පාර්ලිමේන්තුව කෙළෙසන ඒකාබද්ධයේ සැබෑ අරමුණ – තුෂාල් විතානගේ

‘ඒකාබද්ධ විපක්ෂය’ යැයි ස්වයංනාමකරණයක් කරගත් කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන අසංවර මෙන්ම කඩාකප්පල්කාරී භාවිතයට මේ වන විට මුළු සමාජයේම දැඩි සංවාදයට ලක්ව තිබේ. ඔවුන් මේ කඩාකප්පල් භාවිතය තුළින් අපේක්ෂා කරන්නේ කුමක්ද ? ඔවුන් ගමන් කරමින් සිටින්නේ කොතැනටද ? මේ ඒ ගැන විමසුමකි.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා යැයි කියා ගන්නා දිනේෂ් ගුණවර්ධධන මහතාට සතියක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට කතානායක කරු ජයසූරිය මහතා පසුගිය දා පියවර ගැනීම සමග පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් වන සංවාදය යළි අලූත් මුහුණුවරකින් ආරම්භ වී තිබේ. මෙය ‘අලූත් මුහුණුවරකින්’ යැයි විශේෂීකරණය කිරීමට සිදු වූයේ පසුගිය 2015 ජනවාරී 08 වැනිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු පාර්ලිමේන්තුව ආරම්භ වූ දින සිට මහින්ද හිතවාදීන් පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරය සමාජය තුළ දැවැන්ත කම්පනයක් ඇති කළ හෙයිනි. එනිසා පසුගිය දා දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව සතියක කාලයක් සඳහා තහනම් කිරීම සැලකිය හැක්කේ මෙම ක‍්‍රියාවලියේ තවත් දිගුවක් වශයෙන් මිස එහි කූඨප‍්‍රාප්තිය වශයෙන් නොවේ.
වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ ක‍්‍රියාකාරීත්වය හා අරමුණු දෙස විමසිල්ලෙන් බලන  ඕනෑම අයෙකුට පහසුවෙන් වැටහී යන කරුණ වන්නේ ඔවුන් මන්ත‍්‍රීවරයෙකුට හෝ දෙදෙනකුට තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පනවා ගැනීමෙන් ඔබ්බට බොහෝ දුරක් ගමන් කිරීමට සූදානමින් සිටින බවයි. එය බොහෝ විට ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත ඉතාමත් කුහක සහ අත්තනෝමතික සැලසුම වශයෙන් ද සැලකිය හැකිය.
උපාය මාර්ගය කුමක්ද ?
ඒකාබද්ධ විපක්ෂයේ හදිසි සහ නියත වුවමනාව කෙසේ හෝ ඉතාම ඉක්මනින් මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම යැයි ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය දෙස බලන  ඕනෑම අයෙකුට වැටහී යන කරුණකි. එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ සමස්ත ක‍්‍රියාකාරීත්වය සියුම්ව විමසන විට පෙනී යන්නේ ඔවුන්ගේ උපාය මාර්ගය වන්නේ කඩිනමින් මහින්ද රාජපක්ෂ බලයට ගෙන එනවා කියන මුවාවෙන් සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම කඩාකප්පල් කිරීම මගින් ආණ්ඩුව පමණක් නොව සමස්ත රාජ්‍යයම අස්ථාවර කිරීම  බවයි.
වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය, විශේෂයෙන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ඇති ශක්තිමත් මෙන්ම අනෝන්‍ය විශ්වාසය හා ගරුත්වය මත පදනම් වූ බල තුලනය හමුවේ කඩිනම් බල හුවමාරුවක් සිදු කළ හැකි යැයි විශ්වාස කිරීමට තරම් ඒකාබද්ධ විපක්ෂ නායකත්වය මුඪ වේයැයි අපට සිතිය නොහැකිය. මන්ද පසුගිය දෙවසර පුරාම අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ප‍්‍රදර්ශනය කර ඇති ආකාරය අනුව ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 50 සීමාවෙන් ඔබ්බට එක අඩියක් හෝ ගමන් කිරීමට අවකාශයක් නැත. බොහෝ විට තීරණාත්මක අවස්ථාවකදී සිදුවනු ඇත්තේ ද ඒකාබද්ධ විපක්ෂය වෙතින් ආණ්ඩුව දෙසට පා එසවීමක් මිස ආණ්ඩුව දෙසින් ඒකාබද්ධ විපක්ෂය වෙත පා එසවීමක් නොවේ.
මේ තත්ත්වය තුළ බලය හා නිලය අභිසය දේශපාලන චරිත හැසිරෙන අතිෂය ආත්මාර්ථකාමී හා දීන ආකාරය අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා දන්නා මහින්ද රාජපක්ෂ මහතා ‘ඔළුගෙඩි හුවමාරුවක් තුළින් ක්ෂණික බල පෙරළියක් සිදු කරන බවට’ පසුගිය කාලය පුරා දොඩවන වහසි බස් මගින් සිදුවන්නේ හුදු ගැලරිය පිනවීමක් මිස සැබෑ ජනමත නායකත්වය තුළ යළි විශ්වාසය තහවුරු  කිරීමක් නොවන බව පැහැදිලිය. අනෙක් අතට එවැනි අතිෂයෝක්ති කතා විද්‍යුත් මාධ්‍යවල ගුවන් අවකාශය පිරවීමෙන් ඔබ්බට නොයන අප වටහා ගත යුතුය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට එවැනි යථාර්ථයකින් කිසිදු ප‍්‍රයෝජනයක් නැත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ තමන් ගිලී සිටින ස්වයං මෝහණයේ / මුලාවේ සමස්ත සමාජයම ගිලී සිටිනු දැකීමය. ඒ තමන්සේම මෝහණකාරී සමාජයක් පවත්වා ගෙන යාමෙන්ම තොරව එක මොහොතක් හෝ දේශපාලන පණනළ රැුක ගැනීමට වත්මන් ඒකාබද්ධ විපක්ෂයට අවස්ථාවක් නොවන හෙයිනි.
මරණ තුනක් ඇති ඒකාබද්ධ විපක්ෂය
යළි ලිපිය ආරම්භයේදී මතු කළ කරුණ වෙත යා යුතුය. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව ද ලිප්ටන් වටරවුමක් කර ගනිමින් මේ නටන නාගඩමේ අරමුණ කුමක්ද ? දැන් ක‍්‍රමිකව හේතුව නිරාකරණය කර ගත යුතුය.
ඒකාබද්ධ විපක්ෂයේ ස්ථිරසාර ප‍්‍රකාශය වන්නේ ‘හැකි ඉක්මනින් ආණ්ඩුව ගෙදර යනවා’ යන්නයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් යෙදු දැවැන්ත රාජ්‍ය හා මූල බලය තීරණාත්මකව පරාජය කරමින් මෙරට 62 ලක්ෂයක් වූ ජනතාවක් අවස්ථා දෙකකදීම පරාජයට පත් කළ පුද්ගලයෙක් හා ඔහුගේ කල්ලිය මේ සා කඩිනමින් යළි බලයට ගෙන ඒමට ජනතාවට ඇති හදිසිය කුමක්ද ? කියා මේ ඒකාබද්ධ විපක්ෂය කිසිදු අවස්ථාවක තර්කානුකූලව තහවුරු කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ජනතාවට හමුවට ගෙන එන්නේ ‘එදා වේල ටුවර්ස් පන්නයේ ’ හදිසියේ අහුලාගත් ඒත් සෑම විටම ඔවුන්ටම දේශපාලන බුමරංගයක් වන ( සයිටම්, හම්බන්තොට වරාය වැනි * හුදු අවස්ථාවාදී සටන් පාඨය. එහෙත් ඒවා සියල්ල ‘ජනතා ද්‍රෝහී ආණ්ඩුව’ ‘රට බෙදන ආණ්ඩුව’ වශයෙන් ක්ෂණික නාමකරණයකට ලක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගන්නේය. ඔවුන් මේ ආකාරයේ සියලූ දහංගැට ගසමින් හැසිරෙන්නේ ඇයි ?
ඒ වෙනෙකක් නිසා නොව ‘ආණ්ඩුව පෙරළීමේ’ නාමකරණයෙන් පාර්ලිමේන්තුව, විධායකය හා ව්‍යවස්ථාදායකය යන සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණය අස්ථාවර කිරීම මගින් තම දේශපාලන පැවැත්ම පමණක් නොව ජීවිතය ද ආරක්ෂා කර ගැනීමයි. වඩාත් සරල ආකාරයෙන් පැහැදිලි කළහොත් හිරේ විලංගුවේ නොවැටී සිටීමයි. කෙසේ හෝ  ඉදිරි මහ මැතිවරණය තෙක් දේශපාලන ජීවිතය අල්ලා ගෙන සිටීමයි. තමන් සමග ලගිමින් තමන්ගේ බල දේශපාලන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් රාජ්‍ය සම්පත් හා නීතිය අවභාවිත කළ මිතුරු හෝ නිලධාරී කල්ලිය සුරක්ෂිත කර ගැනීමයි.
මේ තත්ත්වය තුළ වත්මන් ඒකාබද්ධ විපක්ෂය නාමකරණය කළ හැක්කේ ලෝකයේ වඩාත් අනාරක්ෂිත හා නීතිය ඉදිරියේ චූදිතයින්ගෙන් ගහණ විපක්ෂය වශයෙනි. මෙනිසා වත්මන් ඒකාබද්ධ විපක්ෂය සැලකිය හැක්කේ ‘මරණ තුනක් ඇති විපක්ෂයක්’ වශයෙනි. එනිසා පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ලැබෙන සෑම අවස්ථාවකදීම ආණ්ඩුව පළවා හැරීමේ නාමයෙන් තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමට අරගල කරනු විනා ඒකාබද්ධ විපක්ෂයට වෙනත් දේශපාලන දැක්මක් හෝ භාවිතයක් නැත.
පාර්ලිමේන්තුව කෙළිබිමක් කර ගැනීම
ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවමන් කරමින් මුළු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයම කෙළසමින් අත්තනෝමතික නැතහොත් මැර භූමිකාවක් ආරෝපණය කර ගනිමින් ගෙන යන ක‍්‍රියාකාරීත්වය අති බහුතරයක් ජනතාවකගේ ගෞරවයට හෝ විශ්වාසයට නොව පිළිකුළට ලක්ව ඇත. මන්ද ඔවුන් පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තුව භාවිත කරනු ලැබුවේ තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් මිස ජනතාවගේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභ්‍යාස කිරීමට නොවන බව ජනතාව අවබෝධ කර ගෙන සිටින නිසාවෙනි. මේ බව ඒකාබද්ධ විපක්ෂය පසුගිය දෙවසර තුළ පාර්ලිමේන්තුව තුළ හැසිරුණු ආකාරයෙන් යළි යළි මෙනෙහි කර ගත හැකිය.
මේ සඳහා දැක්විය හැකි  ආසන්නතම උදාහරණය වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානම සමග ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව කෙළසමින් නොනැවතී පුරා රැුයක් ඒ තුළ රැුඳී සිටිමින් අල්ලූ ජුගුප්පාසහගත අඩව්වයි. අනෙක් පසින් වාසුදේව නානායක්කාර වැනි ජ්‍යෙෂ්ඨයින් යැයි කියා ගන්නා පුද්ගලයින් අගමැතිවරායට අසැබි වදන් කියමින් මුළු පාර්ලිමේන්තුවේම ගරුත්වය කෙළසූ ආකාරයයි.
මේ ඒකාබද්ධ විපක්ෂය විසින් හුදු ප‍්‍රදර්ශනකාමයෙන් සිදුකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිත කිරීම් කිහිපයක් පමණකි. එහෙත් ඔවුන් ඊටත් ඔබ්බට ගොස් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදනය කිරීමට ඇති අයිතිය / අවස්ථාව කඩාකප්පල් කළ ආකාරය අප අවධානයට ගත යුතුය. මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කළ ආකාරයට ‘රාජ්‍ය බිඳ දැමීමේ සැලසුමේ’ ප‍්‍රධාන උපාය මාර්ගය වන්නේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදනය කිරීමට ඇති අයිතිය අඩාල කිරීමයි. පාර්ලිමේන්තු සභාවාර තුළ සිදුවන අනවශ්‍ය බාධා කිරීම්වල සිට  වත්මන් විමල් වීරවංශ මහතාගේ පක්ෂය පිළිගැනීම දක්වා සෑම සිදුවීමකම අවසාන හා ආසන්නතම අපේක්ෂාව වන්නේ
ඒකාබද්ධ විපක්ෂය මෙයින් අපේක්ෂා කරන්නේ කුමක්ද ? ප‍්‍රධාන වශයෙන් තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමයි. තම අතේවාසිකයින්ගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමයි. ඊළඟට ‘ආණ්ඩුව අස්ථාවරයි, මේ රටට එන්න එපා’ යැයි විදේශ ආයෝජකයින් බියවැද්දීමයි. ‘මේ ආණ්ඩුව කොයි වේලාවේ කඩා වැටෙයිද කියන්න බැහැ. ඒ නිසා ප‍්‍රවේශමෙන් ’ යැයි කියමින් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින්ට හා ඔවුන්ගේ හෙංචයියන්ට එරෙහිව ක‍්‍රියාත්මක වෙමින් පවතින දැවැන්ත නඩු කන්දරාව මෙහෙය වන රාජ්‍ය නිලධාරීන් භීතියට පත් කිරීම හෝ ඔවුන් තුළ තම අනාගතය ගැන සැක සාංකා මතු කිරීමයි.
ඇතැම් දේශපාලන විශ්ලේෂකයින්ට අනුව මෙම ක‍්‍රියාවලියේ වඩාත් හානිකර තත්ත්වය වන්නේ රටේ මූල්‍ය ශක්තිය හා ආයෝජන අවස්ථා දුර්වල කිරීමයි. උදාහණයක් වශයෙන් ආණ්ඩුව වැට් බදු ප‍්‍රතිශතය සංශෝධනය කළ වහා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ යකා නටනවාට අමතරව අධිකරණය දක්වා ගොස් අදාළ බදු සංශෝධන පමා කළා පමණක් නොව ආණ්ඩුවේ බදු ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදා නොවූ විරූ ආකාරයේ ඍණාත්මක ආකල්පයක් ඇති කළේය. වත්මන් භාණ්ඩාගාර බැදුම්කර සිද්ධිය තුළන් පවා ඒකාබද්ධ විපක්ෂය මෙම ආර්ථික ඝාතන ප‍්‍රයත්නය ඉටු කර ගැනීමට දැවැන්ත උත්සාහයක් ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කළ හැකිය.
අඳබාල විපක්ෂයේ වේදිකාව
පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සක‍්‍රීය හා ගෞරවණීය ආකාරයෙන් ක‍්‍රියාත්මක වූ රටක් ලෙස වසර 70 ක ස්වර්ණමය ඉතිහාසයක්  ලංකාවට තිබේ. මෙකී 70 වසර පුර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීවගුණය පමණක් නොව එහි අභිමානය රැුක ගැනීමට ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂය ගෞරවණීය භූමිකාවක් නිරූපණය කළ බව අපට මතකය. 1947 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් කළ විපක්ෂ නායක ආචාර්ය ඇන්.එම්. පෙරේරා මහතාගේ සිට අතිෂයින් තීරණාත්මක යුගයක විපක්ෂ නායක නායක පදවිය දැරු රනිල් වික‍්‍රමසිංහ මහතා දක්වා සියලූ පක්ෂ නායකවරුන් ද වත්මන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද එකී වගකීම් සහගත හා ගෞරවණීය මාවතේ යන ආකාරයක් අපට නිරීක්ෂණය කළ හැකිය.
මෙම යුගයන් පුරා විපක්ෂ නායකයින් සේම විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ද අතිෂයින් රැුඩිකල් වූ ද දඩබ්බර ක‍්‍රියා කළ ද ඒවා සියල්ල ජනතාවගේ නාමයෙන්, ජනතාවගේ වුවමනා එපාකම් වෙනුවෙන් කළ ජනතාවාදී මැදිහත්වීම් බව පොදුවේ පිළිගැනේ.
මෙවැනි ගෞරවණීය දේශපාලන භාවිතයන් අභ්‍යාස කළ පාර්ලිමේන්තුව අද අවස්ථාවාදීන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට තැත් කරන කෙළිබිමක් බවට පත්ව ඇත්තේ කුමක් නිසාද? ආණ්ඩුවට තර්කානුකූලව අභියෝග කළ විපක්ෂයක් අද මෙවැනි පහත් තත්ත්වයකට පත්ව ඇත්තේ කුමක් නිසාද එය අප නිරවුල් කරගත යුතුය.
මෙහිදී බොහෝ දෙනකු ඉදිරිපත් කරන ජනප‍්‍රිය තර්කය වන්නේ ‘නුසුදුස්සන්’ ‘නූගතුන්’ ‘මැරයන්’ වැනි ආන්තික පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත් කර යැවීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවන බවයි. එහෙත් අද පාර්ලිමේන්තුවේ මැරයන් සේ රඟපාන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ආදීන් දැමිය හැක්කේ කුමන කුලයකට ද යන්න ප‍්‍රශ්නකාරීය. අනෙක් අතින් මහාචාර්ය ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන ආදීන් දැමිය හැක්කේ කුමන කුලයකට ද ?
මෙහිදී අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ අධ්‍යාපනය, වෘත්තිය ආදි කාරණාවලට වඩා ඔබ්බට ගිය තවත් සංකීර්ණ කාරණා රැුසක් මේ ක‍්‍රියාවලිය තුළ පවතින බවය.
මීට ඉහත සඳහන් කළ ආකාරයට 1947 සිට මැතිවරණ පරාජය සමග බලය අහිමි වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ තරම් ඉක්මන් බල තණ්හාවකින් නොපෙළුන බවය. එදා බලය අහිමි වූ වහාම ඔවුහු ගෞරවණීය ආකාරයෙන් බලය හැර ගියෝය. ජනතාව විසින් තමන් ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වූ වැරදි නිවැරදි කරගෙන මිස ඔවුන් යළි යළිත් ජනතාව කුපිත කරමින්, මුලා කරමින් පාරක් පාරක් ගානේ කරක් ගැසුවේ නැත. ඉතාම සුළු ආසන ගණනක් අතේ තියාගෙන සිටියත්, ඉතාම ප‍්‍රබල විපක්ෂයක තත්ත්වයක සිටියත් මේ ආකාරයෙන් ජනතාව අමු අමුවේ මුලා කරන තැනකට ගියේ ද නැත.
එසේ නම් අප මේ ක‍්‍රියාවලිය තුළ දකින්නේ ජනතාව මෝහයට පත් කරන තම පැවැත්ම වෙනුවෙන් සමස්ත ජාතියක් නින්දාවට පත් කරන ක‍්‍රියාවලියකි. මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කළ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා ඊනියා කල්ලිය හෙම පාර්ලිමේන්තු වර්ජනයකට වුව ද ගියහොත් අප පුදුම විය යුතු නැත. මෙම ලේඛකයාගේ අදහස වන්නේ ද ඒකාබද්ධ විපක්ෂය සිය පැවැත්ම වෙනුවෙන් එවැනි නින්දා සහගත පියවරකට නුදුරේම ප‍්‍රවේශ වනු ඇති බවයි. මන්ද ආණ්ඩුවේ සියලූ ක‍්‍රියාකාරීත්වයන් සේම නව ව්‍යවස්ථා සම්පාදනය ඇතුළු සියලූ ධනාත්මක ක‍්‍රියාවලීන්ට බාධා කළ හැක්කේ එවැනි නින්දා සහගත ප‍්‍රවේශයකින් පමණක් වන හෙයිනි.
මෙහිදී ජනතාව අතර වේගයෙන් තහවුරු වෙමින් පවතින තවත් කරුණක් ගැන අප අවධානය යොමු කළ යුතුය. ඒ ඒකාබද්ධ විපක්ෂයේ මේ සියලූ රැුඟුම් පවතින්නේ  පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශනය කරන කාලය තුළ පමණක් බවයි. මෙය ජනතාව සිතන ආකාරයෙන් යම් සත්‍යක් ඇති කරුණක් බව අපට පිළිගත හැකිය. ඒ ප‍්‍රදර්ශනකාමය ඒකාබද්ධ විපක්ෂයේ නිදන්ගත ව්‍යාධියක් වන නිසාය.
මේ තත්ත්වය තුළ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තොවිල්පොළක් කරගතහොත් අප පුදුම විය යුතු නැත. එහෙත් ‘යන යකා කොරහත් බිඳ ගෙන නොයන තැනට’ අප වග බලාගත යුතුය. මන්ද ඔවුන් විසින් මේ වනසමින් සිටින්නේ ලක්ෂ 62 ක ජනතාවගේ යහපාලන අභිලාෂයන් හෙයිනි.

තුෂාල් විතානගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *