දරුවන්ට නො දන්වා පාසල් වසා දැමීමත් සුභාරංචියක්ද ? – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
කොළඹට 26 වෙනිදා පැමිණි ගුරු සංහතියට අධිකරණ නියෝගය කියවා දීමෙන් අනතුරුව එකී ජන රාශිය හැසිරුණ ආකාරය වෙනම කතාවකි. සමහර ගුරුවරු පොලිස් නිලධාරින්ට ළංවී හැඟුම් බරව කියා සිටියේ ඔයාලාගේ දරුවන්ටත් උගන්වන්නේත් අපි කියාය. එහෙත් පොලිසියෙන්ද පගා ගන්නන් ලෙස අපකීර්තියට ලක්ව සිටින ගුරු වෘත්තියේ මුවාවෙන් පාසලේ ඩෙක්ස් පුටු විකුණා කන්නන් දහස් ගණනක් එදා පැමිණි සිටි බව රහසක් නොවේ.
රටේ ගුරු සංහතිය 26 වෙනිදාට කොළඹ ගෙන්වා ගත්තේ විසි අට වසරක් පුරා ලබා ගත නො හැකිවූ ඉල්ලීම් දිනා ගෙන යාමට නොවේ. ප්‍රකාශ කිරිමට නියමිත සුභා ආරංචි පණිවිඩය යටපත් කොට මහා විනාසයක් වාර්තා කරවීමටය. වැඩේ වැරදුණ තැන, ජෝෂප් ස්ටාර්ලින් රටටම ඇහෙන්නට කිසිදු විලි ලජ්ජාවක් නැතිව කීවේ අපි හෙටත් ස්කෝල වහනවා කියාය.
පාසල් වසා දරුවන් පාරට දමා බලය ඇල්ලීමට ගත් බොහෝ උත්සාහයන් අතීතයේ අසාර්ථක විය. 1971දීත්, 1988-89දීත් එකී විනාසකාරි සිදුවීම් වාර්තා විය. ඒ යටගිය ඉතිහාසය නැවත නැවත ඉස්මතු කර ගැනීමට මහත් වෑයමක් දරනු පෙනේ. 1971දී, මාතලේ විද්‍යා විද්‍යාලයේ උසස් පෙළ සඳහා ජීව විද්‍යා විෂය හදාරමින් සිටි නිවුන් දරුවන් දෙදෙනෙකි. එයින් එකෙකු මේ වන විට විශ්‍රාමික රජයේ වෛද්‍ය වරයෙකි. විජේවීරට වශීවී පාසලෙන් නික්ම විප්ලවයට නික්ම ගිය අනෙකා අදටත් ආ ගිය අතක් නැත. ඝාතනය වන විට වෛද්‍ය ශිෂ්‍යයෙකුව සිටි ත්‍රීමා විතානත් එවැනි මිනිස් බිල්ලකි. 88-89 කාලයේ පලා බබා එළවීමට පාරට බැස්සු දරුවන් ගණනාවක් ආපසු ගියේ පෙට්ටියෙනි.
එයින් හතළිස් තුන් වසරකට පසුව ගුරු ගෞරවයෙන් මේ පේළි ගැසෙන්නේත් ඒ රෞද්‍ර භීෂණයම නම් එය වළකා ලිය යුතුවේ. එසේම ගුරුවරුන් ලව්වා පාසල් වහනවා එයද සිදු නො විය යුත්තකි. ගුරු වෘත්තිකයන්ගේ ඉල්ලීම් මුවාවෙන් ගුරුවරුන් වීදි බැස්සවීමට පාසල් වාරය ආරම්භ වන තෙක් බලා සිටී නම්, එය ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී දරුවන් සහ දෙමාපියන් ආණ්ඩුවට එරෙහිව උසි ගැන්වීමට කරන කුමන්ත්‍රණයකි. එහෙත් ලාංකේය අධ්‍යාපන ඉතිහාසයේ අඩ සිය වසකට ආසන්න කාලයක් දරුවන් පහේ ශිෂ්‍යත්ව විභාගයේ සිට සරසවි පිවිසුම තෙක් රටේ විභාග සමත් වීමට ටියුෂන් පන්ති වලට ගියා මිස රජයේ පඩි ලබමින් සිටි ගුරු සංහතිය කෙරෙහි සතේක විශ්වාසය තැබුවේ නැත.
වර්තමානයේත් දරුවන් විශ්වාස තබා සිටින්නේ ටියුෂන් කාරයන් කෙරෙහිය. ගුරුවරුන් සේවය කරන්නේ සිසුන්ට නොව ජෝෂප් ස්ටාර්ලින්ටය. තුන් වසරක් වැසි ගිය පාසල් එක් රැයකින් විවෘත කොට අධ්‍යාපනය යථාවත් කළ ජනාධිපති වික්‍රමසිංහ මැදිහත්ව එය වහා වෙනස් කළ යුතුව ඇති පරස්පරයකි. රාත්‍රී හතටත් පාසල් නිල ඇඳ ඇඳුම් පොත් මළු එල්ලා ගෙන බස් එන තුරු බලා සිටින දරු දැරියන් වර්තමාන ගුරු සංහතිය පන්ති කාමර තුළ කරන සේවය පලදායි නොවන බවට ධරමාන සාක්ෂියකි. පාසල් ක්ෂේත්‍රයේ මේ විකෘතිය කළේ පාලකයන් නොවේ. වෘත්තීය සමිති කාරයන් විසිනි.
”ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම.” යන මැයෙන් 2024-02-06 දින මා නමින් පළවූ ලිපිය ආරම්භ වන්නේ මෙසේය. ”පාසල් ඇරඹු පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ ”යනුවෙන් ජෝසෆ් ස්ටාර්ලින් උපුටා දක්වමින් ‘මව්බිම’ පත්‍රය පළ පුවත හරහා කියැවෙන යටි අරුත ඛෙහෙවින් ඛේදනීය වේ. එකී ප්‍රකාශය වර්තමාන ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සද් භාවය ප්‍රශ්න කෙරෙන්නෙකි. රාජ්‍ය සේවයට අයත් ගුරුවරුන් වෘත්තීය ගැටළු වලට වඩා බලය අල්ලන පිරිසකගේ එහෙයියන් බව මෙයින් පැහැදිලිවේ.
නවසිය පණස් ගණන්වල පාලකයන් මට්ටු කිරීමට සනීපාරක්ෂක කම්කරුවන් යොදවා කොළඹ නගරය අසූචි නරකාදියක් බවට පත් කිරීමට වඩා මේ උපාය අනාගත පරපුර අනාථ කරවන්නකි. වර්තමාන ගුරු නායකයන් පාසල් ආරම්භ වන තෙක් වර්ජන සඳහා කල් මරන්නේ කොළඹ නොව රටම ගිනි තැබීමටය. ඒ අතීතය සිහි කර මෙහි අවධාරණය කරන්නේ වර්තමාන දේශපාලනඥයන් තම වාසියට කක්කුස්සි කාරයන් වෙනුවට ගුරු සංහතිය යොදා ගැනීමෙන් පෙනී යන්නේ රටේ අනාගතය සැකසීමේ වගකීම පැවරුණ, ගුරුවරුන් අතීතයේ සනීපාරක්ෂකයන්ට පැවරුණ භූමිකාව භාරගෙන කොළඹ වීදිවල කෑ මොර ගසන බවය.
එදා කක්කුස්සි කාරයන් වර්ජන කළ විට මහ නගර සියල්ල දුර්ගන්ධයෙන් පිරීයයි. අද ගුරු වර්ජනය නිසා ගුරු සංහතිය සවුත්තු වෙනවා පමණකි. හේතුව වර්ජන කළත් නො කළත් අධ්‍යාපනය සඳහා ටියුෂන් පන්ති වෙත යාමට ජාතියේ දරුවන් හිත හදාගෙන සිටීමය.
පෙරේදා පැවති ගුරු වර්ජනය ඇමතු ජෝෂප් ස්ටාර්ලින් සුපුරුදු ලෙස කීවේ විසි අට වසරක් පුරා නො ලැබුණ ගුරු දීමනා සඳහා මේ සටන කරන බවය. ඒ අනුව විසි අට වසරක් පැවති ආණ්ඩු මේ ඉල්ලීම ඉටු කර නැත. ඒ කියන විසි අට වසර (1996)ට පෙර අතීතයේ ගුරු වෘත්තිකයන්ට ගැටළු නො පැවතිය බවය. එහෙත් ගෙවී ගිය අඩ සිය වස පුරා වාර්ෂිකව නිකුත් වූ විභාග ප්‍රතිපල අනුව ඉහළින් සමත්වන හැම දරුවාටම පාර පෙන්වා ඇත්තේ පාසල් ගුරුවරු නොව ටියුෂන් කාරයන් බව මාධ්‍ය වාර්තා වලින් තහවුරු වේ. උපුටා ගැනීම අවසන්ය.
ගුරු සේවයේ අමුඩයන් සහ දිසා පා මොක්වරු යනුවෙන් නම් කළ 2024-05-04 දින පළවූ මගේ ලිපියේ මෙසේ දැක්වේ. ලංකාවේ උසස් පෙළ ටියුෂන් සඳහා වසරකට රුපියල් බිලියන 20කට අධික මුදලක් දෙමාපියන් වැය කරතී යයි ජෝෂප් ස්ටාර්ලින් කළ ප්‍රකාශයක් අප්‍රේල් 21 ඉරිදා මොනරා පත්‍රයේ මුල් පිටේ පළ විය. එහෙම වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නො කිරීම නිසා බව ජෝෂප් ස්ටාර්ලින් වැඩිදුරටත් එහි අවධාරණය කර තිබිණ.
2021 සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ගුරු සේවය සංඛ්‍යාවෙන් 235,924ක් පමණ වේ. (රජයේ පාසල් සංඛ්‍යාවෙන් 10155ක් වන අතර පුද්ගලික පාසල් 9782 කි. ජාතික පාසල් පද්ධතිය සම කිරීමට තවත් අවශ්‍ය වන්නේ පුද්ගලික පාසල් 373ක් පමණකි. එහි ආඩම්බරය කාටද? ටියුෂන් සඳහා වසරකට රුපියල් බිලියන 20ක් වැය කිරීමට රටේ දෙමාපියන්ට සිදුවීම වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි. මොනරා පත්‍රය උපුටා දැක්වූ ගුරු නායක ජෝෂප් ස්ටාලින් මේ ගැන සිය අනුගාමික රජයේ ගුරුවරුන් සමග සාකච්ඡා කළාද යන්න අර වාර්තාවේ සඳහන් නොවීය. උපුටා ගැනිම අවසන්ය.
මාසික වැටුප් ලබන පාසල් ගුරුවරයාගේ පටන් ග්‍රාම නිලධාරියා දක්වා විසි තුන් ලක්ෂයකට ආසන්න ශ්‍රම බලකාය, සාදුකින් පෙළෙනවුන්ගේ ඉලව් ඓතිහාසික අන්තිම සටනට මේ දිනවලත් උර දෙමින් සිටිති. මෙවර ලියා පදිංචි ඡන්ද සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයකි. එයින් ලක්ෂ එකසිය හතළිහක් ඡන්ද පොළට පැමිණේ යයි අපෙක්ෂා කරති. මෙවර ඇත්තේ ආණ්ඩුවෙන් පඩි කමින් වර්ජනය කරන සහ ආණ්ඩුවට බදු ගෙවන එදිනෙදා යමක් උපයා ජීවිත ගැට ගසා ගන්නා පුරවැසියන් අතර තරගයකි. විපක්ෂය පිස්සුවෙන් නටවන සුභ ආරංචිය ගෙනාවේ ආණ්ඩුවට ණය නැති එක් කෝටි විසි ලක්ෂයක් එදා වේල සොයා ගන්නා ඡන්දදායකන් සඳහාය.
2022 ජූලි 21 වෙනි දින වන විට තුන් වසරකට ආසන්න කාලයක් රටේ පාසල් පද්ධතිය සෞඛ්‍ය හා ආර්ථීක හේතු නිසා වසා දමා තිබිණ. රනිල් රටේ ජනාධිපති වී පැය හතළිස් අටක් ඇතුළත පාසල් විවෘත කර රාජ්‍ය සේවය යථාවත් කිරීමට නව ජනාධිපතිවරයා සමත් විය. වර්තමානයේ විපක්ෂය රනිල්ගේ සුභ පණිවිඩයට එරෙහිව දිවයින පුරා විසිරී පවත්නා පාසල් 10155ක් වසා ගුරුවරු කොළඹට පැමිණිමට පෙර දරුවන්ට පාසල් නො එන්නැයි කල් තබා දැනුම් දීමක් හෝ කරන තරමට දරුවන් කෙරෙහි ලෙන්ගතු නො වීය. එයින් පෙනී යන්නේ පාසල් නොයා ගුරු සේවයේ නාමයෙන් පඩි ලබන ජෝෂප් ස්ටාර්ලින් සකල ගුරු සංහතියටම ආවේස වී බව ද? නැත. දිවයිනේ සමහර පාසල්වල විදුහල්පතින් කොළඹ නොයා සු පුරුදු ලෙස පාසල් ගියහ. එහෙත් ඔවුන් කාටදෝ බියෙන් පැමිණි බවට පොත අත්සන් නො කර දරුවන්ට ආරක්ෂාව සැපයීමට වග බලා ගත්හ. එසේම සමහර ප්‍රවෘත්ති නාලිකාවල පාසල් රූප රාමු අතර හිස් පන්ති කාමරවල ගුරු භවතුන් පාලූ කපනු දැකගත හැකිවිය. එවන් ගුරු දෙවිවරු හැමදාම සිටියහ.
එවැනි ගුරු දෙවි වරුන් ගැන, ගුරු සේවය අයාලේ යමින් සිටියි. යනුවෙන් 2023-03-30 දින පළවූ මගේ ලිපියේ මෙසේ සඳහන් වේ. පොලිස් අත් අඩංගුවේදී මිය ගිය නීතිඥ විජයදාස ලියනාරච්චි වෙනුවෙන් ලේ රත්වූ නීති ශිෂ්‍යයන් අළුත් කඩේ මිහිඳු හන්දියට ඒකාරාශි වෙද්දී අධිනීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න, ” පුතාලා මේ ප්‍රශ්නය වැඩිහිටි අපට භාර දීලා පන්ති ගිහින් ඉගෙණ ගන්න. අපට අවශ්‍ය උගත් පරපුරක්. එක විජේදාසට තවත් සියයක්. මර්ධනය පතුරුවන ආණ්ඩුවේ උවමනාවට අහු වෙන්න එපා. පුතාලාට පොලිසිය ගැහුවොත් ඒක නීතිඥයන්ට කළ පහර දීමක් වෙනවා.” යනුවෙන් පවසා තමන් ඇතුළු නීති සිසුන්ට දුන් අවවාදය, රන් බණ්ඩා සෙනෙවිරත්න සිහිපත් කරමින් මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා තැබූ සටහන මට මෙහිදී සිහිපත් වේ.
ඒ රන් බණ්ඩා සෙනෙවිරත්න තිස් එක් වියැතිව සිටියදී 71 කැරැල්ලට සහාය නොදී නීති සිසූන් නීති අධ්‍යයනවල නිරතවීම ගැන වියරුවෙන් පොළොන්නරුවේදී කෑ ගැසූ හැටි මට මතකය. 88-89 භීෂණ කාලයේ හෙතෙම පනස්වෙනි වියට ආසන්න වැඩිහිටියෙකි. එසේම මා මිත්‍ර රන් බණ්ඩා විනය හේතුවක් නිසා පාසලෙන් නෙරපා හැරිය දඩබ්බර ශිෂ්‍යයෙකි. එදා ඔහු වෙනුවෙන් පෙනී සිටි විතානාච්චි නම් ගුරු මාතාව නො වන්නට අධිනීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න, මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍රලාට අතීතයේ විශිෂ්ඨ පූර්වාදර්ශී වැඩිහිටියෙක් වන්නේ නැත. අපේ ගුරු සංහතිය අනුගමනය කළ යුත්තේ ජෝෂප් ස්ටාර්ලින්ද, රන් බණ්ඩා සෙනෙවිරත්නද, විතානාච්චි ගුරු මාතාවද යන්න වර්තමාන ගුරු සංහතිය තීරණය කළ යුතුවේ.
මේ ලිපිය කියවන්නෙක් රටේ ගුරු වෛද්‍ය සේවා වෘත්තීය අයිතිවාසිකම් වහා සුභ සාධන අරමුණු වලට ලඝු කළ යුතු යයි කල්පනා නො වන්නේදැයි විමසනු කැමැත්තෙමි. යුද්ධය පවත්නා ප්‍රදේශවල පිහිටි පාසල් රෝහල් වලට ජිනීවා ප්‍රඥප්තියෙන් දෙන යුධ මුක්ත ආරක්ෂාව, වර්තමානයේ අපේ සිසුන් සහ රෝගීන් දේශපාලන අරමුණු සඳහා ඇපයට ගැනීම වළකාලන නීති සැකසීමට පාලකයන් වහා පියවර ගත යුතු වේ.උපුටා ගැනිම අවසන්ය.
ජාතියේ දරුවන් බිල්ලට දෙන සෙල්ලම ජෝෂප් ස්ටාර්ලින් කළත්, මහින්ද ජයසිංහ කළත් අපරාධයකි. ඔවුන් පසුපස යන ගුරු සංහතිය තමන් සතු වගකීම කුමක්ද යන්න තේරුම් ගත යුතුව තිබේ. ජනාධිපති වික්‍රමසිංහ විසින් ජාතිය අමතා දුන් පණිවිඩය අඟල් නවයක් දිග කිණිස්සක් සිරුරට බස්සා එයින් අඟල් තුනක් එළියට ඇද ඔන්න හරි කීම වැනි යයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති ප්‍රකාශ කළේය. දේශපාලනික උපමාවක් හැටියට කිණිස්ස ගැලපෙන අතර, රාජපක්ෂ නම් අඟල් නවයක් දිග කිනිස්ස, ප්‍රභාකරන් සහ ජවිපෙ විසින් එක්ව 2005දී ජාතික දේහයට බස්සවා ඇති බව කියන්නට මහාචාර්ය ලියනගේ අමරකීර්තිට අමතක වී ඇත. ඒ කිණිසි පහරින් මරණාසන්නව සිටි ශ්‍රී ලංකාව එයින් අඟල් තුනක් ඉවත් කොට පැවති රිදුම් සමනය කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව මා මිත්‍ර මහචාර්ය වරයා තේරම් ගත යුතව තිබේ.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com