|

ණය සහන ලැබෙන්නේ ණය කැපීමෙන් පමණක් නොවේ – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක දී ණය සහන ලැබෙන්නේ සහ ගණන් බලන්නේ ණය කැපීමෙන් පමණක් නොවන බවත්, සහන කාලයක් ලබාදීම , පොලිය අඩු කිරීම, සහ ගෙවීමට දෙන කාලය ද එහි දී සැලකිල්ලට ගන්නා බවත්, ඕස්ට්‍රේලියාවේ  රාජ්‍ය විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා ප්‍රකාශ කරයි.

අද ගෙවන්නට තිබෙන මුදලක් වසර දහයකට පහලවකට පසුව ගෙවන විට ගෙවන්නේ අඩු වටිනාකමක් බවත්, එය ද සැලකිල්ලට ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ද්වි පාර්ශවික ණය හිමියන් සාමාන්‍යයෙන් ණය කැපීමක් ලබා දෙන්නේ නැත. මෑතක දී ණය ප්‍රතිව්‍යුහගත කළ සැම්බියාවට සහ ඝානවට ද ද්වි පාක්ෂික ණය හිමි රටවල් ණය කැපීම ලබා දී නැත. ඝානාවට පෞද්ගලික ණය හිමියන්ගෙන් ණය කැපීමක් ලැබුණු නමුත් සැම්බියාවට එවැනි සහනයක් ලැබී නැත. කෙසේ වෙතත්, සැම්බියාවේ සමස්ත ණය සහනය සියයට 21 ක් ලෙසත්, ඝානාව ලැබූ සහනය සියයට 37 ක් බවත් ගණන් බලා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගණන් බලා ඇති  ලෙස ශ්‍රී ලංකාවට බලාපොරොත්තු විය හැකි සමස්ත ණය සහනය  සියයට 36 කි. නමුත් එහි අදහස එපමණ ණය කපා හැරීමක් නොවන බව මහාචාර්ය අතුකෝරළ මහතා පෙන්වා දෙයි.

ද්වි පාර්ශවික ණය හිමියන් සමග ගිවිසුම මගින් මෙරට ණය නොගෙවන රාජ්‍යයක් ලෙස තිබු කළු පැල්ලම ඉවත් වූ බවත්, අපට ණය දුන් රටවල් තව දුරටත් අප ණය නොගෙවන රටක් ලෙස නොසලකන බවත්, ඒ මහතා වැඩි දුරටත් කියයි.

කෙසේ වෙතත්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන අපගේ ශ්‍රේණිගත කිරීම වහා ම වෙනස් නොකරනු ඇත. ශ්‍රේණිගත කිරීම්වල වැඩි බලපෑම ඇත්තේ වාණිජ වෙළෙඳපොළට ය.

සිරස රුපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට එක්වෙමින් මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා මෙම අදහස් පළ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *