| |

ආර්ථික වර්ධනයේ සුබ ලකුණු – මහාචාර්ය සිරිමල් අබේරත්න 

 

 

whatsapp sharing button
sharethis sharing button

 

 

විදේශීය ණය කොටස් තුනකි. එනම්, බහුපාර්ශ්වීය, ද්වීපාර්ශ්වීය සහ වාණිජ ණය වශයෙනි. බහුපාර්ශ්වීය ණය එනම්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි මූලාශ්‍රවලින් ලබා ගත් ණය අපි ගෙවමින් සිටිමු. එහෙත් 2022 අප්‍රේල් සිට ද්වීපාර්ශ්වීය ණය හා වාණිජ ණය ගෙවීම අත්හිටවූයෙමු.

පසුගිය සතියේදී ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් අවබෝධතා ගිවිසුම්වලට එම ණය හිමියන් සමග එළැඹිණි. එම ගිවිසුම්වලට අනුව, ද්වීපාර්ශ්වීය ණයවල පොලී අනුපාත යම් අගයකින් අඩු වීමට ඉඩ ඇති අතර 2028 වසරේ සිට ණය නැවත ගෙවීම ආරම්භ කිරීමට යම් කාලයක් ද ලැබේ. 2043 දක්වා ඒ ණය ගෙවීමට දිගුකාලයක් ලබා දී ඇත. එහෙත් ණය කප්පාදු කිරීමක් ගැන සඳහනක් නැත. කෙසේවෙතත් මේ සහනය මගින් ණය තිරසාරගත වීමට යම් පිටිවහලක් ලැබේ. ආර්ථික ස්ථායීකරණය හා ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අපේක්ෂා කරන එක් අරමුණක් නම්, ණය තිරසාර කර ගැනීමයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය තවම අවසන් නැත. වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12.5 ක් පමණ වෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා පැවැත් වේ. එම ණය ප්‍රමාණය විශාල අගයකි. මෙරට වාර්ෂික අපනයන ආදායමට සමාන අගයකි. වාර්ෂික අපනයන ආදායම පවතින්නේත් ඩොලර් බිලියන 12 ත් 13 ත් අතර මට්ටමකය. එසේම 2022 අප්‍රේල් සිට ණය නොගෙවූ නිසා වාණිජ ණයවලට එකතු වූ හිඟ මුදල් ප්‍රමාණයක් ද තිබේ. එසේවුවත් වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ද රටට යම් සහනයක් අපි බලාපොරොත්තු වෙමු. එහෙත් ද්වීපාර්ශ්වීය ණයවලට ලැබුණු ආකාරයේ ලිහිල් සහන ලැබේදැයි සැකසහිතය. මේ දක්වා වාණිජ ණය හිමියන් සමග අවසන් ගිවිසුමකට එළැඹීමට නොහැකි වී තිබෙන්නේ දෙපාර්ශ්වයේ (ශ්‍රී ලංකා රජය හා වාණිජ ණය හිමියන්) යෝජනා අතර ඇති නොගැළපීම් නිසාය. පාර්ශ්ව දෙකටම එකඟ විය හැකි තැනක සිට මීළඟ සාකච්ඡා ආරම්භ කර ඉක්මනින් එම ණය ප්‍රතිව්‍යුහගතකරණය ද අවසන් කළ හැකි වෙතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ඇතැම් අය මත පළ කරන අයුරින් සියයට 40 ක් වැනි ඉහළ ණය කප්පාදුවක් රටට ලැබේයැයි මම නොසිතමි. සාර්ව ආර්ථික ප්‍රගතිය, ආර්ථික වර්ධනය, ආණ්ඩුකරණයේ යහපාලන ගුණාංග වැනි සාධක මත පදනම්ව ලබා දෙන සහන තීන්දු වීමට ඉඩ ඇති බව රජය හා වාණිජ ණය හිමියන් අතර පැවැති පසුගිය සාකච්ඡා ඇසුරින් එළැඹිය හැකි නිගමනයයි. ඉදිරි සාකච්ඡාවලදීත් එම සාධකවලට ප්‍රමුඛතාව හිමි වුවහොත් මේ වසරේ පළමු කාර්තුවේදී රටේ ආර්ථිකය ධන වර්ධන වේගයක් වාර්තා කළ හෙයින් ණය හිමියන් යෝජනා කරන කප්පාදුව අඩු අගයක් ගැනීමට පිළිවන. විශාල ණය කප්පාදුවක් අපෙක්ෂා කිරීම වෙනුවට ආර්ථික තත්වය දියුණු කර ගැනීමට හැකි නම් ණය තිරසාරභාවය ඇති කර ගත හැකිය. එයින් වාණිජ ණය ගෙවීමේ හැකියාව ඉහළ නංවා ගත හැකිය. ණය ගෙවා ගත හැකි මට්ටමට තුනී වීමත් වැඩි සහන කාලයක් ලැබීමත් රටට යහපත්ය.

 

 

පොදුවේ අපට ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා වසර දෙකක් වැනි කාලයක් ගත වුව ද අදාළ කාලයේදී ආර්ථිකමය වශයෙන් ප්‍රගතියක් ද ලබා තිබේ. ඒ අනුව, 2024 වසරේ මුල් කාර්තුවේදී ධන ආර්ථික වර්ධන වේගයක් වාර්තා කර තිබිණි. එමෙන්ම සාර්ව ආර්ථික විචල්‍යය, පොලී අනුපාත සහ උද්ධමන අනුපාත පහළ වැටී ඇත. මේ අනුව යමින් සිටින ආර්ථික ගමනෙහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් දැනට කුඩා එළියක් පෙනෙන්නට තිබේ. එය මේ ආකාරයේ ආර්ථික අර්බුදවලට මුහුණ දුන් සෙසු රටවල් අතර ශ්‍රී ලංකාව සුවිශේෂ වීමට එක් හේතුවකි.

එහෙත් අප ජනතාවගේ පීඩනය ද අමතක නොකළ යුතුය. ජනතාවට දෙවිදියක පීඩනයකට මුහුණ දීමට සිදු විණි. පළමුවැන්න, ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වූ පීඩනයයි. දෙවැන්න, ඒ අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග නිසා වැදුණු පහරයි. මේ ජනතා පීඩනය අවම කරමින් ඉදිරියේදී එන මැතිවරණ හමුවේ වුව ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා පීඩාවට හා අවදානම් සහගතභාවයට පත්වෙන ජනතාව ඉලක්ක කර ගත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මූල්‍ය අරමුදල අවධාරණය කර තිබේ. ඒ අරබයා ලෝක බැංකුව වැනි ආයතන මූල්‍යාධාර ලබා දී ඇත. අස්වැසුම වැඩසටහන පැමිණියේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් ප්‍රශ්නය නම්, අප අතීතයේ සිට උපයන ආදායමට වඩා වියදම් කිරීමට පුරුදුව සිටීමයි. රාජ්‍ය ආයතනවලට දේශපාලනඥයන්ගේ ආධාරකරුවන් පත් කිරීම අර්බුදයේ තවත් පැතිකඩකි. අය සහ වැය සමබර කර නොගැනීම ආර්ථික අර්බුදයේ දිගුකාලීන නිමිත්තකි. එය එක රැයින් විසඳිය හැකි එකක් ද නොවේ. එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනත් සමග දැනට අප කරමින් සිටින්නේ ආර්ථික ස්ථායීකරණය ලබා ගෙන අය සහ වැය තුලනය කර ගත හැකි මට්ටමකට ආණ්ඩුවේ අයවැය සකස් කර ගැනීමයි.

ණය ගෙවීම නතර කළේ අපේ ණය බර දරාගත හැකි මට්ටමක නොතිබුණු හෙයිනි. ඉකුත්දා එළැඹුණු ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් සමග එම ණය දරාගත හැකි මට්ටමකට පැමිණේ. එසේම නැවත ණය ගෙවීම ආරම්භ කරන තෙක් එනම්, 2028 දක්වා අපේ ආර්ථික තත්වය වර්ධනය කර ගැනීමට හා විදේශ විනිමය ඉපැයීම් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව හිමි වේ. ඒවා කිරීමට හැකි වුව හොත් ණය ගෙවීමේ හැකියාව ශක්තිමත් කර ගැනීමට පිළිවන. ආදායම් පාර්ශ්වය තර කර ගැනීමට සාපේක්ෂව වියදම් පාර්ශ්වය ද බුද්ධිමත්ව කළමනාකරණය කළ යුතුය. විශේෂයෙන්ම ප්‍රමුඛතා අනුපිළිවෙළක් මත අත්‍යවශ්‍ය දේවල්වලට පමණක් වියදම් කිරීම යෝග්‍ය වේ.

ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත්ව තිබුණු රටට ඉදිරියට යෑම සඳහා මේ ණය ගිවිසුම්වලින් විශාල සහනයක් ලැබී තිබේ. ආර්ථිකය නිවැරැදිව හසුරුවන්නේ නම් ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබුණු සහන ප්‍රමාණවත් බව මගේ අදහසයි. දැනට කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ අත්නොහැර විදේශ විනිමය ඉපැයීම් වර්ධනය කරගන්නේ නම් අපට ගමනක් තිබේ. ණය ගෙවීම නතර කළ පසුවත් රජය අඛණ්ඩව ණය ලබා ගෙන ඇත. මුදල් මුද්‍රණය නොකළ ද දේශීය මූලාශ්‍රවලින් ණය ගැනීම සිදු වේ. මේ වසරේ පළමු කාර්තුවේදී පමණක් රුපියල් බිලියන 1,500 ක පමණ දේශීය ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇත. එයින් හැඟෙන්නේ රජයේ ආදායම් තවමත් වැඩි වී නැති බවය. එසේම රාජ්‍ය වියදම් ඉහළ නැංවීමට තිබෙන පීඩනය ද වැඩිය. රාජ්‍ය සේවයේ විවිධ වෘත්තිකයන් වැඩි වැටුප් ඉල්ලා සිදු කරන උද්ඝෝෂණ වැඩවර්ජන ආදියෙන් පෙනෙන්නේ එම පීඩනයයි. මේ සන්දර්භයේ රාජ්‍ය වියදම තවත් ඉහළ නැංවීමට සිදු වුව හොත් තව තවත් ණය ගැනීමට සිදු වේ. අර්බුදයෙන් ගොඩ ඒමට එය බාධාවකි.

ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ක්‍රියාත්මක කරමින් සිටින්නේ 17 වැනි ණය වැඩසටහනයි. 18 වැනි වතාවටත් එම ආයතනය වෙත යා යුතුද නැද්ද යන තීරණය තිබෙන්නේ වෙනකවුරුවත් අතේ නොව අප අතේය. ඉන්දියාව අවසන් වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ 1991 දීය. එදා සිට මේ දක්වා ඉන්දියාවට ඒ ආයතනයට යෑමට අවශ්‍ය නොවුණේ ආර්ථික ප්‍රතිසංස්කරණ අතනොහැර ක්‍රියාත්මක කළ හෙයිනි. වර්තමානයේදී ඉන්දියාවේ ආර්ථිකය චීනයට වැඩි වේගයකින් වර්ධනය වේ. එමෙන්ම වාර්ෂිකව වැඩි විදේශ ආයෝජන ප්‍රමාණයක් ලැබෙන ආසියානු රටවල් කිහිපය අතර ඉන්දියාව ද සිටියි. ඒ අනුව, 2023 වසරේදී පමණක් එරටට ලැබී ඇති විදේශ ආයෝජනවල වටිනාකම ඩොලර් බිලියන 50 කි.

මා දෙවැනි උදාහරණය ගන්නේ තායිලන්තයෙනි. 1997 දී උද්ගත වූ මූල්‍ය අර්බුදය හමුවේ තායිලන්තයේ මුදල් ඒකකය කඩා වැටුණි. එම අවස්ථාවේදී එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ද ඉන්පසු මේ දක්වා මූල්‍ය අරමුදලේ සහාය ලබා ගෙන නැත. ඒ, ප්‍රතිංස්කරණත් සමග ආර්ථික ගමන ශක්තිමත් කර ගත් නිසාය. තායිලන්තය මීට දසක කිහිපයකට ඉහතදී ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට පසුපසින් සිටිය ද දැන් අප පසුකර සෑහෙන දුරක් ගොස් තිබේ.

මේ ඉන්දියානු හා තායිලන්ත ආදර්ශවලින් ශ්‍රී ලංකාවට උගත හැකි පාඩම නම්, නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් ආර්ථිකය ගොඩනගා ගත හැකි බවය. ඒ සඳහා ජනතාවත් දේශපාලන නායකයන් හා පක්ෂත් අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

මහාචාර්ය සිරිමල් අබේරත්න

 සාකච්ඡා සටහන – උපුල් වික්‍රමසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *