට යැවිය හැකියි. තේ දලු වුණත් තවම අතින් කඩන තැනකනේ අපි ඉන්නේ. හැබැයි, තාක්ෂණය ඔස්සේ අපට ඉහළ ගුණාත්මක බවකින් යුතුව නිෂ්පාදන කළ හැකියි. ඒ ගැන තවම හරිහැටි අධ්‍යයනය නොකිරීමයි ගැටලුව. ඊට නිසි ජාතික ප්‍රතිපත්ති අවශ්‍යයි.

අපි එතැන නැතිද?

රටකට ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ඕනෑ. ඒත් අපේ එහෙම ස්ථිරසාර ප්‍රතිපත්ති දකින්න නැහැ. ඒ තැන අරන් තියෙන්නේ දේශපාලනඥයන්ගේ, එම පක්ෂවල චින්තනයයි. ඒවා කලින් කලට වෙනස් වෙන සුළුයි. ඒත් අනෙක් දියුණුවූ රටවල ඒක එහෙම නෙවෙයි. ඉතින්, ස්ථිර ලේකම්වරුන් අමාත්‍යාංශ ලේකම්වරුන් පිළිබඳ අත්දැකීම් අපට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේදී තියෙනවා. එකල, ඇමැතිවරයාගේ උපදෙස් අනුවම වැඩ කිරීමක් තිබුණේ නැහැ. ඒත් ලේකම්වරයාව ඇමැතිවරයා පත් කරන වටපිටාවකදී ඒ ස්වාධීනත්වය ලේකම්වරුන්ට ලැබෙන්නේ නැහැ. එසේම, උපායමාර්ගිකව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය ජනතා නියෝජිතයන්ගේ වගකීමක්. එය පසෙක තබමින්, ප්‍රාදේශීය ලේකම්වරුන්ටත් ඉටු කළ හැකි කටයුතුවල යෙදීමෙන් ඉහළ තලයෙන් රට වෙනුවෙන් ඉටු විය යුතු කරුණු මඟ හැරෙනවා. දැනට පවතින සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් අප වග බලා ගත යුතුයි. මත්තල ගුවන්තොටුපළ, පෝර්ට් සිටිය, ආදිය ගත් විටත් එය එසේමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් රාජ්‍ය බැංකු අධ්‍යක්ෂවරුන් ආදීන් මාරු කිරීමේදී ඒ ගැන දැනුම් දිය යුතු වගට කොන්දේසි පනවා තිබෙන්නේ ඒ අනුවයි.

වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

 

නුවන් මහේෂ් ජයවික්‍රම

දිනමිණ 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *